වනාන්තරය වූ කලී වර්තමානයේදී නම් කොළඹ සිටින අයට පැය දෙක තුනක ගමනකින් අනතුරුව විඳගන්නට ලැබෙන අත්දැකීමකි. මෙයට ශතවර්ශයකට දෙකකට එපිටදී කොළඹ සහ බොහෝ තදාසන්න පෙදෙස් ආසන්නයේ වන පෙත් බහුල විය. ලංකාවේ ඉතිරි වී තිබෙන වනාන්තර ස්වල්පයටද ඇති තර්ජන බොහෝමයකි. ඇතැම් තැනෙක වගාවන් පිණිස එළිපෙහෙළි කරන වනබිම්ය. තවත් තැනෙක වනයේ ඇති වටිනා දැව නිසාම විනාශ මුඛයට යන වනාන්තර බිම්ය. තවත් තැනෙක ලොක්කෝ ඉඩම් කට්ටිකර මහජනයාට බෙදිම්ය.
කවර අතකින් ගත්තේ වුවද තව තවත් වනාන්තරය විනාශ වෙනවා විනා වනාන්තර නැවත ඇතිවිමක් ගැන සිතන්නට අපහසුය. එවන් කලකදී ස්වකීය ජානගත වූ වන ආශාව සංසිඳවාගනු පිණිස මිනිසා සංචාරකයින් වශයෙන් වනයට ඇදෙති. ඒ පිරිස වනය තුලින් සිය සිතට නිදහසක් විවේකයක් ලබා ගත්තද වනයට එයින් සිදු වන්නේ හානියකි. ඇතැම් පිරිස්වල ක්‍රියාකලාපයන් නිසා වනයට සංචාරකයින්ගෙන් සිදුවන හානිය එන්න එන්නම වැඩි වේ. අපි එවැනි අහිතකර සංචාරක පුරුදු කිහිපයක් ගැන සලකා බලමු.
1. පොලිතීන් ප්ලාස්ටික් අත හැරීම
ලංකාවේ රක්ෂිත වනයක් තුල වැඩිම පිරිසක් නිදහසේ සංචරනය කෙරෙන තැනක් වේ නම් ඒ ශ්‍රී පාදස්ථානය වේ. ශ්‍රී පාදය යනු එයටම ආවේණික සතුන් සහ තුරුලතා රැසක් පිහිටා ඇති ලංකාවේ තෙත් කලාපීය කදුකර වනාන්තරයකි. එම සිරිපා අඩවිය වසරේ මාස 6ක් තුල යනෙන ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ පහසට ලක්වේ. වනාන්තරය වැනි ජීවී පද්ධතියක් නොව අජීවී කළුගල් කැබැල්ලක් වුවද මිනිසුන් සිය දහස් ගණනකගේ පාද ස්පර්ශය ලැබෙන කල එය යම්තාක් ගෙවී යයි. සිරිපා අඩවියේද මග දෙපස මීටර ගණනාවක් පුරා වනය එලි වී කඩ ඇති වී එහි මග දෙපස වනයට හානි පැමිනේ. මේ ආකාරයටම දුන්හිද ආදී දිය ඇලි දෙපස මාර්ගයන් අසලද මංමාවත් පුළුල් වී කඩ ඇතිවෙන ආකාරයක් නිරික්ෂණය කළ හැකිය.
මෙවන් ජනප්‍රිය වූ වනමං හි ඇදෙන පිරිස වැඩිවත්ම එම පිරිස් වල භාවිතා කරන පොලිතින් ප්ලාස්ටික් අසල වනයටම මුදා හැරීමට පිරිස් ක්‍රියාකරති. එක් වන්දනා සමයෙක කණ්ඩායම් ගණනාවකගේ සහායෙන් පොලිතින් සහ ප්ලාස්ටික්බෝතල සිරිපා අඩවියෙන් ඉවත් කළද සිරිපා මග දෙපස මීටර සිය ගණන් ඈත ස්ථානවල පවා ප්ලාස්ටික් බෝතල් සහ පොලිතින් ගොඩගැසී ඇති අයුරු හොඳින් බැලුවොත් පෙනී යනු ඇත. පොලිතීන් සහ ප්ලාස්ටික් බැහැර ලීමට කුණුබාල්දි තිබුණද කිලෝමීටරයකටත් වඩා උසක් තරණය කරමින් ඒ කසල බදුන් පහලට ඇදීම පහසු කාර්යයක් නොවේ. තමුන් ගෙනයන යමක් වෙත්නම් එහි පොලිතින් හෝ ප්ලාස්ටික් ඇත්නම් ඒවා සියල්ලම නැවත රැගෙන ඒම පරිසරයට ආදරය කරන සංචාරකයාගේ වගකීමකි. එහෙත් කෙතරම් දැනුවත් කළද අපගේ ජනප්‍රිය වූ සංචාරක බිම් ආසන්නයේ දැඩි ලෙස නීති පැනවී නැතිනම් ඒ අවට වනයේ පොලිතින් ප්ලාස්ටික් සෑමතැනම වාහේ විසුරුවා ඒමට අපේ පිරිස් පසුබට නොවෙති.
2. බොනවා බෝතලේ කුඩුකරනවා හලනවා.
බඹරකන්ද ඇල්ල මුදුනේ මහනරම් ගල් තලාවකි. එහි සංචාරකයින් කූඩාරම් අටවාගෙන කලකට පෙර නවාතැන් ගත්තෝය. එයින් ඇතමෙක් වීදුරු බෝතල වල රැගෙන ගිය එතනෝල් බී මත් වී එම බෝතල් ගල්හි ගසා කුඩු කොට ඇල්ලෙන් පහළට දැම්මෝය. පසුකෙලක ස්නානය පිණිස හෝ අසිරිය විදිනට ඇල්ල පහලට බහින ජනයාට වීදුරු කටු ඇනී කකුල් තුවාල කරගන්නට ද සිදු විය. දැන් එම බඹරකන්ද මුදුනේ ඇල්ල මුදුනේ කෑම්ප් ගැසීම අදාල අංශ මගින් තහනම් කොට තිබේ.
වනාන්තරයක් නම් දිය ඇල්ලක් නම්, ලස්සන ස්වභාව සෞන්දර්යය ඇති තැනක් නම් එය එතනෝල් සාදයක් පැවැත්වීමට සුදුසු තැනක් යැයි ඇතමෙක් සිතති. ඒ සිතා ඒ සිතැඟි පරිදි බෝතල රැගෙන ගොස් පානය කොට ඉන් අනතුරුව බෝතල් දමා එති. එයින්ද නොනවතින ඇතැමෙක් බෝතල ගල්වල ගසා කටු ජලයට දමති. දොළපාරවලට දමති. එම නිසා පසුව එන අයට සිදුවන්නේ ස්වභාව සෞන්දර්ය විඳීම පසෙක ලා වීදුරු කටු වලින් තුවාල වූ කකුල් රැගෙන දොස්තර මහත්වරු සොයා යන්නටය. මිනිසා යනු මනසින් උසස් යන අදහසය. එබැවින් වනාන්තරය කෙසේ වෙත්ත අනාගතයේ පැමිණෙන පිරිස් ගැන හෝ සිතා බෝතල් කුඩුකර දැමීම වැනි නරක පුරුදු වලින් ඈත්විය යුතුය.
3. ගිනි දැල්වීම
නක්ල්ස් සහ හෝටන් තැන්න ආදි කඳුකර පතන බිම්ද වියලි කලාපීය පතන බිම්ද වියළි කාලයේදී එකම වියලි තණ පඳුරු ගොඩකි. ඒවායේ එක් තැනකට ගිනි ඇවිලීම මගින් මුළු පළාතක්ම ගිනි ගැනිමේ අවධානම පවතී. වියලි කාලයට එවැනි ලැව් ගිනි ගැන පුවත් දකින්නටද ලැබේ. එවන් ගින්නකින් ඒ පතන බිම ජීවය කොට ගත් ලොකු කුඩා සියලු ජීවියෝ ජීවිතක්ෂයට පත් වෙති. මේ ලැව් ගිනි ඇතැම්විට හිතාමතාම මිනිසුන් විසින් අවුළුවනු ලබති. තවත් අවස්ථාවකදී වනයේ කොටසක් ගිනිලන්නට යෑම, සිගරට් කොට විසි කිරීම, අපද්‍රව්‍ය පුළුස්සන්නට යෑම වැනි අනාරක්ෂිත ක්‍රියා හේතුවෙන්ද වනාන්තර ගිනි ගැනීම් ඇති වේ.
තවත් පිරිස් වනයේ රැය පහන්කිරීමට කූඩාරම් රැගෙන යන මුත් අවශ්‍ය ආහාර පිසගැනීමට ලබාගන්නේ වනයේම දර පතුරු ආදියයි. එසේ වනාන්තරයේ ඇති දර පතුරු යොදාගැනීමේ ලොකු අවුලක් සේ නොපෙනුනත් කන්ඩායම් දහයක් එක් මසකදී වනයෙන් එසේ දර රැගෙන එකම ස්ථානයක ගිනි දැල්වීම් කළොත් ඒ අවට වනයට එයින් සිදුවන්නේ සුළුපටු පාඩුවක් නොවේ. ශ්‍රීපාද හැටන් පිවිසුමේදී වනජීවි දෙපාර්තමේන්තුව මගින් දැන් දෙපස කඩ වලට ආහාර පිසීමට අවට වනයේ දර යොදාගැනීම දැඩි සේ සීමාකොට තිබේ. එමනිසා බොහෝ වෙළද සැල්හි දැන් දැන් ගෑස් සිලින්ඩර භාවිතයෙන් ඉවුම් පිහුම් කටයුතු සිදු කරති. කෙසේ වුවද වනය තුල එලෙස ගිනි ගොඩවල් ගැසීම ආහාර පිසීමට වනයේ දර භාවිතා කිරීම වැනි ක්‍රියා පරිසරයට ආදරය කරන සංචාරකයින් විසින් ඈත් කරගත යුතු පුරුදු ලෙස දැක්විය හැකිය.
4. වනය ගෙදර අරං ඒම
අනේ අර ලස්සන මල් පඳුර..ඒකෙන් පැළයක් අපි ගමුකෝ..“ වනයේ ඇති සුන්දර ඕකිඩ් පඳුරක් දකින වනයට ගිය යුවතියක් එසේ පවසනු ඇත. එලෙස වනයේ ඇති ගහකොළ ගෙනත් මිදුලේ වගාකිරීම අසාර්ථක වැඩකි. අවසානයේ පැළය වනයටත් නැත ඔබටත් නැත. අලංකාර ගසක පොත්තක් වුවද සෑදීමට වසර විස්සක් තිහක් කාලයක් ගත වේ. එය වඩාත් හැඩට විසිත්ත කාමරයේ තබන්නට ගලවාගෙන ආ කල එතැන පරිසරයේ හිස්තැනකි. එය ගෙදර තැබූවිට සැබැවින්ම අර වනයේ තිබූ නියම ස්ථානයේදී දුටු හැඩයද දැකගන්නට නොලැබේ.
වනාන්තරයට ගොස් වනාන්තරයේ ඇති කිසියම් හෝ ස්වභාවික වස්තුවක් රැගෙන ඒම සංචාරකයින් විසින් නොකළ යුතු දෙයකි. මන්ද වනාන්තරයේ ඇති දෑ හි හිමිකරුවා වනාන්තරයම වේ. එය දැකබලාගැනීමට යන සංචාරකයෝ යනු ප්‍රේක්ෂකයෝය. චිත්‍රපටයක නිළියක කදිම ඇඳුමක් ඇඳ සිටියාට එය ලබාගැනීමට නොහැකිය.එය ඉල්ලා සිටීමද විහිළුවකි. එසේම වනබිම් නරඹන්නට යන්නේ නම් එයද හුදෙක් නැරඹීමක් සහ සේයාරු පමණක් සිහිවටන ලෙස තබාගැනීමක් විය යුතුය.
වනාන්තරයේ සංචාරයේ යෙදෙන පිරිස හිතාමතාම නොවූවත් මෙවන් වූ ඇතැම් පුරුදු මගින් වනයට දිර්ඝකාලීනව පාඩු සිදුවේ. උදාහරණ ලෙස වීදුරු වැනි තද ද්‍රව්‍ය වසර සිය දහස් ගණනක් තිබුණත් දිරන්නේ නැති දේය. එවැනි වීදුරු වැනි දෑ වනාන්තරහේ සුන්දරම ස්ථානවල බිඳ දමා ඒමේ හානිය ඔබගේ මී මුනුබුරන්ට වුව දැකගන්නට ලැබෙන හානියකි. අපිට හිමිව ඇති කුඩා රටේ වටිනා වන සම්පත් නරඹනවා සේම ඒවා මතුපරපුරටත් දැකබලාගත හැකි ලෙස සුරැකීම අපගේ යුතුකමකි.
Cover Image Source – Amila Chathuranga
Leave a Reply