ලෝකේ ඉන්න තාත්තලා අතුරින් ආතල් පිරුණ තාත්තලා ඉන්නේ ලංකාවේ. අපිට ආදරය පෙන්නන විදියේ ඉඳලා එදිනෙදා වැඩකටයුතු කිරීම දක්වා ම ඒ සුපිරි ගතිය දකින්න තියෙනවා. අනෙක් රටවල තාත්තලාගෙන් අපේ තාත්තා වෙන් කරලා අඳුරගන්න ලිට්මස් පරික්ෂාව වෙන්නෙත් අපේ තාත්තලගේ ආතල් පිරුණ ජීවිතේ තමයි. ඉතින් මේ දේවල් කරන්නේ නැත්තම් තාත්තාගේ පුරවැසිභාවය ගැන පුතාලා දුවලා සෑහෙන වද වෙන්න ඕනි.
1. සිලිබෑග් කඩචෝරුව
වැඩ ඇරිලා එද්දි සිලි බෑග් එකකට පිරෙන්න කඩචෝරු අරන් ආවේ නැත්තන් ඒ තාත්තා නෙවේ වෙන කවුරුහරි තමයි. අම්මගේ ඇණුම් බැණුම් මැද තාත්තා පැණි රහ, තෙල් කෑම, අම්මගේ වචනෙන් ම කිව්වොත් පිටි ගුලි ගෙනත් ළමා ළපටින්ට දෙන්නේ. තාත්තා දන්නවා ගෙදරට අඩිය තිබ්බ ගමන් පොඩි උන් ඇවිත් ඉව අල්ලන්නේ ඔන්න ඕකට ය කියලා. ඉතින් තාත්තලා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දවස ඉවර වෙලා ගෙදර යද්දී මොනවා හරි අරගෙන යනවා. රුපියල් 100ක් දීලා ගන්න වඩේ කෑල්ලේ ඉඳන් හැම්බේකන් පුඩිං වෙනකන් ඕනි දෙයක් තාත්තට සෙට් නම් බෑග් එකට ඒවා කොහොම හරි එනවා.
2. ටීවි එක ඉස්සරහා හිටං ප්රවෘත්ති බැලීම
තවමත් මේ අත්දැකීම නැති නම් කාරි නෑ තව අවුරුදු කීපෙකින් හරි ඕක වෙනවා. තාත්තලා මොන දිල්ලියක හිටියත් ටීවි එක ඉස්සරහට එනවා ප්රවෘත්ති යනකොට. ඒ ඇවිල්ලා ඉඳගන්නේ එහෙමත් නැත්නම් දිග පුටුවක සම්පූර්ණයෙන් ම දිගා වෙලා ප්රවෘත්ති බලන්න යෙදෙන්නේ ප්රවෘත්ති පටන් ගන්නත් කලින් එතනට ඇවිත් ලකලෑස්ති වුණා නම් තමයි. නැත්තන් හරියට ම ටීවි එක ඉස්සරහ හිටගෙන තමයි බලන්නේ. පුළුවන් නම් අස්සට ම රිංගයි.
3. නිදිමතට කලින් එන නිදිමත
දවසම වැඩ කරලා ගෙදර ආවා ම තාත්තලාට හරි ම මහන්සි. ආතල් එකේ වැඩ කරන්න වාතාවරණයක් අපේ රටේ තාත්තලා හැමෝටම නැහැනේ. ඉතින් එහෙම හති වැටුණ දවසක් අවසානයේ සාමාන්‍යයෙන් නින්දට යන වෙලාවට කලියෙන් තාත්තට නිදිමත හැදෙනවා. ඒ වෙලාවට සාලයේ තියෙන දිග පුටුවක නැත්නම් සෝෆා එකේ ඇලවෙනවා. ඇලවුණා ම තමයි ඉතින් සැප නින්ද!
4. ලූණු කරේ පෙරහැර බැලීම
පෙරහැර ළමා මතක අතුරින් හොඳ ම එකක්. ඒක තවත් එහෙම වෙන්න හේතුවක් තමයි තාත්තා. පාරට බහින්නෙ ම කොල්ලව හරි කෙල්ල ව හරි කරට නග්ගගෙන. උන්ගේ දණිස් පොල්කටුත් බිම ගෑවෙනකන් තාත්තා පෙරහැර බලන්න ඉඩක් නැතුව වෙන ළමයි බමයි ටිකක් එක්ක බලනවනෙ.
5. අම්මගෙන් අහන්න
ගෙදර ඒවා සම්බන්ධයෙන් තාත්තගෙන් කිසිම ප්‍රශ්නයක් අහලා වැඩක් නෑ. ඇහුවට ලැබෙන්නේ එක ම උත්තරයයි. ඒ තමයි ගිහින් අම්මගෙන් අහන්න කියන එක. බඩුවක් කොහේ හරි තිබ්බ තැනක්, සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්, කොහේ හරි රටක වෙන මොකක් ම හරි දෙයක් නිසා නැගෙන ඕන ම ප්‍රශ්නයක් තාත්තාට යොමු කරාම ඒක ඉක්මනට අම්මට කොනෙක්ට් වෙලා තමයි නවතින්නේ. අම්මත් බැන බැන උත්තර දෙන නිසා හොඳයි ඉතින්.
6. බැල්ම
එක එක බැල්මවල් තියනවා. ලංකන් තාත්තගේ බැල්මට තමයි ඔක්කොම පදිරි. මොකක් හරි නසරාණි වැඩක් කරලා අහු වුණා ම මේ බැල්මෙන් ගැලවෙනවා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි දෙයක්. අපේ යාළුවොද අපිද කියන බොරු වෙනස කාටවත් නෑ. දඬුවම එක ම එකයි. ඒ තමයි මේ බැල්ම. හොඳට ඉඳලා මේ මූණ දකින්න ලැබෙනවා කියන්නේ, ඒක වෙන ම ආතල් එකක් කියනවනේ.
7. පෙන්වීමට අපහසු අසීමිත ආදරය
හොලිවුඩ් බයිස්කෝප්වල එහෙම ඉන්න තාත්තලා ළමයි එක්ක හරි ම එකතුයි වගේ අපිට පේනවා. අම්මා කෙනෙක් වගේ ම ආදරේ පෙන්නනවා. හුරතල් කරනවා. වැඩ කෝටියයි. ඒත් අපේ තාත්තලා එහෙම ලේසියෙන් ආදරේ පෙන්නන්නේ නෑ. පෙන්නන්න දන්නේ නෑ. ඒත් ඔය මොන තාත්තටත් වඩා අතිසංවේදී මෙව්වා එකක් අපේ තාත්තා කෙනෙක්ට තියෙනවා. ඒක එහෙම හැඟීමකින් දෙකකින් පෙන්නන්න බැරි හරි අපූරු අසීමිත ආදරයක්.
Leave a Reply