කොළඹින් අහසට එකතුවන නව ගොඩනැගිලි 7ක්

Colombo Highrise

ඉන්දියානු සාගරයේ මැද පිහිටීම නිසා එදා ඈත අතීතයේ පටන්ම ලංකාව යනු පෙරදිග සහ අපරදිග යාකරන මුහුදු මාර්ගයේ ප්‍රමුඛ සන්දිස්ථානයකි. අභ්‍යන්තර කැරළි, කල කෝලාහල, ත්‍රස්තවාදී උවදුරු නිසා රට කලක් තිස්සේ යම් පසුබෑමක තිබුණත්, දැන් දැන් විදෙස් ආයෝජකයින් හේතුවෙන් ලංකාවේ යම් යම් කොටස් වල පිබිදීමක් දකින්නට ලැබේ. ඒ අතර ලංකාවේ අහස සිපගන්නට ඉහළට ඇදෙන ගොඩනැගිලි වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වසර විස්සක තිහක කාලයක සිට කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙක මත වූ උසම ගොඩනැගිල්ලේ කිරුළ දැන් නම් ඔවුනට අහිමි වී හමාරය.

 

1. නෙළුම් කුළුන

Colombo Highrise

Source – skyscrapercity.com

පැරිසියේ පිහිටි අයිෆල් කුළුන පැරිසියට ඇතිකරන්නේ ආවේණික සුන්දරත්වයක්. ඒ වගේ කොළඹට කුමන මාර්ගයකින් පැමිණියත් ඈතට දිස්වෙන නෙළුම් කුළුන කොළඹට ගෙන එන්නේ අමුතුම ආකර්ශනයක්. මේ කොළඹ නෙළුම් කුළුන චීනයේ මැදිහත් වීමෙන් ඉදිවෙන කුළුනක්. ප්‍රධාන වශයෙන් සන්නිවේදන කාර්යයන්ටද සහයෝගය දක්වන නෙළුම් කුළුනේ ඉහළ පොට්ටුව කොටසේ සෙමෙන් කැරෙකෙන පීඨිකාවක්ද තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ සෙමෙන් ඉහළ ඇදෙන නෙළුම් කුළුනේ දැන් බොහොමයක් වැඩකටයුතු නිමයි. එසේ නිම වූ පසු ලංකාවේ ඇති මිනිසා විසින් නිමවූ ඉහළම සැකසුම බවට මෙම මීටර 350ක් උස නෙළුම් කුළුන ඉබේම පත් වේවි.

 

2. The One කොළඹ කුළුන

Colombo Highrise

Source – nextfloor.lk

මුලින් ක්‍රිශ් නැමැති ටවර් එකක් මෙම බිම ඉදිකරන්නට ගියත් පසුව එහි නම වෙනස් වී දැන් ද වන් ලෙස කොළඹ කොටුවේ ඉදිවන ගොඩනැගිල්ල මීටර 320ක් පමණ උසැති ගොඩනැගිල්ලක්. සතර අතින්ම මාර්ගවලින් වට වූ කුඩා භූමිබාගයක ඉදිවන මේ ගොඩනැගිලි සංකීර්ණයට වසර දෙසීයකට අධික කාලයක සිට උරුම වූ පුරාණ තැපැල් ගොඩනැගිල්ලක්ද ඇතුළත්. පැරණි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉවත් නොකර, එහි නව්‍යකරණයක් පමණක් මෙහිදී සිදුකරනු ලැබුවා. ද වන් හි කාමර 473ක හෝටල් වපසරියක් පිහිටුවීමට අපේක්ෂා කර ඇත. චීන සමාගම් විසින් කොන්ත්‍රාත් භාර ගෙන ඇති මෙම ද වන් ගොඩනැගිල්ල 2021 දී සම්පූර්ණ කිරීමට නියමිතය.

 

3. ඇලවුනු අල්ටෙයාර්

Colombo Highrise

Source – altair.lk

අල්ටෙයාර් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇලවුනු ගොඩනැගිල්ලකි. ගංගාරාම සීමාවේ සිට වටේටම ඉදිවන ගොඩනැගිලි අතර අල්ටෙයාර්ට විශේෂ තැනක් හිමි වන්නේ එහි අංශක 13ක් ඇලවූ ආනත පිහිටීමේ ඇති එක් බිල්ඩිමක් නිසාය. මේ ආනතිය නිසා විදුලි සෝපානයන් කෙසේ තිබේදැයි යන්න තවමත් විවෘත කර නොමැති මේ බිල්ඩිම දකින අයට එන එක් ගැටළුවකි. මුළුමනින්ම පාහේ සුපිරි නිවාස හෙවත් රෙසිඩන්ස් සඳහා සැලසුම් කර ඇති අල්ටෙයාර් හි බොහොමයක් වැඩ මේ වනවිට හමාර වෙමින් පවතී. මේ බිල්ඩිමේ නිවාස බොහොමයක් දැනටම අලෙවි වී හමාර අතර මෙහි නිවෙස් කොටසක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ත් 8ත් අතර මිලකට අලෙවි වේ. අල්ටෙයාර් හි මහල් 67කි. උස මීටර 240කි.

 

4. ග්‍රෑන්ඩ් හයට් කළම්බෝ

Colombo Highrise

Source – archetype-group.com

වෙරළාසන්න කොල්ලුපිටියේ ශාන්ත තෝමස් ප්‍රාථමිකයට යාබදව ඉදිවන ග්‍රෑන්ඩ් හයට් එක පසකින් හෝටලයකි. අනෙක් පසින් එය සුපිරි නිවාස සංකීර්ණයකි. මීටර දෙසීය තිහක් පමණ උස විය යුතු මෙම ගොඩනැගිල්ල දැනට මූල්‍යමය ගැටලු නිසා සෙමෙන් ඉදිවන තත්ත්වයට පැමිණ තිබේ. වසර ගණනාවක් තිස්සේ ඉදිවන මෙම ගොඩනැගිල්ල මහල් 47කින් සමන්විත එකකි.

 

5. ශැංග්‍රි ලා කොළඹ

Colombo Highrise

Source – shangri-la.com

ශැංග්‍රිලා ලෙස සරලව හඳුන්වන මෙම සම්පූර්ණ ගොඩනැගිල්ල සම්පූර්ණ වූ පසු ටවර් 4කින් යුක්ත වේ. සේවා සපයන අපාර්ටමන්ට් 41ක්ද කාමර 500ක්ද මෙම ශැංග්‍රිලා කොළඹ සතු වේ. මෙම සංකීර්ණයට ජිම්, ස්පා, බාර්, උත්සව ශාලා, ආදී නවීන පහසුකම්ද ඇතුළත් වේ. මෑතකදී ලංකාවේ ප්‍රකට ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවය පැවැත්වූයේ මෙම ශැංග්‍රිලා හෝටලයේය. පසඳ සහ ජනාසි ගේ ඒ මංගලෝත්සවය මෑත කාලයේ ලංකාවේ පැවැත්වූ විවාහ මගුල් අතර ඉහළින්ම තිබූ එකකි.

 

6. රාජගිරියේ ක්ලියර්පොයින්ට්

Colombo Highrise

Source – youtube.com

රාජගිරිය සීමාවේ නිස්කලංක පරිසරයක පිහිටා ඇති ක්ලියර්පොයින්ට් දැනට වැඩ නිම වූ සුපිරි නිවාස සංකීර්ණයකි. එහි තට්ටු 46ක් පුරා මීටර 185ක් උසට සුපිරි නිවාස පද්ධති පිහිටා තිබේ. දැනට ඉදිවී ඇති, වැඩ නිම වී ඇති ඉදිකිරීම් අතුරින් මීටර 150ක් වූ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අභිබවා යෑමට මෙම ක්ලියර්පොයින්ට් රෙසිඩන්සිස් සමත් වී තිබේ. ක්ලියර්පොයින්ට් ගොඩනැගිල්ලක් වුවද අතුපතර විහිදී ගිය කොළ පැහැයක් ඈතට දිස්වෙන අරුම නිමැවුමකි. එහි සෑම මහලකම පාහේ පැතිර ගොස් ඇති හරිත පැහැ වගාවන් මතින් සොබා සෞන්දර්යය ඉස්මතු කරලීමට ඔවුන් සමත් වී තිබේ.

 

7. අල් අමාන් කැපිටල් සෙන්ටර්

Colombo Highrise

Source – skyscrapercity.com

දැනට යෝජනා වී ඇති ආකාරයට නෙළුම් කුළුනටත් වඩා උසැති මෙම වෙළඳ මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිතව ඇත්තේ කොම්පඤ්ඤවීදිය දිසාවේය. දැනට ඉදිවන තට්ටු 60-70 උසැති ගොඩනැගිලි තවත් කුඩා කරවමින් මේ යෝජිත අල් අමාන් තට්ටු 117කින් සමන්විත වේ. මෙය කෙලින්ම විදෙස් මූල්‍ය මැදිහත්වීමකින් සිදුකරන අතර 2017 ජූලි මසදී මේ ගැන වූ මාධ්‍ය නිවේදන මාධ්‍ය සිසාරා ඇදෙන්නට විය. සුවිශාල වෙළඳ සංකීර්ණයක් මෙන්ම කාමර දහස් ගණනක හෝටල් පහසුකමකින් යුත් මෙය ඉදිවුවහොත් කොළඹ මුදුනා ලෙස වැජඹෙන නෙළුම් කුළුනට දෙවැනි තැනට පසුබසින්නට සිදු වනු ඇත.

කොළඹ අහසට එකතු වන මෙම ගොඩනැගිලි කරා සාමාන්‍ය ජනතාවට නම් පිවිසීමට අපහසු විය හැකිය. එහෙත් මුල් පෙළේ ව්‍යාපාරිකයන්, ධනවතුන් උදෙසා ඉදිවන මෙම සුවිසාල ගොඩනැගිලි කලකදී ඔවුන්ගෙන් පිරී ඉතිරී යනු ඇත. සංචාරක කර්මාන්තයටත් රටේ ආයෝජන අවස්ථා වැඩිවීමටත් මෙවැනි සුපිරි වෙළඳ සංකීර්ණ, සුපිරි නිවාස සහ හෝටල ආදිය වැදගත් මෙහෙයක් ඉටුකරනු ඇත. එබැවින් මේවාට යන වියදම, ඉදිවූ ඒවායේ විකුණන මාලුපාන් එකක මිල ආදී දේ ගැන සොයා දුක් වීම තේරුමක් නැත. මන්ද මේවාට එන ධන කුවේරයින්ට ඩොලර් දහයක් වියදම් කර සෝටිස් එකක් කෑම යනු විශ්වකර්ම වැඩක් නොවේ. අනාගතයේ මේ යෝධ ඉදිකිරීම් ඔස්සේ අපේ ආර්ථීකයට අත් විය හැකි මහත් ඵල මහා ආනිසංශ ගැන කල්පනා කිරීම වඩාත් සුබවාදී ජනතාවකගේ වගකීම වේ.

 
Cover Image Source – dezeen.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *