දන්නවනේ මේ දවස් වල ඔය රැවුල වවන ෆැෂන් එකක් තදටම කොල්ලෝ අතරේ තියෙනවා කියලා. ඒකට හේතුව රැවුල ගාණට නීට් එකට වැවුවහම කොල්ලෙක්ට එන හොඳ පෙනුම විතරක් නෙවෙයි. හොඳට මේන්ටේන් කරපු රැවුලක් එක්ක හොඳ පෙනුමක් තියෙන කොල්ලෙක්ට සාමාන්‍යයෙන් ගොඩක් කෙල්ලොත් මැරෙන්න යනවනේ. ඒකත් දැන් කාලේ මේ රැවුල්කාර විලාසිතා ජනප්‍රිය වෙන්න හේතුවක් වෙන්නැති.
කොහොම වුනත් රැවුල වවන එකේ විශේෂ කතන්දරයක් තියෙනවා. ඒ තමයි වාරෙටයි අවාරෙටයි වැවුණු ඝන ඉලුක් යායක් වගේ ඔහේ රැවුල වැවෙන්න දුන්නට වැඩක් නෑ. රැවුලට හොඳ ගෘමින් පාරක් දීලා, ගාණට ට්‍රිම් කරලා, පිරිසිදුවට, කොලිටියට තියාගන්න ඕන. අන්න එතන තමයි රැවුලේ රහස තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි වුනත් ඉතින් ඔය රැවුල ගාණට ට්‍රිම් කරගන්න වැඩේට යන්නෙ සැලුන් අයියා හොයාගෙන තමා. ඒත් ඉතින් මේ කොරෝනා හින්ද ඇඳිරි නීතිය තියෙන කාලෙට තමයි මතක් වෙන්නේ, රැවුල ගාණට ට්‍රිම් කරගන්න එක අපිටම කරගන්න පුළුවන් වුනා නම් කොයි තරම් ලේසිද කියලා. ඇත්තටම වැඩේ අමාරු නෑ. අපි බලමු පිළිවෙලට කොහොමද වැඩේ ගොඩදාගන්නේ කියලා.
1. ට්රිමර්ද ක්ලිපර්ද ෂේවර්ස්ද රේසර්ද?
සාමාන්‍යයෙන් මේ ගෘමින් උපකරණ වලට ආධුනික කෙනෙක්ට බැලූ බැල්මට පේන්නේ මේ හැම එකකින්ම කෙරෙන්නේ එකම කාරණාව කියල තමයි. හැබැයි ඇත්තටම එහෙම නෑ. හරි, මුල ඉඳලා පටන් ගමුකෝ.
රේසරෙන් කෙරෙන්නෙ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. රේසරෙන් කරන්නේ ගාණට මුළු රැවුලම මූණෙන් කපලා දාන එක. ආයෙ රැවුල් කොටවත් ඉතුරු වෙන්නෙ නෑ රේසර් එකක් පාවිච්චි කළහම. හැබැයි ඉතින් රැවුලක් මේන්ටේන් කරන්න තනිකරම රේසරේ පාවිච්චි කරලා බෑ. ඒකට ෂේවර් එක පාවිච්චි කරලත් බෑ. මොකද ෂේවර් එකෙන් කරන්නෙත් රේසරෙන් කරන වැඩේම, ඊට වඩා ආරක්ෂිත විදියට. ෂේවර් එකෙනුත් සියේට සීයක් රැවුල අයින් කරලා දෙනවා.
ක්ලිපර්ස් කියන්නේ ට්‍රිමර්ස් වගේ, හැබැයි විශාල වශයෙන් කෙස් ඉවත් කරන උපකරණයකට. සැලුන් එකේ අයියා අපේ කොණ්ඩේ කපන්න පාවිච්චි කරන්නේ ඔන්න ඔය ක්ලිපර් එක තමයි. සමහර වෙලාවට සමහරු ට්‍රිමර් එක වගේම ක්ලිපර් එකත් පාවිච්චි කරගන්නවා රැවුල නීට් කරගන්න. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත.
ඔන්න කතන්දරේ, ට්‍රිමර්ස්. ට්‍රිමර්ස් තමයි හරියන්නේ රැවුල සම්පූර්ණයෙන්ම මූණෙන් ඉවත් කරන්නේ නැතුව, රැවුල ගාණට කපාගන්න සහ පවත්වා ගන්න. දැන් පැහැදිලියිනේ.
2. කොයි ජාතියේ ට්‍රිමර් එකක්ද?
ඔව්, මේකත් වැදගත් කාරණාවක්. ට්‍රිමර් එකක් ගන්නකොට එකක් සැළකිලිමත් වෙන්න ඕන ප්‍රඩක්ට් කොලිටිය. මොකද, සාමාන්‍යයෙන් ඔය බාල ට්‍රිමර් ඕන තරම් දැන් වෙළඳපොලේ ගන්න තියෙනවා. හැබැයි ඒවැයින් කොලිටියට රැවුල කපාගන්න නම් බෑ. අපි නම් කියන්නේ දන්න කියන බ්‍රෑන්ඩ් එකකින්ම ට්‍රිමර් එකක් ගන්න කියලා තමයි. ගාණ පොඩ්ඩක් වැඩි වුනත් එතකොට භාණ්ඩේ ෂුවර්.
දෙවෙනියට, සමහර ට්‍රිමර්ස් වල අර බ්ලේඩ් වලට උඩින් තියෙන කෝම්බ් අයින් කරන්න පුළුවන්. එතකොට අපිට කපන්න ඕන ලෙන්ත් එක හදාගන්න වෙන්නේ එහෙම මාරු කරන්න පුළුවන් කවර්ස් වලින් තමයි. මේවා සමහර වෙලාවට මිලිමීටර් එකක දෙකක දිගක ඉඳලා මිලිමීටර් විස්ස විසිපහ වගේ දිගක් දක්වා සයිස් වලින් එනවා.
එතකොට තව සමහර ට්‍රිමර්ස් වල වැඩිපුර කවර එන්නෙ නෑ. හැබැයි ට්‍රිමර් එකේ බොඩි එකෙන්ම කපන දිග ප්‍රමාණේ ඇජස්ට් කරන්න පුළුවන් විදියේ කොන්ට්‍රෝලර් එකක් තියෙනවා. ඒකෙන් අර බ්ලේඩ් එකේ උස එහා මෙහා වෙනවා. මේ වගේ එකක තියෙන වාසිය තමයි, මිලිමීටර් 0.5 න් 0.5 ට වගේ ලෙන්ත් එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට වඩාත් සූක්ෂම විදියේ බියර්ඩ් ස්ටයිල්ස් වලට වුනත් යන්න පුළුවන්.
3. අමතරව ලඟ තියෙන්න ඕන දේවල්
සාමාන්‍යයෙන් ඔය රැවුල මේන්ටේන් කරන හාදයෙක් ගාව තියෙන්න ඕන දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔය රැවුල හෝදන ෂැම්පු, බියර්ඩ් ඔයිල් වලින් පටන් ගත්තහම පුළුල් දැති තියෙන පනාවක්, ඊට අඩු දැති තියෙන පනාවක්, බ්‍රෂ් එකක්, හෑන්ඩ් මිරර් එකක් වගේ දේවල් රැවුල වවන හාදයෙක්ට ප්‍රයෝජනවත්.
දැන් මේ රැවුල ට්‍රිම් කරන වැඩේටත් එහෙම දේවල් ටිකක් ඕන වෙනවා. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ට්‍රිමර් එක තියෙන්න ඕන කියලා. ඊට පස්සේ ඕන නම් හොඳ රේසර් එකකුත් තිබ්බට කමක් නෑ, ඔය ලයින් ටික එහෙම ගාණට හදාගන්න. ඒක ක්ලිපර් එකකින් කරගන්නත් පුළුවන්. පුළුල් දැති තියෙන පනාව මේ වැඩේට අනිවාර්යයි. එතකොට අර නැචුරල් බ්‍රිස්ට්ල් බ්‍රෂ් කියලා කියන පන්නයේ බ්‍රෂ් එකකුත් ලං කරලා තියාගන්න එක වටිනවා.
