අද ලයිෆි වෙතින් ඔයාලාට කියලා දෙන්නෙ සැලෝන් එකකට නොයා ගෙදරදීම අත් හා දෙපා අලංකාර කරගන්න හැටි. පුංචි පියවර කීපයක් අනුගමනය කරල අඩු වියදමින් ලස්සනට ඉන්න කැමති හැමෝම එන්න බලන්න මේ පැත්තට.
1. මෙනිකියු හෙවත් අත් අලංකාර කිරීම
-
අත් හොඳින් පිරිසිදු කරගන්න
ක්ලෙන්සර් එකක් යොදාගෙන අත් හොඳට පිරිසිදු කරගන්න. පරණ ගාපු කියුටෙක්ස් තියෙනව නම් ඒවා රිමූ කරගන්න. මේකට හොඳ බ්‍රෑන්ඩඩ් රිමූවර් එකක් යොදාගන්න. බාල වර්ග වලින් රිමූ කරලා නියපොතු කහ කරගන්නෙ මොකටද.
-
නියපොතු ටික පිළිවෙලක් කරගන්න
නියපොතු එක ගාණකට පිළිවෙලට කපාගන්න. මේකට කතුර පාවිච්චි කරනවට වඩා නේල් කටර් එකක් යූස් කරනවනම් ගොඩක් හොඳයි.
-
කැපූ නියපොතු වල විෂබීජ නැති කරගන්න
සාමාන්‍ය රස්නෙ වතුරට ඩෙටෝල් ටිකක් දියකරගෙන නේල් බ්‍රෂ් එකකින් නියපොතු ටික මැදගන්න. අත් දෙකම තුවායක් ආධාරයෙන් තෙතමාත්තු කරගන්න.
මේකෙදි තව දෙයක් කියන්න ඕනෙ. අපේ ගෘහණියෝ කුස්සියෙදි නිතරම වතුර පාවිච්චි කරලා අත පිහිදගන්නෙ නෑ. ඇඟිලි පුරුක් අතර වතුර රැඳිලා ඒවා කලු වෙන්න බලපාන ප්‍රධානම හේතුව මේක තමයි.
-
කියුටිකල් වලට සත්කාර කරන්න
කියුටිකල් ක්‍රීම් එකක් මඟින් කියුටිකලය හොඳින් මසාජ් කරගන්න. කියුටිකල් මසාජ් ක්‍රීම් වෙළඳපොළෙන් විවිධ බ්‍රෑන්ඩ් වලින් ගන්න තියෙනවා.
කියුටිකල් පුෂර් එකක් ආධාරයෙන් කියුටිකල් එක පිටිපස්සට තද කරලා රවුමට හදාගන්න. ඒ වගේම කියුටිකල් කටර් එකෙන් අනවශ්‍ය කොටස් කපාගන්න. ඒ වගේම ඔරේන්ජ් වුඩ් ස්ටික් එකෙන් නියපොතු ඇතුළ සුද්ද කරගන්න.
මෙනිකියු එකක් කරනකොට ඕනවෙන මෙනිකියු ටූල් සෙට් එකේ මේ ඔක්කොම උපකරණ අඩංගු වෙලා තියනවා. සුළු මුදලකට ඒකක් ගන්න පුළුවන්.
-
දැන් ස්ක්‍රබ් කරන්න
අත් දෙකට සුදුසු ස්ක්‍රබ් එකක් ගාලා විනාඩි 5ක් විතර තියලා ස්ක්‍රබ් කරන්න.
මෙනිකියු එකක් කරනකොට මාසෙකට වතාවක් විතර මේ ස්ක්‍රබ් එක කරන්න අමතක කරන්න එපා.
ආමන්ඩ් කුඩු, අරළු කුඩු, නෙල්ලි කුඩු, වැල්මදටිය කුඩු සම සමව අරගෙන එළකිරි/ මී කිරි හෝ යෝගට් එක්ක කලවම් කරලා අත් දෙකේ ආලේප කරල රවුමට ඇඟිලි තුඩු වලින් ස්ක්‍රබ් කරගන්න.
-
පැක් එකක් දාගන්න
අත් දෙක සෝදලා අරන් පැක් එකක් දාලා විනාඩි 20ක්වත් තියන්න. මේක නම් සතියකට වතාවක් කළත් කමක් නෑ.
අමුක්කරා කුඩු, වැල්මී කුඩු, රත් හඳුන් කුඩු, ඉරමුසු කුඩු සමව ගෙන එළකිරි/ මීකිරි හෝ යෝගට් එක්ක කලවම් කරලා අත් දෙකේ ගාලා විනාඩි 20-30ක් තියලා හෝදලා අරින්න.
බිත්තර කහමද 1කට පිරිසිදු එළඟි තෙල් මේස හැන්දක් දාලා ඒකට තල තෙල් මේස හැඳි 1ක් එක්ක මී පැණි බිංදු 8 ක් දාලා හොඳට කලවම් කරලා අත් දෙකේම ගාලා විනාඩි 20-30කින් හෝදන්න.
-
අවසන් අදියර මෙහෙමයි
මසාජ් ක්‍රීම් එකක් අරගෙන අත් දෙක හොඳට මසාජ් කරගන්න.
මසාජ් ක්‍රීම් වර්ග වෙළඳපොළෙන් ඕනතරම් හොයාගන්න පුළුවන්. ඒ වගේම එක අතක් මසාජ් කරලා අනෙක් අත මසාජ් කරලා ඉවර වෙනකල් මසාජ් කරපු අත ටවල් එකකින් ඔතල තියාගන්නත් අමතක කරන්න එපා හොඳේ.
ලා රස්නෙ වතුරෙන් තෙමල මිරිකපු ටවල් එකකින් අත් දෙක පිහදගෙන අත් දෙකේම සන්ක්‍රීම් හා මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කරගන්න.
2. පෙඩිකියු හෙවත් දෙපා අලංකාර කිරීම
-
දෙපා පිරිසිදු කරගන්න
ශැම්පු හා ඩෙටෝල් මිශ්‍ර වතුරෙ කකුල් දෙක මිනිත්තු 10ක් පමණ දමා සිටින්න.
නේල් බ්‍රශ් එකකින් නියපොතුද, පමිස් ස්ටෝන් එකකින් විළුඹ ප්‍රදේශය ද මැදගන්න. මේ පමිස් ස්ටෝන් එකක් සැලොන් එකකින් හරි රූපලාවණ්‍ය බඩු අලෙවි කරන තැනකින් හරි ගන්න පුළුවන්.
පිරිසිදු ජලයෙන් කකුල් සෝදා තුවායකින් පිසගන්න.
පරණ කියුටෙක්ස් රිමූ කර නේල් කටර් එකකින් ලස්සනට කපාගන්න.
-
නියවල කියුටිකල් වලට සත්කාර කරන්න
කියුටිකල් ක්‍රීම් එකක් ආලේප කර මසාජ් කරගන්න. කියුටිකල් ටූල් එක මඟින් කියුටිකලය පිටුපසට තල්ලු කරන්න. ඒත් මෙනිකියු වල වගේ කියුටිකලය කපන්න එපා.
-
ස්ක්‍රබ්, පැක් සහ මසාජ් කිරීම කරන්න
ස්ක්‍රබ් එක ආලේප කර විනාඩි 5ක් විතර ස්ක්‍රබ් කරන්න.
තෙත මිරිකූ ටවල් එකකින් පිහදගෙන පැක් එක දාගන්න. අත් වලට පාවිච්චි කළ ස්ක්‍රබ් සහ පැක් මේ සඳහාත් යොදාගන්න පුළුවන්.
ඊට පස්සෙ මසාජ් ක්‍රීම් එකකින් හොඳට මසාජ් කරගන්න. මසාජ් ක්‍රීම් එක මද උණුසුම් ටවල් එකකින් ඉවත් කරගන්න.
මොයිශ්චරයිසර් ක්‍රීම් හෝ සන්ස්ක්‍රීම් ගාන්න.
-
නිය අලංකරණය
බේස් කෝඩ් එක ආලේප කරගෙන වියලෙන්නට අරින්න.
නිය ආලේපන භාවිතා කරනකොට බ්‍රෑන්ඩඩ් ඒවා අරගන්න මතක තියාගන්න. නිකරුණේ නියපොතු සවුත්තු කරගන්න ඕනේ නෑනෙ බාල ඒවා ගාලා.
සුදුසු පාටකින් නේල් පොලිශ් එක ගාලා ඒක වේලුනාම ටොප් කෝඩ් එක ගාගන්න. කැමති විදියේ නේල් ආර්ට් එකක් කරගන්නත් පුළුවන්.
3. අත් දෙක ලස්සනට තියාගන්න අපෙන් පුංචි ටිප්ස් කීපයකුත් මෙන්න.
- දෙහි කැබැල්ලක් සතියකට වතාවක් විතර නිය මත ඇතිල්ලීමෙන් නියපොතු පිරිසිදු කරගන්න වගේ දීප්තිමත් බවක් ලබාගන්න පුළුවන්.
- මද උණුසුම් වතුරට ජෙලටින් ටිකක් දියකර ඒ මත නියපොතු දාගෙන සිටීමෙන් නියපොතු පහසුවෙන් කැඩී යන ගතිය අඩු කරගන්න පුළුවන්.
- මද උණුසුම් වතුරේ පොඟවාගත් දෑත් තල තෙල් වලින් මසාජ් කිරීමෙන් දෑත් වල වියළි ස්වභාවය නැති වෙනව. සතියට වතාවක්වත් මේක කරන්න.
- මද උණුසුම් වතුරට තල තෙල්, ලෙමන් සුගන්ධ තෙල්, ආමන්ඩ් තෙල් බිංදු 4 බැගින් දාලා ඒ වතුරේ නියපොතු දමා සිටින්න.
- මද උණුසුම් වතුරට දෙහි බිංදු කීපයක් දමා එම වතුරේ නියපොතු දමා සිටින්න.
Leave a Reply