ලිංගික ජාවාරම් නිසා සිදුවෙන අවුල්

ලිංගික ශ්‍රමික වෘත්තිය සහ ලිංගික දේවල් හා සම්බන්ධ නිදහස සීමා වීම අපේ රටවල තියෙන අවුලක් විදිහට තමයි දැක්වෙන්නේ. තිබෙන නීති රීති සීමාකිරීම් නිසා ලිංගික සේවාවන් සොයායන අයටත්, ඒවා සපයන අයටත් ලොවට හොර රහසේ වරදක් කරන විදිහට තමයි ඒ දේවල් කරගන්න වෙලා තියෙන්නේ. මත් ද්‍රව්‍ය, අපරාධ වගේ කෙලින්ම හානි සිදු නොවන ලිංගික සේවාවන් සම්බන්ධයෙන් තියෙන නීති සහ සීමාකිරීම් අඩුවිය යුතුයි කියලත් විටින් විට ඇහෙනවා. ඒත් දියුණු ලෝකයේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලිංගික සේවාවන් සැපයීමට කාන්තාවන්, ළමුන් සහ පිරිස් බලෙන්ම වගේ යොදවාගැනීම. අපි අද ඒ ගැන සොයා බලමු. 

 

1. දුප්පත්කම සහ පවුල් පසුබිම් 

තායිලන්තය බලන්න ලස්සන රටක්. ඒත් තායිලන්තය තුළ ලිංගික කර්මාන්තය දැඩිව තියෙනවා. තායිලන්තයට වැඩිපුරම ලිංගික ශ්‍රමිකයින් එන්නේ තායිලන්තයේ දුප්පත් ඊසාන් පළාතෙන්. වර්තමානයේ දී නම් තායිලන්තයට යාබද මියන්මාරයෙන් සහ කාම්බෝජයෙන් ලිංගික සේවාවන් සඳහා කාන්තාවන් ඇදී එනවා. මේ නගරයට එන ඇතැම් කාන්තාවන්ව රැගෙන එන්නේ වෙනත් රැකියාවන් වලට බව පවසමින්. ඒත් අවසානයේ ඔවුන්ටත් නොදැනීම ඔවුන්ගේ සිරුර ලිංගික වෙළඳපොළ තුළ අලෙවි වී යනවා. 

 

2. නීතිමය තත්ත්වයන් 

ගණිකා වෘත්තිය නීතිගත හෝ නීතියට අනුකූල වුවත් බොහෝ රටවල මේ ලිංගික ජාවාරම් වලට නම් ඉඩකඩ අසුරන්න ක්‍රියාකරලා තියෙනවා. එක්සත් රාජධානිය, ඇමරිකාව වගේ රටවල ලිංගික ශ්‍රමිකයින් සපයලා අහුවුණොත් ලැබෙන දඬුවම සුළුපටු නැහැ. මේ ලිංගික සේවාවන්ට ශ්‍රමිකයින් සැපයීමට ක්‍රියාත්මක වෙන ජාලාවන් හඳුනාගෙන ඒ දේවල් නවත්වන්න දියුණු රටවල තාක්ෂණය හරි හරියට යොදාගන්නවා. අන්තර්ජාලය ජනප්‍රිය වීමත් එක්ක ඇතැම් විට මේ කාන්තාවන් දියුණු රටවල් වලට පැමිණෙන්නේ නැතිවත් වීඩියෝ කෝල් හරහා විවිධ ආකාරයෙන් අලෙවි වෙනවා. 

 

3. ළමයින්ට වන බලපෑම 

ළමුන්ගේ මුහුණ පෙන්වා හෝ නොපෙන්වා කරන කිසිදු ආකාරයේ ලිංගික වෙළෙඳාමක් කිසිම රටකදී නීත්‍යානුකූල නැහැ. යුරෝපයේ නම් පෝලන්තය, බල්ගේරියාව, ලැට්වියාව, රොමේනියාව වගේ රටවලින් අඩු වයසින් ගැහැනු ළමුන් මේ ලිංගික ජාවාරම් වලට යොමු වෙනවා. ඉන් පසු ඔවුන් විවිධ ආකාරයට රටින් රට සංක්‍රමණය වෙලා මේ ලිංගික සේවාවන් සැපයීම් සිදු කරනවා. වයස වෙනස් කිරීම්, ව්‍යාජ ලිපිලේඛන සැකසීම් ආදී විවිධ ආකාරයේ ප්‍රයෝග පාවිච්චි කරමින් වයස 18ට අඩු දරුවන් ලිංගික ජාවාරම් වලට යොදා ගැනෙනවා.

 

 

4. පුනරුත්ථාපනය 

ලිංගික ජාවාරම් වලට ලක් වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සෑහෙන ලොකු වැඩසටහනක්. වෙනත් රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා සකසා දුන්නත් ඒ කාන්තාවන්ට ලිංගික ශ්‍රමික සේවාවන් වල තරම් ආකර්ෂණීය ගෙවීම් ලැබෙන අවස්ථා අඩුයි. ඒ වගේම ඔවුන් මුහුණ දී සිටින මානසික මට්ටම සහ සමාජ වටපිටාවන් අනුව බොහෝ පිරිස් මේ ලිංගික ශ්‍රමික රැකියාවන් වලට නැවත යොමු වෙන ආකාරයක් තියෙනවා.

 

5. දැනුවත් වීම සහ මැඩපැවැත්වීම

ලංකාවෙත් මසාජ් පාලර් සඳහා යුවතියන් සොයාගැනීම හැම විටම සාධාරණ විදිහට සිදුවන්නේ නැහැ. ආකර්ෂණීය වැටුප්, දීමනා, ආරක්ෂාව ආදී වදන් යොදා මසාජ් පාලර් වලට යුවතියන් රැස් කරගන්නවා. ඒ අතර පුවත්පත් දැන්වීම්, අන්තර්ජාලය හරහා යුවතියන් මේ නව රැකියා අවස්ථා කරා යොමු වෙනවා. ඒ වගේම විවිධ ආකාරයේ රැවටීම් මාර්ගයෙන් මේ මසාජ් මධ්‍යස්ථාන වලට කාන්තාවන් යොමු කරන සේවාවනුත් කලාතුරකින් වාර්තා වෙනවා. කෙසේ වෙතත් යම් කාන්තාවක් සැබෑ තත්ත්වය නොදැන විවිධ ආකාරයේ ලිංගික සේවාවන් වලට පහසුවෙන් යොමු වීම අපේ සමාජයත් මුහුණදෙන ගැටළුවක්. 

 

6. ලිංගික සේවාව තවදුරටත් සේවාවක්ද? 

දියුණු රටවල එක් පසෙකින් ලිංගික සේවාවන් නීතිගත වීමත් අනෙක් පසින් ලිංගික ජාවාරම් මැඩලීමත් යන කාරණා දෙකම කරන එකේ පරස්පරතාවයක් තියෙනවා. මන්ද ලිංගික සේවාවන්ට රිසිසේ ඉඩ හසර විවෘත නැතිනම් එතැන ලිංගික ජාවාරම් වලටත් ඉඩක් නැහැ. ඉතින් මේ තත්ත්වය එක්ක ලිංගික සේවාව කියන්නේ සැබැවින්ම සේවාවක්ද? සෑම ලිංගික සේවාවකදීම යම් සමාජ විරෝධී කාර්යයක් සිදුවෙනවා නේද? ආදී කතිකාවතක්ද නිර්මාණය වෙලා තියෙනවා. ඒ හරහා කාන්තාව කවර තත්ත්වයක් යටතේ හෝ මුදලට අලෙවි වන ස්වභාවය ගැන වැඩිදුරටත් කතා බහ කෙරෙනවා. 

 

7. ලිංගික ජාවාරම් හා සම්බන්ධ වෙනත් අකටයුතුකම් 

කාන්තාවන්ට සිදුවන විවිධ අපචාර, අපරාධ සහ බලෙන් සිදුවන ලිංගික ක්‍රියා ලිංගික ජාවාරම් වල සුලභයි. ඒ වගේම මත්ද්‍රව්‍ය, මත්පැන් ආදියට කාන්තාවන් හුරු කර ඒ මගින් ලිංගික ජාවාරම් කරා කාන්තාවන් යොමු කරගැනීමත් ලොව සෑම දෙසම අඩු වැඩි වශයෙන් සිදු වෙනවා. ඒ වගේම මේ ලිංගික ජාවාරම් කණ්ඩායම් විවිධ පාතාල සම්බන්ධතා පාවිච්චි කරමින් සමාජයේ ස්ථර වලින් වැසී මේ සේවාවන් පවත්වාගෙන යන්නට උත්සාහ ගන්නවා. 

 

ජාවාරම් නවත්වාලීම ජාවාරම්කරුවන් විසින් පාලනය කරන සමාජ වලදී සෑහෙන්න අමාරුයි. ලංකාව, ඉන්දියාව වැනි රටවල දේශපාලනයේ ඉහළට පැමිණෙන අය මෙවැනි ජාවාරම්කරුවන් ආරක්ෂා කරන ස්වභාවයක් පෙන්වනවා. ඉතින් ඒ නිසා ලිංගික ජාවාරම්කරුවන් අතටම හසු වුවත් පසුකලෙක ඔවුන් නීතියේ රැහැනින් ලෙහෙසියෙන් පැන යනවාත් අපිට දැකගන්නට ලැබෙනවා. කලක පටන් සිදු වුවත් නැවතිය යුතු මේ ලිංගික ජාවාරම් සමාජයට මොනම ආකාරයේ වත් හොඳක් නම් සිදු කරන්නේ නැහැ. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *