තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය තමන්ට හොරෙන් වෙනත් සම්බන්ධතාවයක් තිබිලා අහුවුනාට පස්සේ මොකද කරන්නේ?

ඇත්තටම මෙන්න මේක තමයි අවංකවම ආදරේ කරන කොල්ලෙක්‍ට වුනත්, කෙල්ලෙක්ට වුනත් මුහුණ දෙන්න වෙන අතිශයින්ම අමිහිරි අත්දැකීම. තමන් පණ වගේ ආදරේ කරපු කොල්ලා හරි කෙල්ල හරි එක්කෝ තමන් එක්ක ඉන්න අතරේදීම තවත් කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් හොරෙන් පටන් අරගෙන. එහෙම නැතිනම් වෙනත් කෙනෙක් එක්ක පටන් ගත්තු සම්බන්ධතාවයක් නිසා තමන්ව අත ඇරලා ගිහින්. මේ වගේ දෙයක් සිද්ධ වුනහම දැනෙන්නේ හරියට තමන්ගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුනා වගේ. මොනවද කරන්නේ, මොනවද කියන්නේ වගේ කිසිම දෙයක් හිතාගන්න බෑ. වේදනාව, කළකිරීම, තරහව වගේ හැම හැඟීමක්ම පාලනය කරගන්නත් අමාරු විදියට හිතට කඩාවදිනවා.

ඇත්තටම මෙහෙම අවස්ථාවකදී මොනවද අපි කරන්නේ? ඉස්සරහට අපිට එයා නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයිද? එයා ආයෙමත් කවදාවත් එන එකක් නැද්ද? ආවොත් අපි බාරගන්නවද? මෙන්න මේ වගේ දහසක් ප්‍රශ්නත් මතුවෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ, මේ වගේ අවස්ථාවක ඇත්තටම කරන්න පුළුවන් මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.

 

1. ආවේගයන් පැත්තකින් තියන්න

Image Source – personalgrowthtohappiness.com

සැකයක් නැතුවම මේ තමයි පළමුවෙනි කාරණාව. තමන්ගේ හැඟීම් මේ වෙලාවට බොහොම උත්සන්න වෙලා තියෙන්නේ. අපිට හිතෙන්න පුළුවන් එයාට හානියක් කරන්න. අපිට හිතෙන්න පුළුවන් අපිට හානියක් කරන්න. අපිට හිතෙන්න පුළුවන් කෝල් කරලා බණින්න. කෝල් කරලා ආයෙමත් එන්න කියලා ආයාචනා කරන්න. හැබැයි මේ කිව්ව හැම දෙයකටම මූලික වෙන ආවේගය පැත්තකින් තියන්න ඕන. අමාරුයි තමයි. ඒත් තමන්ට ඒ ආවේගයේ හිර වෙලා ඉන්න බැරි වෙන විදියේ මොකක් හරි දෙයක් කරන්න. බිසී වෙන්න. ට්‍රිප් එකක් යන්න. මොකක් හරි තමන්ව කාර්‍යබහුල වෙන දෙයක් කරන්න.

 

2. විශ්වාසවන්‍තයෙක් එක්ක කථා කරන්න

Image Source – twitter.com

මෙන්න මේක පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වෙලා, තමන්ගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුනට පස්සේ අපිට ඕන වෙනවා කාත් එක්ක හරි මේ දේවල් කියන්න. කියලා හිත නිදහස් කරගන්න. ඒත් ප්‍රශ්නේ මේකයි. අපිට මේ වගේ දෙයක් ෆේස්බුක් එකේ චැට් යාලුවෙක් එක්ක කියන්න බෑ. ඒකට අතිශයින්ම පුද්ගලික දෙයක් වුනත් කියන්න පුළුවන්, බුදු ෂුවර් විශ්වාසවන්තයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ හෙට ගිහින් ඕක වටේම ලීක් කරන්නෙ නැති කෙනෙක්. අරෙහෙම කරමු, මෙහෙම කරමු කියලා තමන්ගේ පාට්නර්ගෙන් පළිගන්න අදහස් ඉදිරිපත් නොකරන, ඔයා මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා නොකියන, තමන් කියන දේ අහගෙන ඉන්න පුළුවන්, සානුකම්පාව තියෙන ඩයල් එකක්. තමන් කියන දේවල් තමන් ගාව විතරක් තියාගන්න පුළුවන් කෙනෙක්.

 

3. පොඩ්ඩක් තනි වෙන්නත් ඕන

Image Source – erasmusu.com

ඇත්තටම අර ආවේගය පහ වෙලා ගියාට පස්සේ එන්නේ දුකක්. ඒ දුක එක්ක සමහර වෙලාවට කේන්තියකුත් එන්න පුළුවන්. හැබැයි අර ගිහින් කැතිගාන්න හිතෙන ආවේගය එන්නෙ නෑ. ඒත් දැන් හිතන්න පුළුවන් ඉඩක් තියෙනවා. ආන්න ඒ නිසා පොඩ්ඩක් තනියෙන් ඉඳලා කල්පනා කරන්න ඕන ඇත්තටම ඇයි මෙහෙම දෙයක් සිද්ධ වුනේ කියලා. මේ හිතිවිල්ල අරකි බ්ලඩි බිච්, අරූ මහ බල්ලෙක් වගේ තැන් වල නෙවෙයි නවතින්න ඕන. ඇයි එයා මට චීට් කළේ කියන ප්‍රශ්නේ තමයි අහන්න ඕන. මොකද ඒක අපේ වැරැද්දක් නිසා සිද්ධ වුනා වෙන්න පුළුවන්. ඒක එහෙමනම්, ඒ අපේ වැරැද්ද මොකද්ද කියන එකත් හරි හැටි තේරුම් ගන්න ඕන.

 

4. එයත් එක්ක කථාබහක්

Image Source – wikihow.com

තමන්ට ආයෙත් නිරවුල්ව හිතන්න පතන්න පුළුවන් කම ලැබුණට පස්සේ අනිවාර්‍යයෙන්ම කරන්න ඕන දේ තමයි මේක. ඒ තමයි ඔයාට චීට් කරපු පාට්නර් එක්ක අවංකව කථාබහක නිරත වෙන එක. මෙතනදී සිද්ධ වෙන්න ඕන එකිනෙකාට චෝදනා කරන එක නෙවෙයි. අවංකව කථා කරන්න ඕන තමන්ට මොනවද වුවමනා කියන එක. මොකද්ද ඇත්‍තටම සිද්ධ වුනේ කියන එක. සමහර විට එයාට සිද්ධ වුණු දේවල් අමතක කරලා ආයෙමත් එකතු වෙන්න වුවමනා වෙන්න පුළුවන්. ඒ ගැන අපි බලමු. සමහර වෙලාවට එයාට තවදුරටත් අපිව වුවමනා නොවෙන්න පුළුවන්, අපිත් එක්ක ඉන්න බැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒකත් අපි බලමු. හැබැයි ගොඩක් වෙලාවට එයා අපිට චෝදනා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ වැරැද්දෙන් තමයි මේ හැමදෙයක්ම සිද්ධ වුනේ කියලා පෙන්නන්න හදන්න පුළුවන්. මොකද හැමෝම උත්සාහ කරනවා වැරැද්දක් පිළිගන්නවට වඩා, වරදින් නිදහස් වෙන්න.

 

5. එයාට ආයෙමත් එකතු වෙන්න ඕන නම්

Image Source – wikihow.com

මෙතනදී හිතලා බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා. අපි කියමු එයා අපේ විවාහ බිරිඳ හෝ සැමියා කියලා. එතකොට එයා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තිබ්බට, ආරක්ෂිත, ස්ථීර තැන තමයි විවාහය. ඒ නිසා එයා උත්සාහ කරන්න පුළුවන් එයාට අපි නැතුව බැහැ කියලා මෙතනම ඉන්න. හැබැයි ඇත්තටම එයාට වුවමනා දේ විවාහය ආරක්ෂා කරගැනීම මිසක් අපිව නොවෙන්න පුළුවන්. හැබැයි අනෙක් අතට එයා මොහොතක දුර්වලතාවය නිසා සිදුකරපු දේ ගැන පසුතැවිලි වෙනවා වෙන්න පුළුවන්. එයාට ඇත්තටම අපිව ඕන වෙන්න පුළුවන්. ඉතින් ඔය කරුණු දෙකෙන් මොකද්ද ඇත්තටම වෙන්නේ කියලා තේරුම් ගන්න නම් අපිට එයත් එක්ක මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න වෙනවා. ඒ වගේම වැරදුණු තැන් මොනවද කියලත් තේරුම් ගන්න වෙනවා. අවශ්‍ය නම් උපදේශනයට යොමු වෙන්නත් පුළුවන්.

 

6. එයාට ඔයාව එපා නම්

Image Source – byrslf.co

මේක තමයි ඉතින් වේදනාකාරී කොටස. ඇත්තටම අපිව එපා කියලා යන එක. හැබැයි එකක් මතක තියාගන්න ඕන. කොයි තරම් පණට ආදරේ කරගෙන හිටියත්, වෙන කෙනෙක් නිසා ඔයාව එපා වෙනවා කියන්නේ තවදුරටත් එතන ආදරයක් නැහැයි කියන එක තමයි. ඒ නිසා එයාට ඔයාව එපා කියනවා නම්, අල්ලගෙන හිරකරගෙන ඉන්න උත්සාහ කරන්න එපා. යන්න දෙන්න. කොයි තරම් ඒක වේදනාවක් ගෙන දුන්නත්, හිටියා කියලා තවදුරටත් කලින් තිබුණු ආදරේ ආයෙමත් ඇතිවෙන්නේ නැති බව තේරුම් ගන්න වෙනවා. හැබැයි එකක්. එයා යනවා කියලා පළිගන්න, එකට එක කරන්න ලෑස්ති වෙන්න එපා. තමන්ගේ හිතේ වේදනාව, කේන්තිය තියෙනකොට මූනිච්චාවට සමාව දෙන්න ඕන නෑ. තමන් සමාව දෙන්න ලෑස්ති නැතිනම් කෙලින්ම කියන්න ‘ආයෙ අපි දෙන්නා අතර කිසිම දෙයක් නැහැ’ කියලා. හැබැයි පළිගන්න යන එක අපිට තරම් දෙයක් නෙවෙයි කියන එක මතක තියාගන්න.

 

7. මෙතනින් එහාට අලුත් ජීවිතයක්

Image Source – medium.com

මේ වගේ වේදනාබර අත්දැකීමකට මුහුණ දුන්නට පස්සේ වැදගත්ම කාරණය තමයි මේක. තමන් ගැනම හිතලා බලන එක. මේ වෙලාවේ හිතේ තියෙන දුක, වේදනාව ප්‍රයෝජනවත් ශක්තිය බවට හරවගන්න. තමන්ගේ ශරීර සුවතාවය ගැන හිතන්න. ජිම් එකට යන්න. මොනවා හරි තමන්ගේ දක්ෂතාවයක්, කුසලතාවයක් වැඩිදියුණු කරගන්න පටන් ගන්න. තමන්ගේ වෘත්තිය ජීවිතයේ ඉහළට යන්න අවධානය යොමු කරන්න. කොටින්ම කිවුවොත්, එයාත් එක්ක ඉන්නකොට හිටි කෙනාට වඩා සිය ගුණයකින් විශිෂ්ට මනුස්සයෙක්ව නිර්මාණය කරන්න. ඒ වැඩකටයුතු වෙනුවෙන් කාර්‍යබහුල වෙන්න. තමන්ගේ යාලුමිත්‍රයින්ව ඇසුරු කරන්න. විවේක වෙලාව තමන්ගේ විනෝදයට තියාගන්න. එළිපහළියට යන්න. විනෝද ගමනක් යන්න. ෆිල්ම් එකක් බලන්න යන්න. වෙන තමන් ආස විනෝදාංශයක් පටන් ගන්න. කොටින්ම කියනවා නම් අලුත්ම මනුස්සයෙක් වෙන්න.

මේ හැමදේමත් එක්ක එකක් මතක තියාගන්න. කලින් කෙනා අපිව දාලා ගියේ අපේ වැරැද්දක් නිසා නම්, අපි ඒ වැරැද්ද හදාගන්න ඕන. උඩිනුත් කිව්වා වගේ අපි ඉන්නවට වඩා විශිෂ්ට මනුස්සයෙක් වෙන්න ඕන. කවදාහරි අපිව හිමිකරගන්න වාසනාව තියෙන කෙනා අපි ගාවට එයි. එතකල් ඉවසිල්ලෙන් ඉන්න. විශේෂයෙන්ම මේ වගේ වේදනාකාරී අත්දැකීමක් ලබලා ඉවර වුණු ගමන් කාවවත් ඩේට් කරන්න යන්න නරකයි. පොඩ්ඩක් හිත හැදෙනකල්, පොඩ්ඩක් ජීවිතේ යථා තත්ත්වයට පත් වෙනකල් ඉන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *