එක එක රසින්‍ රෝල්ස් කන්න ආස අයට වෙනස් රෝල්ස් රෙසිපි

රෝල්ස් කියන්නෙ සමහරුන්ට නම් කෑමක් නෙමෙයි ආගමක්. ඒතරම් ආසයිනේ… අද අපි ගෙනාවෙත්‍ රෝල්ස් හදන හැටි තමයි. හැබැයි මේ සැමන් දාලා හැමදාම කන රෝල්ස් නම් නෙමෙයි. වෙනස් රස වලින් හදාගන්න පුළුවන් රසම රස රෝල්ස්…

 

1. ටොමැටො බ්‍රෙඩ් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන් පෙති කිහිපයක්
  2. චොප්කරගත් තක්කාලි ගෙඩි 3
  3. චොප්කරගත් රතු ළූණු ගෙඩි 3
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. කෑලි කරගත් චෙඩාර් චීස් ටිකක්
  6. ගම්මිරිස්කුඩු
  7. ලුණු
  8. බැදීමට තෙල්

 

  • මුලින්ම පාන්පෙති වල වාටි කපාගන්න. රෝලින් පින් එකක් අරගෙන පාන් පෙති ටික තලලා තුනී කරගන්න.
  • දැන් තක්කාලි, ළූණු, චීස්, අමුමිරිස්, ලුණු හා ගම්මිරිස්කුඩු කලවම් කරලා පාන්පෙත්තක කෙලවර තියාගන්න.
  • ඊලඟට පාන්පෙති මිශ්‍රණය දාපු කොනේ ඉඳන් තදට රෝල් කරලා ටූත් පීක් එකක් රඳවගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

 

2. චිකන් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි ග්‍රෑම් 500
  2. බිත්තර 2
  3. බැදීමට තෙල්
  4. බිස්කට් කුඩු ග්‍රෑම් 100
  5. ලුණු ස්වල්පයක්

 

ෆිලින්ග් එක සඳහා

 

  1. තම්බාගත් චිකන් ග්‍රෑම් 100
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් අමුමිරිස් කරල් 1
  4. චොප්කරගත් ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1/2
  5. ලියාගත් කරපිංචා ස්වල්පයක්
  6. තම්බාගත් අලගෙඩි 1
  7. තෙල් ස්වල්පයක්
  8. රස අනුව ලුණු
  9. ගම්මිරිස්කුඩු

 

  • තෙල් ස්වල්පයක් ලිප තියලා රත්වෙනකොට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න. ඒකටම ළූණු දාලා තෙම්පරාදු කරගන්න.
  • ටිකකින් චොප්කරගත් අමුමිරිස්, කරපිංචා දාලා කලවම් කරගෙන පොඩි කරගත් අල සහ චිකන් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරලා ලිපෙන් බාගන්න.

 

  • පාන්පිටි වලට ලුණු හා බිත්තරයක් කඩලා දාලා කලවම් කර ගන්න. වතුර ටික ටික දාලා තික් බැටර් එකක් හදාගන්න. 
  • දැන් පෑන් එකක් ලිප තියලා තෙල් ටිකක් බ්‍රශ් කරලා මේ බැටර් එකෙන් ටික ටික දාලා පෑන් කේක් එක හදාගන්න. 
  • ලාවට නිවුණු රොටි අරගෙන අයිනට මිශ්‍රණය තියලා එක පාරක් රෝල් කරලා දෙපැත්ත නවාගෙන ඉතුරු ටික රෝල් කරගන්න. 
  • ඊලඟට බිත්තර සාරු වල දවටලා, පාන්කුඩු තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.

 

3. දෙල් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳින් පැසුණු දෙල් ගෙඩි 1
  2. චිකන් රෝල් ෆිලින්ග් එක හෝ කට්ලට් මිශ්‍රණය
  3. පාන්පිටි ග්‍රෑම් 75
  4. පාන්කුඩු ග්‍රෑම් 100 
  5. බිත්තර 2
  6. ගම්මිරිස්කුඩු
  7. ලුණු

 

  • දෙල් ගෙඩිය කෑලි කර ලුණු දමා තම්බාගන්න. 
  • තම්බාගත් දෙල් ටික පොඩි කරලා ඒකට පාන්පිටි ටික ටික එකතු කරලා අනාගන්න. රස අනුව ගම්මිරිස්කුඩු ටික දාගන්න. අතේ නොඇලෙන පොඩිබෝල හදලා බටර් ගාගත් තැටියක තුනී කරන්න. 
  • ඒ මැදින් චිකන් ෆිලින්ග් එක ටිකක් තියලා මිශ්‍රණය වැහෙන්න දෙල් පිරවුම වසාගන්න. 
  • දැන් මෙය ගසාගත් බිත්තර වල දවටා පාන්කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

 

4. ගෝවා රෝල්ස්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ගෝවා කොළ 5ක් පමණ
  2. තම්බාගත් අලගෙඩි 2
  3. තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 100
  4. තම්බාගත් කැරට් අල 2
  5. චීස් කෑලි 2
  6. බටර් ග්‍රෑම් 50
  7. ලුණු
  8. ගම්මිරිස්කුඩු

 

  • ගෝවා කොළ උණුවතුර ටිකකට දමා තම්බා ගන්න.  
  • කැරට් දික් අතට කපාගන්න. අල කෑලි කපාගන්න. 
  • නූඩ්ල්ස් වලට ලුණු හා ගම්මිරිස්කුඩු ඉස කලවම් කරගන්න. 
  • ගෝවා කොළ උඩ නූඩ්ල්ස් ටිකක් තියලා අල, කැරට් හා චීස් කැබැල්ල බැගින් තියලා ගෝවා කොළය ඔතලා ටූත් පීක් එකක් ගහගන්න. 
  • රෝල් එක උඩින් මාගරින් බ්‍රශ් කර 180°ට ‍රත් කරගත් අවන් එකක විනාඩි 10ක් බේක් කරගන්න.

 

5. ස්ප්‍රින්ග් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි ග්‍රෑම් 100
  2. කෝන්ෆ්ලා ග්‍රෑම් 50
  3. ග්‍රේට්කරගත් ගත් කැරට් ග්‍රෑම් 50
  4. හීනියට ලියාගත් බෝංචි ග්‍රෑම් 50
  5. ග්‍රේට්කරගත් ගෝවා ග්‍රෑම් 50
  6. චොප්කරගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
  7. තක්කාලි සෝස් මේස හැඳි 4
  8. ලුණු
  9. අබ ස්වල්පයක්
  10. ගම්මිරිස්කුඩු
  11. තෙල් ස්වල්පයක්

 

  • තෙල් ටික ලිපේ තියලා චොප්කරගත් ඉඟුරු සුදුළූණු ටික තෙම්පරාදු කරගන්න.
  • ඊලඟට අබ ටික දාගන්න. ටිකකින් කපාගත් එළවළු සියල්ලම එකතු කරගන්න. ලුණු හා ගම්මිරිස්කුඩු රස අනුව දාගන්න. 
  • සෝස් ටිකත් දාලා මසාලා එකක් වගේ හදලා ලිප නිවා ගන්න.
  • පාන්පිටි, කෝන්ෆ්ලා එකතු කරලා වතුර දාලා තරමක දියාරු බැටර් එකක් හදාගන්න. රස අනුව ලුණු දාගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් බ්‍රශ් කරල බැටර් එක දාලා තුනී ශීට්ස් හදා ගන්න. 
  • හදාගත් මසාලා එක ශීට් එකේ කෙලවරින් තියලා එක පාරක් ඔතාගෙන දෙපැත්තෙන් නවල සම්පූර්ණයෙන් ඔතාගෙන වතුර ටිකක් ගාල සීල් කරගන්න. රන්වන් පාට වෙනතුරු ගැඹුරු තෙලේ බැදගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *