චීන ජාතිකයෙක් එක්ක හැසිරෙන්නේ මෙහෙමයි!

දැන් සිරි ලංකාවේ ජීවත් වෙන අපිට චීනේ හරි චීන ජාතිකයෝ හරි කියන්නේ අමුත්තෝ නෙවෙයිනේ. සමහර කඩකැඩිච්ච එව්වෝ නං කියන්නේ අපේ ස’ ගෙ ලොකු ස’ තමයි චීන ජනාධිපති ශීජිංපෙං කියලා. ඔව්වා ඉතින් අපි දන්නෙ නෑ. හැබැයි ලංකාවේ තියෙන චීන ව්‍යාපෘති ප්‍රමාණය එක්කත්, ශ්‍රී ලංකා චීන සබඳතා එක්කත් අපිට දැන් වැඩි වැඩියෙන් චීන ජාතිකයෝ දකින්න ලැබෙනවා ශ්‍රී ලංකාවේදී. දැන් චීන ජාතිකයෝ කියන්නෙත් ඉතින් අපිට විදේශිකයොනෙ. එතකොට අපි තව ශ්‍රී ලංකාවේ මනුස්සයෙක් එක්ක හැසිරෙන, සලකන, කතාබහ කරන විදියටම චීන ජාතිකයෙක් එක්ක හැසිරුණොත්, සැලකුවොත්, කතාබස් කළොත් හරිද? චීන භාෂාව දන්නවා නං ඒක ඒ හැටි ප්‍රශ්නයක් වෙන එකක් නෑ. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ලෝකේ හැම රටක හැම ජාතියකටම ආවේණික හැසිරීම් රටා අනං මනං තියෙනවනේ. එතකොට සමහර විට අපිට නෝමල් හැසිරීමකට වෙන ජාතිකයෙක් කැමති නැති වෙන්න පුළුවන්. ආන්න ඒ විදියට චීන ජාතිකයෙක් එක්ක හැසිරෙනකොට, කතා බහ කරනකොට, සලකනකොට අපි දැනගෙන ඉන්න අවශ්‍ය දේවල් මොනවද?

 

1. නැවෙන්න යන්න එපා!

ගොඩක් වෙලාවට සමහරු කරන දෙයක් තමයි ජපන් ජාතිකයෝ, කොරියන් ජාතිකයෝ සහ චීන ජාතිකයෝ පටලවාගන්න එක. දැන් ශ්‍රී ලංකාවේ සෑහෙන්න චීන ජාතිකයෝ හිටියට අපිට ඉස්සරලා ඉඳලම සබඳතා තිබ්බේ, අහන්න දකින්න තිබ්බේ ජපන් ජාතිකයෝ ගැනනේ. ඉතින් ජපන් ජාතිකයෝ නැවිලා ආචාර කරනවා දැකලා දැකලා අපි චීන ජාතිකයෙක් මුණගැහුනමත් කඳෙන් නැවිලා ආචාර කරන්න හිතනවා. හැබැයි ඒක කරන්න යෝග්‍ය දෙයක් නෙවෙයි. ජපානෙදී එහෙම නැවිලා කරන ආචාරය ශිෂ්ට සම්පන්න වුණාට, චීනෙදී ඒක එහෙම හොඳ දෙයක් විදියට සැලකෙන්නෙ නෑ. හොඳම දේ තමයි චීන ජාතිකයෙක්ට අතට අත දීලා ආචාර කරන එක. හැබැයි එකක්, ඕනෑවට වඩා තදින් අත මිරිකන්න යන්න එපා කොහෙත්ම. චීන ජාතිකයෝ එහෙම හෑන්ඩ්ෂේක් එකක් සලකන්නේ කලහකාරී බවේ සංකේතයක් විදියට.

 

2. වැඩිහිටි පිළිවෙලට ගරු කටයුතු වෙන්න

සාමාන්‍යයෙන් චීන සම්ප්‍රදායේ විදියට වැඩිහිටි අයට ලොකු ගෞරවයක් තියෙනවා. ඒ නිසාම, අපි චීන ජාතිකයෝ පිරිසක් ඉන්න කාමරේකට හරි වෙනත් තැනකට හරි ආවහම, මුලින්ම වැඩිහිටි අයට අතට අත දීලා පිළිගන්න එක, තමන්ව හඳුන්වලා දෙන එක හොඳ දෙයක්. ඊට පස්සේ ජ්‍යෙෂ්ඨත්වයේ පිළිවෙලට අනික් අයට ආචාර කරන්න පුළුවන්. අවශ්‍ය නම් වැඩිහිටි අයට අතට අත දීලා ආචාර කරලා, අනික් අයට ඔළුව වනලා පිළිගත්තත් ලොකු ගැටළුවක් නෑ. එතකොට යාළුවෝ නොවෙන චීන අයට කතා කරනකොට නම් නිකම්ම නම කියන්නේ නැතුව, අනිවාර්යයෙන්ම ගරු කටයුතු විදියට ආමන්ත්‍රණය කරන්න ඕන. මිස්ටර් ලී, මිසිස් ල්‍යූ වගේ. හැබැයි මතක තියාගන්න, චීන කාන්තාවෝ තමන්ගේ ස්වාමියාගේ නම ගන්නෙ නෑ. අන්න ඒක සිහියේ තියාගන්න ඕන ඒ අයට කතා කරනකොට. එහෙම නැතුව මිස්ටර් ලීගේ වයිෆ් මිසිස් ලී වෙන්නෙ නෑ.

 

3. පර්සනල් ස්පේස්

සාමාන්‍යයෙන් අපි නාඳුනන කෙනෙක්ගේ ශරීරය ස්පර්ෂ කරන්න යන්නෙ නෑ තමයි. හැබැයි ශ්‍රී ලංකාවේ අපි කියමු ඔන්න යාළුවෙක්ගේ යාළුවෙක්ව සෙට් වුණා කියලා. එතකොට අපිට ටික වෙලාවක් කතා කළාට පස්සේ කරට අත දාන එක, පිටට තට්ටුවක් දාන එක වගේ දේවල් එහෙම ලොකු අවුල් නෙවෙයිනේ. හැබැයි මතක තියාගන්න, චීන ජාතිකයෝ එහෙම ඒ තරම් ඇඳිනීමක් හෝ ලොකු සමීපත්වයක් නැති කෙනෙක් තමන්ගේ පුද්ගලික අවකාශය උල්ලංඝනය කරනවට කිසිසේත්ම කැමති නෑ. අන්න ඒ නිසා, චීන ජාතිකයෙක් එක්ක සාමාන්‍ය ඇඳුනුම්කමක් තිබ්බත්, කරට අත දාන්න, පිටට තට්ටු දාන්න හෝ වෙනත් ඒ වගේ විදියට ශරීරය ස්පර්ෂ කරන්න හරි අනවශ්‍ය විදියට සමීප වෙන්න හරි යන්න හොඳ නෑ. අතට අත දෙන එකේ ගැටළුවක් නෑ. අපි කියන්නේ ඒ ඇරෙන්න අනික් දේවල්.

 

4. විසිල් එපා

අපි සමහර වෙලාවට විසිල් කරනවනේ. යාලුවෙක්ට කතා කරන්නත් විසිල් කරනවා. නිකම් ඉන්න වෙලාවට සිංදුවක් වුණත් විසිල් කර කර ඉන්නවා. හැබැයි පුංචි කාලේ මතක නම්, අපි විසිල් කරනවට අම්මලා එහෙම කැමති නෑ. ඒක කැත පුරුද්දක් කියලා විසිල් කරන්න එපා කියලත් කියනවා. හැබැයි ඒ කොහොම වුණත්, ශ්‍රී ලංකාවේදී නම් සාමාන්‍යයෙන් විසිල් කරන එක නරක දෙයක් කියලා සලකන්නෙ නැහැනේ. හැබැයි එහෙම වුණාට චීනෙදී හරි චීන ජාතිකයෝ ඉන්න තැනකදී හරි නම් විසිල් කරන එක බොහොම නරක පුරුද්දක් විදියට තමයි සැලකෙන්නේ. චීන ජාතිකයෙක් සලකන්නේ විසිල් කිරීම අශෝභන, අශිෂ්ට දෙයක් විදියට. අන්න ඒ නිසා, චීන ජාතිකයෙක් ඉස්සරහ තමන් තනියෙන් වුණත් විසිල් කරන්න යන්න එපා. ඒ විතරක් නෙවෙයි, අසුරුසන් කිරීම, ඒ කියන්නේ මහපටැඟිල්ල සහ මැදගිල්ල එකට ගැටීමෙන් ක්ලික් ශබ්දයක් නිකුත් කිරීමත් චීන ජාතිකයෙක් සලකන්නේ අශෝභන දෙයක් විදියට. අන්න ඒ නිසා චීන ජාතිකයෙක් ඉස්සරහා මොකක් හරි කියනකොට හරි කරනකොට හරි අසුරුසන් කරන්නත් යන්න එපා.

