අපි ඇත්තටම දැන් ජීවත් වෙන්නේ සමාජ මාධ්‍ය යුගයක. හා නැද්ද? අපි ගොඩක් වෙලාවට උදේ නැගිටලා ඔක්කොටම කලින් කරන්නේ ෆෝන් එක අතට ගන්න එක. ඒක අතට අරගෙන අපි වැඩියෙන්ම ඉන්න සෝෂල් මීඩියා එකට ගිහිල්ලා මොනවද වෙලා තියෙන්නේ කියලා බලන එක. ඒ වගේම නින්දට යන්න කලින් අන්තිමට කරන්නෙත් ෆෝන් එක අරගෙන අපි කැමතිම සෝෂල් මීඩියා එකේ සැරිසරන එක, චැට් කරන එක. අපි දැන් පොත් පත් කියවන්නෙත් නෑ, නිව්ස් බලන්නෙත් නෑ. අපි එක එක ජාතියේ පොත් තියෙනවා කියලා සෝෂල් මීඩියා වලින් දැනගන්නවා. අපි රටේ ලෝකේ වෙන්නෙ මොනවද කියන එකත් සෝෂල් මීඩියා වලින්ම දැනගන්නවා. හැබැයි ඇත්තටම මෙහෙම සෝෂල් මීඩියා වලම ජීවත් වෙනකොට අපිට අතපහු වෙන, මග ඇරෙන දේවල් තියෙනවද? ඇත්තටම තියෙනවා. අන්න ඒවා මොනවද කියලා හොයලා බලමු. එතකොට අපිට හිතාගන්න පුළුවන් මුළු දවසම ෆේස්බුක් එකට හරි ඉන්ස්ටග්‍රෑම් එකට හරි ට්විටර් එකට හරි වෙලා ඉන්න එක ඒ මිස් වෙන දේවල් එක්ක බලනකොට වටිනවද නොවටිනවද කියලා!
1. රියල් නිව්ස්
මේක ටිකක් විමසිල්ලෙන් කියවන්න ඕන කාරණාවක්. දැන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වල හැම ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක්ම, රේඩියෝ නාලිකාවක්ම, පත්තරයක්ම, වෙබ් අඩවියක්ම අප්ඩේට්ස් දෙනවා. ඒවත් හරි නිව්ස් තමයි. හැබැයි අපි කියන්නේ එව්වා ගැන නෙවෙයි. මිනිස්සු විසින් ෂෙයාර් කරන නිව්ස් ගැන. විශේෂයෙන්ම ඔය සෝෂල් මීඩියා සෙලිබ්‍රිටිලා විසින් ෂෙයාර් කරන නිව්ස්, නිව්ස් තියෙන මීම්ස් එහෙම සෝෂල් මීඩියා වල ඉන්න අය හරියට විශ්වාස කරනවා. හැබැයි ඒවා ගොඩක් දුරට ෆේක් වෙන්න පුළුවන්.
අන්න ඒ නිසා සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වීම නිසා ඇත්ත නිව්ස් මිස් වෙන්න පුළුවන්. හැබැයි තව දෙයක්. සෝෂල් මීඩියා වල නැතත් එක නිව්ස් චැනල් එකක් හරි එක පත්තරයක් හරි බැලුවා කියලා රියල් නිව්ස් ලබාගන්නත් බෑ. හොඳම දේ තමයි සවිඥාණිකව නිව්ස් බලන එක සහ නිව්ස් මූලාශ්‍ර කීපයක් බලන එක.
2. රියල් ඔපීනියන්
මේකත් උඩ කතන්දරේ වගේම තමයි. දැන් ඔය සෝෂල් මීඩියා වල ඉන්නවා ඉන්ෆ්ලුවන්සර්ස්ලා. ඒ අය යම් යම් හේතු නිසා යම් යම් කාරණාවන් සමාජගත කරනවා. දැන් ඔය ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල ඉන්න ඉන්ෆ්ලුවන්සර්ලා නොවෙන ඈයෝ කරන්නේ එහෙම කෙනෙක් කියන දෙයක්, පළ කරන මතයක්, ඔපීනියන් එකක් ගෙඩිය පිටින් ගිලින එක. හැබැයි එතනදී ගොඩක් වෙලාවට තමන්ගේ මතයක් නිර්මාණය වෙන්න ඉඩක් නෑ. අඩු ගාණේ සෝෂල් මීඩියා වල හිර වෙලා ඉන්න මිනිස්සුන්ට ඔය මතය නිර්මාණය වෙන්න පාදක වුණු සිදුවීම ඇත්තද බොරුද කියලා හොයාගන්නවත් වෙලාවකුත් නෑ.
අන්න ඒ නිසා සෝෂල් මීඩියා වලට එලියෙන් හිටියොත්, දෙයක් වුනා කියපු ගමන් ගිලින්න කලින් ඇත්ත නැත්ත හොයාබැලුවොත්, තමන්ගේම ඔපීනියන් එකක් මුලින්ම නිර්මාණය කරගන්න වැඩි අවකාශයක් ලැබේවි.
3. රියල් අමතර ඉගෙනීමක්
මේක ඇත්තටම සෝෂල් මීඩියා නිසා නාස්ති වෙන කාලයත් එක්ක බැඳුණු දෙයක්. දැන් කාලේ රස්සාවක් ගත්තත් බොහොම තරගකාරීයි. පාසල් අධ්‍යාපනය අවසන් කළා කියලා, ඩිග්‍රියකුත් ගත්තා කියලා විතරක් රස්සාවක ඉහළට යන්න බෑ. ඊට වඩා කොලිෆිකේෂන් දියුණු කරගන්න ඕන, නිරන්තරයෙන්ම ඉගෙන ගන්න ඕන. අන්න ඒ වැඩේට ඇත්තටම ඔන්ලයින් වුණත් ඕන තරම් තැන් තියෙනවා. හැබැයි ඉතින් ඒ තැන් හොයාගත්තත්, එහෙම තැනකින් දෙයක් ඉගෙන ගන්න පොඩි හරි කාලයක් කැප කරන්න ඕන. හැබැයි තමන් ඔන්ලයින් ඉන්න වෙලාවම ගත වෙන්නේ සෝෂල් මීඩියා වලට නම්, එහෙම අමතරව ඔන්ලයින් ඉගෙන ගන්න එක ගැන හිතලා වැඩක් නෑ!
4. රියල් නිස්කලංක වෙලාවක්
අර කීමට කියනවනේ මේ ලෝකේ ඉන්න වැඩි දෙනෙක් පිස්සෝ වගේ රේස් එකක දුවනවා කියලා. ඉතින් ඇත්තටම ඒක බොරුවකුත් නෙවෙයි. අන්න එහෙම ජීවිතයක් පොඩ්ඩක් හරි බැලන්ස් වෙන්න නිස්කලංක වෙලාවක් අවශ්‍යයි. ඒ කියන්නේ නිදහසේ පොතක් කියවන්න, නිදහසේ තේ එකක්, කෝපි එකක්, බියර් එකක් බොන්න, නිදහසේ එළිපහළියෙන් වාඩි වෙලා අහස දිහා බලාගෙන ඉන්න. ඔන්න ඔය වගේ නිස්කලංකව ඉන්න වෙලාවක්. හැබැයි සෝෂල් මීඩියා ඇබ්බැහිය නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? එහෙම නිස්කලංකව නිදහසේ ඉන්න කියලා වාඩි වෙන වෙලාවකදී වුනත් කරන්නේ ෆෝන් එක අතට අරන් ෆේස්බුක් යන එක. නින්දට යන්න ඇඳට ගියත් කරන්නේ ෆෝන් එක අරගෙන ෆේස්බුක් යන එක.
අන්තිමට සෝෂල් මීඩියා නිසා තමන්ට නිස්කලංකව ඉන්න එක මොහොතක්වත් නැති වෙලා ගිහින් කියලා තේරෙනකොට පරක්කු වැඩියි.
5. රියල් මිනිස්සු
මේකත් අද කාලේ සැබෑ ප්‍රශ්නයක්. අද කාලේ කීයෙන් කීදෙනෙක්ටද රියල් මිනිස්සු, රියල් යාළුවෝ ඉන්නේ? ඇත්ත. ෆේස්බුක් එකෙන් මුණගැහෙන මැණික් වගේ යාළුවෝ ඉන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ෆේස්බුක් එකෙන් මුණගැහෙන, තත්‍ය නොවෙන අවකාශයක ඉන්න මිනිස්සුන්ගෙන් තමන්ගේ ජීවිතේට ඇත්ත දෙයක් එකතු නොවෙන එක. ඒ අයගෙන් සැබෑ යාළුවෝ නොලැබෙන එක.
