Lifie Car Review – සුසූකි වැගන් ආර් (Suzuki Wagon R)

වැගන් ආර් එක කියන්නේ මේ දවස් වල ත්‍රීවිල් තරම්ම පාරේ දකින්න තියෙන කාර් එකක්. ගොඩක් ඇල්ටෝ පාවිච්චි කර කර හිටපු අය මේ වාහනේට මාරු උනා. ඒ වගේම අඩු මුදලට ගන්න පුළුවන් සෙමි හයිබ්‍රිඩ් වාහනයක් විදිහට ලංකාවේ මේ වාහනේ ගොඩක්ම ජනප්‍රිය උනා. සෙමි හයිබ්‍රිඩ් එකක් නිසාම තෙල් ටිකක් වැඩිපුර වැඩ කරනවා. එන්න ඒ හේතුව නිසා ටැක්සි සර්විස් කැබ් සර්විස් වල එහෙම හොඳට නැගල යන වාහන මාදිලියක් වෙලා තියෙන බව පේන්න තියෙනවා. අනිත් එක වැගන් ආර් කිව්වම වේරියන්ට්ස් බර ගා​ණක් තියෙනවා. ඒවායින් අපි අද රිවීව් කරන්නේ වැගන් ආර් Stingray කියන මොඩල් එක ගැන විතරයි. කොහොම උනත් මේ හැම මොඩල් එකකම පිටත පෙනුම බොහෝ දුරට සමානයි. ප්‍රධාන ලාම්පු, බෆර්, ස්කර්ටින්ග් වගේ දේවල් වල තමයි වෙනස්කම් තියෙන්නේ. 1993 නිෂ්පාදනය කරන්න පටන් ගත්තු මේ වාහනේ හය වෙනි පරම්පරාව තමයි 2017 ඉඳල මාර්කට් එකට එන්නේ. මේක ජපානයේ KEI වාහන වර්ගයට අයත් වෙන නිසා නිෂ්පාදකය විසින් මේකේ මුලික පෙනුම සහ එන්ජින් ධාරිතාව වෙනස් කරන්න උත්සාහ කරලා නෑ එදා ඉඳල අද වෙනකම්ම. තව දෙයක් තමයි මේ වාහනේම MAZDA ආයතනයෙන් Flair කියල මොඩල් එකක් විදිහටත් මාර්කට් එකට නිකුත් කරනවා. මුලිකවම මේ වාහන දෙකම එකයි. මිල විතරයි වෙනස්. දැන් අපි රිවීව් එක පැත්තට හැරෙමු.

 

 

1. විශේෂාංග

එයාර් බෑග්, ABS Brake, Multi- Function Steering Wheel, Idle Stop, Fog Lamps, Alloy Wheels, Rear Wiper, Power & Winker Mirrors, Rear Spoiler, Push Start, Seat Heater System වගේ ගොඩක් විශේෂාංග මේ වාහනේට ඇතුලත් වෙනවා. මේ රේන්ජ් එකේ ගන්න පුළුවන් වාහන වලින් ඔප්ෂන්ස් ගොඩක් තියෙන වාහනයක් විදිහට ඒ නිසා මේක හඳුන්වන්නත් පුළුවන්. මේ හැම දේටම අමතරව තව පොඩි පොඩි ඔප්ෂන් ගොඩක් මේ වාහනේ එක්ක එනවා. 

 

 

2. ආරක්ෂාව

මේ වාහනේට එයාර් බෑග් දෙකක් ඇතුලත් කරලා තියෙනවා. ඒ ඩ්‍රයිවර් ට සහ ඉස්සරහ ගමන් කරන මගියාට. ඊට අමතරව ABS Brake සිස්ටම්, ඔටෝ බ්රේක් සිස්ටම් එහෙමත් එනවා. ඒ උනාට ඔටෝ බ්රේක් එන්නේ සේෆ්ටි පැකේජ් එක්ක එන මොඩල් එකේ විතරයි. නමුත් ලංකාවේ පාරවල් වල මේ ඔටෝ බ්රේක් ​ඔන් කරගෙන ගමන් යන එක ටිකක් අනතුරුදායකයි. ​ඒකට හේතුව තමයි ලංකාවේ පාරවල් වල වාහන කිසි පිළිවෙලක් නැතුව ධාවනය කිරීම නිසා නිරන්තරයෙන් මේ බ්රේක් ඔන් වීම සිද්ද වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඇතුලට ගොඩක් ​ඒක දැනෙනවා. අනිත් එක එහෙම බ්රේක් ඔන් වෙන වෙලාවට පිටිපස්සෙන් එන වාහනේ ඔබේ වාහනේ වදින්න ඉතා ලොකු ඉඩක් තියෙනවා. ඒ හේතුව නිසාම AMW එකෙන් ගෙන්නන වාහන වල ඒගොල්ලෝ සේෆ්ටි ඔප්ෂන් එක නැතුව තමයි ගෙන්නන්නේ.

 

 

3. තෙල් කාර්යක්‍ෂමතාව

මේ වාහනේ සෙමි හයිබ්‍රිඩ් එකක් නිසා ලංකාවේ පාරවල් වල සාමාන්‍යයෙන් ලීටරයකට 22ත් 26ත් අතර ප්‍රමාණයක් වැඩ කරනවා. ඒක ඉතාමත්ම හොඳ කාර්යක්ෂමතාවයක් මේ මිලට ගන්න පුළුවන් වාහනේකට. තව මේ වාහනේට එන්නේ ලීටර් 27ක ධාරිතාවයක් තියෙන තෙල් ටැංකියක්. 

 

 

4.  එන්ජින් එක

මේ වාහනේට එන්නේ RO6A කියන සිලින්ඩර් තුනේ 650 ධාරිතාවයක් සහිත VVT එන්ජින් එකක්. එන්ජින් එක 650 උනාට පිකප් එකේ එහෙම සැලකිය යුතු අඩුවක් දැනෙන්නේ නෑ. ස්පෝර්ට් මෝඩ් එකකුත් තියෙන නිසා මේ ධාරිතාව මේ වාහනේට ප්‍රමාණවත් කියන්න පුළුවන්. අනිත් එක එන්ජින් එකේ සද්දේ ඇතුලට ඇහෙන්නේ නැති තරම් අඩුයි. 

 

 

5. පිටත පෙනුම

පිටත පෙනුම උනත් Sport වාහනේක විදිහට නිර්මාණය කරන්න සුසූකි ආයතනය උත්සාහ කරලා තියෙනවා.  ඒ නිසාම ස්පොයිලර් එකක් ඇලෝයි වීල් සයිඩ් ස්කර්ටින්ග් එහෙමත් මේ වාහනේට ඇතුලත් කරලා තියෙනවා. ඉස්සරහ ෂෙල් එකත් මිල අධික වාහනේක පෙනුම ලැබෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව මේකේ ප්‍රධාන ලාම්පු LED විදිහට තමයි තියෙන්නේ. නිල්, අළු, කළු, දම්, සුදු, රතු කියන පාට හයකින්ම මේ වාහනේ මිලදී ගන්න පුළුවන්.

 

 

6. ඇතුලත පෙනුම

මේ වාහනේ ඇතුලත ඉඩ ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ. මේ​කෙ ඉතාමත්ම හොඳ ලොකු ඉඩක් ඇතුලේ තියෙනවා. මේ කැටගරි එකේ වැඩිම ඉඩක් තියෙන වාහනේ විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. මේකේ dash බෝර්ඩ් එකත් ලෙවල් දෙකකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. තව දෙයක් තමයි මේකේ ඉස්සරහ සහ පිටුපස සීට් උසින් තමයි තියෙන්නේ. පුටුවක වාඩි උනා වගේ හැඟීමක් ඇතිවෙන්නේ.  ඒ නිසා ගොඩක් සුව පහසුව ගමන් කරන්න පුළුවන්. විශේෂයෙන් පිටිපස්සේ ආසන උනත් Adjust කරන්න පුළුවන්. තව දෙයක් තමයි මේ වාහනේ Spare Wheel එකක් එන්නේ නෑ. ටයර් රෙපෙයාර් කිට් එකක් තමයි එන්නේ. කොච්චර ඇතුලේ ඉඩ තිබුනත් හැම තැනම Bottle Holders, Cup Holders එහෙම යොදලත් තියෙනවා. අනිත් එක පිටිපස්සේ තුන් දෙනෙක්ට ඉතාම පහසුවෙන් ගමන් කරන්නත් පුළුවන්. තව කාරණාවක් තමයි මේ වාහනේ ඇතුලත දොර Handle වලට Chrome ආලේපිත නිසා ලොකු පෙනුමකුත් ලැබිල තියෙනවා. 

 

 

7. මි​ල

සේෆ්ටි පැකේජ් එක එක්කම රුපියල් ලක්ෂ 35ක් විතර වෙනවා මේ වාහනේ. ඒ ගා​ණට ගන්න පුළුවන් වෙන වාහන කිහිපයක්ම තිබුනත් ගොඩක් අය මේකේ පෙනුම නිසා මේකට යනවා. ඒ නැතත් සෙමි හයිබ්‍රිඩ් වීමත්, තෙල් කාර්යක්‍ෂමතාවය ඉතා හොඳ තත්ත්වයක තිබීමත් ගොඩක් අය මේ වාහනේ ගැනීමට හේතුවක්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *