ලංකාවේ අපිට වාසනාවකට වගේ ගිනි කඳු අත්දැකීම් වලට තවම මුහුණ දෙන්නට වෙලා නැහැ. ගිනි කඳු කියන්නේ චිත්‍රපට වල පෙන්වන විදිහට ලාවා ගලාගොස් එකවර පළාතම යටවීමක් පමණක් නොවෙයි. ගිනි කඳු මගින් ඇතිවන බලපෑම් නිසා ඒ ගිනිකන්දට යාබද පළාත්වලට වගේම මුලු ලෝකෙටම දේශගුණ, කාලගුණ විපර්යාස වලට මුහුණ දෙන්නට සිද්ද වෙනවා. ගිනි කඳු පිපිරීමෙන් ඇතිවෙන දූවිලි වළාවල තියෙන දූවිලි අංශු පොළවට පතිත වීම නිසා පසු සරු වෙනවා. එමගින් ගොවිතැන් දියුණු වෙනවා. ඒත් මේ දූවිලි සහ වායු වර්ග මගින් ඇතිකරන බලපෑම් එක්ක බලද්දි ඒ වාසිය බොහොම පොඩි එකක්.
1. ගිනි කඳු පිපිරීමකින් නිකුත් වෙන්න පුළුවන් වායු
විවිධාකාර ගිනි කඳු තියෙනවා. එයින් බොහොමයක් ලාවා වලට අමතරව මහ විශාල තොග වශයෙන් විෂ වායූන් වායුතලයට මුදා හරිනවා. ගිනි කඳු පිපිරීමකින් ජල වාෂ්ප එක්ක මිශ්‍ර වුණු මේ විවිධ වායූන් කෙලින්ම වායු ගෝලයට එකතු කරනවා. කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්, හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් ගිනි කඳු පිපිරීමකදි වාතයට මිශ්‍ර වෙන්න පුළුවන්. මේ වායූන් නිකුත් වීම මිනිසාට පාලනය කරන්න බැහැ. ඇතැම් වෙලාවට සුවිශාල නගර වලින් කර්මාන්තශාලා හරහා වසරකට නිකුත් කරන අහිතකර වායු ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ගිනි කඳු පිපිරීමකදි එක දිනකින් වායුතලයට එකතු කරනවා.
2. ඒ වායුවලින් සිදුවන හානි
මේ එකතුවන කාබන් ඩයොක්සයිඩ් වලින් හරිතාගාර ආචරණය වැඩිවෙලා, පෘථිවියේ උණුසුම වැඩිවෙන්න හේතු වනවා. සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායු ඉහළ වායුගෝලයට ගියොත් එයින් සල්ෆියුරික් අම්ලය ඇතිවෙලා අම්ල වැසි ඇතිවෙන්න පුළුවන්. ඒ සල්ෆියුරික් අම්ල ඇති ජලය ජීවීන්ට බොහොම අහිතකර විදිහට බලපානවා. සුළං නිසා සහ පෘථිවි වායුගෝලයේ පැතිරීම නිසා ගිනි කඳු නැති පළාත්වලටත් මේ අම්ල වැසි බලපානවා.
3. පෘථිවි වායුගෝලය සිසිල්වීම
පිලිපීනයේ පිනටූබා ගිනි කඳු පිපිරීම 1991 දී එයට යාබද පළාත්වලට බොහොම දරුණු හානි ඇතිකළා. මහා පිපිරුමට කලින් අනතුර කලින් හඳුනාගත් නිසා මිනිස් ජීවිත හානි බොහොම අඩු වුනා. ඒත් 20 වන සියවසේ මහා ගිනි කඳු පිපිරීම් අතර දෙවැනි තැන ඉන්න පිනටූබා ගිනි කන්ද නිසා පෘථිවියේ ඉහළ වායුගෝලයට සල්ෆර් ඩයොක්සයිඩ් තොග ගණන් නිකුත් වුනා. ඒ සල්ෆර් ඩයොක්සයිඩ් වායු කලාපය නිසා පෘථිවියට එන හිරු එළියෙන් කොටසක් හරවා යැවෙනවා. ඒ නිසා 1992-93 වසර වල පෘථිවි ගෝලයේම ගෝලීය උණුසුම අංශක 0.5කින් අඩු වූ බව සඳහන් වෙනවා. එක් පසෙකින් ගෝලීය උණුසුම අඩු වීම හොඳක් සේ පෙනුණත්, ඒ මගින් ඇතිවෙන්න පුළුවන් කාලගුණික, දේශගුණික විපර්යාස මගින් හදිසි වැසි සහ නියං තත්ත්වයන් ඇතිවෙන්නට තියෙන ඉඩකඩ වැඩි වෙනවා.
4. ගිනි කඳු මගින් ඇතිකරන දූවිලි වලාව
2008 දී චිලීයේ චයිටෙන් කියන ගිනිකන්ද පුපුරා ගියා. ඒ මගින් ඇතිවුන දූවිලි වළාව කිලෝමීටර 1000ක් තරම් එහා ආජන්ටිනාවේ පැතගෝනියාව තෙක් පැතිරී ගියා. ඒ මගින් අත්ලන්තික් සහ පැසිෆික් සාගර කලාපවලටද බලපෑම් එල්ල වුනා. පැපුවා නිව්ගිනියාවේ 1994 දී ඇති වූ වුල්කාන් සහ ටවුර්වුර් කියන ගිනි කඳු දෙක නිසා ඇති වූ දූවිලි වලා නිසා අවසානයේ ඒ යාබද නගරවලට අඩි දෙකකටත් වඩා උස දූවිලි තට්ටු නිර්මාණය වුනා. ඒ දූවිලි තට්ටු වල තියෙන්නේ නිකම්ම වැලි නෙමෙයි, ගිනි කඳුවලින් නිකුත් වෙන නොයෙකුත් බර ලෝහ වර්ග ඒ දූවිලි තට්ටු වල තියෙනවා. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින් වල සිදුවූ ගිනි කඳු පිපිරීම් වලින් පසුගිය වසරකදී ඒ කලාපය තනිකර රතු පැහැයක් ගත්තා. හිරු එළිය දූවිලි වලාවන් අතරින් පැමිණීමේදී දූවිලි වල බලපෑම නිසා එසේ වර්ණය වෙනස් වී තිබුණා.
5. ගිනි කඳු දූවිලි වළා නිසා වෙන හානි
මේ දූවිලි වළාව දැඩි වන විට පෘථිවි ගෝලයට හිරු එළිය පතිත නොවී දවස් ගණන් තියෙනවා. ඊට අමතරව මේ දූවිලි වළා මතින් ඇතිවෙන අකුණු ගැසීම්ද ඇතිවෙනවා. ඒ අන්ධකාරය නිසා මිනිසුන්ට දිවා කාලයද රාත්‍රිය හෝ සන්ධ්‍යා කාලය ලෙස සලකා කටයුතු කරන්නට වෙනවා. 1815 දී පුපුරාගිය ටොම්බෝරා ගිනි කන්ද නිසා ඇති වූ දූවිලි වළාව කිලෝමීටර 150ක් තරම් දිගට පැතිරුණා. ඒ නිසා ඇතිවුන දේශගුණික වෙනස් වීම කොතරම්ද කියනවා නම් 1816 වර්ෂයේදී උත්තරාර්ධගෝලයේ යුරෝපය සහ ඇමරිකාවට ගිම්හාන කාලයක් ආවේ නැහැ. ගිම්හානය නොපැමිණීම මිනිසුන්ට හොඳ ලෙස පෙනුණත් එය වගා කරන ලද බෝග වලට නම් හොඳක් වුනේ නැහැ. ඒ නිසා ඒ කලාපයේ වගා අස්වනු හානි වෙලා සාගත සහ ලෙඩරෝග තත්ත්වයන්ද වාර්තා වූ බව සඳහන් වෙනවා.
6. ගුවන් ගමන් වෙනස් වීම
ගිනි කඳු පිපිරීමකින් ඇතිවන දූවිලි සහ වායු වළාවන් හරහා ගුවන් යානා ගමන් කිරීම අනතුරුදායකයි. ගුවන් යානයේ ඉදිරිපස වීදුරු මේ දූවිලි වලින් වැහෙනවා. ඊට අමතරව ගුවන් යානයේ විවිධ දේවල් මනින්න තියෙන සෙන්සර් ආදිය ගිනි කඳු දූවිලි වලින් වැහෙනවා. යම් ලෙසකින් ඝන දූවිලි තට්ටුවක් ගුවන් යානාවේ එන්ජිමට මුණ ගැහුනොත් එය ගුවන් යානා කඩා වැටීමකට පවා හේතුවන්නට පුළුවන්. 2010 වර්ෂයේ අයිස්ලන්තයේ ඇති වූ ගිනි කඳු පිපිරීමක් නිසා ගුවන් මගීන් මිලියන 7කගේ ගුවන් ගමන් ගමන් ලක්ෂයක් පමණ අවලංගු කරන්න සිදු වුනා. ඒ නිසා ගුවන් ගමන් කර්මාන්තයට ඩොලර් බිලියන 2.5ක සුවිසාල අලාබයක් වුනා.
7. ජන ජීවිතයට වෙන හානි
ගිනි කඳු පිපිරීමකදි ඇතිවෙන දැවැන්ත ලාවා ගලායෑම් නිසා වන හානිය හා සමානම හානියක් මේ ගිනි කඳු වල දූවිලි නිසාත් සිද්ද වෙනවා. 1991 පිලිපීනයේ පිනටූබා ගිනිකන්ද පිපිරීමත් සමගම ලොකු කුණාටුවකටද පිලිපීන වැසියන්ට මුහුණ දෙන්න වුනා. ඒකුණාටුව එක්ක ආපු දූවිලි වළාව නිසා වර්ෂාව සමග මේ දූවිලි මුසු වුනා. වර්ෂාවෙන් පස්සෙ ඇතැම් වාහන, ගෙවල් දොරවල් වල සිමෙන්ති තට්ටු වගේ ඝන දූවිලි තට්ටු තිබුණා. මාර්ග යටවීම, නිවාස යට වීම වගේම මිනිස්සු බොන්නට සහ පාවිච්චියට ගන්නා ජලය දූෂණය වීම මේ ගිනි කඳු දූවිලි වලින් සිද්ද වෙනවා.
අපේ වාසනාවකට වගේ අපි අයිති වෙන ශ්‍රී ලංකා දූපත ‘රිංග් ඔෆ් ෆයර්’ එහෙම නැතිනම් ගිනි කඳු භූමි කම්පා වැඩිපුර ඇතිවෙන කලාපයෙන් ටිකක් ඈතට වෙලා පිහිටා තියෙනවා. ඒත් 2004 සුමාත්‍රා භූමිකම්පාව මගින් ඇති වූ සුනාමියෙන් අපිට දැඩි හානි වුනා. ඒ වගේ සුමාත්‍රා හෝ හිමාල කලාපයේ ඇතිවිය හැකි ප්‍රබල ගිනි කන්දක බලපෑම කෙලින්ම නැතත් එයින් ඇතිවෙන දිගුකාලීන දේශගුණික බලපෑම් ආදියෙන් අපිට නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ.
Leave a Reply