 

5. වෙලාවට වැඩ කිරීම

සාමාන්‍යයෙන් ඉතින් මොන රටෙත් සලකන්නේ වෙලාවට වැඩ කිරීම හොඳ පුරුද්දක් කියලා තමයි. ලංකාවෙත් අපි කියන දෙයක්නේ වෙලාවට වැඩ කරන එක හොඳ පුරුද්දක් කියලා. හැබැයි ගැටළුව තියෙන්නේ, ලංකාවේ ගොඩක් අය වෙලාවට වැඩ කරන්න තියෙන පුරුද්ද අඩු වීම. වෙලාවට තැනකට යන එක, වෙලාවට වැඩක් කරන එක අඩුවෙන් දකින්න තියෙන දෙයක් නිසාම, ගොඩක් වෙලාවට ලංකාව වගේ රටක වෙලාවට වැඩක් නොකිරීම සාමාන්‍යකරණය වෙලා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, යම් කිසි උත්සවයක් පටන් ගන්නවා කියලා තියෙන්නේ 11 ට නම්, හැමෝම ඇවිත් නැති නිසා 11.30 විතර වෙනකල් උත්සවය පටන් ගන්න ප්‍රමාද වෙන එක කවුරුවත් ලොකු අවුලක් කියලා දකින්නෙත් නෑ. හැබැයි චීන ජාතිකයෝ එක්ක එහෙම බෑ. වෙලාවට වැඩ නොකිරීම ඒ අය දකින්නේ හරිම නරක, අශෝභන දෙයක් විදියට. අන්න ඒ නිසා, චීන ජාතිකයෙක්ව මුණගැහෙනවා නම් එහෙම, වෙලාවට වැඩ කරන්න කොහොම හරි පුරුදු වෙන්න එවනවා.

 

6. භාෂා ප්‍රශ්න

සාමාන්‍යයෙන් ඔය ඇකඩමික් නැතිනම් බිස්නස් ෆීල්ඩ් වල ඉන්න චීන ජාතිකයන්ට ඉංග්‍රීසි හැසිරවීම අතිශයින්ම අභියෝගාත්මක නෑ. අඩු තරමින් තේරුම් ගන්න හරි පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ චතුර චීන ජාතිකයෝ අපිට මුණගැහෙනවා අඩුයි. අනික් අතට, අපිට පුළුවනැයි චීන මැන්ඩරීන් කතා කරන්න. අපිට හුරුවක් නැතිම භාෂාවක්නේ. ආන්න ඒ නිසා, විශේෂයෙන්ම චීන ජාතිකයෝ පිරිසක් එක්ක බිස්නස් මීටිමක් වගේ දෙයක් එහෙම තියෙනවා නම්, හොඳම දේ තමයි, කලින්ම භාෂා පරිවර්තකයෙක්ගේ සේවය ලබාගන්න කටයුතු කරලා තියෙන එක.

 

7. කීප් කාම් ඇන්ඩ් බී ගුඩ්

සාමාන්‍යයෙන් ලංකාවේ අපිට එක දවසක් අඳුනන කෙනෙක් මුණගැහුනත් පුද්ගලික මට්ටමේ ප්‍රශ්න අහනවමනේ. “ඉතින් තාම බැන්දේ නැද්ද?”, “ඉතින් ඔයා එයත් එක්ක යාළුද?” වගේ එව්වා. පුදුමෙකට වගේ අපිට ඒවා අනවශ්‍ය ප්‍රශ්න විදියට දැනෙන්නෙත් නෑ. අපි කියන්නෙ නෑනේ එහෙම ඇහුවහම “මයින්ඩ් යුවර් ඕන් බිස්නස්” කියලා. හැබැයි චීන ජාතිකයොත් අපිත් එක්ක හිතවත් වෙනකොට එහෙම පුද්ගලික මට්ටමේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක ගැටළුවක් කරගන්න එපා. හොඳම දේ තමයි ඒ වගේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න අකමැති නම්, ආචාරශීලී විදියට මොනවහරි කියලා මග අරින එක. අනික් කාරණාව, කිසිම මොහොතක චීන ජාතිකයෝ එක්ක තරහ පෙන්නන්න, කේන්තිය පෙන්නන්න යන්න එපා.  ඒක බොහොම අශිෂ්ට දෙයක් විදියට චීන ජාතිකයෝ සලකනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *