චිත්‍රපටියක් බලන එකෙත් රහ තියෙන්නේ ඒක බලන්න හරිහමන් මූඩ් එකක් තියෙනකොට. ඔය මූඩ් එක ෆික්ස් කිරීමේ ලොකු ගුණයක් පරිසරයටත් තියනවා. ඔළුවත් එක්ක කුරුවල් වෙන ෆිලුමක් බලන්න තියා ගහක කොළයක් මලක් දිහා බලන්නවත් හිතෙන්නේ නැහැනේ. ඒත් වැහි කාලේ කියන්නේ ෆිලුම් පිස්සොන්ට තනිකරම ආශික් එකක්. බ්ලැන්කට් එකක් අස්සට වෙලා කෝපි කෝප්පයක් තොල ගාන ගමන් ඇඟට වදින දෙයක් බලන්න තියෙනෝ කියන්නේ ඉතින් තව්තිසාව ළඟින් ගියා වගේ තමයි. ඔය මූඩ් එකට ඕනෑම ෆිලුමක් සෙට් වෙන්න පුළුවන් ඒත් ඉහේ ඉඳන් පාදාන්තේ දක්වාම සිනමා අත්දැකීම ගන්න දැන් කියන්න යන ෆිලුම් ටික නම් මල් මසුරං!
1. Jurassic Park (1993)
VHS රජාණෝ හෙවත් ඩෙක් පීස් කියන ආදරණීය නාමයෙන් 90 පොඩ්ඩෝ හඳුන්වපු ප්ලේයර් එක හම යනකන් බලපු ෆිලුමක් තමයි මේ. කොම්පියුටර් වැඩ කෑලි දාලා ෆිලුම් ගහන එක යමර වැඩක් වුණ කාලෙක ස්ටීවන් ස්පීල්බර්ග් ලොක්කා කරපු මැජික් එක! වැහි කාලෙට නැගලා යන්න හේතුවක් විදියට පෙන්නන්න පුළුවන් වෙන්නේ ළඟින් ගියොත් ඇහැක් නැතිකරන ඩයිනසෝර්ලා වැස්ස වෙලාවට මතු වෙන එක. මේකේ එක සීන් එකක් තියෙනවා වැස්ස වෙලාවක ටී රෙක්ස් කෙනෙක් එක්ක වෙන සිද්ධියක්. ඉතින් ඕක බලද්දී අපිටත් වැස්ස අතරින් දාර ටී රෙක්ස් කෙනෙක් දැන් මතුවෙයි දැන් මතුවෙයි කියන වයිබ් එක දැනෙනවා.
2. The Notebook (2004)
වැස්ස වෙලාව කියන්නේ ආදරණීය හැඟීම් දෙගොඩ තලා යන වෙලාවක් කියනවනේ. ඕකේ ඇත්ත නැත්ත බලන්න හොඳම ෆිලුම තමයි මේ. ඇයි තව ඉතින් මේකේ සීන් එකක් තියනවා පෙම් කෙළින ජෝඩුව වැස්සක ඉඳනුත් කෙළිනවා (පෙම්)! චිත්‍රපට ඉතිහාසයේ සෑහෙන ආදරණීය සීන් එකක් විදියට ලොකු පිළිගැනීමක් ඒකට තියෙනවා. ආය ඉතින් ඔය සීන් එක නිසාම නෙවෙයි. සම්පූර්ණ පිච්චර් එකේම තියෙන ආදරණීය ගතිය නිසා හොඳ උණුහුමට බලතහැකි. විශේෂ පුද්ගලයෙක් එක්ක බලනවා නම් තවත් රසවත්.
3. Coraline (2009)
මේක නිකන් ම නිකන් කාටුන් එකක් ගාණට දාන්න හොඳ නැති තද ඇනිමේෂන් ෆිලුමක්. ඩාක් ෆැන්ටසි ත්‍රිලරයක් නිසාම වැස්ස එක්ක හොඳට පදම් වෙනවා. අලුත් ගෙදරක පදිංචියට ආපු කෙල්ලෙකුට වෙන හොල්මන් ද පොල්කොළ ගණයේ අකරතැබ්බයක් ගැන තමයි කතාව තියෙන්නේ. ලොකු පොඩි භේදයක් නැතුව මේක බලන මනුස්සයෙක්ට ෆිලුමේ ඉෆෙක්ට් එක දවස් ගාණක් ම යනකන් අමතක කරන්න බැරි වෙනවා. දැන් මොකක් වෙයිද කියන ප්‍රශ්නයෙන් ඔලුව පිස්සු වට්ටන තැන් තියනවා. අන්න ඒ වෙලාවට තිරෙන් ඇස් අයින්කරගන්න බැරි වෙනවා. ඉවර වුණාමත් බ්ලැන්කට්ටුව අස්සෙම ඉඳන් මේ ගැන හිතනවා සත්තයි.
4. The Shining (1980)
ස්ටීවන් කින්ග් කියන්නේ ඇඟ හිරිවට්ටන හොල්මන් ටයිප් එකේ කතා ලියන රජු. එයාගේ පොතක් ආශ්‍රයෙන් නිමවුණු මේ චිත්‍රපටය බලන්න නම් හෙන ගට් එකක් ඕනි. අන්න ඒක වැඩියෙන්ම ඕනි වෙන්නේ වැස්ස වෙලාවක මේක බලනකොටයි. නිකන් ම නිකන් හොරර් එකක් බලනවට වඩා සයිකොලොජිකල් හොරර් එකක් බලනකොට ඇඟ රත්වෙන ගතිය වැඩියි. අන්න ඒකට වැස්ස උපකාරී වෙන්න පුළුවන්. තමන්ගේ නෝනයි දරුවයි මරා දාන්න සිතුවිල්ලක් එන තරමට මනුස්සයෙක්ට භූතයෙක් වැහෙන්න පුළුවන්ද? ඒකට උත්තරේ හොයන්න මේ චිත්‍රපටය බලන අතරතුරේ කවුරුහරි දොරට තට්ටු කළොතින්, මම නම් කියන්නේ යන්න එපයි කියලා.
5. The Curious Case of Benjamin Button (2008)
ආදරය කියන්නේ ෆැන්ටසියක් නෙවෙයි. ඒත් රියලිටිය කියලා අපි පිළිගන්න දේ අනුව ආදරය දිහා ෆැන්ටසියක් විදියට බලන්න අපිව පුරුදු කරලා තියෙනවා. මේ චිත්‍රපටය ෆැන්ටසියක්. ඒත් ආදරේ පැත්තෙන් එක අමු රියලිටියක්. වැස්ස වෙලාවට කලින් කීවත් වගේ බ්ලැන්කට් එකක් අස්සේ ඉඳන් ඇඳට වෙලා ෂපාන් එකේ බලනෝ වගේ නෙවේ අන්තිමේ හොටු හූර හූර අඬන්න වෙන්නේ. තිරයේ රඟපාන මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් අපිට දැනෙනවා නම් ඒක විශිෂ්ට නිර්මාණයක්. විශ්වාස කරන්න මේ චිත්‍රපටය බලද්දී ඔයාට වැස්සේ සද්දෙවත් ඇහෙන්නේ නැතිවෙයි.
6. Searching (2018)
උණුකැවුම් වගේ මේ දැන් එළියට බාපු ෆිලුමක් වුණාට මේ වෙනකොටත් සෑහෙන කතාබහට ලක් වෙලා ඉවරයි. මුළු ෆිලුම ම දුවන්නේ කොම්පියුටර් ස්ක්‍රීන් එකක. පටන් ගත්තු වෙලේ ඉඳන් වෙන වැඩක් කරන්න දෙන්නේ නැහැ. අන්න ඒ නිසා බ්ලැන්කට් එක අස්සට පනින්න කලින් කනබොන ඒවා සූදානම් කරගෙනම ඉන්න. කුතුහලය උපරිමයි. තමන්ගේ දුව අතුරුදන් වීම සම්බන්ධයෙන් ගැටලුව ලිහා ගන්න උත්සාහ ගන්නේ තාත්තාම තමයි. හිතන්නෙවත් නැති අවසානයක් එන්න ගත වෙන්නෙත් මිනිත්තු කීපයයි. යකෝ මෙව්වනේ චිත්‍රපට ගණයට තමයි අයත් වෙන්නේ.
7. Princess Mononoke (1997)
මියසාකිගේ චිත්‍රපට බලලා නැති දෑසකින් අම්මපල්ලා මෙලෝ වැඩක් නැහැ. භාව ප්‍රකාශනය, කතා තේමාව, සංකල්ප වගේ දේවල් ගැන සැලකිල්ලට ගන්නකොට ඒවාට ගහන්න තවම චිත්‍රපට ඇවිල්ලත් නැහැ. ඉතින් මේ සා බටර් පාරක් තැවරෙන චිත්‍රපට මහා ගොඩක් අතරේ මේ චිත්‍රපටය උඩින්ම ඉන්නවා කිව්වොත් ඒක වැරදිමත් නැහැ. වැස්ස වහින වෙලාවේ මේ බලන්න යන්නේ පරිසරයත් එක්ක පුදුමාකාර විදියට බැඳුණු චිත්‍රපටයක්. මියසාකිගේ චිත්‍රපට බලන්න මූලාරම්භයක් වශයෙනුත් මේක හොඳයි.
Leave a Reply