මහවැව් තනා රට සරු කල රජරට ශ්‍රේෂ්ඨ නරපතියෝ

Great lankan Irrigation Kings

ලක්දිව ඉතිහාසය බලංගොඩ මානවයා ආදී ඈත ආදිකල්පික මානවයන් දක්වා දිවයන මුත් ලිඛිත ඉතිහාසය ඇරඹෙන්නේ විජයාවතරණය සමගිනි. විජය ඇතුලු පිරිස බුදුන් වහන්සේ හා පසුකාලිනව අශෝක රජු ගේ අගනගරය වූ පාඨලීපුත්‍රය මුලික කොටගත් ඊසානදිග ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වන්නට ඇත. මෙම ඊශානදිග ඉන්දියාව ලංකාවට මඳක් සමාන දේශගුණයෙන් යුක්ත පලාතකි. බොහෝ පසුකාලීනව ලංකාවට තේ වගාව හදුන්වාදීමේදී චීනයේ තේ ලංකාවට නොගැලපුණු අතර ලංකාවේ පරිසරයට වඩාත්ම ගැලපුණේ ඉන්දීය බෙංගාලයේ වැවුණු තේය. පුරාණ බෙංගාලය සේම වර්තමානයේද ගංගා නම් ගඟ බ්‍රහ්මපුත්‍රය ජමුනාව ආදී මහා ගංගාවෝ පිටාර ගලන්නේ විශාල භූමිභාගයක් යට කරමිනි. මෙම බිම වී වගාවට යෝග්‍ය වූ පරිසරයකි.

 

වී වගාව දියුණුව

 

ඉන්දියානු ආභාෂය ලැබුණා හෝ නොලැබුනා පුරාණ ලංකාවේ වාරි තාක්ෂණය ලොව අන් කවර තැනකටත් වඩා දියුණුව පැවතී තිබී ඇති බවට ජීවමාන සාධක තිබේ. වසර දෙදහසක් ඉක්ම ගොසින්ද තවමත් ඒ රජකල වැව් අමුණු ඇල මාර්ග ඔස්සේ ගොවියාගේ කුඹුරු වතුපිටි වෙත ජලය සපයන්නේ ඒ සාර්ථකත්වය සජීවීව ලොවට විදහාලමිනි. ලංකාවේ නිරිතදිග පලාත හෙවත් තෙත් කලාපය වර්ෂාව හොඳින්ම ලැබෙන පලාතයි. වියලි කලාපයේ අනුරාධපුර පොලොන්නරුව ආදී පලාත්වලට වර්ෂාව සාපේක්ෂව අඩුය. එම කලාපයේ ඇති පහත්බිම් වලින් වැඩි ප්‍රතිලාභ ලබාගැනීමටනම් ජලය අවැසිය. එම ජල අවශ්‍යතාවය හොදින් අදුනාගත් පුරාණ රජදරුවෝ සහ ගොවීහු උපරිම ශිල්ප දක්වමින් මැද කඳුකරයෙන් වියලි කලාපයට ඇදෙන ජල ධාරාවෝ වඩාත් සඵලදායක ලෙසින් පාවිච්චි කලෝය.

 

1. පණ්ඩුකාභය රජ

Great lankan Irrigation Kings

Source – karusantravels.com

අනුරාධපුර රාජධානියක් ලෙස මුල් කාලයේද පැවතියත් එය වඩාත් සංවිධානාත්මක නගරයක් බවට පත් කලේ පණ්ඩුකාභය රජතුමාය. එතුමා නාගරික අවශ්‍යතාවයන් පිණිසත් ගොවිතැන් කටයුතු පිණිසත් අභය වැව කරවන ලදී. එය බසවක්කුලම ලෙසද හඳුන්වනු ලැබේ. ජයවාපී කරඹ වැව සහ නුවර වැව ද වංශකතා අනුව පණ්ඩුකාභය රජුගේ නිර්මාණ කාර්යයෝ වෙති.

