එදිනෙදා ජීවිතය

සෝෂල් මීඩියා වලට වැය කරන කාලය සීමා කරන්නේ කොහොමද?

ඇත්තටම අද කාලේ ගොඩක් දෙනෙක්ට ෆේස්බුක් නැති ලෝකයක් ගැන හිතාගන්න පුළුවන්ද? හිතන්නවත් බෑ නේද? හැබැයි ඇත්තටම අපිට සෝෂල් මීඩියා නැති ලෝකයක් තිබුණා. හරි, සෝෂල් මීඩියා වල නරක වගේම හොඳත් තියෙනවා. හැබැයි ඉතින් සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙනවා කියන්නේ ආයෙ ජීවිතෙන් සැලකිය යුතු කොටසක් ඒකට ගත වෙනවා කියන එක, හිතන්න බැරි විදියට වැඩ පාඩු වෙනවා කියන එක තමයි. නිකමට හිතන්න දවසකට පැය දෙකක් සෝෂල් මීඩියා වල ගත කරනවා කියලා. දැන් බලන්න දින තුන්සිය හැටපහ පැය දෙකකින් වැඩි කරලා! පේනවනේ අවුරුද්දකට සම්පූර්ණ මාසෙකටත් වැඩියෙන් සෝෂල් මීඩියා වලට ගත වෙලා කියලා!! ඒ සෝෂල් මීඩියා ඇබ්බැහිය නිසා ජීවිතෙන් මගඇරෙන දේවලුත් බොහෝමයි!!!

 

ඉතින් ඔන්න ඔය හින්දා තමයි අපි සෝෂල් මීඩියා වල නිස්කාරණේ කාලය නාස්ති කිරීම සීමා කරගන්න වුවමනා වෙන්නේ.  එහෙම සෝෂල් මීඩියා කාලය ලිමිට් කළහම, ඒකෙන් ලැබෙන වාසි ඇස්පනාපිට දැකගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි බලමු කොහොමද සෝෂල් මීඩියා සීමා කරන්නේ කියලා!

 

1. ලොග් අවුට්

මේක ඉතින් සෝෂල් මීඩියා ඇඩික්ෂන් එක පාලනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් ලේසි විදියක්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපේ ෆෝන් එක ගත්තොත්, අපි ෆේස්බුක් නිරන්තරයෙන්ම ලොග් වෙලානේ ඉන්නේ. එතකොට නිකම් ෆෝන් එක අතට ගත්තහම එක ටච් එකෙන් ෆේස්බුක් එකේ. ආන්න ඒ තත්ත්වය තමයි නැති කරගන්න ඕන. ෆේස්බුක් ඇප් එකෙන් ලොග් අවුට් වෙන්න. පාස්වර්ඩ් ඔටෝ මතක තියාගෙන ඉන්න ෆීචර් එක එහෙමත් අයින් කරන්න. එතකොට ආයෙ ෆේස්බුක් යනකොට පාස්වර්ඩ් ගහලා ලොග් වෙලා යන්න ඕන. ඒක හෙනම වැඩක්. ඒ නිසා හිතෙන හිතෙන වෙලාවට වන් ටච් සෝෂල් මීඩියා යන එක අඩු වෙයි.

 

2. ඩිලිට් ද ඇප්ස්

ලොග් අවුට් වීමෙන් පාලනය කරන්න අමාරු තරමට වැඩේ දුරදිග ගිහිල්ලා නං, ටික කාලෙකට සෝෂල් මීඩියා වලින් අයින් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒකට ඕන නං එකවුන්ට් ඩිඇක්ටිවේට් කරන්නත් පුළුවන්. හැබැයි එකවුන්ට් ඩිඇක්ටිවේට් කළත් නැතත්, ෆෝන් එකේ තියෙන සෝෂල් මීඩියා ඇප්ස් නං ඩිලිට් කරලා දාන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉතින් සෝෂල් මීඩියා එකකට යන්න නං, ඇප් ස්ටෝර් එකට ගිහින්, ඇප් එක ආයෙ ඩවුන්ලෝඩ් කරලා, ලොග් වෙලා යන්න ඕනනේ. ඒක සෑහෙන්න දිග ප්‍රොසෙස් එකක් නිසා මේ ඇබ්බැහිය තව ටිකක් දුරට පාලනය වෙයි.

