අනතුරු හඹායන සංචාරක වර්ගයා

හැමදාම සුවදායී වටපිටාවක ඉන්න ලැබීම එක අතකින් වාසනාවක්. එහෙම වුණත් කොපමණ සැපෙන් සනීපෙන් හිටියත් බය හිතෙන අවදානම් දේවලට උත්සාහ කරන්න අපේ මනස පෙළඹෙනවා. ඒ නිසාම බටහිර රටවල නොයෙකුත් අනතුරුදායක ක්‍රීඩාවන් ජනප්‍රිය වෙලා තියෙනවා. ක්‍රීඩාවන් විදිහට බන්ජී ජන්පින්, ස්කයි ඩයිවින්, පැරාග්ලයිඩින්, රෝල කෝස්ටර් ආදිය තිබුණත් තවතවත් අනතුරුදායක තැන් සහ අත්දැකීම් සොයායන්න සංචාරකයින් පෙළඹෙනවා. අපි ඒ වගේ කීපයක් බලමු.

 

1. කුණාටු හඹායාම

ඇමරිකාවේ ටෝනේඩෝ කුණාටු නිතර ඇතිවෙන කළාප තියෙනවා. ඒවා නිතර නිතර ඇතිවෙන නිසා දැන් කාළගුණ අනාවැකි මගින් කලින් ටෝනේඩෝ ගැන දැනුම් දෙනවා. ඒ එක්ක වැඩි පිරිසක් ටෝනේඩෝ වලින් ගැලවෙන්න, ජීවිත දේපළ බේරාගන්න ටෝනේඩෝ එකෙන් ඉවතට යනවා. ඒත් තවත් සුළු පිරිසක් ටෝනේඩෝව නරඹන්න ඩොලර් දාස් ගණන් ගෙවලා ටෝනේඩෝ ඇතිවෙන කළාපයට යනවා. කාළගුණ විද්‍යාවේ දියුණුව එක්ක කලින් අනතුරු ගැන කියන්න පුළුවන් එක වැඩිපිරිසකට වාසියක්. ඒ හරහා මේ කුණාටු හඹායන පිරිසටත් වාසියක් අත් වෙනවා.

2. අවදානම් මාර්ග

නේපාලය, චිලී වගේ කඳු තියෙන පළාත්වල තිබෙන මාර්ග ඇතැම් ඒවා දැඩි සේ අවදානම්. ලෝකයේ මුහුදු මට්ටමට මීටර 5000කට ආසන්න උසකින් දිවෙන ලදාක් හි මාර්ග වල ගමන් කරනවිට පහළට පෙරලුණු ලොරි, බස් වගේ වාහන චූටි කජු ලෙලි වගේ පේන්න තියෙනවා. ඉතින් මේ පළාත්වල ජීවත් වෙන මිනිස්සුන්ට නම් ඒ ගමන කටුක එකක්. ඒත් මේ අවදානම් මාර්ග වල හිම තියෙන වැසි කාලවල ගිහින් අවදානම හොඳින් විඳගන්න සංචාරක පිරිසකුත් ඉන්නවා.

 

3. ගිණිකඳු තරණය

ක්‍රැකටෝවා කියන්නේ ඉන්දුනීසියානු ගිනිකන්දක්. මේ ගිනිකන්ද ඇතැම් කාලවල දුම දානවා. ඒ දුම දාගෙන යාන්තමින් පපුරනවිට ඒ කරා ඇදිලා, ඡායාරූප ගන්න ලොකු ගාණක් ගෙවලා යන සංචාරකයින් ඉන්නවා. ඒ වගේම ඒ සංචාර ලෑස්ති කරන පිරිසකුත් ඉන්නවා. ඉන්දුනීසියාවේ විතරක් නෙමෙයි, ඒ විදිහට ගිනිකඳු තිබෙන රටවල සක්‍රීය ගිනිකඳු නරඹන්න යන එක දැන් දැන් සංචාරකයින් වැඩියෙන් ඇදෙන වැඩසටහනක් බවට පත් වෙලා.

 

4. ත්‍රස්තවාදී අවදානම් කළාප 

ඇෆ්ඝනිස්ථානයට, මැද පෙරදිග යේමනයට, පලස්තීනයට යන්නට සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ. ඒත් අවදානම් සංචාරකයෝ කාණ්ඩයක් මේ වගේ අවදානම් කළාප හඹා යනවා. එයාලට ත්‍රස්තවාදී ක්‍රියා දැකගන්න, ඒ පළාත් වල ජන ජීවිතය බලාගන්න ලැබෙනවා. ඒ පළාත්වල සංචාරය කරද්දි ඇතැම් විට ඒ කළාපයට අදාළ ඇඳුම් ආයිත්තම් වලින් සැරසෙන්නත් වෙනවා. උදාහරණ විදිහට කාන්තාවකට ඇෆ්ඝනිස්තානයේ යුද පෙරමුණුවලට යන්න අවශ්‍ය නම් ඔවුන්ද කළුපාට ලෝගු වලින් සැරසිලා ස්වදේශීය කාන්තාවන් වගේ යන්න වෙනවා.

 

5. විකිරණශීලී වටපිටාවන්

චර්නොබිල් බලාගාරය නැරඹීමට යුක්රේනයට ඒ වෙනුවෙන්ම ඇදී එන සංචාරකයෝ ඉන්නවා. මේ කළාපය අවදානම් කළාපයක් වුණත් විවිධ අයථා ක්‍රම වලට සංචාරකයින් මේ තැන්වලට රැගෙන එන පිරිස් ඉන්නවා. නිල වශයෙන් මේ තැනට සංචාරය කරන්නත් දැන් පුළුවන්. ඒ වුණත් එය අවදානමක්. සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි විකිරණශීලී වටපිටාවක් තවමත් චර්නොබිල් බලාගාරය අවට තියෙනවා. ඒ විදිහට ජපානය වගේ රටවලත් විකිරණශීලිත්වය නිසා පාලුවට ගිය නගර ආදිය තියෙනවා. ඒ තැන් නැරඹීමට හොර රහසේ යෑම දැඩි අවදානමක් වුවත් පිරිසක් ඒවාට යොමු වෙනවා.

 

6. හිම කඳු තරණය

හිම කඳු තරණය අතින් හිමාලය කියන්නේ විශේෂ තැනක්. හිමාලයේ එවරස්ට් කන්ද බලන්න වසරකට ලොකු පිරිසක් යනවා. එවරස්ට් විතරක් නෙමෙයි, ස්විස් රටේ, පාකිස්තානයේ, ඉන්දියාවේ වගේම ඇමරිකාව නවසීලන්තය ආදී රටවලත් හිම කඳු තියෙනවා. මේ හිම කඳු නගින අයට කඳු නගිනවාට අමතරව හිම කුණාටු, අයහපත් හිම වැසි ආදියට මුහුණ දෙන්නට වෙනවා.

 

7. අවදානම් දිය ඇලි සහ පාතාල

ලංකාවෙත් රාවණා ඇල්ල තරණය, නිල් දිය පොකුණ වගේ තැන් වල අවදානම ගන්න ගිය සමහර පිරිස් ඒ තැන්වල අවදානමට ගොදුරු වෙලා මිය පරළොව ගියා. ඒත් ලෝකය පුරාම ඒ විදිහට දිය ඇලි සහ පාතාල කරා ඇදෙන සංචාරකයින් ඉන්නවා. චීනයේ ඇතැම් සිද්ධස්ථාන පිහිටලා තියෙන්නේ මහා කඳු ශිඛර වල. ඒවාට පිවිසෙන්න කඳු, පාතාල හරහා හෙමෙන් හෙමෙන් යන්නට ඕනා. ඉතින් මේ තැන්වල වැසි කාලයට, අයහපත් කාලගුණය තියෙන කාලයට පවා ඇතැම් පිරිස් සංචාරක අත්දැකීම් ගන්න යන්නේ අවදානම් ලැබීමේ පරමාර්ථයෙන්.

 

8. අනතුරුදායක කිමිදීම්

කිමිදීම කියන්නේ හොඳ විනෝදාංශයක් වුණත් කිමිදෙන තැන අනුව අවදානම වෙනස් වෙනවා. තායිලන්ත, මියන්මාර සීමාවේ ගුහාවක පිරිසක් හිරවුණු අවස්ථාවේ ඒ තැන කිමිදුණු හොඳ පළපුරුදු කිමිදුම්කරුවෙකු පවා ජීවිතක්ෂයට පත් වුණා. මැක්සිකෝ රටේ කිලෝමීටර 350ක් තරම් දිගට, මීටර 21ක මධ්‍ය උසකින් යුතු හිරිගල් ගුහාවක් තිබෙනවා. ඔය හිරිගල් ගුහාවේ කොටස් ඇතැම් වෙලාවට කඩා වැටෙනවා. ඒ වුණත් ඒ තැන්වල කිමිදෙන්නට පිරිස් යනවා. මීට අවුරුදු 60-70කට කලින් ලංකාවට ආපු ආතර් සී. ක්ලාක් ඒ විදිහට ලංකා මූදේ තිබුණ අවදානම් තැන්වලත් කිමිදුන කෙනෙක්.

මේ අවදානම් කළාප වල අවදානම ගන්න යද්දි බොහෝ වෙලාවට ඒ පැත්තට, ඒ අත්දැකීමට හොඳට හුරුවුණු පිරිස් ඉන්නවා. ඉතින් ඒ අයගේ සහාය ගන්න අපිට යම් මිලක් ගෙවන්නත් වෙනවා. එහෙම නැතිව අපිෙ නොදන්නා අවදානම් කළාපයකට ඇතුළුවෙලා අත්දැකීම් ගන්න ගියොත් ඒක විනාශයකින් කෙළවර වෙන්නත් පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *