තමන්ගේ මුහුණ ලස්සන, දිදුලන, අනවශ්‍ය කුරුලෑ ලපකැළැල් නැති පෙනුමකින් තියෙනවට කව්ද අකමැති? ඒත් මුහුණ ඒ විදිහට ලස්සනට තියෙන්න මුහුණට අපි විසින් කරන්න අවශ්‍ය සත්කාර කිහිපයක් තියෙන බව හුඟක් අය දන්නෙ නැහැ. එක්කෝ කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඒ වෙනුවෙන් වෙන් කරන්න කාලය නැහැ. මුහුණට කරන විවිධ සත්කාර, ඒ කිව්වේ විවිධ වර්ගයේ cleanup, facial වර්ග සැලෝන් වල තිබුනට ඒවට අයකරන අධික මිල එක්ක නිරන්තරයෙන් මේ සත්කාර කරගන්න සාමාන්‍ය කෙනෙකුට හරිම අපහසුයි. ඒ නිසාම අපි හිතුව මුහුණ ලස්සනට තියාගන්න කැමති අයට සරල cleanup එකක් ගෙදරදීම කරගන්න විදිහ කියල දෙන්න. මේ cleanup කියල කියන්නෙ ඇත්තටම කාන්තාවන් විතරක්ම කරන සත්කාරයක් නෙමෙයි. මේක කාන්තා පිරිමි දෙගොල්ලන්ටම කරන්න පුළුවන්, දෙගොල්ලන්ම කළ යුතු සත්කාරයක්. ඒ වගේම මේ සත්කාරයට භාවිතා කරන නිෂ්පාදන වර්ගය මොකක්ද කියන එක, භාවිතා කරන්නෙ වෙළඳපලේ මිලදී ගන්න තියෙන කෘත්‍රීම නිෂ්පාදනයක්ද එහෙමත් නැත්තම් ගෙදරම හදාගන්න ස්වභාවික නිෂ්පාදනයක්ද කියන එක තමන්ගේ හමේ සංවේදීතාවය අනුව සහ වැයකරන්න පුළුවන් කාලය, මුදල අනුව ඔයාලටම තීරණය කරගන්න පුළුවන්.
1. මුල්ම පියවර ක්ලෙන්ස්
Cleanup එකක මුල්ම පියවර වෙන්නෙ ක්ලෙන්ස් කිරීම. ඒ කියන්නෙ මුහුණ පිරිසිදු කරගැනීම. සාමාන්‍යයෙන් අපි මුහුණ පිරිසිදු කරන ෆේස්වොෂ් එකම භාවිතා කරලාත් මේ පිරිසිදු කිරීම කරන්න පුළුවන්. හැබැයි මේ සාමාන්‍ය පිරිසිදු කිරීමෙන් අපේ මුහුණේ සම මත තියෙන ඇසට නොපෙනෙන සිදුරු ඇතුළත තියෙන කුණු දුහුවිලි පිරිසිදු වෙන්නෙ නැහැ. ඒ නිසා මේ පියවර සඳහා ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය කරල තියෙන cleansing cream එකක් භාවිතා කිරීම හෝ ස්වභාවික cleanser එකක් භාවිතා කිරීම සුදුසුයි. මේ දෙවර්ගයෙන් මොකක් හරි තෝරාගන්න ක්ලේන්සර් එක මුහුණ මත අලේප කරල මෘදුව සම්භාහනය කරල මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
2. හුමාලය අල්ලන්න
ඊළඟ පියවර තමයි මුහුණට හුමාලය ඇල්ලීම. මේ සඳහා වෙනමම සකස් කරපු යන්ත්‍ර සැලෝන් වලනම් තියෙනවා. හැබැයි එහෙමම අවශ්‍ය නැහැ. ගෙදරදී සාමාන්‍ය අපි හුමාලය අල්ලන විදිහටම මුහුණට හුමාලය අල්ලන්න පුළුවන්. තද රස්නය වදින්නේ නැතිවෙන්න මුහුණේ හැම තැනටම හුමාලය වදින්න සලස්වන්න. විනාඩි 5-10 වගේ කාලයක් මේ විදිහට හුමාලය ඇල්ලීම ප්‍රමාණවත්. මේ මඟින් සිදුවෙන්නේ අර අපි කලින් කියපු මුහුණේ සම මත තියෙන ඇසට නොපෙනෙන කුඩා සිදුරු තව තවත් විවෘත වීම සහ අනවශ්‍ය බ්ලැක්, හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ කොටස් ඉවත් කරන්න පහසු විදිහට මෘදු වීම.
3. බ්ලැක් හෙඩ්ස්/ වයිට් හෙඩ්ස් ඉවත් කරන්න
දැන් අපි කලින් කිව්ව විදිහට සම මත තියෙන අනවශ්‍ය තැන්පත්වීම්, ඒ කියන්නෙ බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කරන්න පහසු විදිහට සකස් වෙලා තියෙන්නෙ. මේ බ්ලැක් හෙඩ්ස් ඉවත් කරන කුඩා උපකරණයක් රුපියල් 60-100ත් අතරේ මුදලකට රූපලාවණ්‍ය අයිතම අලෙවි කරන වෙළඳසැලකින් මිලදී ගන්න පුළුවන්. මේ උපකරණය භාවිතා කරල මුහුණේ පේන්න තියෙන සියළුම බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කරගන්න. මුලදී ටිකක් වේදනාකාරී වුණත් කරද්දි හුරුවෙනවා. අනික නිරන්තරයෙන් කරනකොට ලොකුවට තැන්පත්වීමක් නොවෙන නිසා වේදනාවත් අඩුයි. ඔක්කොම ඉවත් කළාට පස්සේ ටිෂූ එකක් භාවිතා කරල ඉවත් කරපු කොටස් පිහදාල මුහුණ පිරිසිදු කරගන්න.
4. හොඳ scrub එකක්
හුමාලය ඇල්ලීමෙන් සම මත ඇති කුඩා සිදුරු හොඳින් විවෘත වෙලා තියෙන නිසා ඒවා ඇතුළේ තියෙන අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීම දැන් වඩා පහසුයි. ඒ වගේම හමේ උඩම තියෙන මැරුණු සම ඉවත් කිරීමත් ඉතා පහසුයි, ඒකට තමා මේ ස්ක්රබ් කිරීම සිදුකරන්නේ. කැමති විදිහේ ස්ක්රබ් එකක් භාවිතා කරල මුහුණ හොඳින් ස්ක්රබ් කරගන්න. විනාඩි 5ක් 7ක් වගේ කාලයක් ස්ක්රබ් කිරීම ප්‍රමාණවත්. අවසානයේ මේ ආලේපය විනාඩි කිහිපයක් මුහුණ මත වියලෙන්න හැරල මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න.
5. ෆේස් පැක් එකක්
Cleanup එකක වැදගත්ම අංගයක් මේක. කලින් කියපු සියලු පියවරයන් මඟින් පිරිසිදු කරගත්ත මුහුණ මෘදු සහ දීප්තිමත් පෙනුමකට අරගෙන එන්න තමයි මේ ෆේස් පැක් එකක් ආලේප කිරීම සිදුකරන්නේ. මේ ෆේස් පැක් එකත් තෝරාගන්න ඕන තමන්ගේ මුහුණේ සම අනුව. ස්වභාවික හෝ කෘත්‍රීම කැමති නිෂ්පාදනයක් භාවිතා කරන්න පුළුවන්. මුහුණට ගැලපෙන ගෙදරදීම හදාගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් ගැන අපි මිට කලින් කතා කළා. ස්වභාවික දේවල් වලට කැමති අයට පුළුවන් මේ ලිපිය කියවල හොඳ ෆේස් පැක් එකක් තෝරගන්න.
කොහොමහරි කැමති ෆේස් පැක් එකක් මුහුණේ ආලේප කරල විනාඩි 20ක්, පැය බාගයක් වගේ කාලයක් වියලෙන්න ඇරල මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. ඊළඟට පිරිසිදු තුවායක් හෝ ටිෂූ භාවිතා කරල මුහුණ තෙත මාත්තු කරගන්න.
6. ටෝනර් එකක්
අපි කලින් කරපු සියළු පියවරයන් වලදී මුහුණේ සම මත තියෙන ඇසට නොපෙනෙන කුඩා සිදුරු විවෘත වෙලා තියෙන්නෙ. ඒ වගේම අලේප කරපු විවිධ ආලේපන වර්ගයන් අපේ සමේ pH අගය එක්ක 100%ක්ම ගැලපෙන්නේ නැහැ. ඒ සිදුරු වසාදමන්න වගේම pH අගය සමතුලිත කරන්න තමයි මේ ටෝනර් එකක් අලේප කිරීම සිදුකරන්නේ. වෙළඳපලෙන් මිලදී ගන්න තියෙන ටෝනර් එකක් වගේම පිපිඤ්ඤා යුෂ, රෝස වතුර, කෝමාරිකා යුෂ වගේ ස්වභාවික ද්‍රව්‍යත් ටෝනර් එකක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. ක්ලීනප් එකෙන් පස්සේ විතරක් නෙමෙයි ෆේස් වොෂ් යොදලා මුහුණ පිරිසිදු කරන හැම අවස්ථාවකම ටෝනර් එකක් භාවිතා කිරීම හරිම වැදගත්.
7. හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් එකක්
මේක තමා අවසාන අදියර. අවසානයේ සමේ තෙතමනය ආරක්ෂා කරන්න වෙනදා භාවිතා කරන හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න.
දැන් අපේ සරල Cleanup ඒක අවසන්. මාසයකට වතාවක් වගේ මේ විදිහට පහසු Cleanup එකක් කරගත්තොතින් ලෙහෙසියෙන්ම ලස්සන මුහුණක් පවත්වාගෙන යන්න පුළුවන්.
Leave a Reply