 

3. ෆෝන් එක නිදන කාමරේට තහනම්

මේක නම් ඇත්තටම හැම කෙනෙක්ම පිළිපදින්න ඕන කාරණාවක්. ප්‍රතිපත්තියක් විදියට තමන්ගේ ස්මාට්ෆෝන් එක නිදන කාමරයට යනකොට ගෙනියන්නෙ නැතුව ඉන්න එක. මෙතනදී ඇත්තටම වැදගත් වෙන්නේ අර නිදන්න කලින් ඔහේ ෆෝන් එක ඔබ ඔබා ඉන්න පුරුද්ද නැති කිරීම. ෆෝන් එකෙන් නම් එලාම් එක තියන්නේ, ගන්න හොඳ පරණ තාලේ එලාර්ම් ඔරලෝසුවක්. නිදන්න කලින් මලක් කඩන්න ඕන නම්, මල කඩලා ෆෝන් එක ගෙනිහින් නිදන කාමරෙන් පිට තියලා නිදාගන්න එන්න. මේක ඉතින් විනය ගරුකව කරන්න ඕන වැඩක්.

 

4. පොමොදෝරෝ ටෙක්නික්

පොමොදෝරෝ ටෙක්නික් එක ගැන ඇත්තටම අපි ලිපි ගණනාවකම පෙන්නලා දීලා තියෙනවා. පොමොදෝරෝ ටෙක්නික් එකේ තියෙන වැදගත්කම, වාසිය ඇත්තෙන්ම කියලා නිම කරන්න බැරි තරම්. අන්න ඒ නිසා තමයි අපි ඒ ගැන ආයෙමත් කියන්නේ. පොමොදෝරෝ ටෙක්නික් කියන්නේ තමන්ගේ උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න පුළුවන් ක්‍රමයක්. ඔන්න අපි විනාඩි විසිපහක් එක දිගට වැඩ කරනවා. මේ විනාඩි විසිපහ ඇතුළෙදි ෆෝන් එක අතට ගන්නවත් තහනම්. වැඩ කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බෑ. සෝෂල් මීඩියා වලට යන්න තියා චූ දාන්න යන්නවත් බෑ. හැබැයි විනාඩි විසිපහට පස්සේ විනාඩි පහක බ්‍රේක් එකක් ගන්න පුළුවන්. අන්න ඒ වෙලාවට චූ දාලා, පොඩ්ඩක් නැගිටලා ඇවිදලා කරලා ඇවිත්, සෝෂල් මීඩියා වල මොනවද වෙලා තියෙන්නේ කියලා බලලා ආවට කමක් නෑ. හැබැයි සෝෂල් මීඩියා යන්න විනාඩියකට වඩා ඉතුරු වෙන එකක් නෑ. විනාඩි පහේ බ්‍රේක් එක ඉවර වුණහම තව විනාඩි කීපයක් ගන්නත් බෑ. කෙලින්ම ඊලඟ වැඩ කරන විනාඩි විසිපහට සෙට් වෙන්න ඕන! මේකට ඕන නම් Tide වගේ ඇප් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. 

 

5. එතික්ස් රකිමු

දැන් ඔය ස්මාට්ෆෝන් එතික්ස් ගත්තහම සෑහෙන්න දේවල් තියෙනවා. එතනින් එකක් තමයි ෆෝන් එක සාක්කුවෙන් එළියට ගත යුතු සහ නොගත යුතු අවස්ථාවන් මොනවද කියලා තේරුම් ගන්න එක. උදාහරණයක් විදියට ගත්තොත්, තමන් මිතුරු හමුවක ඉන්නවා නම්, සාදයක ඉන්නවා නම්, කෑම මේසෙක ඉන්නවා නම් ෆෝන් එක අතට ගන්න පුළුවන් වෙන්නේ කෝල් එකක් ආපු වෙලාවක විතරයි. එතනින් එහාට මෙසේජ් බලන්න, නෝටිෆිකේෂන් බලන්න ෆෝන් එක අතට ගන්න බෑ. ආන්න ඒ ආචාර ධර්ම හරියට රකින්න පුලුවන් නම්, අන්න ඒකෙනුත් සෝෂල් මීඩියා ටයිම් එක ලිමිට් කරගන්න පුළුවන්.

 

6. නෝටිෆිකේෂන් ඕෆ්

දැන් කාලේ ගොඩක් දෙනෙක්ට ඇත්තටම තියෙන භීතිකාවක් තියෙනවා. ඒ තමයි ස්මාට්ෆෝන් එකේ නෝටිෆිකේෂන් ඕෆ් වුණොත් එහෙම තමන්ට සෑහෙන්න වැදගත් දේවල් මග ඇරෙයි කියන බය. හදිසි පණිවිඩයක් එහෙම මගඇරෙයි කියලා හිතන අයත් ඉන්නවා. මේක ඇත්තද? නෑ. මේක සෝෂල් මීඩියා භාවිතය හින්දම අපි ගොඩක් දෙනෙක්ට ඇතිවෙලා තියෙන අනියත බයක්. මෙන්න මේකෙන් මිදෙන්න ඕන. ඒකට හොඳම ක්‍රමයක් තමයි සෝෂල් මීඩියා ඇප්ස් වලින් එන නෝටිෆිකේෂන් ඕෆ් කරලා තියන එක. දැන් අතිශයින්ම හදිසි පණිවිඩයක් නම් කෙනෙක්ට එස්එම්එස් කරන්න පුළුවන්, කෝල් එකකින් කියන්න පුළුවන්. ඒ නිසා නෝටිෆිකේෂන් ඕෆ් කරලා අපි උඩ කියපු බයෙනුත් ගැලවිලා ඉන්න එක තමයි හොඳ.

 

7. වැඩ හොයාගමු

ඇත්තටම ගොඩක් අය සෝෂල් මීඩියා වල කාලේ ගත කරන්නේ වෙන කරන්න වැඩක් නැති හින්දා නෙවෙයිද? නිකම් ඉන්නකොට මොකක් හරි සෝෂල් මීඩියා ඇප් එකකට ගිහින් ඔහේ ස්ක්‍රෝල් කර කර යනවා. ඇති වැඩකුත් නෑ. ආන්න ඒ තත්වය වෙනස් කරගන්න පුළුවන් අපිට හැම මොහොතකම කරන්න වැඩක් තියෙනවා නම්. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට පොතක් පතක් කියවන පුරුද්ද ඇති කරගත්තොත්, කොහේ ගියත් පොතක් පතක් අරගෙන යන පුරුද්ද ඇති කරගත්තොත්, නිකම් කරන්න දෙයක් නැති වුණු වෙලාවට සෝෂල් මීඩියා වල කරක් ගහන්නෙ නැතුව ඒක කියවන්න පුළුවන්. ඕන නම් සාක්කුවේ නෝට් පොතක් දාගෙන ගිහින්, වැඩක් නැති වෙලාවට හිතට එන බහුබූත ලියන්න හරි අඳින්න හරි පුළුවන්. ඕන නම් අර සුදොකු පොතක් වගේ එකක් අරගෙන ගිහිල්ලා, වැඩක් නැතුව ඉන්න වෙලාවට සුදොකු සෙල්ලං කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමන්ට ප්‍රයෝජනවත් වෙන දෙයක් හොයාගත්තොත්, දන්නෙම නැතුව සෝෂල් මීඩියා වල මයින්ඩ්ලස් විදියට ස්ක්‍රෝල් කර කර ඉන්න එක නවතියි.

 

8. ඇප්ස් වලින් උදවුවක් ගමු

ඇත්තටම උඩ කියපු දේවල් එක්කම, අපිට සෝෂල් මීඩියා වල ගත කරන කාලය සීමාකරගන්න උදවු වෙන විවිධ ඇප්ස් තියෙනවා. අන්න ඒවායින් තමන්ට ගැලපෙන එකක් පාවිච්චි කිරීමත් හොඳ ක්‍රමයක්. මෙතනදී කරන්න පුළුවන් දේ තමයි මේ ඇප් එකක් පාවිච්චි කරලා මුලින් තමන් සෝෂල් මීඩියා වල, ඔන්ලයින් ගත කරන කාලය කොච්චරක්ද කියලා හොයාගන්න එක. අන්න ඊට පස්සේ උඩ කියපු විදියට ඒ වෙලාව ක්‍රමානුකූලව අඩු කරන ගමන් දිගටම තමන්ගේ සෝෂල් මීඩියා කාලය මොනිටර් කරන්න පුළුවන්. 

 

දැන් මෙහෙම සෝෂල් මීඩියා සීමා කළාට පස්සේ ඉතින් මොකද කරන්නේ? ඊට පස්සේ පුළුවන් ඒක තමන්ට වුවමනා විදියට හැඩගස්වා ගන්න. ඒ කියන්නේ තමන්ට වාසිදායක විදියට, පලක් ප්‍රයෝජනයක් වෙන විදියට සෝෂල් මීඩියා වල සීමිතව කාලේ ගත කරන්න හදාගන්න පුළුවන්! අන්න එතකොට අපි දිනුම්!!

 

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago