දීර්ඝ කාලීන ආදරයක් පවත්වාගෙන යන්න වැදගත් වෙන කරුණු

දෙන්නෙක් ආදරේ කරන්න පටන් ගන්නේ හැමදාටමත් ඒක පවතීවි කියලා හිතාගෙන තමයි. මොකද ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් අවුරුද්දකට දෙකකට කියලා ආදරේ කරන්න හිතන්නෙ නැහැනේ. සමහරු කෙලින්ම විවාහේ ගැනත් හිතාගෙනම ආදරේ කරනවා. තවත් සමහරු පටන් ගැන්මට විවාහේ ගැන ඒ තරම් බරපතලෙට හිතන්නෙ නැතත්, සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ කියලා හිතාගෙන තමයි ආදරේ කරන්නේ. හැබැයි මේ කොයි විදියට ආදරේ සිද්ධ වුනත් ඒක විවාහයෙන් කෙළවර වෙයි, ඉන් පස්සේ මැරෙන තුරාවට පවතියි කියලා ටක්කෙටම කියන්න නං බෑ. සමහර ආදර කතන්දර පටන් ගන්නේ යුගයේ ප්‍රේම කථා විදියට. හැබැයි මාස පහයි පැවැත්ම. ශෝචනීයයි තත්ත්වය!

ඇත්තටම දීර්ඝ කාලයක් ආදරයක් ගෙනියන්න නම් මොනවද කරන්න ඕන? ආදරයක් බලහත්කාරෙන් දීර්ඝ කාලයක් ගෙනියන්න නම් බෑ. ආදරේ ඉවරයි නම් තවත් බලෙන් සම්බන්ධය පවත්වා ගෙන වැඩක් නෑ. හැබැයි ආදරේ දීර්ඝ කාලයක් පවත්වා ගන්න කරන්න ඕන පොඩි පොඩි දේවල් තියෙනවා. ආන්න ඒ දේවල් කීපයක් තමයි මේ…

 

1. විශ්වාසෙන් පටන් ගමු

මේ විශ්වාසය කියන්නේ එයා හැමදාමත් දාලා නොයාවිද කියන විශ්වාසය නෙවෙයි. මනුස්සයා තමන් එක්ක ඉන්නේ වෙන මොනවා හරි අවශ්‍යතාවයකට නෙවෙයි කියන විශ්වාසය. තිත්ත වුනත් අපි ඇත්තට මූණ දෙන්න එපායෑ. සමහරු අපිත් එක්ක ජීවත් වෙන්නේ කායික අවශ්‍යතා වෙනුවෙන්. තව සමහරු මූල්‍යමය අවශ්‍යතා වෙනුවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. තව සමහරුන්ට තව තව අවශ්‍යතා තියෙන්න පුළුවන්. හැබැයි අපිට ඕන කරන්නේ අපිත් එක්ක තියෙන ආදරේ වෙනුවෙන් අපිත් එක්ක ඉන්න කෙනෙක්. මේ ඉන්න කෙනා අන්න එහෙමයි කියන විශ්වාසය තමයි මුලින් ඇතිකරගන්න ඕන. ඒකට ඉතින් ආදරෙන් අන්ධ නොවී ඇස් ඇරලා මනුස්සයාව නිරීක්ෂණය කරන්න වෙනවා.

 

2. දෙන්නව හොඳාකාරව දැනගමු

මෙන්න ඊලඟ ස්ටෙප් එක. මේක උඩ කතන්දරේටත් වැදගත්. සමහරු ඉන්නවා මාර ගුප්ත චරිත. මේ අය ගැන කිසිම දෙයක් දැනගන්න එක ලේසි නෑ. හැබැයි එහෙම කෙනෙක් එක්ක දීර්ඝ කාලීන සම්බන්ධයක් පවත්වන්න විශ්වාසය හදාගන්න එකත් ලේසි නෑ. ආන්න ඒ නිසා දෙන්නත් එක්ක කථා බහ කරන්න ඕන. දෙන්නට දෙන්නා මුණගැහෙන්න ඕන. දෙන්නට දෙන්නා සමාජේ ගැවසෙන්න ඕන. කොටින්ම කියනවා නම්, දෙන්නට දෙන්නා හොඳට දැනගන්න ඕන. මේ දෙන්නවම හොඳින් දැනගන්නවා කියන එක දීර්ඝ කාලීන ආදරේකට අත්‍යාවශ්‍යයි.

 

3. බොළඳ කථා, ගැඹුරු කථා

දෙන්නෙක් ආදරේ කරනකොට තියෙන්න ඕන හෙනම ගැඹුරු කතා තමයි කියලා හිතනවා නම් ඒක වැරදියි. බොළඳ කතා තමයි කියලා හිතුවොත් ඒකත් වැරදියි. ආදරේදී තියෙන්න ඕන දෙන්නට දෙන්නා ආස හිතෙන කතා. ඒ කියන්නේ දෙන්නට පැය ගණන් කථා කර කර ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒකට හොඳ ගැලපීමක් තියෙන්න ඕන. ඒ වගේම බොළඳ කථා වගේම ගැඹුරු කථාත් සමෝසමේ තියෙන්න ඕන. ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු ගාණක් ගියත් දෙන්නට දෙන්නා කථා කර කර ඉන්න ආසයි නම්, ආන්න ඒක තමයි දීර්ඝ කාලීන සම්බන්ධයකට තියෙන්න ඕනම දේ.

 

4. ඩිමාන්ඩ් නැතුව ආදරේ දෙමු

මේක ගොඩක් දෙනෙක් කරන නරක දෙයක්. ඒ තමයි ආදරේ ඩිමාන්ඩ් කරන එක. අපිට අනික් කෙනා වෙනුවෙන් පුංචි පුංචි ආදරේ හිතෙන දේවල් කරන එක මාර අමාරු දෙයක් නෙවෙයිනේ. ඒක අපිට ඇතුළාන්තයෙන්ම දැනෙනවා නම් එච්චරයි. හැබැයි සමහරු ඉන්නවා එහෙම ආදරේ පාන දෙයක් කරන්නේ අනික් කෙනාත් ආදරේ පෑමක් ක​ළොත් විතරයි. එයා ඉස්සරවෙලා කරන්න ඕන. ආන්න එහෙම පංගු පේරු එක්ක ආදරේ කරන්න බෑ. ඒකෙන් වෙන්නේ අර ආදරේ කිසිම අගයක් නැති වෙන එක විතරයි.

 

5. දෙන්නා දෙන්නෙක් බව හිතමු

මේකත් දීර්ඝ කාලයක් පවති​න ආදරේකට අතිශයින්ම වැදගත් කාරණයක්. ඒ තමයි දෙන්නගේ පුද්ගලික අවකාශයන් ඒ විදියටම පවත්වා ගැනීම. වෙනත් විදියකට කියනවා නම්, කොයි තරම් ආදරෙන් බැඳිලා හිටියත් දෙන්නා දෙන්නෙක්ය කියන එක තේරුම් ගැනීම. ආදරේ කරන කපල් එකක් ජීවිතේ බෙදාහදා ගන්නවා. දෙන්නට පොදු සෑහෙන දේවල් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි තමන්ට විතරක් වෙන් වුණු දේවලුත් තියෙන්න ඕන. කොල්ලට මාස දෙක තුනකට සැරයක් තමන් එක්ක සෙට් වෙන යාලුවෝ ඉන්න පුළුවන්. කෙල්ලට තමන් එක්ක ෂොපින් යන යාලුවෝ ඉන්න පුළුවන්. ඒවාත් බලහත්කාරයෙන් අනික් කෙනා එක්ක බෙදාගන්න යන එක හරි, අනික් කෙනාට හැමදෙයක්ම තමන් එක්ක බෙදාගන්න කියලා බල කරන එක හරි තේරුමක් නැති දෙයක්. දෙන්නගේ පුද්ගලික අවකාශයට ගරු කරන්න ඉගෙන ගන්න ඕන!

 

6. දෙන්නට දෙන්නා පුරුද්දා ගමු

සාමාන්‍යයෙන් දෙන්නෙක් ගත්තහම උන් දෙන්නගේ ගතිගුණ, පුරුදු, ආස දේවල්, ආස නැති දේවල් අහසට පොළව වගේ වෙන්න පුළුවන්. එතකොට හෙමි හෙමිහිට දෙන්නට සිද්ධ වෙනවා අනික් කෙනාගේ ගතිගුණ වලට පුරුදු වෙන්න. තමන්ට කිසිසේත්ම සෙට් නොවෙන ගතිගුණ තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරලා, දෙන්නටම පොදු සමාදාන තැනකට එන්න. උදාහරණයක් විදියට කිවුවොත් අස් පරස් කරන්න කම්මැලි ඩයල් එකකටයි, අස් පරස් කිරීම් නැතුව ඉන්න බැරි ඩයල් එකකටයි එකට ඉන්න වුනොත්? දෙන්නට පුළුවන් දවසට දෙතුන් පාර දේවල් අස් පරස් කරන්න ඕන නැහැ, ඒත් දවසකට සැරයක් දෙන්නා මාරුවෙන් මාරුවට ඉන්න තැන අස් පරස් කරනවා කියලා එකඟතාවයකට එන්න. මේ වගේම තමයි රුචි අරුචි කම්. එයා අහන මියුසික් වලට මටත් එක්කෝ ආස වෙන්න පුළුවන්. ආසා වෙන්න බෑම නම් දෙන්නට හෙඩ්සෙට් දාගෙන මියුසික් අහන්න පුළුවන්. 

 

7. මෙයා තමයි කෙනා

මෙන්න මේක තමයි හිතේ තියෙන්න ඕන වැදගත්ම දේ. අපිට කාලයක් යනකොට ‘මෙයා තමයි මට හැමදාටම එකට ජීවත් වෙන්න ඕන කෙනා’ කියන අදහස් තදින්ම හිතට කාවදිනවා. ආන්න එහෙම හිතෙනකොට ඇතිවෙන බැඳීම ලේසියෙන් කැඩෙන්නෙ නෑ. ඒ වගේම අපි දෙන්නා එක කණ්ඩායමක්ය කියන අදහස එතකොට හිතට එනවා. එතකොට මුළු ලෝකෙම තමන්ට විරුද්ධව ආවත්. අපි දෙන්නා මැච් එක දිනලා මිසක් පස්ස බලන්නෙ නැහැය කියන හැඟීම එනවා. ආන්න එහෙම දැනෙන කපල් එකක් වෙන් කරන්න සක්කරයටවත් බෑ. එහෙම දැනෙන කපල් එකක් මැරෙන තුරාවට එකට ඉඳීවි…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *