සාමාන්‍යයෙන් අපේ සමාජයේදී ආඩම්බරකාරයෙක් වීම කියන එක හොඳ වගේම නරක පැත්තටත් සැලකෙනවා. සරල උදාහරණයකින් බලමු. ඔන්න කොල්ලෙක් ඉන්නව ආඩම්බරකමට. එතකොට කෙල්ලෝ ඒ කොල්ලා ගැන කියලා බණින්නේ “ඌ මහම මහ ආඩම්බරකාරයෙක්නෙ බං” කියලා. හැබැයි එහෙම බැන්නට, ඒ ආඩම්බරකාරයා ආඩම්බර වීම හින්දම කෙල්ලෝ ඌට ඉන්ටරෙස්ටින්ග් වෙනවා. හා නැද්ද? ඇත්තම කිවුවොත් ඕකේ අනික් පැත්තත් ඔයාකාරම තමයි. ආඩම්බරකාර කෙල්ලෙක්ට ආඩම්බරයි කියලා බණිනවා, හැබැයි කෙල්ල ආඩම්බර වීම නිසාම සමාජය ඒ කෙල්ලට මාර වටිනාකමකුත් දෙනවා.
හරි, දැන් ඔය දාර්ශනික කතන්දර පැත්තක දාලා අහලා බැලුවොත්, කවුද අකමැති ආඩම්බරකාර ඩයල් එකක් වෙන්න? ඒ කියන්නේ මිනිස්සු ආඩම්බරයි කියලා බැන්නත්, රහසින් හරි අගය කරන විදියේ ආඩම්බරකාරයෙක් වෙන්න? ඇත්තටම එහෙම ආඩම්බර කමකින් ඉන්න ගමන්, අවශ්‍ය තැනදී සුහද වෙන්නත් පුළුවන් නම්, අන්න ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් අපි කතා කරන්න හිතුවේ, ආන්න ඒ විදියේ හොඳ පැත්තට ගන්න පුළුවන් අභිමානවත්, ආඩම්බරකාර ආකල්පයක් ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි.
1. තමන්ගේ දියුණුව අවශ්‍යයි!
මෙන්න අපි හැමදාම කියන කාරණාව. ආඩම්බර මනුස්සයෙක් වෙන්න නම් ආඩම්බර වෙන්න දෙයක් තියෙන්න ඕන. ඒ ආඩම්බර වෙන්න තියෙන දේවල් වලට හොඳ ගතිගුණ අයිති වෙනවා. ඒ වගේම සෘජු අකුටිල භාවය අයිති වෙනවා. හැබැයි ඔය ගතිගුණ වගේම තවත් දේවල් අවශ්‍යයි. බාහිර දේවල් පවා. උදාහරණයක් විදියට තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය, පෙනුම හොඳින් පවත්වගන්න එක ගන්න පුළුවන්. හොඳින් අඳින පළඳින එක ගන්න පුළුවන්. හොඳ වෘත්තිය සාර්ථකත්වයක් තිබීමත් ගන්න පුළුවන්. හොඳ ජීවන අත්දැකීම් තිබීම ගන්න පුළුවන්. ඒ වගේම තමන් මුහුකුරා ගිය, වගකීම් සහගත මනුස්සයෙක් වීම ගන්න පුළුවන්. කොටින්ම කියනවා නම්, මේ හැම දෙයක් ගැනම හොඳ අභිමානයක් තිබීම ගන්න පුළුවන්. අපි කියන්නේ ආන්න ඒ පුද්ගල දියුණුව ලඟා කරගන්න කියලා. ඔය අතරට විශේෂ දක්ෂතාවයන්, කුසලතාවයන් එහෙමත් තියෙනවා නම් තවත් අනර්ඝයි. ආන්න එතකොට අපිට බය නැතුව කියන්න පුළුවන් හේතුවක් ඇතුව ආඩම්බර වෙන්න පුළුවන් මනුස්සයෙක් කියලා!
2. තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් අවශ්‍යයි!
ඇත්තටම අපි ආඩම්බර මනුස්සයෙක් කියලා කියන්නේ කාටද? සමහර වෙලාවට අපි ආඩම්බරයි කියලා කියනවා අනික් මිනිස්සු දිහා නාහෙට පල්ලැහින් බලන, හෙනම ඔළුවෙන්, කිසිම කෙනෙක්ව ගණන් ගන්නෙ නැතුව ඉන්න තාලේ අමුතුම උඩඟු, උද්දච්ච ඇටිටියුඩ් එකක් තියෙන මිනිස්සුන්ට. ඇත්තටම අපි මේ කතා කරන්නේ ඒ වගේ මිනිස්සු ගැන නෙවෙයි. අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ඕනම තැනකදී හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඉන්න, උද්දච්ච, උඩඟු ගතිලක්ෂණ නැති, ඒත් තව කෙනෙක් ගාවට ගිහිල්ලා තමන් කතා කරන්න අවශ්‍ය නැති, අනික් හැමෝම තමන් ගාවට එන වර්ගයේ මනුස්සයෙක් ගැන. ආන්න එහෙම කෙනෙක් ඕනම සමාජෙක ජනප්‍රියයි. ඒකට ප්‍රධානතම කාරණය වෙන්නේ, අර උඩින් කියපු විදියේ දියුණුවක්, හැකියාවන් තියෙන, විශිෂ්ටයි කියලා සළකන්න පුළුවන් විදියේ මනුස්සයෙක් වීම. ඒ වගේම ඒ නිසාම ඉතාම හොඳ ආත්ම විශ්වාසයකින් ඉන්න මනුස්සයෙක් වීම. අන්න එහෙම මනුස්සයෙක්ට ආඩම්බර වෙන්න බැරි නං, වෙන කාටද ආඩම්බර වෙන්න පුළුවන්?
3. නොසැලකිල්ලට ලක් නොවීම අවශ්‍යයි!
මොකද්ද මේ නොසැලකිල්ලට ලක් වීම කියන්නේ? ඕකට ඉංග්‍රීසියෙන් කියනවා taking for granted කියලා. ඒ කියන්නේ, තමන් කෙනෙක් හෝ කට්ටියක් වෙනුවෙන් මොන හොඳක් කළත්, ඒ කවුරුත් තමන්ව ගණන් නොගැනීමට නැතිනම් නොසලකා හැරීමට. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ තමන් ඒ කෙනා හෝ ඒ අය එක්ක ඉන්නවා කියලා ඒ කෙනා හෝ ඒ අය දන්න නිසා. ආන්න එහෙම පාපිස්සක් වෙන්න නරකයි. තමන් පණට ආදරේ කරන කෙනෙක් වුණත් දිගින් දිගටම තමන්ව නොසලකා හරිනවා නම්, වහාම එතනින් ඉවත් වෙන්න ඕන. ආන්න එතකොට ඒ අයට තමන්ගේ අගය දැනෙයි.
4. නවන්න බැරි මිනිහෙක් වීම අවශ්‍යයි!
දැන් කාලේ ඉන්න ගොඩක් මිනිස්සුන්ව බොහොම ලේසියෙන් නවන්න පුළුවන්. ඇත්තටම අවශ්‍ය වෙන්නේ යම් කිසි මනුස්සයෙක්ව නවන්න අවශ්‍ය දේ මොකද්ද කියලා හොයාගන්න එක විතරයි. උදාහරණයක් විදියට කියනවා නම්, සමහරුන්ව සල්ලි වලින් නවන්න පුළුවන්. තව සමහරුන්ව බලය පාවිච්චි කරලා නවන්න පුළුවන්. තව සමහරුන්ව සෙක්ස් පාවිච්චි කරලා නවන්න පුළුවන්. තවත් සමහරුන්ව බය කරලා නවන්නත් පුළුවන්. හැබැයි හිතන්න මේ එක දේකින්වත් නවාගන්න බැරි මිනිහෙක් ගැන. ඒ කියන්නේ සල්ලි ඕන නැති, සෙක්ස් ඕන නැති, බලය ඕන නැති මනුස්සයෙක් කියන එක නෙවෙයි. ඒ දේවල් අවශ්‍ය වුණත්, කෙනෙක්ට ඒවා පාවිච්චි කරලා තමන්ට ඕන ඕන දේවල් වලට පාවිච්චි කරන්න බැරි මනුස්සයෙක් ගැන අපි මේ කියන්නේ. ආන්න එහෙම මනුස්සයෙක්ට තමන් ගැන කොයි විදියට ආඩම්බර වෙන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. ආන්න ඒකයි අපි කියන්නේ, රියල් ආඩම්බරකාරයෙක් වෙන්න ඕන නම්, කාටවත් කිසිම දේකින් නවන්න බැරි කෙලින් මිනිහෙක් වීම අවශ්‍යයි කියලා!
5. වචන දෙකක් නැති මිනිහෙක් වීම අවශ්‍යයි!
මෙන්න මේක ආඩම්බරකාරයෙක් වීමට ඉතාම වැදගත්. ඒ තමයි, බොහොම සෘජු, කෙලින් වචන තියෙන, වචන දෙකක් නැති මනුස්සයෙක් වීම. හැබැයි මතක තියාගන්න, ගොඩක් මිනිස්සු කෙලින් කතා කියලා අදහස් කරන්නේ රූඩ් වෙන එක, තව මනුස්සයෙක්ට කර්කෂ විදියට, දළදඬු විදියට සලකන එක. අපි කියන්නේ ඒක නෙවෙයි. අපි කෙනෙක්ට පොරොන්දුවක් දුන්නොත්, ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ට කිරීම, වචනයක් දුන්නොත්, ඒ වචනය අනිවාර්යයෙන්ම රැකීම. ඒ වගේම, විශ්වාස කටයුතු මනුස්සයෙක් වීමත් මෙතනට අවශ්‍යයි. ආයෙ කවුරුහරි රහසක් කිව්වත් ඒක වටේ කියන්නෙ නැතුව රැකගන්න, ගෞරවණීය මනුස්සයෙක් වෙන එක තමයි මෙතනදී කියන්නේ. මෙන්න මේ වගේ මනුස්සයෙක් වෙන එක ඇත්තටම ආඩම්බර වෙන්න කරුණක්. ඒ වගේම, එහෙම මනුස්සයෙක්ව රවුමේ ගන්නත් කිසිම කෙනෙක් සූදානම් වෙන්නෙ නෑ.
6. පස්සෙන් යෑම් නැති මිනිහෙක් වීම අවශ්‍යයි!
දැන් සමහර වෙලාවට කෙනෙක් අපිව අදාළ කර ගන්නෙ නෑ. ඒ කියන්නේ එක්කෝ ඒ මනුස්සයා අපිට කැමති නෑ. එහෙම නැතිනම් ඒ වගේ වෙන මොකක් හරි. අන්න එහෙම අවස්ථාවකදී “අනේ මාව අදාළ කරගන්නකෝ” කිය කියා පස්සෙන් යන්නේ ආඩම්බරකාරයෝ නෙවෙයි. ආන්න ඒ නිසා, තමන්ව කෙනෙක් අදාළ කරගන්නෙ නැතුව ඉන්නවා නම්, අපිට මුලින් ඒකට හේතුව හොයාගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් ක්‍රමයක් තමයි කෙලින්ම සුහදව අහලා බලන එක. හැබැයි එහෙම සුහදව අහන දේකට ප්‍රතිචාර දක්වන්නෙ නැතිනම්, එහෙම නැතිනම් දිගින් දිගටමත් නොසලකා හරිනවා නම්, ආන්න එහෙනම් තමන්ටත් පුළුවන් වෙන්න ඕන ඒ කෙනාව අදාළ කරගන්නෙ නැතුව ඉන්න.
ඕකම තමයි ඔය සමහර වෙලාවට අපේ යාළුවෝ එහෙම හේතුවක් නැතුව අපිත් එක්ක තරහ වෙනකොට, අපිව ඈත් කරලා තියන්න ට්‍රයි කරනකොටත් කරන්න අවශ්‍ය වෙන්නේ. යාළුකමේ නාමයෙන් ඇයි කියලා හොයලා බලන්න උත්සාහ කරන්න පුළුවන්. ඒකට සාර්ථක ප්‍රතිචාරයක් නැතිනම්, දිගින් දිගටම අපිව නොසලකා හරිනවා නම්, හළලාම දාන්න තමයි තියෙන්නේ!
7. අනං මනං කතන්දර නැති කෙලින් මිනිහෙක් වීම අවශ්‍යයි!
මේ කියන්නේ, ඔය අනං මනං බුල්ෂිට් නැති මනුස්සයෙක් වීම කියන එක. ඇත්තටම අපි ජීවත් වෙන්නෙම වැඩකට නැති ප්‍රලාප වලින් පිරුණු සමාජෙක. උදාහරණයක් විදියට ගත්තොත්, මනුස්සයෙක් අපිට කරලා දිය යුතු වැඩක් කරලා නැති වුණහම අපිට ප්‍රලාප කියන්න එනවා. අපි කැමති වෙන කෙල්ලෙක්ට අපි කැමතියි කිව්වොත්, ඒ කෙල්ල අපිට කැමති නැති නම් සමහර වෙලාවට අපිට ප්‍රලාප කියාගෙන එනවා. එතකොට අපේ පස්සෙන් එන කොල්ලෙක් කතාව පටන් ගන්නෙම වටේ ගිහින් ප්‍රලාප වලින්. ඉතින් ඇත්තටම ආඩම්බර මනුස්සයෙක් වෙන්න ඕන නම් මෙන්න මේ ප්‍රලාප පටන් ගන්නකොටම ඒකට නැවතීමේ තිත තියන්න පුළුවන් පෞරුෂයක් තියෙන්න ඕන. “හරි, කෙලින්ම පොයින්ට් එකට එන්නකෝ” කියලා කතාව අදාළ තැනට ගේන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි මතක තියාගන්න, මේ කියන්නේ කර්කෂ වෙන එක, දළදඬු වෙන එක නෙවෙයි. ඊට වඩා පෞරුෂත්වයක් තියෙන එක.
ඇත්තටම මේ දේවල් වලට අමතරව, හැමෝම ගෞරවයෙන් බලන අභිමානවත් මනුස්සයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැනත් අපි මීට කලින් කියලා තියෙනවා. අන්න ඒකත් කියවලා බලන්න වටිනවා!
Leave a Reply