 

2. දේවානම්පියතිස්ස රජු

Great lankan Irrigation Kings

Source – mapio.net

දේවානම්පියතිස්ස රජ කාලයේ මහානාග යුවරජ රුහුණේ කාවන්තිස්ස ආදී රජ පරපුරේද ආරම්භකයා ලෙස සැලකේ. දෙවනපිය දවස මහානාග සොයුරුගේද මැදිහත් වීමෙන් අද ද දකින්නට ලැබෙන තිසා වැව කරවන ලදී. තිසා වැවට අමතරව වලස් වැව හෙවත් කරච්චවාපී නැමැත් වැවක්ද මහානාග යුවරජු විසින් නිමකර තිබේ.

 

3. සද්ධාතිස්ස සහ දුටුගැමුණු

Great lankan Irrigation Kings

Source – picture.lk

දුටුගැමුණු රජතුමා යුද්ධය පිණිස රුහුණේ සිට උතුරු මැද පලාතට නික්මුනේ ලංකාවේ නැගෙනහිර පලාත දෙසිනි. ඒ වනවිට ඉදිරියට එන යුද්ධමය වටපිටාවට සරිලන ලෙස සද්ධාතිස්ස රජු දීඝවාපී පෙදෙස ඇතුලු නැගෙනහිර දෙස  කෙත්වතු අස්වැද්දීම් කටයුතු සිදුකරන ලදී. දැනටත් නැගෙනහිර පලාත පුරා තැන තැන විසිරී ඇති පුරාවස්තු සමුදාය අතිතයේ එම පෙදෙස වර්තමානයටත් වඩා දියුණුව පැවති බවට සාධක සපයයි. මේ පලාතේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමට ඒ පලාතේ වැව් අමුණු ඇළමාර්ග තනා නැවත ප්‍රතිසංස්කරණය කොට වාරි තාක්ෂනය දියුණු කරන්නට සද්ධාතිස්ස රජතුමා කටයුතු කරන්නට ඇත. එළාර සමග යුද්ධයට යන මග පිහිටි මහියංගනයේ සොරබොර වැව දුටුගැමුණු රජ දවස ඉදිකෙරුණු වාරි කර්මාන්තයකි.

 

4. ඉලනාග රජු

Great lankan Irrigation Kings

Source – panoramio.com

කතරගම ගොස් එන අතරමග කෙත්වතු මැදින් විරාජමාන වන තිස්සමහා වෙහෙර කතරගම වන්දනාවේ ගිය ඕනෑම අයකුගේ මතකයට නැගෙන මහා චේතියකි. තිස්සමහාරාමයද අතිතයේ රුහුණු රට ශ්‍රී විභූතිය පෙන්වන කලාපයකි. එහි වූ තිස්ස වැව සහ යෝධකන්ඩිය වැව ක්‍රි. ව 33-43 කාලයේ රජකම් කළ ඉලනාග රජු විසින් ඉදිකරන ලද වාරිකර්මාන්තයෝ වෙති.

 

5. වසභ රජු

Great lankan Irrigation Kings

Source – mapio.com

විජයාවතරණයේ සිට ලංකාවේ රජ කල මෞර්ය වංශය අවසාන කරමින් ලම්බකර්ණ වංශය සිංහාසනාරූඪ කිරීමට මූලික වූ වසභ රජ ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨතම නරපතියෙකි. ඔහු ඉහලින් නාගදිපයේ සිට පහලින් සිතුල්පව්ව දක්වාම සංවිධිත ක්‍රමානුකූල පාලනයක්ගෙනගිය දක්ෂ පාලකයෙකි. මෙතෙක් කුඩා කුඩා වැව් ඉදිකිරීම ඉන් පසු ඒවායෙන් කුඹුරු අස්වැද්දීම වශයෙන් වූ සරල වාරිකර්මාන්ත වෙනුවට එක් එක් වැව් සම්බන්ධ කොට මහා වැව් ඉදිකොට ඇලමාර්ග තනවා නව වාරි ජාලයක් ස්ථාපනය කිරීමේ යෝධ පියවර වසභ රජ දවස දී තබන්නට යෙදුනි.

වැව් වලට ජලය සපහන මහා ඇලවල් කැණිමද වසභ රජු කාලයේ වාරි කර්මාන්තයට එකතු වූවකි. ඇලහැර ඇල සහ මිනිපේ ඇල වසභ රජු කල සිරිලකට දායාද කල වාරි නාලිකාවෝය. මහවිලච්චිය, නොච්චිපොතාන, මානන්කට්ටිය, නාච්චදූව  ආදී වැව් රැසක් ඉදිරියේද වසභ රජුගේ ශ්‍රී නාමය ලියවී තිබේ.

 

6. මහසෙන් රජු

Great lankan Irrigation Kings

Source – lakdasun.com

අදටත් මහසෙන් දෙවියෝ යනුවෙන් හඳුන්වන මහසෙන් රජු ප්‍රමාණයෙන් අති විශාල වැව් තැනිමේ සූරයෙකි. ඔහුගේ කාලයේ ඉදිවූ මින්නේරිය වැවෙන් අදද කුඹුරු අක්කර 4000කට වඩා අස්වද්දනු ලැබේ. වසභ රාජ විසින් කරන ලද ඇළහැර ඇලේ බැමි විශාල කොට මින්නේරිය වැවට ජලය සපයාගැනීමට ද මහාසේන රජු ක්‍රියාකලේය. මහසෙන් දවස වනවිට ලක්දිව වාරි ඉංජිනේරුවෝ වාරි ඉදිකිරීම් සම්බන්ධ හසල දැනුමකින් යුක්ත වූවෝය. හුරුල්ලකාණ, තිහව, පරක, කවුඩුල්ල ආදි වැව් 16ක නම් මහසෙන් රජුගේ නාමය ඉදිරියෙන් ලියවී තිබේ. හුදෙක් ඊලග මැතිවරණයට ලකුණු දමාගන්නට අද කාලයේ කරන කොන්ක්‍රීට් කර්මාන්ත මෙන් නොව එදා රජතුමා වැව් තැනීමෙන් නොනැවතී වැව් වලට ජලය සැපයීම පිණිස අමුණු සහ ඇල මාර්ග තැනුවේය, එමෙන්ම වාරි ව්‍යාපෘති හරහා කුඹුරු වලට වැව් ජලය බෙදාහැරිමටද ඇල මාර්ග පද්ධති පිහිටුවන ලදී.

 

7. ධාතුසේන රජු

Great lankan Irrigation Kings

Source – wikipedia.org

මෑත කාලයේ ලංකාවේ වාරි තාක්ෂණයට පණ දුන් මහාමාන්‍ය ඩී ඇස් සේනානායක ශ්‍රීමතාණෝ පවසා ඇති පරිදි අපේ පැරැන්නෝ එකකට ඝනයාර 17 කෝටියක පස් යොදවා වෑකණ්ඩි තැනූයේ මිසර දේශයේ මහා පිරමිඩ් සැදුවාක් මෙන් මහජනයා තලා පෙලා වැඩගෙන නොවේ. මහජනයාගේ සුභසිද්ධිය පිණිස රජවරු විශාල වාරි කර්මාන්ත ඉදිකොට ජලය සපයාදි ගොවිතැන් බත් දියුණු කරන්නට එදා කටයුතු කලේය.

ධාතුසේන රජතුමා ඉදිකළ කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙනයන ජය ගඟ කිලෝමීටර 87ක් දිගය, අක්කර හත් දහසක පමණ ගොවිතැන් කටයුතු මෙහෙයවූයේ කලා වැවේ ජලයෙනි. බැමිවල උස අඩු එහෙත් පුළුල් වූ තාක්ෂණයෙන් සමන්විත යෝධ වැව, මල්වතු ඔයෙන් ජලය ලබාගන්නා ආකට්ටිමුරුප්පුකුලම් වැව ධාතුසේන රජතුමාගේ නිර්මාණයකි. මහා දන්ත, පානගම්, මා එළිය පබ්බත ආදී වැව්ද ධාතුසේන රජතුමාගේ නිර්මාණ කාර්යයෝය.

 

8. දෙවැනි අග්බෝ රජු

Great lankan Irrigation Kings

Source – panoramio.com

මින්නේරිය වැවේ සිට සැතපුම් විසි හයක ඇලක් කපා කන්තලේ වැවට ජලය ලබාගත් දෙවැනි අග්බෝ රජු කන්තලේ, ගිරිතලේ ඇතලු වැව් 13ක් කරවුයේ අග්බෝ රජතුමාය.

 

9. විජයබා රජු

 

විජයබාහු රජ දවසේදී වැව් අමුණු බොහොමයක් කැඩී බිඳී ගොස් තිබුණේ සතුරු උවදුරු නිසාය. විජයබාහු රජු අලුතින් වාරිකර්මාන්තයන්ගේ නියැලුනේ නැති වුවද පැරණි වාරි කර්මාන්ත නැවත ප්‍රතිසංස්කරණය කොට ඒවායේ ඇලවේලි වැව් බැමි ශක්තිමත් කිරීමට දායක වූයේය.

 

10. පරාක්‍රමබාහු රජු

Great lankan Irrigation Kings

Source – fluider.com

ලංකාව කෘෂිකර්මාන්තය අතින් දියුණු කොට බත බුලතින් සරු කළ පරාක්‍රමබාහු රජතුමා විදේශයන්ටද අභියෝග කළ ශ්‍රේෂ්ඨ නරපතියෙකි. ඔහු තැනූ මහ වැව් 163ක්ද ඇල මාර්ග 3910ක්ද ඇතැයි වංශකතා වල සඳහන් වේ. කෙසේ වෙනත් වාණිජ අතින් අන්තර්ජාතික මට්ටමටද ගිය එදවස සහල් විදෙස් වලට සැපයීමටද තරම් සහල් අතිරික්තයත් තිබුණු බව සදහන් වේ. වැව් කිහිපයක් එකතුකර තැනූ පරාක්‍රම සමුද්‍රය පරාක්‍රමබාහු රජගේ තවත් දැවැන්ත නිර්මාණයකි.

අනුරපුර යුගයේ තිබූ බොහෝ වාරි කර්මාන්ත නැවත ජීවය ලබාගත්තේ පරාක්‍රමබාහු යුගයේදීය. එතුමා පැරණි වාරිකර්මාන්ත පිළිසකර කළ අතර ඇතැම් ඇළමාර්ග කාලයට සරිලන ලෙස පුළුල් කිරීමක්ද සිදුකරන ලදී.

 

රජු සහ වැව් බැඳීම

 

ස්වයංපෝශී අර්ථ ක්‍රමයකින් යැපුන එදා කෘෂිකර්මාන්තය රටේ රජුගේ ප්‍රධානතම වගකීමක්ද විය. වැව් ඉදිකල ප්‍රතිසංස්කරණය කළ රජුන් ගණන මේ සඳහන් වන ප්‍රමාණයට වඩා බොහෝ වැඩිය. එසේම මේකත් මගේ තමයි මේ වැවත් මමයි කළේ ආදී ලෙසින් අද කාලේ පරිදි එකම කර්මාන්තයට නැවත ලිපි සිටවමින් යන පරපුරේ ආදිතමයා වන නිශ්ශංකමල්ල ගේද සෙල්ලිපි කිහිපයක්ම වාරි කර්මාන්ත අසලින්ද හමුවී තිබේ.

එදා දියුණු වූ ඉංජිනේරු තාක්ෂණය ලේඛනගතව සුරක්ෂිත නොවූ නිසා අද වනවිට ඒ පැරණි වැව් වුවද නවීකරණය වන්නේ බටහිර තාක්ෂණානුකූලව වේ. යම් විදියෙකින් එදා ඉංජිනේරු ශිල්පය පසුකාලිනවද සුරැකිව ලේඛනගතව තිබුණේ වී නම් ඒ මහා වැව් අමුණු සෑදූ තාක්ෂණය අපිට ලොවම හා බෙදාගන්නට හැකියාව තිබුණි.

 
Cover Image Source – lankadeepa.lk / flickr.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *