ඔන්ලයින් හෝම් බිස්නස් එකකට ගැලපෙනම අයිඩියාස් කීපයක්!

මේ කාලේ හැමෝටම සෑහෙන්න අමාරුයි කියන එක බොරුවක් නෙවෙයි. විශේෂයෙන්ම එක ජොබ් එකකින් විතරක් ගේම ගහන්න පුළුවන්ද කියන එක ගොඩක් මධ්‍යම පාංතිකයන්ට මතුවෙලා තියෙන ගැටළුවක්. අන්න ඒ ගැටළුවත් එක්ක ගොඩක් දෙනෙක් යොමු වෙලා තියෙනවා තව සයිඩ් එකෙන් කරන්න පුළුවන් බිස්නස් එකක්, මුදල් එන වැඩක් කරන්න. ගොඩක් වෙලාවට ඒක ඔන්ලයින් කරන්න පුළුවන් හෝම් බිස්නස් එකක් වෙන තරමට ලේසියි කියන එක තමයි ගොඩක් දෙනෙක්ගේ අදහස වෙන්නේ. ඒක ඇත්තටම බොරු නෙවෙයි. දැන් කාලේ ඩිජිටල් මාර්කටින් වල තියෙන සාර්ථකත්වයත් එක්ක ගොඩක් දෙනෙක් ඔන්ලයින් හෝම් බිස්නස් වලට යොමුවෙමින් තිබෙනවා. ඉතින් ඒකට තව අය ආවත් ඒ අයට වුණත් සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳ බිස්නස් අයිඩියා එකක් එක්ක වැඩේට එන්ටර් වෙන්න ඕන.

 

ඉතින් ආන්න ඒකට උදවුවක් විදියට, ගෙදර ඉඳලම ඔන්ලයින් කරන්න පුළුවන් හොඳ බිස්නස් අයිඩියාස් කීපයක් තමයි අපි මේ ලබාදෙන්න යන්නේ.

 

1. තමන්ගේම ඇඳුම් බ්‍රෑන්ඩ් එකක්

සාමාන්‍යයෙන් ඔය නිමි ඇඳුම් මසා විකිණීම කියන්නේ කිසිසේත්ම අලුත් අයිඩියා එකක් නෙවෙයිනේ. අපි ඕන තරම් දකිනවා ස්වයං රැකියාවක් විදියට නිමි ඇඳුම් මසා විකිණීම කරන අය ඉන්නවා. දැන් ඕක ඔන්ලයින් කරන්නත් පුළුවනිනේ. එතකොට ඒක ඔන්ලයින් ඇඳුම් කඩයක්. හැබැයි ඇයි එතනින් නවතින්නේ? ඒක කෙලින්ම ක්ලෝතින් ලයින් එකක්, තමන්ගේම ඇඳුම් බ්‍රෑන්ඩ් එකක් විදියට ඉස්සරහට ගෙනියන්න බැරි ඇයි?

 

මුලින්ම තේරුම් ගන්න ඕන එහෙම ක්ලෝතින් ලයින් එකක් පටන් ගන්නවා නම්, හැම ජාතියෙම ඒවා එහෙන් මෙහෙන් මහලා හරියන්නෙ නෑ. තමන් විශේෂීකරණයක් තියෙන්න ඕන. කාන්තා යට ඇඳුම් නම් කාන්තා යට ඇඳුම්, ළමා ඇඳුම් නම් ළමා ඇඳුම්, ෂර්ට්, ටී-ෂර්ට් හා කලිසම් නම් එහෙම. ඔය විදියට විශේෂීකරණය තෝරගත්තට පස්සේ, ඒක උපරිම කොලිටියෙන් කරන්න ක්‍රම සහ විධි සකස් කරගන්න ඕන. සමහර වෙලාවට ඉන්ටර්නෙට් එකේ වුණත් ඒකට අවශ්‍ය ඩිසයින් සහ උපදෙස් හොයාගන්න පුලුවන්. දැන් තමන්ගේම නමක් යටතේ, ලෝගෝ එකක් යටතේ, ටැග්ස් එහෙම ප්‍රින්ට් කරලා තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් විදියට වැඩේ අරගෙන යන්න පුළුවන්.

 

2. ෆ්‍රීලාන්ස් කන්ටෙන්ට් රයිටර්

මෙන්න මේක බොහොම ආකර්ෂණීය ඔන්ලයින් ජොබ් එකක්. දැන් වෙබ් අඩවි වැඩි වැඩියෙන් නිර්මාණය වෙනකොට, ඒවලට අන්තර්ගතයන් අවශ්‍ය වෙනවා. ගොඩක් වෙබ් අඩවි වල දිගින් දිගටම අන්තර්ගතයන් අප්ඩේට් කරන්නත් වෙනවා. අන්න එතකොට ඒවා ලියන කන්ටෙන්ට් රයිටර්ස්ලා අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා තමයි කන්ටෙන්ට් රයිටර් ජොබ්ස් සෑහෙන්න දකින්න ලැබෙන්නේ. හැබැයි අපි කියමු ඔයාට හොඳ දක්ෂතාවයක් තියෙනවා කියලා කන්ටෙන්ට් රයිටින් සම්බන්ධයෙන්. එහෙමනම් මුලින්ම කරන්න ඕන කරන්නේ, ඒකට අවශ්‍ය වෙන අනික් කරුණු කාරණාත් පොඩ්ඩක් ඉගෙන ගන්න එක. ඒවා දවස් කීපයක් වියදම් කරලා ඔන්ලයින්ම ඉගෙන ගන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත් SEO optimization. දැන් ඊට පස්සේ පුළුවන් කෙලින්ම කන්ටෙන්ට් රයිටින් සේවාවන් ලබාදෙන සේවාවක්, ඔබේම බිස්නස් එකක් පටන් ගන්න. එතකොට අවශ්‍ය නම් අර ඇඩ්ස් බලලා, ඒවල කන්ටෙන්ට් රයිටර්ස්ලා ඉල්ලලා තියෙන කම්පැණි වලට කෙලින්ම කතා කරලා, ජොබ් එකක් විදියට නැතුව බිස්නස් එකක් විදියට වැඩේ කරන්න කතා කරගන්න පුළුවන්. 

 

3. ඔන්ලයින් ක්ලාස්

මේකත් මේ දවස් වල සෑහෙන්න මාකට් එකක් තියෙන ක්ෂේත්‍රයක්. ඔන්ලයින් උගන්නන එක. මේක කරන්න නම් හැබැයි තමන් උගන්නන්න තෝරගන්න යම් කිසි විෂයක ප්‍රවීණත්වයක් ලබාගන්න ඕන. බොහෝ දුරට, තමන් ඉගෙනගෙන තියෙන විෂයක් ගැන තව ටිකක් හැදෑරීමක් කරලා, ඒ විෂය ගැන තියෙන විෂය නිර්දේශ එහෙම හොයාගෙන වැඩේ පටන් ගන්න පුළුවන්. හැබැයි එකක්, මේක ආයෙ බාගෙට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හරියට, අවංකව කැපවීමෙන් කරන්න ඕන වැඩක්. දැන් ඊට පස්සේ අර ටියුෂන් ක්ලාස් කියන වැඩේම ඔන්ලයින් පටන් ගන්න තමයි තියෙන්නේ. ගෙවල් වලට ගිහින් ටියුෂන් දෙනවා වෙනුවට, ඔන්ලයින් ටියුෂන් දෙනවා. සිම්පල් ප්ලෑන් එකක්! හොඳ බිස්නස් එකක්!! 

 

4. සෙල් යුවර් ටැලන්ට්

මේ බිස්නස් එක හරියන්නේ මොකක් හරි ටැලන්ට් එකක් තියෙන කෙනෙක්ට. උහාහරණයක් විදියට ගත්තොත් ඔබ චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්, ඡායාරූප ශිල්පියෙක් වෙන්න පුළුවන්, සංගීතඥයෙක් වෙන්න පුළුවන්, භාෂා විශාරදයෙක් වෙන්න පුළුවන්. මේ කොයික වුණත්, ඇත්තටම හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ඔන්ලයින් බිස්නස් එකක් පටන් අරගෙන ඒ ටැලන්ට් එකට හොඳ අගයක් ලබාදෙන්න බැරිකමක් නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ගේ චිත්‍ර ඔන්ලයින් විකුණන්න පුළුවන් ආට් ස්ටෝර් එකක් ඔන්ලයින්ම පටන් ගන්න පුළුවන්. එතකොට මියුසිෂන් කෙනෙක්ට පුළුවන් ගී තනු, ජිංගල්ස් නිර්මාණය කරලා දෙන සේවයක් ඔන්ලයින් පටන් ගන්න. භාෂා විශාරදයෙක්ට එතකොට වැඩ නෑ කියලද හිතන්නේ? සෝදුපත් බැලීමේ, සංස්කරණයේ ඉඳලා පොඩි ළමයින්ට නම් තැබීම දක්වා වැඩ කටයුතු කරලා දෙන ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න එහෙම භාෂාවන්හි එක්ස්පර්ට් කෙනෙක්ට පුළුවන්.

 

5. ඇප්ස් ඇන්ඩ් වෙබ්සයිට්ස්

දැන් ඔය ටෙක් පැත්ත ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම්, ඇප්ස් නිර්මාණය කරන්න, වෙබ්සයිට් නිර්මාණය කරන්න එහෙම අවශ්‍ය දැනුම තමන් ගාව තියෙනවා නම්, ඔන්ලයින් පටන් ගන්න පුළුවන් ටෙක් සොලියුෂන් සේවාවක්. එතනදී මිනිස්සුන්ට අවශ්‍ය ඇප්ස් හෝ වෙබ්සයිට් හෝ නිර්මාණය කරන්න පුළුවන් ගෙදරම ඉඳන්. මෙතනදී හැබැයි නිකම් දිවගාගත්තු දැනුමක් එක්ක නම් බිස්නස් එකක් රන් කරන්න බෑ. උදාහරණයක් විදියට ගත්තොත්, නිකම්ම සරල වෙබ්සයිට් එකක් නිර්මාණය කරනවට වඩා එහා ගියපු දැනුමක් සහ නිර්මාණශීලීත්වයක් තියෙන්න ඕන. එතකොට තමයි මනුස්සයෙක් දෙයක් කරවා ගන්න අපේ බිස්නස් එකට එන්නේ.

 

6. ක්‍රාෆ්ටින්ග්

මේක නම් බොහොම ඉන්ටරෙස්ටින්ග් බිස්නස් අයිඩියා එකක්. ඇත්තටම තමන්ගේ විනෝදාංශයක්ම බිස්නස් එකක් බවට හරවාගන්න පුළුවන් අවස්ථාවක්. දැන් අපි සෑහෙන්න බිසී ලයිෆ් එකක් ගෙවන අතරේ, අපිට කියලා විනෝදාංශයක් එහෙමත් තියෙන්න ඕන. ක්‍රාෆ්ටින්, නැතිනම් විවිධ අත්කම් නිර්මාණ කියන්නේ අන්න ඒ වගේ තෝරගන්න පුළුවන් විනෝදාංශයක්. මේක ඕනම දෙයක් වෙන්න පුළුවන්. ෆෙල්ට් සත්තු නිර්මාණය, විවිධ මැහුම් ගෙතුම් නිර්මාණ, ග්‍රීටින් කාඩ් නිර්මාණය, ලී නිර්මාණ, එපොක්සි රෙසින් නිර්මාණ, සබන් සෑදීම වගේ තමන්ට ආසයි කියලා හිතෙන ඕනම ක්‍රාෆ්ටින් වැඩක් තෝරගන්න පුළුවන්. ඊලඟට ඉතින් ඒක විනෝදාංශයක් විදියට කරගෙන යන්න ඕන. එහෙම කරගෙන යනකොට ඒ ක්‍රාෆ්ටින් ට්‍රේඩ් එකේ හොඳ ප්‍රවීණත්වයක් අපිට ලබාගන්න පුළුවන් වෙනවා. අන්න ඊට පස්සේ පුළුවන් ඒක බිස්නස් එකක් බවට හරවා ගන්න. විශේෂයෙන්ම, තමන් ඔය ක්‍රාෆ්ටින් වැඩ කරන විදිය එහෙමත් රෙකෝඩ් කරලා යූටියුබ් හෝ ටික් ටොක් හෝ ඉන්ස්ටග්‍රෑම් එහෙම දාන එකෙනුත් ඔය බිස්නස් එකට හොඳ පබ්ලිසිටියක් ලබාගන්න පුළුවන්! 

 

7. කෑම අයිටම්ස්

ඔය සමහරු ඉන්නවා ඉතාම රසට කෑම උයන්න, කෑම ජාති හදන්න එහෙම පුලුවන් අය. ඉතින් එහෙම කෙනෙක්ට බොහොම ලේසියෙන් පටන් ගන්න බැරිද කෑම බිස්නස් එකක්? හැබැයි ඉතින් මෙහෙමයි. එකක්, කෑම රස වෙන්න ඕන. දෙවෙනියට, තමන්ටත් ලාභයක් තියෙන විදියට, කස්ටර්මර්ට කුණු ජරාව කවන්නෙත් නැතුව, ගාණත් බැලන්ස් කරගෙන වැඩේ කරන්න පුළුවන් කම තියෙන්න ඕන. දැන් එහෙම වැඩක් පටන් ගන්න තැනක් ඕනෙද? කොහෙත්ම නෑ. අවශ්‍ය වෙන්නේ හොඳ ඩිලිවරි සර්විස් එකක් තමයි. ඒකට ස්කූටියක් හරි ත්‍රීවිල් එකක් හරි එක්ක ගෙදර තව සාමාජිකයෙක්ව වැඩේට ගත්තත් ඇති. ඇත්තටම මේ වගේ බිස්නස් එකක් රට අල්ලන බිස්නස් එකක් වෙන්න ඕන නෑ. තමන්ගේ ප්‍රදේශය අවට වැඩෙ පටන් ගත්තහම හොඳටම ඇති. මේ කෑම අයිටම්ස් කිව්වහම උදේ, දවල්, රාත්‍රී කෑම වෙන්න පුළුවන්. බේකරි අයිටම්ස් වෙන්න පුළුවන්. කේක් වෙන්න පුලුවන්. තමන්ගේ එක්ස්පර්ටීස් එක තියෙන පැත්තෙන් පටන් ගන්නයි තියෙන්නේ.

 

හැබැයි ඉතින් ඔන්ලයින් හෝම් බිස්නස් එකක් ගොඩදාගන්න බිස්නස් අයිඩියාස් තිබිලා විතරක් මදි. හොඳ බිස්නස් ප්ලෑන් එකක් ඕන. ඒ වගේම ඔන්ලයින් හෝම් බිස්නස් එකක් කරන්න ඕන ටිප්ස් සහ ට්‍රික්ස් දැනගෙන ඉන්න ඕන. ඒ වගේම තමන්ට හොඳ නිර්මාණශීලීත්වයක්, කොලිටියක් සහ කැපවීමක් තියෙන්න ඕන. ඇත්තටම අපි ඒ ගැනත් ලියලා තියෙනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *