කාලෙන් කාලෙට එක එක රැලි එනවා. කාලයක් තිබුණා අවන් එකේ කෑම හදන පිස්සුවක්. දැන් ඒකෙන් ම අමුතු රැල්ලක් හැදිලා. ඒ තමයි අවන් එකෙන් සාමාන්‍යයෙන් හදන කෑම වෙන වෙන උපායමාර්ගවලින් හදන එක. මේ කෑම වර්ග 6ත් එහෙම හැදුණ ඒවා. නිවාඩුපාඩුවේ හදලා බලන්න. විදුලියට යන වියදමත් ඉතුරුයි.
1. පොල් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය:
- පොල් ග්‍රෑම් 200
- පාන් පිටි ග්‍රෑම් 50
- සීනි ග්‍රෑම් 150
- වතුර මිලිලීටර 120
- බිත්තර 1
- කුරුඳු කුඩු අවශ්‍ය පමණට
- බේකින් පවුඩර් ග්‍රෑම් 5
- බේකින් සෝඩා ග්‍රෑම් 5
- රට ඉඳි අවශ්‍ය පමණට
- වියලි මිදි අවශ්‍ය පමණට
සාදන ආකාරය:
- සීනි ටික කැරමල් කරලා වතුර එකතු කරගන්න. පොල් දාලා පොල් පැණි එක වෙනම හදාගන්න.
- බිත්තරෙත් හොඳට බීට් කරගන්න. ඊට පස්සේ නිවුණු පොල්පැණි එකට දාන්න. පිටි සහ අනිත් සියලු දේ පොල්පැණි එකට දාලා අතින් කලවම් කර ගන්න. ඊට පස්සේ බටර් තවරපු රයිස් කුකර් බෝල් එකට මේ මිශ්‍රණය දාලා රයිස් කුකර් එකේ විනාඩි 45ක් පිසගෙන පස්සේ ඉවතට ගන්න.
2. ඥානකතා
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 100
- බටර් ග්‍රෑම් 50
- බිත්තර 1
- බේකින් පවුඩර් තේ හැඳි 3
- ලුණු ස්වල්පයක්
- කිරි මිලිලීටර 30
- වැනිලා තේ හැඳි 1
- සීනි ස්වල්පයක්
සාදන ආකාරය:
- ලොකු ඇතිලියක් ගන්න. ඒකෙ අඩියට ලුණු තට්ටුවක් අතුරගන්න. මේ ඇතිලිය ඇතුළේ කුස්සියෙදි භාජන තියන්න පාවිච්චි කරන වර්ගයේ යකඩ දරණුවක් තියන්න. ඊට පස්සේ ඇතිලියේ පියන වහලා මද වෙලාවක් රත්කරගන්න.
- ඒ අතරතුර සීනි, බටර්, බිත්තරය එකට දමා හොඳින් බීට් කරන්න. ඒ මිශ්‍රණයට පිටි, බේකින් පවුඩර්, වැනිලා සහ ලුණු එකතු කර කිරි දාලා හොඳින් අනන්න පිටි මෝලිය අතේ නොඇලෙන ගාණට.
- මෝලිය පොඩි බෝලවලට වෙන් කරලා අවශ්‍ය හැඩයට පැතලි කරගන්න. ඒවා උඩින් වතුර ගාලා සිනී ඉහගන්න. දැන් අර ඇතිලියේ ඇතුළෙන් ඥාණකතා දාපු තැටිය දාලා විනාඩි 20-25 අතර පුළුස්සන්න.
3. කිරිපිටි කැරමල් පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- සීනි මේස හැදි 2
- උකුවට දිය කළ කිරිපිටි කෝප්ප 1 1/2
- වැනිලා තේ හැඳි 1
කැරමල් එක සඳහා:
- සීනි මේස හැඳි 3
- වතුර මේස හැඳි 1
සාදන ආකාරය:
- මුලින්ම සීනි මේස හැඳි 3 පෑන් එකකට දමා වතුර මේස හැන්දක් එකතු කර කැරමල් එක සාදා ගන්න. පුඩිම සාදා ගන්නා භාජනයේ අඩියට කැරමල් එක වත් කරගෙන පසෙකින් තබන්න.
- වෙන භාජනයකට බිත්තර 3 දමා බීට් කරන්න. එයට සීනි මේස හැඳි 2 දමා බීට් කර ගන්න. ඉන් පසු කිරි කෝප්ප එකහමාර දමා කලවම් කර පුඩිම සාදා ගන්නා භාජනයට මිශ්‍රණය පෙරා එකතු කරගන්න. තරමක් ලොකු භාජනයක අඩියට වතුර ටිකක් දමා එය මැදින් යකඩ ස්ටෑන්ඩ් එකක් තබා එය මත පුඩිං මිශ්‍රණය ඇති භාජනය තබා පුඩින් භාජනය හොඳින් වසාගන්න. ලොකු භාජනයේත් පියන වසන්න.
- විනාඩි 25ක් පමණ ස්ටීම් කර ගන්න. ඉන් පසු නිවෙන්නට හැර ශීතකරණයේ පැයක් පමණ තබා තැටි පිඟානකට අනිත් පැත්ත හරවා ගන්න.
4. කිරිබනිස්
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන්පිටි ග්‍රෑම් 200
- කිරිපිටි මේස හැඳි 04
- බටර්/මාජරින් මේස හැඳි 02
- වතුර මේස හැඳි 06
- බිත්තර 01
- සීනි තේ හැඳි 01
- යීස්ට් තේ හැඳි 01
- ලුණුකුඩු තේ හැඳි 1/4
- පාන්පිටි හා කිරිපිටි කලවම් කර හලාගන්න.
- කෝප්පයකට යීස්ට් හා සීනි දමා මද රස්නේ වතුර මේස හැඳි 05ක් එක්කර කලවම් කර විනාඩි 10ක් පමණ තබන්න. බිත්තරය ගසා ගෙන යීස්ට් සහිත කෝප්පයට දමා හොඳින් කලවම් කර පිටි සහිත භාජනයට දමන්න. ඊට බටර් හා ලුණු එකතු කර මිශ්‍රණය හොඳින් අනාගන්න.
- පසුව භාජනයක තෙල් ටිකක් ගා මෙම මෝලිය විනාඩි 45ක් පමණ වසා තබන්න. පාන්පිටි ඉසින ලද ට්‍රේ එකක් ගෙන එය මත මිශ්‍රණය තබා වෘත්තාකාර ලෙස පැතලි කර පිහියක පාන් පිටි ගා සමාන කොටස් 6 කට කපා ගන්න. කෑල්ලෙන් කෑල්ල ගෙන වටේ කොටස් ඇඟිල්ලෙන් යටට යවමින් බෝලයක් ආකාරයට සකසන්න.
- ස්ටීම් කරන භාජනයට තෙල් කොලයක් දමා එම බෝල 06 එකට තබන්න.
- දැන් හොඳින් වැසෙන පියනක් සහිත භාජනයකට ජලය දමා යකඩ ආධාරකයක් තබන්න. එම ආධාරකයට පොඩ්ඩක් අඩුවෙන් ජලය දමා ජලය නටන විට ආධාරකය මත බනිස් සහිත භාජනය තබා හොඳින් වසන්න. පියන රෙද්දකින් ඔතා ගැනීමෙන් ජල වාෂ්ප බනිස් මත වැටීමෙන් වැළකෙයි. විනාඩි 16ක් පමණ මෙසේ හුමාලයෙන් තම්බා ගෙන ලිප වසා දමා තවත් විනාඩි 03ක් පමණ තිබෙන්නට හරින්න.
5. චොකලට් පවුන්ඩ් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 1 1/2
- පාන්පිටි කෝප්ප 1
- කොකෝ පවුඩර් 1/4
- සීනි කෝප්ප 1
- බේකින් පවුඩර් තේ හැඳි 1
- බේකින් සෝඩා තේ හැඳි 1/4
- ක්ෂණික කෝපි මේස හැඳි 1
- තෙල් මේස හැඳි 1/2
- මුදවපු කිරි කෝප්ප 1/3
සාදන ක්‍රමය:
- භාජනයකට කිරි සහ කෝපි දමා හොඳින් කවලම් කරගන්න. පාන් පිටි, කොකෝ පවුඩර්, සීනි, බේකින් පවුඩර්, බේකින් සෝඩා පෙනේරයක් භාවිතයෙන් හලා ගන්න. ඉන්පසු එයට තෙල්, කලින් සාදාගත් කෝපි කිරි මිශ්‍රණය සහ මුදවපු කිරි හොඳින් කවලම් කරගන්න.
- කේක් මෝල්ඩ් එකේ තෙල් ටිකක් ගාලා තෙල් කඩදාසියක් තියන්න. දැන් අඩිය ඝනකම් භාජනයක් අරන් ඒක ගෑස් ලිපේ තියන්න. ඒකේ Cooling Rack එකක් හෝ යකඩ දරණුවක් තියන්න. දැන් ඒක වහලා අඩු ගින්දරේ විනාඩි 5ක් රත් කරන්න. ඉන්පසු කේක් මෝල්ඩ් එක දරණුව මත දමා විනාඩි 50ක් මද ගින්නේ වසා තබන්න.
6. මිනි පිට්සා
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කෝප්ප 02
- කිරිපිටි තේ හැඳි 01
- ඔලිව් තෙල් මේස හැඳි 02
- ලුණු තේ හැඳි 1/2
- යීස්ට් තේ හැඳි 1
- සීනී තේ හැඳි 1
- මද උණු වතුර කෝප්ප 1/2
- තක්කාලි සෝස් අවශ්‍ය පමණ
- කපාගත් තක්කාලි
- කැරට්/මාළු මිරිස් අවශ්‍ය පමණ
- බෙල් පෙපර් අවශ්‍ය පමණ
- බී ළුණු ගෙඩි 1ක් (ලොකුවට කැපූ)
- ගම්මිරිස් ස්වල්පයක්
- ගා ගත් මොසරැල්ල චීස්
සාදන ආකාරය:
- බෝල් එකක් ගෙන යන්තමින් රස්නේ ඇති උණු වතුර කෝප්ප 1/2 හා සීනී තේ හැන්ද එයට දමා දියකරගන්න. එයට යීස්ට් තේ හැන්ද දියකරගෙන විනාඩි 10ක් පමණ පිපෙන්න වහලා තියන්න
පීසා ඩෝ එක සඳහා:
- තව බෝල් එකකට පාන්පිටි, කිරිපිටි හා ලුණු ටික දමා කලවම් කරන්න. සාදාගත් යීස්ට් සහ සීනි මිශ්‍රණය දමා හොඳට අනා ගන්න. එම පිටි මෝලිය හොඳට විනාඩි 15ක් පමණ අනන්න. මෝලිය වීදුරු බෝල් එකකට දමා එයට උඩින් ඔලිව් තෙල් ටිකක් ගා, එය ඩබල් සයිස් වෙනකන් ලන්ච් ෂීට් එකකින් හෝ හොඳට වසා තබන්න.
- නන්ස්ටික් පෑන් එකක් ගෙන පිටි මෝලිය පෑන් එකේ ප්‍රමාණයට කඩා හොඳට සිහින්ව රොටියක් සාදන ආකාරයට අතින් වඩන්න. එහි වටේ පොඩි ගැට්ටක් පවතින පරිදි සකසාගන්න.
- ගෑරුප්පුවකින් රොටිය පුරාම සිදුරු කරන්න. රොටිය වටේ ගැට්ටේ නොගෑවෙන පරිදි තක්කාලි සොස් හොඳට තවරගන්න. මොසරැල්ලා චීස් එයට උඩින් දමන්න. කපාගත් එළවළු ඊට උඩින් ලස්සනට දමන්න. එයට උඩින් තවත් චීස් තට්ටුවක් දමන්න. මල්ටිපර්පස් කුකර් එකකට පීසා එක දමා සෙල්සියස් අංශක 140 දමා විනාඩි 20-25 පමණ තියා ගන්න අවශ්‍ය ප්‍රමාණයට. නැති නම් නන්ස්ටික් පෑන් එකකට පීසා එක දමා හොඳින් රත්වෙන පියනකින් වසා විනාඩි 20-25ක් අඩුම ගින්දරේ ලිපේ තබා පුළුස්සා ගන්න.
Leave a Reply