එතකොට මූණ පිහිදාන්න පිරිසිදු තුවායක්, හොඳට පැහැදිලිව මූණ පේන කණ්ණාඩියක්, හොඳ ආලෝකමත් තැනක් සහ රැවුල් කොට වැටෙන ඒවා එකතු වෙන්න එලාගන්න තුවායක් හරි පත්තර පිටුවක් හරිත් ඕන වෙනවා.
4. පිළිවෙලට පටන් ගමු එහෙනම්
පළවෙනි පියවර රැවුල හොඳින් හෝදාගන්න එක. බියර්ඩ් ෂැම්පු එකක් එහෙම දාලා රැවුල හොඳට හෝදගෙන, තෙත මාත්තු කරගත්තට කමක් නෑ,. ඊට පස්සේ පුළුවන් පුළුල් දැති තියෙන පනාව අරගෙන රැවුල හොඳින් පීරගන්න. මෙතනදී රැවුල පීරන එකේ තියෙන ප්‍රධාන අරමුණක් තමයි අර රැවුල් කැරලි හොඳින් දිගහැරෙන්න දීලා, අවුල් කඩාගන්න එක. අවුල් කඩනවා කියන්නේ අර රැවුල ගැට ගැට ගැහිලා තියෙන ඒවා හොඳින් දිග අරින එක. හොඳටම රැවුල ක්ලියර් වුනා කියන්නේ, උඩ ඉඳලා පහළට පීරනකොට පනාව බබා වගේ පහළට එනවා කියන එක. කොතනකවත් හිර වෙවී පහළට එන්නෙ නෑ එතකොට.
ඊට පස්සේ ඔය ෆුල් ඉලුක් ගාල වගේ වැවිලා තියෙන රැවුලක් නම්, පොඩ්ඩක් ඒක පිළිවෙලක් කරගන්න පුළුවන්. ඒකට ක්ලිපර් එකක් පාවිච්චි කළොත් තමන්ටම කරගන්න පුළුවන්. හැබැයි මෙතනදී කරන්න ඕන රැවුල අතරින් ක්ලිපර් එක යවන එක නෙවෙයි. රැවුලේ සීමාව දිගේ ගාණට පහළට අරගෙන එන එක උඩ ඉඳලා. හැබැයි ඒකට පොඩ්ඩක් අත වෙවුලන්නෙ නැති වෙන්න ඕන. ක්ලිපර් එකක් නැතිනම්, වෙන කාට හරි කියලා එහෙම එහෙන් මෙහෙන් පැනලා තියෙන රැවුල් ගස් කතුරකින් ගාණට කපාගන්න පුළුවන්. මේක පොඩ්ඩක්වත් අමාරු වැඩක් නෙවෙයි, අමාරුයි වගේ පෙනුනට. මොකද, මෙතනදී රැවුල අතරට ගිහින් කපන්න දෙයක් නැති නිසා.
ඊට පස්සේ ආයෙමත් තව එක පාරක් රැවුල පීරලා ගන්න ඕන. දැන් තියෙන්නේ පොඩ්ඩක් ආටිස්ටික් වැඩක්. ඒ කියන්නේ තමන්ට ඕන රැවුල් විලාසිතාව ට්‍රිමර් එකෙන් හරිගස්ස ගන්න එක. උදාහරණයක් විදියට දෙපැත්තෙන් අඩු වෙලා, පහළට වැඩි ස්ටයිල් එකක් ඕන නම්, අපිට පුළුවන් ට්‍රිමර් එකේ අවශ්‍ය අඩු දිගකට සෙටින්ස් හදලා දෙපැත්තෙන් ගාණට පහළට අල්ලගෙන එන්න. ඉන් පස්සේ දෙපැත්තෙන් පහළට ට්‍රිම් කරන්න වැඩි දිගකට ට්‍රිමර් එක සෙට් කරගෙන ගාණට අරගෙන යන්න පුළුවන්. ගොඩක්ම දිග රැවුලක් නම්, ගාණට සම්පූර්ණයෙන්ම ට්‍රිමර් එක රැවුල අතරට ගෙනියන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට විතරක් රැවුල දිගේ අරගෙන යන්න ඕන.
දැන් මෙහෙම ස්ටයිල් එක හදාගත්තට පස්සේ කම්මුල් දිගේ ලයින් එක සහ බෙල්ල දිගේ ලයින් එක හදාගන්න ඕනනේ. ඒකට ට්‍රිමර් එකේ අඩුම දිගට සෙටින්ග්ස් හදලා රැවුලේ ඕන තැන ඉඳන් රැවුල නැති පැත්තට සුමටව ඇදලා, ඒ විදියටම ට්‍රිමර් බ්ලේඩ් එක ඉවර වෙන තැන ඉඳන් ආයෙමත් පහළට ඇදගෙන ගිහිල්ලා ලයින් එක ගහගන්න පුළුවන්. ඉන් පස්සේ රේසර් එකෙන් හරි ක්ලිපර් එකෙන් හරි පුළුවන් ඒ ලයින් එකෙන් එහාට ෆුල් ෂේව් එකක් දාගන්න.
ඕන නම් මේ යූටියුබ් වීඩියෝ එකත් පොඩ්ඩක් බැලුවට කමක් නෑ විස්තරාත්මකව උඩ කියපු දේවල් ටික තේරුම් ගන්න.
5. ප්‍රයෝජනවත් ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්
ඇත්තටම දැන් කාලේ තියෙන කෝඩ්ලස් -ඒ කියන්නේ රීචාර්ජබල් ට්‍රිමර් එකක්- ගන්න එක සෑහෙන්න වාසියි. සරලවම ගත්තොත් වයර් එක්ක වදයක් නෑ. විශේෂයෙන්ම ඔය වයර් එක තියෙන ක්ලිපර් එකකින් එහෙම රැවුල අඩු කරන කෙනෙක්ට තේරෙයි ඒකේ වයර් එක කොයි වගේ ඇණයක් වෙනවද කියලා.
එතකොට ඔය ට්‍රිම් කරන වැඩේ පටන් ගන්න කලින් රැවුල හෝදන එක හොඳයි කියලා අපි කිව්වනේ. හැබැයි හෝදලා වෙනද වගේ බියර්ඩ් ඔයිල්, බියර්ඩ් බාම් අනං මනං ඔක්කොම ගාලා ට්‍රිම් කරන්න සෙට් වෙනවට වඩා හොඳයි, හේදුවට පස්සේ වෙන මොකුත් නොකර රැවුල ට්‍රිම් කරගෙන ඉන්න එක. හැබැයි හෝදලා ෂැම්පු කරලා ආයෙ හෝදලා තෙත මාත්තු කරගෙන ආවට කමක් නෑ.
ඔය සමහර ට්‍රිමර්ස් වල තියෙනවා වෙට් ට්රිමින්ග් සහ ඩ්‍රයි ට්රිමින්ග් කියන දෙකටම ඕකේ කියලා. ඒ වෙට් ට්රිමින්ග් කියලා කියන්නේ ෂේවින් ක්‍රීම් එකක් එහෙම ගාලා තෙත පිටින් වුනත් ට්‍රිම් කරන එක අවුලක් නෑ කියලා. එතකොට ඩ්‍රයි ට්රිමින් කියන්නේ මොකද්ද කියලා තේරෙනවනේ.
වැඩේට අත ගහන්න කලින් තමන්ට ඕන බියර්ඩ් ස්ටයිල් එක මොකද්ද කියන එක හොඳට අවබෝධ කරගෙන, ඒක පොඩ්ඩක් බලලා ඉන්න. ඔව්, ඕන නම් ඔන්ලයින් ගිහින් සර්ච් කරලා, යූටියුබ් එකේ බලලා එහෙම තමන්ගේ මූණට හරියන ස්ටයිල් එක තෝරගන්න පුළුවන්. ආන්න ඊට පස්සේ ඒකට අනුව රැවුල ට්‍රිමර් එකෙන් හැඩගස්වගන්න ඕන.
මතක තියාගන්න, ට්‍රිමර් එක හැමවෙලාවෙම අරගෙන යන්න ඕන උඩ ඉඳන් යටට. එතකොට රැවුලේ යටිපැත්තට එනකොට බෙල්ල පැත්තේ ඉඳන් එලියට.
6. ක්ලීන් කරගන්නේ කොහොමද?
ඔය සාමාන්‍ය රේසර් වලින් රැවුල කැපුවට පස්සේ, එව්වා ක්ලීන් කරන්න තියෙන අමාරුව දන්නවනේ. ඉතින් ට්‍රිමර්ස් වුනත් එහෙම තමයි, නිරන්තරයෙන් රැවුල කපන හැම වාරයකදීම ක්ලීන් කරගත්තේ නැතිනම්. දැන් එන ගොඩක් ට්‍රිමර්ස් වතුරෙන් හේදුවට අවුලක් නැති එව්වා. එතකොට ට්‍රිමර් බ්ලේඩ් එකත් ගලෝලා හොඳින් පිරිසිදු කරගන්න පුලුවන්. එතකොට තව ට්‍රිමර්ස් වර්ග එක්ක එනවා පොඩි බුරුසුවක් එහෙම. ඒකෙන් පුළුවන් ට්‍රිමර් බ්ලේඩ් වල අහුමුළු වලටත් ගිහිල්ලා හොඳට පිරිසිදු කරගන්න. එහෙම බුරුසුවක් නැතත් වෙනම පොඩි බුරුසුවක් එහෙම අරගෙන තියාගන්න එක හොඳයි ට්‍රිමර් එක ක්ලීන් කරන්න. එතකොට ඔය ට්‍රිමර් බ්ලේඩ් වලට තෙල් ටිකක් එහෙම දැම්මට කමක් නෑ. මේ විදියේ ඔයිල් එහෙමත් සමහර ට්‍රිමර් සෙට් එක්කම එනවා. එහෙම නැතිනම් ඉතින් පිරිසිදු මැෂින් ඔයිල් ටිකක් දාලා, ටිකක් වෙලා ට්‍රිමර් එක රන් වෙන්න ඔන් එකේ තියලා තිබ්බට කාරි නෑ!
7. ගන්න තියෙන්නේ කොහෙන්ද?
ආන්න හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඕනම ටවුමකින් වගේ බියර්ඩ් ට්‍රිමර් එකක් ගන්න පුළුවන් කඩයක් හොයාගන්න බැරි නෑ. පිටකොටුවෙත් තියෙනවා. හැබැයි අපි යෝජනා කරන්නේ තමන් කැමති හොඳ බ්‍රෑන්ඩ් එකකින් එන බියර්ඩ් ට්‍රිමර් එක, ඒ බ්‍රෑන්ඩ් එකේ අලෙවි නියෝජිත වුණු තැනකින් ගන්න කියලා තමයි. උදාහරණයක් විදියට කිවුවොත්, ෆිලිප්ස් ට්‍රිමර්ස් ගන්න පුළුවන් අබාන්ස් එකෙන්, සිංගර් එකෙන්, දිනපාල එකෙන් එහෙම. එතකොට පැනසොනික් ට්‍රිමර්ස් ගන්න පුළුවන් සොෆ්ට්ලොජික්ලගෙන් එහෙම. ඒ ඇරෙන්න ඔය ඉලෙක්ට්‍රිකල් උපාංග විකුණන, හොඳ වොරන්ටියක් දෙන වෙනත් ඕනම තැනකින් වුනත් හොඳ ට්‍රිමර් එකක් තෝරලා ගන්න පුළුවන්.
හොඳම දේ තමයි ගියා ගත්තා ආවා නැතුව, පොඩ්ඩක් තැන් කීපෙකට කතා කරලා ට්‍රිමර්ස් වර්ග, මිල ගණන්, විස්තර එහෙම අහගෙන එව්වා සංසන්දය කරලා බලන එක.
Leave a Reply