පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ ගැන අප්‍රකට කතා

අද අපේ රටේ සාමාන්‍ය කෙනෙක් වුණත් පාලි භාෂාව පිළිබඳව අවබෝධයක් පහසුවෙන් ලබාගන්නේ පාලි භාෂාවතරණය පොත් වලට පින්සිද්ද වෙන්න. මේ පොත් පෙළ ලිව්වේ අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ. අපේ රටේ වැඩ වාසය කරපු මහා පඬිරුවනක් වන උන්වහන්සේ පිළිබඳව වර්තමානයේ බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. මේ නිසා අපි හිතුවා උන්වහන්සේගේ විචිත්‍ර ජීවිතයේ අප්‍රකට තොරතුරු කිහිපයක් ඔබ සමඟ බෙදා ගන්න.

 

1. පළමු සිංහල චරිතාපදානය

ඇතැම් විද්වතුන්ට අනුව පළවෙනි වතාවට සිංහලෙන් චරිතාපදානයක් ලියන්නේ පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ. උන්වහන්සේ මේ ස්වයං ලිඛිත චරිතාපදානය නම් කරන්නේ “ශ්‍රී බුද්ධදත්ත චරිතය” යන නමින්. මේ නිසා අතීතයේ වැඩ විසූ සමහර භික්ෂූන් වහන්සේලා පිළිබඳව තොරතුරු සොයා ගැනීම අපහසු වුවත් බුද්ධදත්ත හාමුදුරුවන්ගේ තොරතුරු උන්වහන්සේම අප ඉදිරියේ තබලා තියනවා. ඒ වගේම උන්වහන්සේ ලංකාවේ පැරණි යතිවරුන්ගේ ජීවන තොරතුරු එක් කරමින් “ථේරවාදීබෞද්ධාචර්‍යයෝ” නමින් පොතකුත්, භාරතීය යතිවරුන් පිළිබඳව “භාරතීය බෞද්ධාචාර්‍යයෝ” නම් පොතකුත්, උන්වහන්සේ හා සමකාලීනව වැඩවිසු යතිවරුන්ගේ ජීවන තොරතුරු ඇතුළත් කරමින් “සමීපාතීතයෙහි බෞද්ධාචාර්‍යයෝ” නමින්ද පොතකුත් රචනා කර තිබෙනවා.

 

2. උපත 

1887 ජූලි 23 වැනිදා අම්බලන්ගොඩ පොල්වත්ත ගමේ ඕබඩගේ ලුවිස් ද සිල්වා කහ තුයියාගම්හේවා සාඤ්චිහාමි මවුපිය යුවළට දාව උන්වහන්සේ මෙලොව උපත ලැබුවා. උන්වහන්සේට වයස අවුරුදු හතක් පමණ පිරෙන විට තවත් දරුවෙක් ප්‍රසූත කිරීමේදී ඇතිවුණු සංකූලතාවයකින් මව මිය ගියා. උන්වහන්සේට වැඩිමහල්  සහෝදරයන් හතරක් සහ සහ සහෝදරියක් සිටියා. පොල්වත්තේ බෞද්ධ පිරිමි පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන් වහන්සේව පැවිදි  කළයුතු යැයි මෑණියන්ගේ අදහසක් තිබුණ බව කියැවුණා. කෙසේ වෙතත් බොහොමයක් ඥාතීන්ගෙන් ඊට එකඟතාවයක් තිබුණේ නැහැ.

 

3. පැවිදි දිවියට එළඹීම

1899 වසරේදී මෑණියන්ගේ ඉල්ලීමක් ඉෂ්ට කරමින් රාජගුරු පෝරඹ ශ්‍රී ධම්මාධාර හිමියන්ගේ සහ දොඩන්දූවේ පියරත්න තිස්ස මහා නායක හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් පැවිදි දිවියට එළඹුණා. පෝරඹ හිමියන් සිය තරුණ වියේදී අභිධර්මය හැදෑරීමට බුරුමය වෙත ගොස් තිබූ අතර අනතුරුව බරණැස් නුවර සහ කල්කටාවේ වාසය කරමින් දස වසරකට අධික කාලයක් සංස්කෘත භාෂාව සහ ඉන්දීය දර්ශනය හදාරා තිබුණා. මේ නිසා පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් ද උන්වහන්සේ විසින් බුරුමය වෙත රැගෙන යනු ලැබුවා.

 

4. බුරුමයේ දී ත්‍යාග දිනා ගැනීම 

එම කාලයේ දී බුරුමයේ කටපාඩම් කිරීමට සමත් ගිහි පැවිදි ශිෂ්‍යයන් සඳහා මුදල් ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පැවතුණා. ලංකාවේ ගත කළ කාලයේ දී පටන් තම ආචාර්ය හිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ බොහෝ පතපොත කටපාඩමින් දැන සිටි පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් මෙම පරීක්ෂණ වලින් ඉහළම සමත්කම් දක්වනු ලැබුවා. පාඩම් විභාගයේ පළමු වසරේදී  අභිධර්මාර්ථ සංග්‍රහය, පාලි වරනැගිල්ල, ධාතු මංජුසාව, වුත්තෝදය, පාලි නිඝණ්ඩුව, බාලාවතාරය එක්ඛරකෝෂය, ධම්මපදය, අභිධම්ම මාතිකාව යන පොත් කට පාඩම් දුන් අතර දෙවැනි වසරේ දී කච්චායනය සහ සුබෝධාලංකාරය කටපාඩමෙන් ලබා දුන්නා.

 

5. ආත්ම අභිමානය 

කුඩා කාලයේ පටන්ම නිර්භීත ස්වභාවයෙන් යුතු පෞර්ෂයකින් යුතු බුද්ධදත්ත හිමියෝ ආත්මාභිමානයෙන් ද යුතු වූ හිමිනමක් වුණා. බුරුමයේ සිට ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව සිය ආචාර්ය හිමියන් සමඟ කොළඹ පිහිටි සුප්‍රකට පන්සලක් වෙත නවාතැන් ගැනීමට ගිය උන්වහන්සේට අත්විඳීමට ලැබුනේ කිසිදා බලාපොරොත්තු නොවු දෙයක්. එම  විහාරස්ථානයේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේ විසින් නවාතැන් දීම මුල් අවස්ථාවේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එයෙ හේතුව ඒ වන විට එම පන්සලේ හිමිකාරීත්වය පිළිබඳව ආරවුලක් ඇති වී තිබීමයි. නමුත් තමන්ට සිදු වූ වරද වටහා ගැනීමෙන් පසුව එම භික්ෂූන් වහන්සේලා නැවතත් පන්සලෙහි නවාතැන් ගන්නා ලෙස ඉල්ලා සිටියත් බුද්ධදත්ත හිමියන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ අද දින පාරේ රැය ගත කිරීමට සිදු වුණත් නැවතත් එම විහාරස්ථානයට නොයන බව  කියමින්.

 

6. නැවතත් බුරුමය බලා වැඩම කිරීම

 

උන්වහන්සේගේ ආචාර්යවරයාගේ බලාපොරොත්තුව වූයේ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ව සංස්කෘත භාෂාවේ උගතෙක් කිරීමයි. නමුත් බුද්ධදත්ත හිමියන්ගේ බලාපොරොත්තු වූයේ අභිධර්මයෙහි ප්‍රවීණයෙකු වීමයි. ඒ සඳහා බුරුමය වෙත යළිත් යෑමට ආචාර්යවරයා ගෙන් අවසර ඉල්ලා සිටියත් ඊට අවසර ලබාදීම උන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. මේ නිසා ආචාර්යයන් වහන්සේට මෙන්ම කිසිදු දායකයෙකුට නොදන්වා පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් බුරුමය බලා පිටත්ව ගියා.

 

7. උපසම්පදාව ලබා ගැනීම 

මීට පෙර බුරුමයේ වැඩ වාසය කරන සමයේදී බුද්ධදත්ත හිමියන්ට ඉගැන් වූ  සාගරඤාණ හිමියන් විසින් බුද්ධදත්ත හිමියන්ගේ වගකීම භාර ගනු ලැබුවා. එකල උන් වහන්සේ වැඩ විසූ ආරාමය වෙනුවෙන් ලැගුම් ගෙය පූජා කළ පවුලේ සාමාජිකාවකට සාමණේර නමක් උපසම්පදා කිරීමේ පින්කමක් සඳහා දායකත්වය ලබා දීමේ ආශාවක් ඇති ව තිබුණ. එහිදී සාගරඤාණ හිමියන් බුද්ධදත්ත හිමියන්ගේ වස් ගණන විමසූ අතර තමන් වහන්සේට වස් විස්ස සම්පූර්ණ වීමට මාස ගණනක් තිබෙන බව බුද්ධදත්ත හිමියන් පැවසුවා. ඊට පිළිතුරු දුන් සාගරඤාණ හිමියන් මව්කුස තුළ ගත කළ කාලය සැලකීමේදී වස් ගණන සම්පූර්ණ වන බැවින් උපසම්පදා උත්සවයට සැරසෙන ලෙස දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව සාගරඤාණ  හිමියන්ගේ උපාධ්‍යත්වයෙන් සහ පඤ්ඤා සාමි, සෝභිත, සීලවංස හිමිවරුන්ගේ කර්මාචාර්යත්වයෙන් පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් උපසම්පදාව ලබා ගත්තා.

 

අපි ආරම්භයේ සඳහන් කළා වගේම පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ ජීවිතය අතිශයින්ම විචිත්‍රවත් ජීවිතයක්. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතයේ අප්‍රකට කටයුතු සොයා යෑම එක ලිපියකින් පමණක් කරන්න බැහැ.ඉදිරියේදී ඒ පිළිබඳව තවත් ලිපියක් ඔබ වෙත ගෙන එන්නම්. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *