ආතල් එකට ෂෙයාර් කරන මීම්වල ඔබ නොහිතන වැදගත්කම


බුකියේ ගේම් ගහන්න ආපු කාලයක් තිබ්බා, ඊට පස්සේ චැට් කරන උන්මාදයක් ආවා. දැන් නම් අපි කොයි කවුරුත් ඒ පැත්තේ යන්නේ මීම් නිසා. මේ ආටිකල් එක කියවන්න කලින් ඔබ සියලු දෙනා කරන්න ඕනි මීම් කියන එක මෙමේ කියලා උච්චාරණය කරන ඔබේ මිතුරව හරි පාරට ගන්න එක. මීම්වල බැලූ බැල්මට ඒ හැටි වැදගත්කමක් පේන්නේ නෑනේ. ඒත් දැන් දැන් ලෝකේ දුවන්නෙත් මීම් නිසාම ද කියන තැනට මීම් පත් වෙලා. ඒ කොහොමද? 



1. මාකටින් ටූල් එකක්


සෝෂල් මීඩියාවල වෙන ගොඩක් ඇඩ්වර්ටයිසින් සිද්ධිවලට දැන් ඒජන්සි කෙලින්ම පාවිච්චි කරන්නේ මීම් තමයි. අතිශය ප්‍රසිද්ධ මීම් ටෙම්ප්ලේට් ඇරුණු කොට කාලීනව වෙන ඕනි ම දෙයක් සම්බන්ධයෙන් තමන් ම කස්ටම් විදියට මීම් එකක් නිර්මාණය කරලා අදාළ පේජ්වලින් බුකියට මුදා හරිනවා. මීම් එකක් ෂෙයාර් කිරීමේ පරමාර්ථයෙන් කට්ටිය මේවා ෂෙයාර් කරාට නොදැනුවත්වම වෙන්නේ බ්‍රෑන්ඩ් එකක් මාර්කට් කරන එක. 



2. නව යහළුවන් හඳුන්වා දෙන්නෙක්


කොලිටි මීම් එකකට පුළුවන් අලුත් යාළුවෝ ඇති කරවන්න. බුකිය කියන්නේ දන්න අඳුනන ඈයෝ එකට පෑහෙන තැනක් නේ. ඒත් මීම් වැඩේ නිසාම මීම් එක හදපු කෙනාට අනෙක් අය රික්වෙස්ට් එකක් හෙම දාලා නමෝ විත්තියෙන් යාළුකම් පටන් ගන්නා අවස්ථා තියනවා. සමහර අයට ඔය මීම් කෙරුවාව නිසා ජීවන සහකරු සහකාරිය පවා හමුවන අවස්ථා තියනවා. දැන් නම් මීම් හදන්න එච්චර මහන්සි වෙන්න දෙයක් නෑ. ඒකටම ඇප් තියනවා. 



3. නිර්මාණශීලිත්වයට මගක්


මීම් එකක් හදන එක ලේසි නෑ. ඒ කිව්වේ තාක්ෂණික පැත්ත නෙවේ. සැකිල්ලක් ගහගන්න එකෙයි රඟේ තියෙන්නේ. හැමෝටම තේරුම් යන දෙයක් වෙන්නත් ඕනි. වචනවලින් රූපවලින් සෙල්ලමක් දාන්න ඕනි. මේ දේවල් කරන්න ආසාව තියනවා නම් පිස්සුවක් වගේ තියේ නම් පතන නිර්මාණශීලිත්වය ඉබේ ම ඇති වෙනවා. මීම් ක්‍රියේටර් කෙනෙක් විදියට ෆේමස් වෙලා ආවම බැරියැ පේජ් එකක් අටවගෙන ඉදිරියටම යන්න.



4. නව දැනුමක්


මීම් එකකින් මේ මොහොතේ රටේ ලෝකේ ඇති වන ප්‍රශ්නයක් ගැන කතා කරන අවස්ථා තියනවා. ටීවි එකකින් ප්‍රවෘත්ති යනකන් බලන් ඉඳන් වෙන අප්ඩේට් වීමට වඩා රියල් ටයිම් අප්ඩේට් එකක් මීම් සංස්කෘතියෙන් සිද්ධ වෙනවා. කාලයත් පරද්දලා මීම් හදන අයියලා ඉන්නකන් මුළු ලෝකෙම අතේ තමයි. තප්පරෙන් තප්පරේට ස්ක්‍රොල් කරන එක විතරයි අපිට අමුතු දේකට කියලා කරන්න තියෙන්නේ.



5. සන්නිවේදකයෙක්


පණිවිඩ හුවමාරුව සෝෂල් මීඩියා එක්ක වෙනස් වුණා. අපි කෙනෙක්ට පෞද්ගලිකව පණිවිඩයක් යවද්දී වුණත් කරන්නේ මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරන එක. කෝල් කරන එකත් දැන් දැන් සීමා වෙලා තියනවා. මීම් කියන්නේ අන්තර්ජාතික සන්නිවේදකයෙක්. එක වර එක දෙයක් දහස් ගණනක් පුද්ගලයන් එක්ක බෙදා ගන්නවා. මීම් එකකින් වෙන පණිවිඩ හුවමාරුවට රටවල් මහාද්වීප අතර කියලා සීමා නෑ. 



6. අමතර මුදලක් සඳහා


මීම් පේජ් එකකුයි හොඳ නිර්මාණශීලි මොළ ගෙඩියකුයි තියනවා නම් යහමින් මුදල් හම්බ කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ බව පහුගිය කාලේ තිබුණ දේශපාලන වාතාවරණය ඇතුළේ දකින්න ලැබුණා. ඊට අමතරව විවිධ පාර්ශ්වවල උවමනාවට අනුව මීම් හැදීමෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්. 



7. හොඳ හිනාවක්


හැමදේම කරන්නේ ආතල් එකටනේ. මීම් එකක් කියන්නේ හිනා කටක්. හැබැයි කොලිටි හිනාවක්. ෆෝන් එක දිහා බලන් ගොඩක් හිනා වෙන උදවිය ඒ මල් කඩනවා නෙවේ මීම් බලනවා. සමහරු දැන් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නෙත් මීම් බලන්න විතරයි. මීම් එකක මහා රචනා ලියන්න නෑ. අනවශ්‍ය කතන්දර නෑ. පොයින්ට් එකට හිනාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *