දැන් මුලින්ම අහන්න ඕනේ ප්‍රශ්නේ මේකයි. ඇත්තටම සෝෂල් මීඩියා පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනැද? සෝෂල් මීඩියා වල කිසිම හොඳ දෙයක් නැද්ද? ඕකට උත්තරේ ලේසියි. සෝෂල් මීඩියා කියන්නෙත් ලේසියෙන් ඇබ්බැහි වෙන්න පුළුවන් මෙවලමක් වගේ දෙයක්. ඇබ්බැහි වෙන්න ලේසියි, ගැලවෙන්න අමාරුයි, හැබැයි හරියට පාවිච්චි කළොත්, වාසි තියෙයි. ඇත්තටම අපි හැම තිස්සෙම කියන්නේ සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙන්න එපා කියන එක තමයි. ඔය සෝෂල් මීඩියා ඇබ්බැහියෙන් ගැලවෙන්නෙ කොහොමද කියන එක ගැනත් අපි කලින්ම කියලා ඇති. හැබැයි ඉතින් ලේසි වැඩක් නෙවෙයි. ඒත් ඉතින් සෝෂල් මීඩියා වෙනුවෙන් ගතවෙන කාලය සීමා කළොත් අපිට ලැබෙන වාසි තියෙනවා.
හරි, අපි කියමු අපිට සෝෂල් මීඩියා වලින් ඇත්තටම ගන්න වැඩක් නැහැයි කියලා. අන්න එහෙමනම් සෝෂල් මීඩියා පාවිච්චිය සම්පූර්ණයෙන්ම නැවැත්තුවට කමක් නෑ. අන්න එහෙම තද තීරණයක් ගන්නවා. ඉතින් ඊට පස්සේ? අපිට ජීවිතේ ගැන මොනවද තේරෙන්න පටන් ගන්නේ? අන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.
1. ටික දවසක් යනකල් පොඩ්ඩක් අමාරු වෙයි
සෝෂල් මීඩියා ඇබ්බැහිය කියන්නෙත් හරියට ඔය මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්බීම තදටම කරලා නැවැත්තුවා වගේ තමයි. අත පය වෙව්ලන්නෙ නැහැ තමයි. හැබැයි උදේට නැගිට්ට ගමන් සෝෂල් මීඩියා වලට ගිහිල්ලා බලන පුරුද්ද එහෙම නැති එක පොඩ්ඩක් අවුල් කියලා දැනෙයි. ඒක අපිට මිස් කියලා දැනෙයි. හරියට ලව් එකක් බ්රේක් වුනා වගේත් තමයි. හැබැයි අර අපේ ජීවිතේ වෙන ක්‍රියාකාරකම් වැඩි වැඩියෙන් සිද්ධ වෙනකොට ඔය සෝෂල් මීඩියා ආස්සරේ නැතුව මොළේ වෙව්ලන ගතිය නැති වෙලා යනවා. අල්ලගෙන සතියක් දෙකක් ඉන්න තමයි තියෙන්නේ.
2. එක පාරට ලොකු කාලයක්
උදේට ඇහැරෙන්නේ කීයටද? හයට හතට අටට වගේ? එහෙමනම් වෙනසකටත් එක්ක ටිකක් කලින් නිදාගෙන, උදේ පහට විතර ඇහැරිලා වැඩ පටන් අරගෙන බලන්න. අන්න එතකොට තේරෙයි දවස ඉක්මනට ගත වෙන්නෙ නැහැ කියලා. හිතපු නැති විදියට දවසකට අපිට ලොකු කාලයක් ඉතුරු වෙනවා කියලා. සාර්ථකව සෝෂල් මීඩියා ඩිටොක්ස් එකක් කළාට පස්සේ ඕනම කෙනෙක්ට තේරෙන සුවිශේෂී දෙයක් වෙන්නෙත් මේකම තමයි. හිතා ගන්න බැරි නිදහස් කාලයක් ලැබෙනවා. වෙනදට දවසේ වැඩ ඉවර කරගන්න බැහැයි වගේ තේරෙනවා නම්, සෝෂල් මීඩියා වලින් නිදහස් වුනාට පස්සේ තේරෙයි අපිට දවසේ වැඩ ඉවර කරලා විවේක වෙලාවකුත් ඉතුරු වෙනවා කියන එක. මෙන්න මේ කාලය කියලා ඉවර කරන්න බැරි තරම් වටිනවා කියලා තේරෙයි.
3. අලුත් දේවල්, අලුත් වැඩ
දැන් සෝෂල් මීඩියා වලින් සම්පූර්ණයෙන්ම ඈත් වුණාට පස්සේ ලැබුණු මේ නව නිදහස් කාලයෙන් අපි මොනවද කරන්නේ? ආන්න ඒක වැදගත් කාරණාවක්. ඒක ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් අපිට තේරෙන්න ඕන, මේ නිදහස් වෙලාව එක්කෝ අපිට අලුත් විනෝදාංශයක් දෙකක් පටන් ගන්න යොදාගන්න බැරිවෙයිද? එහෙම නැතිනම් අලුතෙන් දෙයක් ඉගෙන ගන්න යොදාගන්න බැරිවෙයිද? ඇත්තටම මෙහෙම අලුත් විනෝදාංශ තියෙන එක නැතිනම් අලුතෙන් දෙයක් ඉගෙනගන්න යොදාගන්න එකේ වාසි තියෙනවා. විශේෂයෙන්ම මේ කාලේ.
උදාහරණයක් විදියට සබන් හදනවා කියන එක හොඳ විනෝදාංශයක්. ඒකේ බොහොම හිත රිලැක්ස් කරන ගතියක් තියෙනවා. තමන්ටම හොඳ ප්‍රයෝජනයකුත් තියෙනවා. ඒ වගේම, ඕන නම් මේක බිස්නස් එකක් කරගන්න අවස්ථාවකුත් තියෙනවා!
ඊලඟට ගත්තහම දේවල් ඉගෙන ගන්න එක මේ කාලේ වටින්නේ, වෘත්තිය ජීවිතේදී පවා තමන් යාවත්කාලීන වීම අභියෝගයක් විදියට තමන් ඉදිරිපිට තියෙන නිසා. ඔන්ලයින් නොමිලේ ඉගෙනගන්න කොයි තරම් දේවල් තියෙනවද කියන එක කියලා නිම කරන්නත් බෑ. අන්න ඒ වෙලාවට තමයි සෝෂල් මීඩියා වලින් ඈත් වෙලා ඉතුරු කරගත්තු වෙලාවේ වටිනාකම තේරෙන්නේ.
4. ටයිම් මැනේජ්මන්ට්!
නිකමට අපි ආයෙ හිතලා බලමු සෝෂල් මීඩියා වලට ඇඩික්ට් වෙලා හිටපු කාලේ ගැන. අපි ගමු ෆේස්බුක්. දැන් ෆේස්බුක් එකේ ගොඩක් වෙලාවට කරන්නේ එක්කෝ ඔහේ පහළට පහළට ස්ක්‍රෝල් කර කර යන එක නෙවෙයිද? එහෙම නැතිනම් අපි මොකක් හරි ඉන්ටරස්ටින් පෝස්ට් එකක් දැකලා ඒකේ තියෙන කමෙන්ට්ස්, රිප්ලයිස් කියවගෙන යනවා. නැත්නම් කමෙන්ට් කර කර ඔහේ එල්ලි එල්ලි ඉන්නවා. දැන් මේ පෝස්ට් එකකට කමෙන්ට් කරන එක, ඉන්ටරෙස්ටින් පෝස්ට් එකක් කියවන එක වගේ එක දෙයක්වත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒවා ප්‍රශ්න වෙන්නේ අපි ඒවලට ගත කරන කාලය එක්ක.
ආන්න එතකොට මේ සෝෂල් මීඩියා ඩිටොක්ස් ටයිම් එකේදී පැහැදිලි වෙන්න ඕන, ඇත්තටම ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ සෝෂල් මීඩියා වල නෙවෙයි, අපේ ටයිම් මැනේජ්මන්ට් එකේ කියලා. අපි පෝස්ට් එකක් කියවලා, ඒකට අදාළ කමෙන්ට්ස් විතරක් අපේ වෙන වැඩකට යනවා නම් ප්‍රශ්නයක් නෑ. පෝස්ට් එකකට අදාළ වෙන කමෙන්ට් එකක් වෙලාව අරගෙන සම්පිණ්ඩනය කරලා දාලා යනවා නම් ප්‍රශ්නයක් නෑ.
5. කන තැන්, බොන තැන්, පිස්සුවෙන් ෂෙයාරින්ග්
සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙලා ඉන්නකොට අපිට කොහේට ගියත් සෙල්ෆියක් අරගෙන සෝෂල් මීඩියා වලට දාන්නමයි හිතෙන්නේ. කෑමක් කන්න ගියත් කෑම එකේ ෆොටෝ එකක් දාන්නමයි හිතෙන්නේ. කපුටෙක් පාරේ දැක්කත් ඒ ගැන පෝස්ට් එකක් දාන්නමයි හිතෙන්නේ. හැබැයි මේ සෝෂල් මීඩියා වල කන්ටෙන්ට් පුරවන එකෙන් ඇත්තටම අපිට වැඩක් තියෙනවද? ඒවා බලන කෙනෙක්ට ඒවැයින් වැඩක් තියෙනවද? නෑ. ඇත්තටම අපි එහෙම පුරවලා තියෙන්නේ අපේ ඇතුළේ තියෙන හිස්කමක් කියන එක තේරෙන්න පටන් ගනී සෝෂල් මීඩියා වලින් ඈත් වුනාට පස්සේ.
අනික් කාරණාව: එහෙම තමන් කරන කියන හැමදෙයක්ම සෝෂල් මීඩියා වල ෂෙයාර් කරන එක නැවතුනාට පස්සේ අපිට තේරෙයි අපේ පෞද්ගලිකත්වය කොයි තරම් වටිනවාද කියන එකත්.
6. සෙල්ෆ් එස්ටීම්
මේක ගොඩක් දෙනෙක් නොහිතන කාරණාවක්. දැන් සෝෂල් මීඩියා වල ගොඩක් අය තමන් ගැන, තමන්ගේ පවුල් ගැන, තමන්ගේ සාර්ථකත්වයන් ගැන සෑහෙන්න දේවල් දානවනේ. ඒවා බලලා කොයි තරම් දෙනෙක්, තමන් ගැන අවතක්සේරුවෙන් හිතනවද, තමන්ගේ ආත්ම විශ්වාසය හීන කරගන්නවද කියන එක ගොඩක් දෙනෙක්ට පේන්නෙත් නැති තරම්. ඒක ඇත්තටම තමන්ටත් සාර්ථක වෙන්න උත්තේජනයක් වෙන්නෙ නෑ. තමන් කරන දේවලුත් පහු වෙන්න පසුබෑමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඉතින් අතුරු කතාවක් විදියට කිවුවොත්, සෝෂල් මීඩියා වල ගොඩක් අය දාන ගොඩක් දේවල් ඇත්තම ඇත්ත දේවල් නෙවෙයි. උදාහරණයක් විදියට කෙනෙක් තමන්ගේ හස්බන්ඩ් ලෝකේ හොඳම හස්බන්ඩ් විදියට පෝස්ට් එකක් දානවා කියන්නේ ඒක හරියටම හරි කියන එක නෙවෙයි. එයාගේ හස්බන්ඩ් හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඒ හස්බන්ඩ් කියන්නෙත් හොඳ නරක දෙකම තියෙන තව මනුස්සයෙක්. කෙනෙක් ෆේස්බුක් එකේ දාන පෝස්ට් එකක විදියට තමන්ගේ විවාහ ජීවිතේ සුරංගනා කතාවක් වගේ සුන්දරයි. ඒක දැකලා අනික් අය ඩිප්‍රෙස් වෙනවා ඇයි තමන්ට එහෙම ජීවිතයක් නැත්තේ කියලා. හැබැයි ඇත්තටම ඒකත් තව එක, හොඳ නරක දෙකම තියෙන ජීවිතයක් විතරයි.
කොටින්ම කියනවා නම්, තමන්ගේ ජීවිතෙත් අනික් හැම ජීවිතයක් වගේම වටිනවා කියලා තේරෙන්න පටන් ගනී තමන් සෝෂල් මීඩියා වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වුණාට පස්සේ.
7. බැලන්ස් බැලන්ස් බැලන්ස්
අවසාන කාරණාව ඉතින් මේක තමයි. අපේ ජීවිතේට බැලන්ස් එකක් තියෙන්න ඕන. අපිට ඩිජිටල් ලෝකෙක ජීවත් වෙනකොට ඩිජිටල් ප්ලැට්ෆෝම් වලින් සම්පූර්ණයෙන්ම මිදිලා ජීවත් වෙන එක ප්‍රායෝගික නෑ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඩිජිටල් ප්ලැට්ෆෝම් වලම ජීවත් වෙන එක නෙවෙයි. හැබැයි ඒකෙන් කියන්නේ අපි සම්පූර්ණයෙන්ම අපේ ඩිජිටල් ප්ලැට්ෆෝම් වලින් මිදිලා ඉන්න ඕන කියන එකත් නෙවෙයි. බැලන්ස් එක කියන්නේ ඕකට තමයි.
දැන් සෝෂල් මීඩියා වලින් ටික කාලෙකට හරි සම්පූර්ණයෙන්ම ඈත් වුණාට පස්සේ අපිට මේ බැලන්ස් කියන එක හොඳින් තේරෙන්න පටන් ගන්නවා.
මේ දක්වපු කරුණු කාරණා ටික කියවනකොට එක දෙයක් අපිට තේරෙන්න ඕන. ඒ තමයි, ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ සෝෂල් මීඩියා වල නෙවෙයි කියන එක. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇතුළේ. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපි සෝෂල් මීඩියා වගේ දෙයක් අපේ ජීවිතේ එක්ක ඵලදායී විදියට කළමනාකරණය කරගන්න දන්නෙ නැති නිසා. ආන්න ඒ නිසා අපි අද ඉඳන් හරි අවධානය යොමු කරමු සෝෂල් මීඩියා ඵලදායී විදියට කළමනාකරණය කරගන්න. එතකොට සදහටම සෝෂල් මීඩියා අත්ඇරලා යන්න ඕනැත් නෑ.
Leave a Reply