හැබැයි සෝෂල් මීඩියා වලින් මිදිලා, ඇත්ත ලෝකේ ඉන්න ඇත්ත මිනිස්සු එක සම්බන්ධ වෙන්න පටන් ගත්තොත් තේරෙයි තමන්ට මිස් වෙන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා.
6. රියල් ප්‍රයිවසි
මේකත් සෝෂල් මීඩියා එක්ක අද කාලේ ඇවිත් තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි පෞද්ගලිකත්වය රැක ගන්න එක. දැන් කාලේ හැමෝම වගේ සෝෂල් මීඩියා වලට ඇවිත් රෑට කන කෑම එකේ ඉඳලා, තමන් යන එන තැන් දක්වා දේවල් අප්ඩේට් කරනවා. හැබැයි ගොඩක් දෙනෙක්ට නොතේරෙන දෙයක් තමයි, මෙහෙම තමන් ජීවිතේ කරන කියන හැමදෙයක්ම අප්ඩේට් කරන එකෙන්, තව මිනිස්සු බර ගාණකට අපි කරන කියන හැමදෙයක් ගැනම මනා අවබෝධයක් ලැබෙනවා කියන එක. ඒක පහුකාලෙකදී අපිට බරපතල හානියක් වෙන තරමට දුරදිග යන්න වුනත් පුළුවන්.
ඇත්තටම සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වීම නිසා තමන්ගේ ප්‍රයිවසි එක මොන විදියට අහිමි වෙනවද කියලා ඇත්ත අවබෝධයක් ලැබෙන්න නම්, තමන්ගේ ප්‍රයිවසි එක තමන්ට කොයි තරම් වටිනවද කියන අවබෝධය ලැබෙන්නත් ඕන!
7. රියල් ලයිෆ්ස්ටයිල් එකක්
මේකත් ඇත්තටම අද කාලේ තියෙන සැබෑ ප්‍රශ්නයක්. ඒ තමයි සෝෂල් මීඩියා ඇතුළේ හිරවෙලා ඉන්න මිනිස්සුන්ට තමන්ගේ කියලා ඇත්ත ලයිෆ් එකක් නැති එක. මොකද්ද දැන් ඇත්ත ලයිෆ් එකක් කියන්නේ? එකක් තමයි සමබර ජීවිතයක් ගෙවන්න ප්‍රමාණවත් කාලයක් තිබීම. අපි ඉගෙන ගන්න හෝ රස්සාවක් කරන්න ඕන. පුද්ගලික අවශ්‍යතා ඉටු කරගන්න ඕන. ඒ ඔක්කොමත් කරලා සීමිත කාලයක් ඉතුරු වුණහම ඒකත් සෝෂල් මීඩියා වලට යට කළාට පස්සේ ලයිෆ්ස්ටයිල් එක සමබර කරගන්න ප්‍රමාණවත් ව්‍යායාමයක්, විවේකයක්, නින්දක් ලබාගන්න කාලයක් නෑ.
ඒ විතරකුත් නෙවෙයි. සෝෂල් මීඩියා වල අනික් අය දාන ෆොටෝස්, විස්තර එක්ක ගොඩක් දෙනෙක් තමන්ට ගැලපෙන ලයිෆ්ස්ටයිල් එකක් හදාගන්නවා වෙනුවට කරන්නේ, අනික් හැමෝම කරන දේවල් කරන එක. එහෙම නැතිනම් අනික් අයට තියෙනවා කියලා සෝෂල් මීඩියා වල පේන, තමන්ට නැති දේවල් ගැන හිත හිතා හූල්ලන එක.
අන්න එහෙම තමයි සෝෂල් මීඩියා ඇබ්බැහිය නිසා රියල් ලයිෆ්ස්ටයිල් එකක් අහිමි වෙන්නේ.
දැන් එහෙමනම් කරන්න ඕන මොනවද? සෝෂල් මීඩියා ඩිටොක්ස් එකක්? අපි ඇත්තටම කියන්නේ සෝෂල් මීඩියා එකවුන්ට්ස් ඩිඇක්ටිවේට් කරලා වත්තේ මල් සුවඳ බල බලා ඉන්න කියන එක නෙවෙයි. අපි කියන්නේ සෝෂල් මීඩියා වල ගත කරන කාලය සහ ඇත්ත ලෝකේ තියෙන ජීවිතේ අතර බැලන්ස් එකක් තියාගන්න කියන එක.
Leave a Reply