ඇවිදීමෙන් ලැබෙන පුදුම වාසි

 

ඇවිදීම කියන්නේ ලෝකයේ ආගමික ශාස්තෲවරුන් වැඩිදෙනෙක් අනුගමනය කරපු හොඳ පුරුද්දක්. බුදුන් වහන්සේත් ගමකින් ගමකට සිය පිරිස කැටුව පයින් ගමන් කළ බව බුද්ධ චරිතයේ සඳහන් වෙනවා. මිනිසා එදා කැළේ ඉද්දි දිනකට කොහොමත් පැය කිහිපයක් ඇවිදින්න ඇති සිය ආහාර සොයාගන්න. ඉතින් ඒ විදිහට කායික, මානසික වශයෙන් වසර දාස් ගාණක් හුරුවෙලා හිටපු ඇවිදීමට අපි කාර්මික විප්ලවය එක්ක තිත, කොමාව තිබ්බා. අපි දැන් එදා තරම් සැපට ඇවිදින්නේ නැහැ. ඉතින් ඒ අවිදීමට හුරු වෙන එකෙන් තියෙන වාසි මොනවාද? අපි බලමු.

 

 

1. පියයුරු පිළිකා අවදානම අඩුවීම

පර්යේෂකයින් සොයාගෙන තියෙන ආකාරයට මොනම ආකාරයක හෝ ඇඟ වෙහෙසවන වැඩ වල නිරත වෙන අයට පියයුරු පිළිකා හැදෙන අවදානම අඩුයි. සතියට පැය 7කට වඩා ඇවිදින අයට පියයුරු පිළිකා අවදානම එසේ නොවන අයට වඩා 14%කින් අඩුවන බව ඇමරිකානු පිළිකා සංගමය සොයාගෙන තියෙනවා. මෙලෙස පියයුරු පිළිකා අවදානම අඩු වෙනවා සේම ඇවිදින එකෙන් කාන්තාවන්ට අධි බර වීම නිසා ඇතිවෙන බෝ නොවන රෝග වලිනුත් සහනයක් ලැබෙනවා.

 

 

2. සීනි අඩුවීම

විනාඩි 15ක් ඇවිදින ගමන් චොකලට් කෑම මානසික පීඩනය තියෙන වෙලාවක චොකලට් කෑමට වඩා සිරුරට හිතකරයි. ඒ කියන්නේ චොකලට් වල තියෙන අහිතකර සීනි හොඳින් සිරුරට එකතු වන්නට මේ ඇවිදීම වැදගත් වෙනවා. මේ පර්යේෂණය අනුව චොකලට් වලට පමණක් නෙමෙයි, අනෙකුත් පැණිරස කෑම ජාති ආහාරයට ගන්නකොටත් ඇවිදීම මගින් අනවශ්‍ය සීනි ඇතිවීම පාලනය කරගන්න පුළුවන් බව එංගලන්තයේ එක්සිටර් සරසවියේ පර්යේෂණ වලින් අනාවරණය වුණා.

 

 

3. සන්ධි රිදීම අඩු වීම

වයසට යෑමත් එක්ක එන හන්දිපත් රුදාව අපේ වැඩිහිටියන්ට පොදු ලෙඩක්. දිනකට සැතපුම් 6කට වඩා ඇවිදින අයට ආතරයිටීස් මූලික වන සංධි වේදනා වලින් ගැලවීමක් ලැබෙනවා. දණහිස සහ උකුල් සංධියේ ඇතිවෙන දුබලතා නිසා වේදනාවට පත්වීමත් ඇවිදින අයට අඩුයි. මොකද හොඳට ඇවිදින විට මාංශපේෂි ශක්තිමත් වෙනවා. අස්ථි නිසි පරිදි ක්‍රියාකරන විට අස්ථි ගැටෙන සංධිවල ශක්තිය වැඩි වෙනවා. හන්දිපත් ලෙඩ ඇතිවිට නිතරම තෙල් බේත් ආලේප, වේදනානාශක පාවිච්චි කරමින් කල් ගතකරන්නේ නැතිව ටිකෙන් ටික ඇවිදීමට පුරුදු වුණොත් එයින් ලොකු සහනයක් අතපය වලට ලැබේවි.

