කොවිඩ් වලින් පසු සිදුවන මහා අස්වීම

“Great Resignation’ නැතිනම් මහා අස්වීම කොවිඩ් වලින් පස්සේ මෑතකාලීනව ලෝකයා මුහුණදෙන ප්‍රශ්නයක්. රැකියා වලින් කොවිඩ් කාලයේ කොපමණ සහන ආදිය දුන්නත් රැකියා වලින් ඉවත් වෙන පිරිස එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. කොවිඩ් වලින් පෙර තිබුණු රැකියා තත්ත්වයෙන් වැඩ කරන්න රැකියා කරන සේවක පිරිස අකමැතියි. ඉතින් මේ ඉතිහාසයේ මහා අස්වීමක් විදිහට රැකියා ලොව තුළ ජනප්‍රිය සිදුවීම ගැන අපි මදක් විමසා බලමු. 

 

1. කොවිඩ් නිසා ලැබුණු නිදහස 

රැකියා කිරීම සහ රැකියා හරහා ජීවිතයට අපේක්ෂා කළ ගෝල්ස් එහෙම නැතිනම් ඉලක්ක වල උඩු යටිකුරු වීමක් කොවිඩ් කාලේ සිද්ධ වුණා. අපි වැඩකරන්නේ යම් යම් ඉලක්ක සම්පූර්ණ කරගන්නා අදහසින්. යුරෝපීය ජාතිකයින් සහ ඇමරිකානුවන් නම් ඊළඟ සංචාරයට මුදල් එකතු කරගැනීම වගේ දේවල් වලටත් රැකියා කරනවා. ඒ වගේම විවිධ විනෝද කටයුතු සඳහා ඔවුන්ගේ ජීවිතය තුළ වැඩි බරක් තියෙනවා. කොවිඩ් නිසා ඒ හැම විනෝද ක්‍රියාවකටම බාධාවක් ඇති වුණා. සරලවම කිවුවොත් “හම්බ කරලා මොකටද?” කියන තැනට ඔවුන්ගේ මනස ක්‍රමයෙන් පත් වෙන්න මේ කොවිඩ් කාලය හේතු වුණා. 

 

2. පවුල් බැඳීම වැඩි වීම 

වෙනදා දරුවන් කියන්නේ රැකියාව ඉවර වෙලා ගෙදර ආවම නිවාඩු දවසට හමුවෙන පිරිසක්. ඒත් මෙවර දරුවන් සැමියා බිරිඳ එක්ක වාර්තාගත කාලයක් ගෙදර ගත කරන්න ලැබුණා. නිකං ඉන්න කාලයක් ලැබුණු නිසා ඥාති මිතුරන් සමග ඔන්ලයින් හෝ සම්බන්ධතා වැඩි කරගන්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසා පවුල කියන ඒකකයට හිත්වල තියෙන බැඳීම වැඩි වුණා. පිස්සු බල්ලෝ වගේ හැමදාම වැඩට ගිහින් අපිට මිස් වුණු ජීවිතය ටිකක් හරි අපිට සමීප වුණා. 

 

3. වර්ක් ෆ්‍රොම් හෝම් ජනප්‍රිය වීම 

ලංකාවේ නම් වැඩ කරනවාට වඩා වැඩට යන එක ලොකු ප්‍රශ්නයක්. ඕනම ටවුමක උදේ හවස තියෙන ට්‍රැෆික් එකත් එක්ක බොහෝ දෙනා දවසකට පැයක් දෙකක් මහමඟටම වැය කරනවා. ඇමරිකාව වගේ දියුණු රටවලත් වැඩට යෑම, රැකියාවට යාම කියන එක ප්‍රසන්න අත්දැකීමක්ම නෙමෙයි. වර්ක් ෆ්‍රොම් හෝම් ක්‍රමය පැමිණීම එක්ක ගෙදරට වෙලා අපේ වැඩක් කරගන්න අවස්ථාව පිරිසකට ලැබුණා. කට්ටියකට රැකියාවේ බර තවත් වැඩිවුණේ ඒ ගැන පැමිණිලි කරන්නත් අවකාශයක් ඉතුරු නොකරම. 

 

4. රැකියා පීඩනය වැඩි වීම 

රැකියා වලින් ඉවත්වෙන්න ඇප්ලිකේශන් දාපු සහ අස්වුණු පිරිස් අතර තාක්ෂණික සේවකයින් සහ සෞඛ්‍ය සේවකයින් ඉදිරියෙන් සිටිනවා. සෞඛ්‍ය සේවකයින්ට ආදායම හොඳ වුණත් මේ කොවිඩ් කාලේ ලොකු අවදානමක් ජීවිතයට එල්ල වුණා. ඒ වගේම ඔවුන්ට කරන්න තියෙන වැඩ කන්දරාවෙත් නිමක් නැති වුණා. අනෙක් හැමෝම ගෙදර ඉද්දි සේවා සපයන තාක්ෂණික සේවකයින්ට, සෞඛ්‍ය සේවකයින්ට දිගින් දිගටම අනවශ්‍ය ලෙස පීඩනයකින් වැඩ කරන්න සිද්ද වුණා. ඒකෙනුත් ඔවුන්ගේ අස්වීම් වලට වැඩි බලපෑමක් ආවා. 

 

5. විසඳුම් 

එකවර ලොකු පිරිසක් ඉවත්වීම සෑම ආයතනයක්ම මුහුණදෙන ගැටළුවක්. මේ ඉවත්වීම් අඩු කරන්න සේවකයින්ගේ පහසුකම් වැඩිදියුණු කරන්න ලොව පුරා සමාගම් කටයුතු කරමින් යනවා. වැඩකරන පැය ගණන අඩු කිරීම, නිවාඩු වැඩිපුර ලබාදීම වැනි දේ වගේම සේවකයා සතුටින් තබාගන්නත් මේ ආයතන ක්‍රියා කරනවා. සෞඛ්‍ය අංශයේ රැකියා කරන්නන්ගෙ ආදායම වැඩිවුණත් ඔවුන් රැකියාවෙන් ඉවත්වීම අඩු වුණේ නැහැ. ඒ කියන්නේ ලැබෙන දීමනා වැටුප් වැඩිවීම පමණක් රැකියාවේ ඔවුන් රැඳෙන්නට හේතුවක් වුණේ නැහැ. 

 

6. රැකියා පරිසරයේ වෙනස් වීම 

රැකියාව කරන කාර්යාලය කියන ඒකකයට ඇතැම් රැකියා වලින් ඈත් වෙන්නම මේ කොවිඩ් හේතු වුණා. ඇතැම් අයට රැකියාවට එන්න ඕනි දින ගාණ අඩු වුණේ වැඩ වලින් කොටසක් ගෙදරදීම කරන්නට ලැබුණ නිසා. ඉතින් මේ වර්චුවල් එහෙම නැතිනම් නිවසේ සිට වැඩකිරීම, කාර්යාලයට අඩුවෙන් වාර්තා කිරීම ආදිය වඩාත් දියුණු විදිහට කළමනාකරණය කරගන්න සමහර සමාගම් තීරණය කරලා තියෙනවා. කාර්යාලයක වැඩ කරන විට එන පීඩනය ගැන බොහෝ දැනුම සතු වුවත් නිවසේ සිට වැඩ කරන විට එන පීඩනය සහ ඒ තත්ත්වය ගැන අත්දැකීම් සහ දැනුම තවමත් අඩුයි. 

 

7. මානසික මට්ටම තේරුම් ගැනීම 

අපේ ළඟම හිතවතෙක් රැකියාවෙන් අයින් වෙන්න, අලුත් රැකියාවක් හොයාගන්න අදහස් කරනවා නම් එය පුදුම වෙන්නට කාරණාවක් නෙමෙයි. කොවිඩ් තත්ත්වය නිසා ඇතිවූ පරිසර වෙනස ඔවුන්ව ඒ තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒක අපේ හිතවතාට විතරක් ආපු තත්ත්වයක් නෙමෙයි. ඒ වගේ තැනකදි වඩාත් සංවේදීව ඒ ගැන සලකා බැලීම වැදගත් වෙනවා. ස්ථීර රැකියාවක් තිබීමේ ආනිසංශ, රැකියාව නැතිවූ පසු සිදුවන දේ ආදී සාම්ප්‍රදායික බණ වලින් විතරක් ඔහු හෝ ඇයව ගොඩදාන්නට බැරි වේවි. රැකියා තත්ත්වයේ තියෙන අවුල් සහගත බව, ඔහුට නොලැබෙන දේ ගැන සොයාබලා ඒ ගැන ක්‍රියාකරන්නට කටයුතු කළොත් එය වඩාත් සාර්ථක වේවි. 

 

ජොබ් එකක් හොයාගැනීම ඇතැම් පිරිසකට ලොකු ගැටළුවක් වෙද්දි ලෝකේ පුරාම ජොබ් වලින් අයින් වීම පුදුම සහගතයි. ඒත් ඒ ඒ කාලෙට එන ඇතැම් මිනිස් චර්යාවන් නවත්වන්නට අමාරුයි. රැකියාවන් සහ රැකියාවේ යෙදවීම් ගැනත් සමාගම් ආයතන වඩාත් නම්‍යශීලී විදිහට හිතන්න මේ තත්ත්වය හේතු වෙලා තියෙනවා. ඉතින් කොවිඩ් වලින් පස්සේ රැකියාව එපා වීමේ අවුලක් ඔයාටත් දැනිල තියෙනවා නම් ඒක බොහොම සාමාන්‍ය තත්ත්වයක්. ඒ ගැන බොහොම සංයමයෙන් අවධානය යොමුකරලා තීරණයක් ගන්න එක වටිනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *