මුහුණට ආලේප කරන්න ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් ටෝනර් වර්ග 7ක්

පහුගිය දවසක අපි කතා කළා ගෙදරදීම සරලව Cleanup එකක් කරගන්න විදිහ ගැන. සැලෝන් එකකට ගිහින් මේ සත්කාරය කරගන්න යන අධික වියදම සහ කාලය හිඟකම නිසා මුහුණට ලැබෙන්න ඕන සත්කාර නොකර ඉන්න අවශ්‍ය නැහැ කියලා ඒක කියවපු හැම කෙනෙකුටම තේරෙන්න ඇති. හැබැයි මේ cleanup ඒක කරගනිද්දී අපිට ඕනවෙන scrub, toner, face pack වගේ නිෂ්පාදන කිහිපයක් තියෙනවා. ඒ අතරිනුත් අපි මුහුණට සුදුසු ෆේස් පැක් ගැන මීට කලින් කතාකළා මෙන්න මේ ලිපියෙන් 

ගෙදරදීම හදාගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් (Face Packs) 7ක්

 

අද මේ කතා කරන්න යන්න cleanup එකේදී වගේම එදිනෙදා ජීවිතයේදීත් අපිට වැදගත්වෙන මුහුණට ආලේප කරන්න සුදුසු ටෝනර් වර්ග කිහිපයක් ගෙදරදීම හදාගන්න හැටි. හරිම සරලයි වගේම වියදමත් බොහොම අඩුයි. අනික ස්වභාවික ද්‍රව්‍ය නිසා ශරීරයට අහිතකර වෙන්නෙත් නැහැ. 

ටෝනර් එකක් කියන්නෙ මොකක්ද කියල සරලව කිව්වොත් ඒක මුහුණ පිරිසිඳු කරගත්තට පස්සේ වැඩි ආරක්ෂාවට ආලේප කරන දියරමය ආලේපනයක්. මුහුණ පිරිසිඳු කරන්න අපි යොදාගන්න ක්ලේන්සර් සහ ස්ක්රබ් වර්ග ආලේපයේදී මුහුණේ සම මත තියෙන අපේ පියවි ඇසට නොපෙනෙන ඉතාම කුඩා සිදුරු විවෘත වෙනවා. ඒවා විවෘත වෙලා ඒ තුළ තියෙන කුණු, දුහුවිලි පිරිසිඳු වෙලා ඉවතට ගියාට ඒ සිදුරු ක්ෂණිකව වැසීම සිදු නොවෙන නිසා නැවත එළිමහනට ගියාම ඉක්මනින් කුණු, දුහුවිලි මේ සිදුරු වලට ඇතුළත් වෙන්න පුළුවන්. එතකොට තමයි කුරුලෑ වගේ තත්ත්වයන් ඇතිවෙන්නේ. මේ ගැටළුව වළක්වන්න පුළුවන් ටෝනර් එකකට. මුහුණ පිරිසිඳු කරගත්තට පස්සේ අපි අලේප කරන ටෝනර් එක මඟින් මුහුණේ සිදුරු වසා දැමීම සිදුකරනවා. ඒ වගේම අපි ආලේප කරන ෆේස් වොෂ්, ක්ලේන්සර්, ස්ක්රබ් වගේ දේවල් වල pH අගය 100%ක් අපේ සමේ pH අගය එක්ක සමාන වෙන්නෙ නැහැ. මේ ගැටළුවටත් විසඳුමක් තමයි ටෝනර් ඒක. හොඳ ටෝනර් එකක් මඟින් මුහුණේ pH අගය සමතුලිත කිරීම සිදුකරනවා.  

 

1. කෝමාරිකා 

කෝමාරිකා කියල කියන්නෙ සමට ඉතාම ගුණදායී ස්වභාවික නිමැවුමක්. කෝමාරිකා වල තියෙන ප්‍රතිබැක්ටීරීය ගුණය නිසා සම මත ආසාදන තත්ත්වයන් ඇතිවීම පාලනය වෙනවා. ඒ වගේම කෝමාරිකා කියල කියන්නෙ මුහුණේ ලප කැළැල් මකාදමන්න පුළුවන් විශ්මිත ආලේපයක්. මේ කෝමාරිකා ටෝනර් එක වඩාත්ම සුදුසු වෙන්නෙ වියළි සමක් තියෙන අයට. කොහොමද බලමුකෝ මේ පහසු ටෝනර් එක හදන්නේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

 

  • කෝමාරිකා මද කෝප්ප කාලක් 
  • පිරිසිඳු ජලය මේස හැඳි 2-3ක්

 

මේ සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පොඩි බෝතලයක දාල ෆ්‍රිජ් ඒකෙ යට කොටසේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. 

 

2. රෝස වතුර

රෝස වතුර කියල කියන්නෙත් ස්වභාවික රූපලාවණ්‍ය සත්කාර අතරේ ඉතාම ජනප්‍රිය ටෝනර් එකක්. ප්‍රතිබැක්ටීරීය ගුණ වගේම, මුහුණේ තෙල් ගතිය පාලනය කිරීමේ හැකියාව වගේ ගොඩක් ගුණාංග මේ රෝස වතුර ආලේපනයේ තියෙනවා. සකස් කරගන්නේ මෙන්න මෙහෙමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

 

  • හොඳින් පිරිසිඳු කරගත් රෝස පෙති කෝප්ප තුනක් පමණ
  • අවශ්‍ය ප්‍රමාණයට පිරිසිඳු ජලය

 

රෝස පෙති සහ ජලය එකට දාලා පැය කිහිපයක් වසා තැබීමෙනුත් සරලව රෝස වතුර හදාගන්න පුළුවන්. හැබැයි ලිපේ තියල රත්කිරීම වඩා සාර්ථකයි. පිරිසිඳු භාජනයකට මේ වර්ග දෙකම දාලා ඉතාමත් අඩු ගින්දරේ විනාඩි කිහිපයක් රත්කරන්න. රෝස පෙති අවපැහැයට හැරීගෙන එනකොටම ලිපෙන් ඉවත් කරලා හොඳින් නිවෙන්න හැරලා ශීතකරණයේ යට කොටසේ තබන්න. 

 

3. Apple Cider විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරි කියන්නෙ අපිට ඉතාම පහසුවෙන් සුපිරි වෙළඳසල් වලින් ලබාගන්න පුළුවන් ද්‍රව්‍යයක්. මේ අමුද්‍රව්‍යයෙන් මුහුණට ආලේප කරන්න ඉතාම සුදුසු බැක්ටීරියා ආසාදන වළක්වන, ඒ වගේම මුහුණේ කුරුලෑ, ලප කැළැල් හැමදේටම හොඳ ටෝනර් එකක් සකස් කරගන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

 

  • ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප බාගයක්
  • පිරිසිඳු වතුර කෝප්ප 1ක්

 

මේ වර්ග දෙක එකට කලවම් කරලා භාවිතා කරන්නයි තියෙන්නෙ. 

 

4. Green Tea

Green Tea කියල කියන්නෙත් අපිට ඉතාම පහසුවෙන් සපයාගන්න පුළුවන් දෙයක්නේ. මේ ග්‍රීන්ටී වලත් සමට ඉතාම ගුණදායී සංඝටක ඇතුළත් වෙනවා. ග්‍රීන්ටී වලට පුළුවන් සම මත තියෙන ලප කැළැල් වගේම හිරුඑළිය නිසා සිදුවන අඳුරුවීම් වලටත් සාර්ථකව ප්‍රතිකාර කරන්න. ඒ වගේම සම මත ඇතිවෙන විවිධ රෝගයන්ටත් මේ ග්‍රීන් ටී ඉතාම හොඳ ප්‍රතිකර්මයක්. ග්‍රීන්ටී වලින් පහසුවෙන්ම මුහුණට අලේප කරන්න ටෝනර් එකක් හදාගන්න පුළුවන්. මේ ටෝනර් එක වඩාත්ම සුදුසුයි තෙල් සහිත සමක් තියෙන කෙනෙකුට. 

ඉතාම සරලව මේ ග්‍රීන් ටී පිරිසිඳු ජලය සමඟ උණුකරලා පෙරලා අරගෙන හොඳින් නිවෙනතුරු ඉඳලා ශීතකරණයේ තබා ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ නිවාගත් දියරයටම ටී ට්‍රී ඔයිල් බින්දු කිහිපයක් එකතු කරලත් භාවිතයට ගන්න පුළුවන්. 

 

5. සහල් වතුර

සහල් වතුර කියල කියන්නෙ සමේ තෙතමනය රැකගන්න ඉතාම හොඳ ප්‍රතිකාරයක්. ඒ වගේම සහල් වතුර වලට පුළුවන් සම වයස්ගතවීම පාලනය කරලා දීප්තිමත් පෙනුමක් ලබාදෙන්න. සහල් වතුර රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කිරීම අපිට ටිකක් නුහුරු වුණාට ජපානය, චීනය, කොරියාව වගේ ආසියාතික රටවල වගේම හුඟක් යුරෝපීය රටවලත් මේ සහල් වතුර රූපලාවණ්‍ය සත්කාර හරි ප්‍රසිද්ධයි. ඉතින් බලමු කොහොමද සහල් වතුරෙන් මුහුණට සුදුසු ටෝනර් එකක් සකස් කරගන්නෙ කියලා.

හොඳින් සෝදාගත් සහල් භාජනයකට දමාගෙන සහල් ප්‍රමාණයට ටිකක් ඉහළින් තියෙන ප්‍රමාණයට පිරිසිඳු ජලය එකතු කරගෙන පැය කිහිපයක් පොඟවාගන්න. මේ ජලය පෙරලා අරගෙන භාවිතා කරන්න. 

 

6. කුරුඳු සහ ස්ටාර් අනීස්

කුරුඳු සහ ස්ටාර් අනීස් සංයෝගය මුහුණේ රැළි වැටීම්, වයස්ගත පෙනුම වගේම ලප කැළැල් ඉවත් කරන්න ඉතාම සුදුසු සංයෝගයක්. ඒ වගේම මේ එකතුව මුහුණේ තෙතමනය රැකගන්නත් ගොඩාක් උදව් වෙනවා. මේ අමුද්‍රව්‍ය දෙකම සපයාගන්න අපහසු නැහැ. ස්ටාර් අනීස් අපිට වැඩිය හුරු පුරුදු නොවුණට සිංහල බෙහෙත් බඩු කඩවලින් වගේම කුළුබඩු කඩවල් වලිනුත් පහසුවෙන්ම ලබාගන්න පුළුවන්. 

උතුරන වතුර කෝප්ප දෙකක් වගේ ප්‍රමාණයකට කුරුඳු සහ ස්ටාර් අනීස් සමාන ප්‍රමාණ වලින් එකතු කරලා හොඳින් තැම්බෙන්න හරින්න. තැම්බුනාට පසුව පිරිසිඳු පෙරනයකින් පෙරාගෙන හොඳින් නිමෙන්න හැරලා භාවිතා කරන්න පුළුවන්. 

 

7. Lemon 

ලෙමන් වල ස්වාභාවිකවම අඩංගු විටමින් C නිසා මුහුණේ ඇතිවෙන පළුදුවීම් සහ සම වයස්ගතවීම පාලනය කරන ප්‍රතිඔක්සීහරණ ගුණය ලෙමන් සතුව තියෙනවා. ඒ වගේම ලෙමන් වලින් සම මත තියෙන අනවශ්‍ය තෙල් ගතිය පාලනය කරන්නත් පුළුවන්. ලෙමන් මූලික කරගෙන සකස් කරගන්න පුළුවන් පහසු ටෝනර් එකක් තමයි මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

 

  • ලෙමන් ගෙඩියක්
  • පොල් වතුර මේස හැඳි 6ක් පමණ

 

ලෙමන් ගෙඩියේ යුෂ සහ පොල් වතුර හොඳින් කලවම් කර භාවිතා කරන්න. 

 

 

Leave a Reply

Your email address will not be published.