 

 

4. ප්‍රතිශක්තිය වැඩි වීම

මේ දිනවල කොවිඩ් වලට එරෙහිව ඇතිවෙන ප්‍රතිශක්තිය ගැන හැමෝම කතා වෙනවා. අපි හොදින්ම දන්නා පරිදි කොවිඩ් අසාදනය වී, වෙනත් නිධන්ගත රෝග තිබිලා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලයෙන් අඩු වුණොත් අපිට ඉක්මනින්ම කොවිඩ් වැළඳෙනවා. ඒ වගේම වැළඳුනාම ඒ වගේ අයට අමාරු වෙන්න, මිය යන්න තියෙන හැකියාවත් වැඩියි. ඇමරිකාවේ මිනිසුන් 1000කට වැඩි පිරිසක් සහභාගී කරගෙන පරීක්ෂණයක් කළා. විනාඩි විස්ස බැගින් සතියට දින පහක් ඇවිදින අයට එසේ නොවන අයට වඩා ඒ රටේ වින්ටර් ෆ්ලූ නැතිනම් ශීත ඉන්ෆ්ලුවෙන්සාව වැළඳෙන්න තිබෙන අවදානම අඩු බව එමගින් සොයාගෙන තියෙනවා.

 

 

5. සිරුරේ බර පාලනය

12,000ක් පිරිස සහභාගි කරගෙන කරන ලද පරීක්ෂණයකින් දිනකට පැයකට වඩා ඇවිදින අයට එසේ නොවන අයට වඩා බර පාලනය කරගන්න ලේසි බව සොයාගෙන තියෙනවා. මේ බර වැඩි වෙන්නත් අපේ සිරුරේ පද්ධති වල හැසිරීම බලපානවා. ඇවිදීම තුළින් ලැබෙන ව්‍යායාම තත්ත්වය නිසා බර වැඩිවීමේ ක්‍රියාවලිය ඇණ හිටින බව ඔවුන් නිරීක්ෂණය කර තිබුණා.

 

 

6. මානසික සහනය

ඇවිදීම කොහොමත් මනසට හොඳ ව්‍යායාමයක් බව අපිට දැනෙනවා. ඒක පර්යේෂණ වලිනුත් සනාථ කරගෙන තිබෙනවා. වැඩකරන විට ඇතිවෙන ආතතිය වගේම භින්නෝන්මාදය, උන්මාදය වගේ මානසික රෝග වලින් ගැලවෙන්නත් මේ ඇවිදීම වැදගත් වෙනවා. සමාජීය අවස්ථාවලදී ඇතිවෙන සබකෝලය අඩුවෙනවා වගේම ඇවිදීම තුළින් තමුන්ගේ අභිමානයත් වැඩිවෙන බව සොයා​ගෙන තියෙනවා. අවස්ථාවක් ලෙස ගත්තාම ඇවිදීම කියන්නේ අපිට අපේ ඇස් දෙකට, ඇඟට, කණට අලුත් අත්දැකීම් ලැබෙන දෙයක්. ඉතින් ඒකාකාරී අත්දැකීම් වලින් මිරිකිලා ඉද්දි ඇවිදින එක කොයි අතින් බැලුවත් අපේ මනසට සවියක් වෙනවා.

 

 

7. නිර්මාණශීලී හැකියාව වැඩිදියුණු වීම

මිනිස්සුන්ට වැඩිපුර නිර්මාණශීලී අදහස් එන්නේ හාන්සිවෙලා, ඇඳට වෙලා කෝපි එකක් බොනකොට කියලා පිරිසක් හිතනවා. ඒත් ඒක වැරදියි. දැනට කර ඇති පරීක්ෂණ අනුව අපි වාඩිවෙලා හෝ නිදාගෙන ඉද්දීට වඩා ඇවිදිනකොට, විශේෂයෙන් එළියේ අවිදිනකොට අපිට අලුත් අලුත් දේවල් කල්පනාවට එනවා. මෙය තවත් එක අදහසක් පමණක් නෙමෙයි, පර්යේෂණාත්මකව සනාථ කරපු දෙයක්.

 

කොවිඩ් හදාගෙන ගම වටේ හැම තැනම ඇවිදින අරුම පුදුම චරිත ගැන නම් පහුගියදා අපිට නිතර අහන්නට ලැබුණා. ඒ ඇවිදීම වැරදියි. ඒත් නිතරම වාහන හෝ යන්ත්‍ර මතම යැපෙන්නේ නැතිව නිතර ඇවිදින එක සිරුරට වගේම මනසටත් බොහෝ වැදගත් ව්‍යායාමයක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *