අපි ජීවත් වෙන්නේ සමාජ ජාල යුගයක කියන එක බොරුවක් නෙවෙයිනේ. ඉතින් අද වෙනකොට අපි ගොඩක් වෙලාවට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙත් මේ කියන සමාජ ජාලයන් හරහාම තමයි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් වගේ සමාජ ජාල තමයි එතැනිනුත් ප්‍රධාන. දැන් ෆේස්බුක් ගැන නම් ලොකු අවුලක් නෑනේ කාටවත්. හැබැයි ට්විටර් එකට සමහරු ප්‍රවේශ වෙන්නෙ නෑ, එතන අමුතු සීන් එකක් තියෙනවා කියලා හිතාගෙන. ඇත්තටම එහෙම අමුතු සීන් එකක් නෑ. හැබැයි ඉතින් ට්විටර් එකට සම්පූර්ණයෙන්ම ආධුනිකයෙක්ට පටන් ගැන්මෙදී පොඩි මග පෙන්වීමක් තිබුණට ගැටළුවක් නෑ. මොකද, ඇත්තටම ට්විටර් එකට හරි වෙන ඕනම සෝෂල් මීඩියා එකකට හරි එන්නේ ඒ සමාජෙත් එක්ක සම්බන්ධ වෙන්න මිසක් තනියෙන් ඉන්න නෙවෙයිනේ. ආන්න ඒ නිසා තමයි අපි පොඩ්ඩක් හොයලා බැලුවේ, මොනවද අලුතෙන්ම ට්විටර් එකට එන කෙනෙක් දැනගන්න ඕන, කරන්න ඕන දේවල් කියලා!
1. කැරැක්ටර්ස් 280 යි!
දැන් ඉස්සර අපි බ්ලොග් ලිව්වා. ඒවල ආයෙ වචන සීයේ දෙසීයේ ඉඳලා දෙතුන්දාහ වෙනකල් වුනත් ලියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ෆේස්බුක් ආවා. ෆේස්බුක් එකේ වුනත් සාමාන්‍යයෙන් මාගල් ලියමන් දකින්න ලැබෙන්නේ කළාතුරකින් වුනත්, ඕනම නං ලියාගෙන ලියාගෙන යන්න පුළුවන් බ්ලොග් පෝස්ට් වල වගේම. ඉන්ස්ටග්‍රෑම් වලනම් ඉතින් කියන්න තියෙන දේ ෆොටෝ එකකින් සහ කැප්ෂන් එකකින් තමයි කියන්නේ.
එතකොට ට්විටර් එකේ? ට්විටර් එකේ උපරිම කැරැක්ටර්ස් 280 යි. සාමාන්‍යයෙන් ඉස්සර තිබුණේ කැරැක්ටර්ස් 140 ක් වගේ. එතකොට පළවෙනි ට්‍රික් එක තමයි තමන්ට කියන්න ඕන දේ සාරාංශගතව, කොටින් කියන්න පුළුවන් හැකියාව තිබීම. ඕක අමාරු දෙයක් නෙවෙයි පුරුදු වෙනකොට. ඒ වගේම, මේ කැටැක්ටර්ස් 280 ක සීමාව නිසා, තමන්ට බොහොම පහසුවෙන් යමින් එමින් ගමන් වුනත් ට්වීට් එකක් ෆෝන් එකෙන් වුනත් ලියන්න පුළුවන්. ඒක තමයි ට්විටර් එකේ අදහසත්.
2. මොනවද ඉතින් ලියන්නේ?
ඕනම දෙයක්. හිතට එන ඕනම දෙයක් ලියන්න පුළුවන්. හැබැයි ඉතින් හිතට එන ඕනම දෙයක් කියලා ඕනම කුණුහරුපයක් ට්විටර් එකේ ලියන්න බැහැ කියන එකත් මතක තියාගන්න ඕන. විශේෂයෙන්ම ළමා අසභ්‍ය අන්තර්ගතයන්, සෘජු ප්‍රචණ්ඩ තර්ජනයන්, ස්පෑම්ස් වගේ එව්වා ට්විටර් එකේ පළ කරන්න බෑ කියලා තමයි කියන්නේ. ඒ වගේම ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන දේවල්, ත්‍රස්තවාදී/අන්තවාදී අදහස්, අනික් අයට හිංසා හිරිහැර කිරීම්, ද්වේෂසහගත කතන්දර සහ ඒ විදියේ වෙනත් සංවේදී දේවල් ලියන්න එපා කියලා ට්විටර් රූල්ස් වල සඳහන් වෙනවා. මේවා ඉතින් හැම සෝෂල් මීඩියා එකකටම පොදු නීති රීති නේ.
ඒ ඇරෙන්න තමන්ට හිතෙන ඕනම ආතල් කතන්දරයක්, තමන්ගේ මතයක්, අදහස් දැක්වීමක් සඳහා ට්විටර් එක විවෘතයි. විශේෂයෙන්ම හැම කෙනෙක්ටම තමන්ගේ මතයන් ප්‍රකාශ කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් විදියට ට්විටර් එක විශේෂ වෙනවා කියලා තමයි අපිට පේන්නේ.
ඒ වගේම ට්විටර් එකේ ලියන්න ඉංග්‍රීසිම අත්‍යාවශ්‍ය නැහැ. සිංහලෙන් වුනත් දෙමළෙන් වුනත් කිසිම අවුලක් නැතුව ට්විටර් එකේ ලියන්න පුළුවන්!
3. ට්විටර් එකේ භාෂාව
මේ කියන්නේ ඉංග්‍රීසිද සිංහලද දෙමළද කියන එක ගැන නෙවෙයි. දැන් අපි හැමෝම දන්නවනේ ට්විටර් එකේ තියෙන ලිමිට් එක. කැරැක්ටර්ස් 280 යි. ඒකෙන් කියවෙන්නේ අපි සාමාන්‍යයෙන් ලියන කියන භාෂාවට වඩා කෙටි ක්‍රම එහෙමත් අවශ්‍යයි කියන එක. අර ඉස්සරම තිබුණු එස්.එම්.එස්. භාෂාව වගේ. ආන්න ඒ නිසා, ට්විටර් එකේ භාෂාව එක්ක පොඩ්ඩක් හුරුපුරුදු වෙන්න වෙනවා. ඒක අමාරු නෑ. උදාහරණයක් විදියට කිවුවොත්, RT කියන්නේ රීට්වීට් කියන එක. # කියන්නේ හෑෂ්ටැග් කියන එක. DM කියන්නේ ඩිරෙක්ට් මැසේජ් කියන එක. TQRT කියන්නේ තෑන්ක්ස් ෆෝ ද රීට්වීට් කියන එක.
ඔන්න ඔය ට්විටර් භාෂාව ඉගෙන ගත්තහම, අපිට ට්වීට් එකක් ලියනකොට තියෙන ඉඩ සීමාව වඩාත් ඵලදායී විදියට හසුරුවා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම ට්විටර් එකේ පොඩ්ඩක් ගැවසෙනකොට ඔය ට්විටර් ලිංගෝ එක ඉබේම හුරු වෙනවා.
4. හෑෂ්ටැග්ස්!
හෑෂ්ටැග්ස් කියන්නේ මොනවද කියලා දන්නවා ඇතිනේ. #lk කියන හෑෂ්ටැග් එකෙන් කියන්නේ ශ්‍රී ලංකා කියන එක. ඔය වගේ සෑහෙන්න හෑෂ්ටැග්ස් මේ වෙනකොට භාවිතා වෙනවා සෝෂල් මිඩියා වල. හෑෂ්ටැග්ස් වලින් වඩාත් පුළුල් ප්ලැට්ෆෝම් එකකට තමන් ලියන දේවල් අරගෙන යන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, #lk කියන හෑෂ්ටැග් එකත් පාවිච්චි කළොත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෑෂ්ටැග් සර්ච් කරන කෙනෙකුට ඔයාගේ ට්වීට් එකත් පෙන්නනවා.
ට්විටර් එකේදී හෑෂ්ටැග්ස් දාන්නේ අපි ඉන්ස්ටග්‍රෑම් එකේ හෝ ෆේස්බුක් එකේ හෑෂ්ටැග්ස් දාන විදියට, ඒ කියන්නේ ලියන්න ඕන දේ ලියලා ඊට පස්සේ හෑෂ්ටැග්ස් වෙනමම නෙවෙයි. ට්වීට් එක ඇතුළේම තමයි හෑෂ්‍ටැග් එකත් පාවිච්චි වෙන්නේ. උදාහරණයක් විදියට මෙහෙම:
@SLinEthiopia
with the Presidential Secretariat, @MFA_SriLanka
& @flysrilankan
facilitated the repatriation of 230 SL nationals fm Africa – Ethiopia 186, Sudan 11 , Egypt 08, Malawi 07,South Sudan 05,Eq. Guinea 04,Mali 03, Somalia 02 and 1 each fm Benin,Zimbabwe,Nigeria& CAR #lka
ඒ වගේම තව දෙයක් තමයි, ට්වීට් එකක් ලියනකොට @ දාලා අදාළ කෙනෙක්ව ටැග් කරලාම පණිවිඩේ ලියන්න පුළුවන් වීම. උදාහරණයක් විදියට අපි රටේ ප්‍රශ්නයක් ගැන ලියනවා නම්, කෙලින්ම @GotabayaR කියලා රටේ ජනාධිපතිගේ ට්විටර් හැන්ඩ්ල් එකම දාලා ලියන්න පුළුවන්.
5. රීට්වීට්ස් සහ නිරීක්ෂණයන්
ට්විටර් එකේ කවුරු හරි දාලා තියෙන ට්වීට් එකක් අපිට ඕන නම් අපේ ට්විටර් එකවුන්ට් එකෙන් ෂෙයාර් කරන්න පුළුවන්. ඒක ෂෙයාර් කරනකොට අපිට කියන්න තියෙන දේකුත් එකතු කරන්න පුළුවන්. ආන්න ඒකට තමයි රීට්වීට්ස් කියන්නේ. ඕන නම් අපිට ට්වීට් එකක් වෙන කෙනෙක්ට රීට්වීට් කරන්නත් පුළුවන්. මෙන්න මේ රීට්වීට් කියන එක ට්විටර් එකට ආධුනිකයෙක්ට අන්තර්ගතයන් ගොඩනඟා ගන්න බොහොම හොඳ මාර්ගයක්. ඒ කියන්නේ දකින දකින දේ රීට්වීට් කරන්න කියන එක නෙවෙයි. තමන්ගේ හිත් ගත්තු, තමන්ගේ මතයට අදාළ දෙයක්, එහෙම නැතිනම් තමන්ටත් දෙයක් එකතු කරන්න පුළුවන් අන්තර්ගතයක්, තමන් ලියන කැප්ෂන් එකක්, ට්වීට් එකක් එක්ක රීට්වීට් කළාට කමක් නෑ.
ඒ වගේම ට්විටර් එකට ආධුනිකයෙක්ට නිරීක්ෂණයත් ඉතාම වැදගත්. ඒකට හොඳම දේ තමයි හොඳ අන්තර්ගතයන් ට්විටර් එකට එකතු කරන ට්වීප්ස්ලාගේ ප්‍රොෆයිල් ෆලෝ කරන එක. ඒ අය අපිව ෆලෝ බැක් කරනවද කියන එක මෙතනදී අදාළ කරගන්න එපා. ඒ වෙනුවට ඒ අයගේ ට්වීට්ස් නිරීක්ෂණය කරන්න. ඉගෙන ගන්න.
6. ලියන දේ හරියට සහ කෙලින්
මෙන්න මේක ආධුනිකයන්ට බොහොම වැදගත් පොයින්ට් එකක්. ට්වීට් එකක් ෆෝන් එකෙන් යන එන ගමන් වුනත් දාන්න පුළුවන් කියන එක හරි. හැබැයි එහෙමයි කියලා මෙලෝ තේරුමක් නැති වල්පල් ලියලා වැඩක් වෙන එකක් නෑ. අඩු ගාණේ තව කෙනෙක්ට හිනා යන දෙයක්වත් නෙවෙයි නම් ට්වීට් කරන්නේ, ඒකෙන් තමන්ට ලොකු ප්‍රතිචාරයක් ලැබෙන එකක් නෑ.
දෙවෙනි කාරණාව, තමන් ලියන දේ ෂුවර් පිට ලියන්න ඕන. මේක ඕනම සෝෂල් මීඩියා පෝස්ට් එකකට අදාළයි. ඒ කියන්නේ අර බොරු ආරංචි තමනුත් පතුරවන එක, නොදන්න දේවල් හොයාබලන්නේ නැතුව කියන එක බොහොම නරකයි.
තුන්වෙනුව, තමන් ට්වීට් එකක් විදියට ඉදිරිපත් කරන මතයක් එක්ක එකඟ වෙන අය වගේම එකඟ නොවෙන අයත් ඕන තරම් ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපහාස කිරීම්, ගේම ඉල්ලීම් නැතුව ඒ අදහස් එක්ක එන්ගේජ් වෙන එක තමයි හොඳ.
7. දිගටම ට්වීටින්ග්
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඕනම සෝෂල් මීඩියා එකක වගේ ට්විටර් එකෙත් තියෙන්නේ තමන් සක්‍රිය වීම තමයි. ඒ කියන්නේ මාස තුන හතරකට සැරයක් ඇවිත් දාන ට්වීට් එකක් ගොඩක් දෙනෙක්ගේ ඇහැ ගැටෙන එකක් නෑ. අන්න ඒ නිසා තමන් ට්විටර් එකට කොලිටි අන්තර්ගතයන් ට්වීට් කරන තරමට, ට්විටර් එකේ සක්‍රියව රැඳිලා ඉඳගෙන ට්වීට්, රීට්වීට්, කමෙන්ට්ස් එක්ක ට්විටර් ප්‍රජාව එක්ක සම්බන්ධ වෙන තරමට තමයි තමන් ගැනත් අවධානය යොමුවෙන්නේ. ඒක එක රැයින් බලාපොරොත්තු වෙන්න එපා. ට්විටර් එකේ තමන්ගේ නම ක්‍රමයෙන් හැදෙන්න ඉඩ දෙන්න.
එතකොට ට්විටර් එකේ ෆලෝවර්ස්ලා වැඩිකරගන්නත් ඕනේ නේද? ඒක අපි ඉස්සරහට හොයලා බලමු. එහෙමනම් මේ පෝස්ට් එකත් ට්වීට් කරගෙනම පටන් ගමුද?
Leave a Reply