බිත්තරවලින් රසවත්ම කරි කිහිපයක් හදාගන්න රෙසිපි මෙන්න…

 

එක එක වැඩ දාන්න පුළුවන් බිත්තර වලින් රසම රස කරීස් ටිකක් හදන හැටි කියලා දෙන්නයි හදන්නෙ. ඇත්තටම මේවා හැදුවම මේ බිත්තරද කියලා හිතන්න බැරි තරම් රසයි. ප්‍රෝටීන් පෝෂණය වැඩිපුර ඕන මේ කාලෙ තම්බල නැත්නම් බැදල කන බිත්තර වලට රස වෙනසක් කරල බලන්න පුළුවන් මේ රෙසිපි වලින්.

 

1. එග් බෝල් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 5
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  4. මිරිස්කුඩු 
  5. කහකුඩු 
  6. ලුණු හා ගම්මිරිස්කුඩු 
  7. කඩල පිටි කෝප්ප මේස හැඳි 2
  8. බිස්කට් කුඩු මේස හැඳි 2
  9. තෙල් ස්වල්පයක් 
  10. චොප්කරගත් සුදුළූණු බික් 4
  11. කරපිංචා ස්වල්පයක් 
  12. චොප්කරගත් තක්කාලි ගෙඩි 1

 

  • මුලින්ම බිත්තර ටික ග්‍රේට් කරගන්න. මේකට චොප්කරගත් ළූණු වලින් ටිකක්, අමුමිරිස්, මිරිස්කුඩු, ලුණු, ගම්මිරිස්කුඩු හා කහකුඩු ටිකක් දාලා කලවම් කරන්න. 
  • ඒකටම කඩල පිටි හා බිස්කට් කුඩු ටික දාගන්න. හොඳින් අනලා මේ මිශ්‍රණයෙන් බෝල හදාගන්න.  
  • පෑන් එකට තෙල් ටිකක් දාලා මේ බිත්තර බෝල ටික බැදගන්න. හැන්දෙන් ගොඩක් කලවම් නොකර පරිස්සමෙන් බැදගන්න. නැත්නම් බෝල ටික පුපුරල විසිරෙනවා.
  • වෙනම භාජනේකට තෙල් ටිකක් දාලා ඉතිරි චොප්කරගත් ළූණු, සුදුළූණු, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. මේකට මිරිස්කුඩු, කහකුඩු දාලා රස අනුව ලුණු හ ගම්මිරිස්කුඩු දාගන්න.
  • ඊළඟට කපාගත් තක්කාලි ටික දාලා වතුර කෝප්ප 1/2ක් වගේ දාලා කලවම් කරගන්න. 
  • අන්තිමට බැදගත් බිත්තර බෝල ටික මේ කරියෙ අඩුක් කරගන්න. 
  • වැඩිය හැඳි නොගහා බෝල නොකැඩෙන්න හොද්ද උතුරවගන්න. 

 

2. ස්ටීම් එග් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර ස්ටීම් කරගැනීමට
  2. බිත්තර 4
  3. ලුණු හා ගම්මිරිස්කුඩු 
  4. කෑලිමිරිස් තේ හැඳි 1
  5. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  6. චොප්කරගත් අමුමිරිස් කරල් 2

 

කරි එක සෑදීමට

 

  1. තෙල් ස්වල්පයක් 
  2. අබ තේහැඳි 1
  3. උළුහාල් තේ හැඳි 1/2
  4. කරපිංචා ඉති 2
  5. කුරුඳු පොතු කෑල්ලක්
  6. සුදුළූණු බික් 6-7
  7. කපාගත් අමුමිරිස් කරල් 2
  8. ලියාගත් ළූණු ගෙඩි 1/2
  9. කඩාගත් වියළි මිරිස් කරල් 2
  10. තුනපහකුඩු තේ හැඳි 1
  11. කහකුඩු තේ හැඳි 1/2
  12. මිටිකිරි කෝප්ප 2

 

  • බිත්තර ටික කඩලා බෝල් එකකට දාලා ඒකට ලුණු, ගම්මිරිස්කුඩු, කෑලිමිරිස්, චොප්කරගත් ළූණු හා අමුමිරිස් ටිකත් දාලා හොඳට විස්ක් කරගන්න. 
  • ස්ටීම් කරන්න පුළුවන් ට්‍රේ එකකට තෙල් ටිකක් ගාලා මේක දාලා හොඳට ස්ටීම් කරගන්න. පරිස්සමට කෑලි කපාගන්න.
  •  වෙනම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. මේකට කරපිංචා කොළ කිහිපයක්, කුරුඳු පොතු හා උළුහාල් ටික දාගන්න. මේකට සුදුළූණු, අමුමිරිස් හා ළූණු දාලා කලවම් කරගන්න. 
  • ටිකක් ෆ්‍රයි උනාම වියළි මිරිස් ටික දාගන්න. ඊළඟට තුනපහකුඩු හා කහකුඩු එකතු කරන්න. තව ටිකක් ෆ්‍රයි කරලා මිටිකිරි ටික දාගන්න. හැඳි ගාන ගමන් රස අනුව ලුණු දාගන්න. 
  • හොද්ද උතුරගෙන එනකොට ස්ටීම් කරගත් බිත්තර කෑලි දාලා ලිපේ ගින්දර අඩු කරලා හොඳට හොදි උනන්න අරින්න. බිත්තර කෑලි කැඩෙන්නෙ නැතිවෙන්න කලවම් කරගෙන ලිප නිවාගන්න.

 

3. එග් පෙපර් ෆ්‍රයි 

අවශ්‍ය ද්‍රව්‍ය

 

මසාලා පවුඩර් එකට

 

  1. ගම්මිරිස් ඇට තේ හැඳි 1 1/2
  2. කොත්තමල්ලි ඇට තේ හැඳි 1
  3. සූදුරු තේ හැඳි 1/2
  4. මහදුරු තේ හැඳි 1/2
  5. කුරුඳු පොතු කෑල්ලක්
  6. කරාබු නැටි 5ක්
  7. කරදමුංගු ඇට 1
  8. වියළි මිරිස් කරල් 1

 

කරි එකට 

 

  1. තෙල් ස්වල්පයක් 
  2. මිරිස්කුඩු තේ හැඳි 1/2
  3. කහකුඩු තේ හැඳි 1/4
  4. ලුණු ස්වල්පයක් 
  5. තම්බාගත් බිත්තර 4
  6. චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 1
  7. ලියාගත් ළූණු ගෙඩි 2
  8. කරපිංචා ස්වල්පයක් 
  9. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  10. ලුණු ස්වල්පයක් 
  11. වතුර කෝප්ප 1/4
  • මසාලා පවුඩර් එකට ඕනෙ ඔක්කොම කබලෙ බැදලා කුඩු කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා මිරිස්කුඩු, කහකුඩු හා ලුණු දාලා කලවම් කරන්න. බිත්තර දෙකට මැදින් කපලා මේකට දාලා අඩු ගින්දරේ හරවමින් පොඩ්ඩක් බැදගන්න. 
  • බිත්තර ටික අයින් කරලා ඒකට තව තෙල් ටිකක් දාගන්න. චොප්කරගත් ඉඟුරු, සුදුළූණු, ළූණු හා කරපිංචා ටිකත් දාගන්න. මේ ටික හොඳට තෙම්පරාදු වුණාම තක්කාලි ටික දාගන්න. රස අනුව ලුණු එකතුකරගන්න. 
  • දැන් මේකට සාදාගත් මසාලා පවුඩර් එක දාලා කලවම් කරගන්න. වතුර චුට්ටක් දාලා හොඳට කලවම් කරගන්න. විනාඩියක් වගේ තියලා චොප්කරගත් කොත්තමල්ලි කොළ ටික දාන්න. 
  • අන්තිමට බැදගත් බිත්තර ටික ළූණු මිශ්‍රණයට කලවම් කරන්න. 

 

4. ක්‍රීමි එග් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තක්කාලි ගෙඩි 2
  2. සුදුළූණු බික් 5
  3. කරදමුංගු 2
  4. කරාබු නැටි 3
  5. කජු මද 10-12
  6. තම්බාගත් බිත්තර 5
  7. තෙල් ස්වල්පයක් 
  8. චොප්කරගත් ළූණු ගෙඩි 2
  9. බේ ලීව් 1
  10. කහකුඩු තේ හැඳි1/4
  11. තුනපහකුඩු තේ හැඳි 1
  12. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  13. ෆ්‍රෙශ් ක්‍රීම් මේස හැඳි 1
  14. චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් 

 

  • වතුර භාජනයක් ලිපේ තියලා තක්කාලි, සුදුළූණු, කරදමුංගු, කරාබු නැටි හා කජු ටික දාගන්න. මේක විනාඩි 5ක් තම්බගෙන පෙරාගන්න. 
  • තැම්බුනාම තක්කාලි වල පොතු ඇරලා කපාගන්න. දැන් තක්කාලි ටිකයි තම්බගත්තු අනික් සියල්ලමයි දාලා ග්‍රයින්ඩ් කරගන්න. ස්මූත් පේස්ට් එකක් හදාගන්න. 
  • බිත්තර 4ක් දෙකට කපාගෙන පැත්තකින් තියන්න. පෑන් එකට තෙල් ටිකක් දාගන්න. බේ ලීව් එක දාලා චොප්කරගත් ළූණු ටික දාගන්න. ළූණු ටික මැලවෙන කොට කහකුඩු, කොත්තමල්ලි කුඩු, තුනපහකුඩු එකතුකරන්න. හොඳට කලවම් කරලා ක්‍රීමි පේස්ට් එකක් දාගන්න. හොඳට කලවම් කරන්න. 
  • මේකට වතුර කෝප්ප 1/2ක් වගේ දාල හැඳි ගගා පිසගන්න. උතුරන කොට කපාගත්තු බිත්තර ටික අතුරගන්න. බිත්තර කෑලි වැහෙන්න හොදි උඩින් දාලා ගම්මිරිස්කුඩු ටිකක් ඉහගන්න. 
  • ටිකකින් ෆ්‍රෙශ්ක්‍රීම් ටික දාගන්න. චොප්කරගත් කොත්තමල්ලි කොළ දාලා ඉතිරි බිත්තරය ග්‍රේට් කරලා උඩින් දාගන්න. පරෙස්සමට කලවම් කරගන්න. 

 

5. රෙස්ටෝරන්ට් ස්ටයිල් එග් ග්‍රේවි 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 6
  2. කහකුඩු 
  3. මිරිස්කුඩු 
  4. මුදවපු කිරි මේස හැඳි 4
  5. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  6. ගරම් මසාලා තේ හැඳි ½
  7. සූදුරු තේ හැඳි 1
  8. චොප්කරගත් ළූණු ගෙඩි 1
  9. කපාගත් අමුමිරිස් කරල් 2
  10. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  11. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  12. තක්කාලි පියුරි මේස හැඳි 5

 

  • බිත්තර වලට කහකුඩු හා මිරිස්කුඩු තේ හැඳි 1/2 ගානෙ දාලා බිත්තර වල හොඳින් තැවරෙන විදියට කලවම් කරගන්න. බිත්තර වල තැනින් තැන පිහියකින් පොඩි කැපුම් දාගන්න.
  • මුදවපු කිරි වලට කහකුඩු තේ හැඳි 1/2, මිරිස්කුඩු තේ හැඳි 1, කොත්තමල්ලි කුඩු, ගරම් මසාලා දාලා කලවම් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා තම්බපු බිත්තර ටික පොඩ්ඩක් පෑන් ෆ්‍රයි කරගන්න. මේ ටික අයින් කරලා ඒ පෑන් එකටම තව තෙල් ටිකක් දාලා සූදුරු, කපාගත් අමුමිරිස් හා ළූණු ටිකත් එකතු කරන්න. රස අනුව ලුණු දාලා ළූණු මැලවෙනකල් කලවම් කරගන්න. 
  • ඒකට ඉඟුරු හා සුදුළූණු ටික දාගන්න. අඩු ගින්දරේ හැඳි ගාන ගමන් තක්කාලි පියුරි එක දාගන්න. මේකට වතුර මේස හැන්දක් වගේ දාලා විනාඩි 3ක් වගේ හැඳිගාන්න. 
  • ඒකට කර්ඩ් මසාලා මික්ස් එක දාගන්න. කලවම් කරලා වතුර කෝප්ප 2ක් එකතු කරන් නැවත කලවම් කරලා වහලා විනාඩි 5ක් පිසගන්න. 
  • බැදගත් බිත්තර ටික මේකට එකතු කරගන්න. ග්‍රේවි එක බිත්තර වල තැවරෙන්න පරෙස්සමට කලවම් කරගන්න. තවත් විනාඩි 3ක් වගේ තියලා ලිපෙන් බාගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *