ස්වීඩන් රජ පවුලේ සුවිශේෂී ආභරණ

යුරෝපයේ මේ වෙනකොට ඉතිරිවෙලා තියන රාජ පවුල් අතර ස්වීඩන රජ පවුල එරට තුළ වගේම ජාත්‍යන්තර වශයෙනුත් ඉතාමත් ජනප්‍රිය රජ පවුලක්. ඒකට එම රජ පවුලේ සාමාජිකයන්ගේ කඩවසම් සහ රූමත් පෙනුමත් එක හේතුවක්. විවිධ උත්සව අවස්ථා සඳහා ඔවුන් පැමිණෙන ආකාරය ඡායාරූප ගත කිරීම බොහෝ ඡායාරූප ශිල්පීන්ගේ බලාපොරොත්තුවක් වෙනවා. අපි අද කතා කරන්න යන්නේ ස්වීඩන රජ පවුලේ සාමාජිකයන්ගේ, විශේෂයෙන්ම කාන්තා සාමාජිකයන් හැඩ වැඩ කරන ආභරණ කීපයක් ගැන.

 

1. කොනට් දියමන්ති ටියාරාව (The Connaught Diamond Tiara)

වික්ටෝරියා රැජනගේ එක් පුත්‍රයෙකු වූ කොනට්හි ආදිපාදවරයාගේ සුරූපී දියණියක වූ කොනට්හි මාග්‍රට් කුමරිය ස්වීඩනයේ කිරුළ හිමි කුමාරයා සමඟ විවාහ වෙන අවස්ථාවේදී ඇගේ දෙමව්පියන් විසින් මෙම ටියාරාව මංගල ත්‍යාගයක් ලෙස ලබාදී තිබෙනවා. එතැන් පටන් මාග්‍රට්ගේ දියණිවරුන්, මිණිබිරියන් සහ ලේලිවරුන් සිය විවාහ මංගල අවස්ථාවලදී මෙම ටියාරාව භාවිතා කරනු ලැබුවා. වර්තමානයේ දී සිල්වියා රැජන විසින් වැඩි වශයෙන් භාවිතා කරන මෙම ටියාරාව වරින් වර ඇගේ දියණියන් අතරත් හුවමාරු වෙනවා.

 

2. ස්වීඩන ඇක්වාමරීන් කොකොශිනික් ටියාරාව (The Swedish Aquamarine Kokoshnik Tiara)

මෙම ටියාරාවේත් මුල් හිමිකාරිය ලෙස සැලකෙන්නේ කොනට්හි මාග්‍රට් කුමරියයි. ඇයගේ හදිසි මරණයෙන් පසුව ඇගේ ආභරණ එකතුව දරුවන් අතර බෙදී ගිය අතර මෙම ටියාරාව ඇගේ වැඩිමහල් දරුවා වන ගුස්ටාෆ් ඇඩොල්ෆ් හට හිමිවූ අතර ඔහු විසින් තම මනාලිය වන සැක්සේ කෝබර්ග් ගොතාහි සිබිල් කුමරිය වෙත මෙම ටියාරාව ත්‍යාගයක් ලෙස ලබා දුන්නා. සිබිල් කුමරියගෙන් පසුව ටියාරාවේ වත්මන් උරුමකාරිය වන්නේ ඇගේ වැඩිමහල් දියණිය වන මාගරීතා කුමරියයි. ඇතැම් අය මෙම ටියාරාව විකුණා ඇති බවට මත පළ කළත් ස්වීඩන් රජ පවුල එම වාර්තා ප්‍රතික්ෂේප කරනවා.

 

3. නැපෝලියානු ඇම්තීස්ට් පරාරූ ටියාරාව (Napoleonic Amethysy Parure Tiara)

අද වන විට  සම්පූර්ණයෙන් ස්වීඩනකරණයට ලක් වූවත් ස්වීඩන රජපවුලේ සම්භවය ඇත්තේ ප්‍රංශය තුළයි. මෙම ටියාරාව සකස්වී ඇත්තේ  ඇම්තීස්ට් මාලයක් ඇසුරෙනුයි. නැපෝලියන් අධිරාජයාගේ පළමු බිරිඳ වූ  ජොසපින් අධිරාජනියගේ ප්‍රියතම ආභරණයක් වූ මෙය ඇය විසින් තම ලේලිය වූ බැවේරියාවේ ඕගස්ටා කුමරිය වෙත ලබා දුන්නා. ඕගස්ටා කුමරිය තම දියණියකට ජොසපින් නම ලබා දුන්නා පමණක් නොව තම නැන්දණිය විසින් ලබා දුන් බොහෝ  ආභරණ ද ඇයට ලබා දුන්නා. එම දියණිය ස්වීඩනයෙහි පළමු ඔස්කාර් රජු සමඟ විවාහ වීමෙන් පසුව මෙම ආභරණ එකතුව ස්වීඩනය බලා ගිය අතර වර්තමානයේ මෙහි අයිතිය සිල්වියා රැජින සතුව පවතිනවා.

 

4. The Cameo Tiara (කැමියෝ ටියාරාව)

මෙම ටියාරාවද නැපෝලියන් අධිරාජ්‍යයා  විසින් ජොසපින් අධිරාජිනිය වෙනුවෙන් නිර්මාණය කළ ටියාරවක් වන අතර ඇම්තීස්ට් පරාරූ ටියාරාව සමග ස්වීඩනය වෙත පැමිණි ටියාරාවක්. සිබිල් කුමරියගේ දියණිවරුන් තම විවාහ උත්සව සඳහා මෙම ටියාරාව භාවිතා කිරීමේ සම්ප්‍රදායක් ආරම්භ කළ අතර සිල්වියා රැජින සහ වත්මන් කිරුළ හිමි  වික්ටෝරියා කුමරියත් ඇය විවාහ මංගල උත්සව සඳහා භාවිතා කරන ලද්දේ මෙම ටියාරාවමයි.

 

5. සික්ස් බටන් ටියාරාව (The Six Button Tiara)

මෙහිදි බටන් යන නමින් හඳුන්වන්නේ දියමන්තියෙන් සකස් කරන ලද රෝසමල් වන අතර නැපෝලියන්ගේ ජනරාල්වරයෙකු වූ ජීන් බර්නෝඩෙට් දහහතර වැනි කාර්ල් ලෙස ස්වීඩනයේ අභිෂේක ලබද්දී භාවිතා කරන ලද ඔටුන්න සඳහා ඒවා යොදාගෙන තිබුණා. පසුව  එම කොටස්  ඔටුන්නෙන් ඉවත් කොට මෙම ටියාරාව සකස් කොට තිබෙනවා. කෙසේ නමුත් මේ ආකාරයට ටියාරාවක් සකස් කිරීම සිදු වූයේ 1976 පැවති බර්ටිල් කුමරුගේ සහ ලිලියන් කුමරියගේ විවාහයේදී මනාලියගේ භාවිතය සඳහායි. ඇගේ මරණයෙන් පසුව මෙම ටියාරාවේ උරුමයත් සිල්වියා රැජින වෙත හිමි වුණා.

 

6. නැපෝලියානු කට් ස්ටීල් බැන්ඩියු ටියාරාව (The Napoleonic Cut – Steel Bandeau)

සාමාන්‍යයෙන් ඔටුන්නක් හෝ ටියාරාවක් කිව්වම ඔබේ මතකයට එන්නේ රනින් හෝ රිදියෙන් නිම කරලා, මුතු මැණික් දියමන්ති එබ්බවූ ආභරණයක්. නමුත් මේ ටියාරාව ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ යකඩ ලෝහය. නමුත් ආභරණකරු විසින්  රන් හෝ රීදීවලට සමානම දිස්නයක් මෙම ටියාරාවට ලබා දීමට සමත් වී තිබෙනවා. ජොසපින් අධිරාජිනියගේ පෙර විවාහයේ දියණියක වන හෝටෙන්ස් වෙනුවෙන් නිර්මාණය කළ මෙම ටියාරාව පසුව  විවිධ උරුමක්කරුවන් අතින් අතට ගොස් දැන් ස්වීඩන රජ පවුලේ කුමරියන්ගේ හිස් සැරසීමට සමත්ව තිබෙනවා.

 

7. බේඩන් ෆ්‍රින්ජ් ටියාරාව (The Baden Fringe Tiara)

ස්වීඩන් රජ පවුලේ සාමාජිකාවන් බොහෝදෙනෙක් විසින් මෙම ටියාරා ව වැඩි වශයෙන් භාවිතා කළත් මෙම සුවිශේෂී ආභරණය සමග වික්ටෝරියා නම් කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව කියවෙනවා. බේඩන්හි වික්ටෝරියා කුමරිය එවකට ස්වීඩනයේ කිරුළ හිමි ගුස්ටාෆ් කුමරු සමඟ විවාහ වීමේ දී මංගල තෑග්ගක් ලෙස දෙමව්පියන් විසින් මෙම ටියාරාව ලබාදුන් අතර එතැන් පටන් ස්වීඩන් රජ පවුලේ විවිධ සාමාජිකාවන්  අතර මෙම ටියාරාව හුවමාරු වුණා. වත්මන් කිරුළ හිමි වික්ටෝරියා කුමරිය සිය නිල ඡායාරූප සඳහා මෙම කිරුළ භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසා මෙම ටියාරාව කෙරෙහි ආභරණවලට ප්‍රිය කරන පිරිස් අතර යළිත් ආකර්ෂණයක් ඇතිව තිබෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *