අමුතුම පන්දු යැවීමේ ඉරියව් නිසා කැපී පෙනුනු පන්දු යවන්නෝ

අපි සාමාන්‍යයෙන් දකින පන්දු යවන්නන් කවුරු වුණත් එකකට එකක් තරමක් වෙනස් ආකාරයෙන් තමයි පන්දු යවන්නේ. හැබැයි මේ අය අතරිනුත් තව විශේෂ කොට්ඨාසයක් ඉන්නවා, එයාල​ගේ පන්දු යැවීමේ ඉරියව් අනිත් හැම ක්‍රීඩකයටම වඩා වෙනස් රටාවකින් යුක්තයි. මේ අය සමහරක් ලෝකේ ප්‍රබලම සහ දක්ෂම පන්දුයවන්නන් අතරත් ඉන්නවා. ඒ වගේම මේ ලැයිස්තුවට ඇතුළත් වෙන ලංකාවේ ක්‍රීඩකයොත් කීප දෙනෙක්ම ඉන්නවා. අපි බලමු කවුද කියලා මේ පිරිස.

 

1. පෝල් ඇඩම්ස් – Paul Adams

අමුතුම විදිහට පන්දු යවන ක්‍රීඩකයන්ව මතක් කරද්දී ගොඩ දෙනෙක්ගේ මතකෙට මුලින්ම එන නම වෙන්නෙ හිටපු දකුණු අප්‍රිකාණු ක්‍රීඩක පෝල් ඇඩම්ස්ව. අත් දෙක උස්සලා උඩ පැනලා, අමුතුම විදිහට දඟර ගැහිලා පන්දුව එල්ල කරන පෝල් ඇඩම්ස්ගේ ඉරියව්ව ගොඩක් ක්‍රීඩකයො අතර හාස්‍යයටත් ලක්වෙලා තියනවා. සමහරු ඒ දවස්වල කිවුවේ පෝල් ඇඩම්ස් බෝල දාන ඇක්ෂන් එක නිසා බෝ​ලෙ රිලීස් වෙන මොහොතෙදි එයාට පිතිකරුවව පේන්නෙ නැහැ කියලයි. හැබැයි පෝල් ඇඩම්ස් පස්සෙ කියල තිබ්බෙ ඒක එහෙම නැතිය, තමන්ට බෝලය දාද්දි පිතිකරුවව පේනවය කියලයි. මේ අමුතුම ඇක්ෂන් එක තිබ්බ හාදයා ඒ කා​ලෙ දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එකතු වෙච්ච ලාබාලතම ක්‍රීඩකයා හැටියට වාර්තාවක් තිබ්බා. ඒ වුණත් හිතපු තරම් ඉහළ දක්ෂතා දක්වන්න නම් එයාට බැරිවුණා.

 

 

2. මුත්තයියා මුරලි​දරන්

පෝල් ඇඩම්ස්ට විතරක් ඕනෙ නම් දෙවෙනි වෙන පන්දු යැවීමේ ඇක්ෂන් එකක් තිබ්බ අපේ මුරලි ගැන අමුතුවෙන් විස්තර ඕන නැහැනෙ නේද? අමුතුම විදිහට අත කරකවලා දාන මුරලිගේ ඇක්ෂන් එකට තවත් විශේෂත්වයක් එකතු කළේ පන්දුව දාන මොහොතෙදි මුරලිගෙ ඇස් ගෙඩි ලොකු වෙලා මුහුණේ පෙන්නුම් කරන අමුතුම බැල්මයි. මුරලිගේ අතේ ස්වභාවික පිහිටීමක් නිසා ලැබුණු මේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා කාලෙන් කාලෙට නොයෙකුත් සැක සාංකාවලට භාජනය වෙන්න එයාට සිද්ධ වුණා. හැබැයි ඒ හැම සැක සංකාවකටම හොඳින් පිළිතුරු දීලා ලෝකයේ බිහිවුණු දක්ෂතම පිට දඟ පන්දු යවන්නා සහ ලෝකයේ වැඩි​ම එක්දින සහ ටෙස්ට් කඩුළු ලාභියා හැටියට ක්‍රීඩාවෙන් සමුගන්න මුරලිට හැකියාව ලැබුණා.

 

 

3. ලසිත් මාලිංග

කැටපෝලයක් සිහිගන්වන ස්ලින්ග් ඇක්ෂන් එකෙන් පන්දු යවපු නිසා මාලිංගට ‘ස්ලිංගා’ කියන නමත් පට බැඳෙන්න හේතු වුණා. මාලිංගට කලින් මීට සමාන ඇක්ෂන් එකකින් පන්දු යැවුව ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් හිටියා. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ ජෙෆ් තොම්සන්. හැබැයි තොම්සන්ටත් වඩා සෑහෙන කෝණයකින් ඇල වුණු පන්දු යැවීමේ ඉරියව්වක් තමයි මාලිංගට තියෙන්නේ. කෙලින්ම විනිශ්චයකරුගේ මුහුණ ඉස්සරහින් පන්දුව අත හරිනවා වගෙයි. මාලිංගගේ මේ පන්දු යැවීමේ ඉරියව්ව නිසාම ඔහු යවන යෝකර් පන්දුව ලෝකයේ එදා මෙදාතුර දැකපු බිහිසුණුම යෝකර් පන්දුවක් බවට පත් වෙන්නටත් සමත් වුණා.

 

 

 

4. සොහේල් තන්වීර්

Wrong Foot Action කියන ඉරියව්ව නිසා තමයි සොහේල් තන්වීර්ගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් එකක් වුණේ. සොහේල් තන්වීර් කියන්නේ ලෝකේ ඒ විදිහට රෝංග් ෆුට් ඇක්ෂන් එකෙන් පන්දු යවපු පළවෙනි ක්‍රීඩකයා නෙමෙයි, හැබැයි අඩි හයහමාරකට විතර ආසන්න සොහේල්ගේ උසත්, ඔහු පන්දු යැවුවේ වමතින් වීමත් නිසා මේ ඉරියව්ව පිතිකරුවන්ට සෑහෙන තර්ජනයක් වුණා. නිතර ආබාධයන්ට ලක්වීම නිසා ක්‍රීඩා ජීවිතය තරමක් සීමා වූවත්, අයිපීඑල් වැනි විස්සයි විස්ස තරඟ බිමේදී විටින් විට කැපී පෙනෙන දස්කම් දැක්වීමට තන්වීර් සමත් වුණා.

 

 

5. කෙවින් කොත්තිගොඩ

ගාල්ලෙන් බිහිවෙච්ච අ​පේ තරුණ ක්‍රීඩකයෙක් වන කෙවින් කොත්තිගොඩව හඳුන්වන්නේ ලංකාවේ පෝල් ඇඩම්ස් හැටියටයි. මේකට හේතුව කොත්තිගොඩ​ගේ ඉරියව්ව බොහෝ සෙයින් පෝල් ඇඩම්ස්ට සමාන වීමයි. වෙනසකට තියෙන්නේ පෝල් ඇඩම්ස් වමතින් පන්දු යැවීමත්, කොත්තිගොඩ දකුණත් පන්දු යවන්නෙක් වීමත් තමයි. පසුගිය දවස්වල අබුඩාබි හිදී පැවැත්වුණු බංග්ලා ටී10 ලීගය හරහා තමයි කොත්තිගොඩගේ පන්දු යැවීමේ ඉරියව්ව කතාබහට ලක්වෙන්න සමත් වුණේ. පන්දු යැවීමේ ඉරියව්ව නිසා කතාබහට ලක්වුණත්, තවමත් කැපී පෙනෙන දස්කම් දක්වන්නට නම් කොත්තිගොඩට හැකියාවක් ලැබිල නැති බවයි පේන්නේ.

 

 

 

6. ක්‍රිස් හැරිස්

නවසීලන්ත කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වුණු ක්‍රිස් හැරිස් කිවුවම පරණ ක්‍රිකට් ලෝලීන්ට නම් මුලින්ම මතක් වේවි සනත් ජයසූරිය හැරිස්ට එළව එළවා ගහපු ගැහිල්ල. හැබැයි ක්‍රිස් හැරිස් කියන්නේ කිසිසේත්ම දුර්වල පන්දු යවන්නෙක් නෙමෙයි, තමන්ගෙ උපරිම​යම කණ්ඩායමට දීපු දක්ෂ ක්‍රීඩකයෙක්. හැරිස්ගේ පන්දු යැවීමේ අමුතුම ගති ලක්ෂණ කීපයක් තිබ්බා. එකක් වෙන්නේ හැරිස් කියන්නෙත් සොහේල් තන්වීර් වගේ රෝංග් ෆුට් ඇක්ෂන් එකක් තිබ්බ පන්දු යවන්නෙක් වීම. හැරිස් පන්දු යවන්න දුවගෙන එන්නෙත් අමුතුම ආකාරයකට, පන්දු යැවීමේ ඉරියව්වත් අමුතුයි. ඒ වගේම අනිත් විශේෂ කාරණේ තමයි හැරිස් දාන්නෙ මද වේග පන්දුද එහෙමත් නැත්නම් දඟ පන්දුද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් තමයි තිබ්බේ. බලන්න හැරිස්ගේ බෝලිං ඇක්ෂන් එක පහත වීඩියෝවෙන්.

 

 

7. ජස්ප්‍රීට් බුම්රා

ඉන්දියාවේ මේ වෙද්දි ඉන්න අංක එකේ වේග පන්දු යවන්නා වෙන ජස්ප්‍රිට් බුම්රා සතුව තියෙන්නෙත් අමුතුම විදිහේ පන්දු යැවීමේ ඉරියව්වක්. මේ ඉරියව්ව නිසා සමහරු බුම්රා පන්දුව දමා ගසනවා කියලත් චෝදනා කරනවා. ඉතාම කෙටි දුරක් දුවගෙන ආවත් ඉහළ වේගයක් පන්දුවට ලබා ගන්න බුම්රාට හැකියාවක් තියනවා. මේ දක්ෂතාවය ක්‍රිකට් විචාරකයින්ව පවා පුදුම කරවන්න සමත්. බුම්රාගේ මේ අමුතු පන්දු යැවීමේ ඉරියව්​ව නිසා ඔහුව ඉක්මනින් ආබාධයට ලක් වෙන්න පුළුවන් කියල සමහර විශේෂඥයො කියද්දී තවත් සමහරු කියන්නේ ඔහුට ස්වභාවයෙන් ලැබිලා තියෙන මේ ඉරියව්වෙන් සුවිශේෂී වේගයකින් පන්දුව නිකුත් කරන්න බුම්රාට ඉඩ ලැබෙනවා ව​ගේම ඔහුට ශරීර ආබාධ ඇති වීමේ ඉඩ කඩත් වැළකෙනවා කියලයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *