වසර 20ක් සපිරුණ විකිපීඩියා වෙබ් අඩවිය

අන්තර්ජාලයේ කරක් ගහන අපි කාටත් නැතුවම බැරි වෙබ් අඩවියක් තමයි මේ විකිපීඩියා කියල කියන්නෙ. වෙබ් අඩවියක් කිව්වට ඇත්තටම විකිපීඩියා කියන්නෙ විශ්ව කෝෂයක්. ඒ කියන්නෙ විශ්වයේම දැනුම පිරුණ මහා දැනුම් සම්භාරයක්. තේරෙන සරලම විදිහට කිව්වොත් මේ විකිපීඩියා එකේ නැති දෙයක් නැහැ. ඉතින් ඔය කොයිකටත් තෛලය වගේ තියෙන විකිපීඩියා වෙබ් අඩවියට පහුගිය ජනවාරි 15 වෙනිදා අවුරුදු 20ක් සම්පූර්ණ වුණා. ඉතින් මේ විසි වර්ෂ පූර්ණයත් එක්ක අපි හිතුව මේ වෙබ් අඩවිය, ඒකෙ ඉතිහාසය සහ පැවැත්ම ගැන කරුණු කාරණා ටිකක් හැමෝටම දැනගන්න ලියල තිබ්බොතින් හොඳයි කියල. 

 

 

1. මොකක්ද මේ Wikipedia?

කලිනුත් කිව්ව වගේ විකිපීඩියා කියල කියන්නෙ විශ්වකෝෂයක්. අන්තර්ජාලයේ ඕනම තොරතුරක් හොයාගන්න තියෙන, දැනුම් සම්භාරයක් ගබඩා වෙලා තියෙන විශ්ව කෝෂයක්. ඒ වගේම මේ විකිපීඩියා තමයි ලෝකයේ විශාලම free online encyclopedia එක. මේ විකිපීඩියා වෙබ් අඩවිය 2021 ජනවාරි මාසයේදී ඇලෙක්සා වෙබ් අඩවිය විසින් කරන ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය වෙබ් අඩවි 15න් එකක්. ඒ වගේම Economist පුවත්පත විසින් අන්තර්ජාලයේ වැඩිම දෙනෙක් පරිහරණය කරන ස්ථාන අතුරෙන් 13 වෙනි තැනට මේ වෙබ් අඩවිය නම් කරල තියෙනව. විවිධ භාෂා වලින් ලියවුන විකිපීඩියා වෙබ් අඩවි 317ක් අතරෙන් විශාලම විකිපීඩියා විශ්වකෝෂය ලෙස සැලකෙන්නෙ ලිපි මිලියන 6.2 කට වඩා ඇතුළත් වෙන ඉංග්‍රීසි විකිපීඩියා වෙබ් අඩවිය.

 

 

2. ආරම්භය

විකිපීඩියා වෙබ් අඩවිය ආරම්භ කෙරෙන්නෙ 2001 වර්ෂයේදී. ඒ ජිමී වේල්ස් සහ ලැරී සන්ගර් කියන පුද්ගලයන් දෙදෙනා විසින්. අන්තර්ජාලය මූලික කරගෙන කෙරෙන විශ්වකෝෂයක මුල්ම අදහස් මතුවෙන්නෙ 1993 වසරෙදි රික් ගේට්ස් කියන පුද්ගලයෙකුගෙන්. නමුත් පසුකාලීනව බිහිවුණ Microsoft Encarta, Encyclopedia Britannica සහ Nupedia කියන වෙබ් අඩවි වල පසුගමන්කරුවෙක් විදිහට තමයි මේ විකිපීඩියා වෙබ් අඩවිය නිර්මාණය වෙන්නේ. 

 

 

3. පසුබිම

ලෝකයේ සියලු දැනුම එකම ස්ථානයක ගබඩා කරල තියනව කියන සංකල්පය Alexandria සහ Pergamum කියන පුරාතන පුස්තකාල දක්වා ඈත අතීතයට දිවයන සංකල්පයක්. නමුත් මේ සියලු දැනුම කියවිය හැකි එක් පොතකට මුද්‍රණය කරන අදහස මතුවෙන්නෙ 18 වන ශතවර්ෂයේදී. පහුකාලීනව 20 වෙනි සියවසේ තොරතුරු තාක්ෂණික දියුණුවත් එක්ක මේ අන්තර්ජාලය පදනම් කරගත්ත විශ්වකෝෂ බිහිවීම ආරම්භ වෙනව. මයික්‍රොසොෆ්ට් ආයතනය මඟින් හඳුන්වාදුන් Encarta වගේම Encyclopædia Britannica කියන වෙබ් අඩවිත් කරළියට එන්නෙ 1993න් පස්සෙ කාලෙදි. 

 

 

4. ක්‍රමවේදය

අපි හැමෝම කියවන, අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන මේ විකිපීඩියා වෙබ් අඩවියට ලිපි ලියන්නෙත් මේ අපි අපිම තමයි. ඒ කියන්නෙ ඒ ඒ අංශයන්ගේ දැනුම තියෙන, අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන ඕනම කෙනෙකුට පුළුවන් මේ වෙබ් අඩවියට ලිපි ලියන්න වගේම දැනට තියෙන ලිපි සංස්කරණය කරන්නත්. හැබැයි භේද කිරීම් සහ මිලේච්ඡ ක්‍රියා වළක්වන්න ගැනෙන පියවර විදිහට සමහර ලිපි එහෙම සංස්කරණය කිරීම වෙබ් අඩවියෙන්ම සීමාකරල තියෙනවා. මේ වෙබ් අඩවිය මෙහෙම හැමෝගෙම දැනුම අරගෙන පවත්වාගෙන යෑමේ මූලිකම අරමුණ තමයි ලෝකයේම දැනුම බාධාවකින් තොරව හැමෝටම ලබාගන්න හැකිවීම. ඒ අරමුණ ඉහළින්ම සාක්ෂාත් කරමින් හැම මාසෙකම ලෝකය පුරා විවිධ ඩිජිටල් උපාංග බිලියන 1.5කට වඩා වැඩි ප්‍රමාණයකින් මේ වෙබ් අඩවිය පරිශීලනය කෙරෙනවා. 

 

 

5. අන්තර්ගතය

කලිනුත් කිව්ව වගේ ලෝකයේ තියෙන සියලුම දැනුම මේ වෙබ් අඩවියේ අන්තර්ගත වෙනව. ඒ වගේම මුල්ම පටන් ගැනුම ඉංග්‍රීසි භාෂා වෙබ් අඩවිය වුණත් මේ වෙද්දී ලෝකයේ භාෂා විශාල සංඛ්‍යාවකින් මේ විකිපීඩියා වෙබ් අඩවියේ ලිපි ලියවිලා තියෙනව. හැබැයි දැනටත් විශාලම වෙබ් අඩවිය වෙන්නෙ මිලියන 6.2 කට වඩා ලිපි අඩංගු වෙන ඉංග්‍රීසි භාෂා වෙබ් අඩවිය. 

 

 

6. ජයග්‍රහණ

2001 වර්ෂයේ ආරම්භ කෙරුණු මේ වෙබ් අඩවිය අද වෙද්දී වසර විස්සක කාලය ඇතුළත විවිධ අවධි සහ ජයග්‍රහණ විශාල සංඛ්‍යාවක් පහුකරගෙන ඇවිල්ල තියෙනවා. 2002 වසරේදී තමයි ඔවුන්ගේ මුල්ම සහෝදර ව්‍යාපෘතිය වෙන Wiktionary නිර්මාණය කෙරෙන්නෙ. 2003 වසරේදී Wikiquote, Wikibooks සහ Wikisource වෙබ් අඩවි නිර්මාණය කෙරෙනව. 2006 වසරේදී ඒ වෙනකොට තිබුන භාෂා 229 කට අයත් සියලුම වෙබ් අඩවි එකතුවෙලා ලිපි ලක්ෂ 50 සීමාව පහු කරන්න සමත් වෙනවා. 2011 දී භාෂා 282ක වෙබ් අඩවි එකතුවෙලා ලිපි මිලියන 20 දිනුම් කණුව පහු කරනවා. ඔය විදිහට ජයග්‍රහණ විශාල සංඛ්‍යාවක් පහුකරගෙන ඇවිල්ලා අද වෙද්දී, ඒ කියන්නෙ 2021 ජනවාරි මාසේ වෙද්දී ඇලෙක්සා වෙබ් අඩවියට අනුව ලොව වැඩියෙන්ම භාවිත වෙන වෙබ් අඩවි 15 අතරේ ඉන්න මේ විකිපීඩියා වෙබ් අඩවිය සමත් වෙලා තියෙනවා. 

 

 

7. විසිවස් සැමරුම

ඉතින් ඔය විදිහට විජයග්‍රාහී ගමනක් ආපු මේ විකිපීඩියා තරුණයා පහුගිය ජනවාරි 15 වෙනිදා 20 වෙනි උපන්දිනය සැමරුවා කියල අපි කලිනුත් කිව්වනේ. මේ වෙබ් අඩවියේ ඉංග්‍රීසි මාධ්‍ය වෙබ් පිටුව ඉතාම මෑතක එහි බිලියනය වැනි සංස්කරණයත් සමරලා තියෙනවා. අවුරුදු 20ක් සපුරන අවස්ථාව වෙනකොට මේ වෙබ් අඩවිය භාෂා 300කින් ලිපි මිලියන 55කට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනව. ඉතින් මේ විදිහට අවුරුදු 20ක් පුරා දැනුම බෙදන්න, මුල් තැනට එන්න ඔවුන්ට උදව් කරමින් ස්වේච්ඡාවෙන් ලිපි ලියපු අයට මේ 20 වෙනි උපන්දිනය වෙනුවෙන් wikifoundation වෙබ් අඩවිය හරහා ස්තූති කරන්නත් ඔවුන් අමතක කළේ නැහැ. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *