හිතාගන්න පුළුවන්ද ෆේස්බුක් නැති ලෝකයක් ගැන? ඇත්තටම අනූවට කලින් ඉපදුණු අයට නම් ෆේස්බුක් හරි වෙනයම් මොකක් හරි සෝෂල් මීඩියා නැති ලෝකයක් ගැන අමාරුවෙන් හරි හිතාගන්න පුළුවන් වෙයි. හැබැයි අනික් අයට ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටා නැති ලෝකයක් කියන්නේ හරියට පාළු දූපතකට ගෙනිහින් දැම්මා වගේ තියෙයි, හා නැද්ද? ඒ තරමටම අද කාලේ අපි හැමෝම සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙලා නැද්ද? සරලවම කිව්වොත් අපි දවසට කී පාරක් ෆේස්බුක් ගිහින් චෙක් කරනවද මොනවද වෙලා තියෙන්නේ කියලා? අපේ යාලුමිත්‍රකම් පවා තියෙන්නේ ෆේස්බුක් එකේ, ට්විටර් එකේ නෙවෙයිද?
හැබැයි අපි නොදන්න, නොහිතන පැත්ත තමයි මේ සෝෂල් මීඩියා ප්‍රමාණයට වඩා භාවිතයෙන් ඇතිවෙන්න පුළුවන් අහිතකර ප්‍රතිඵල. ඇත්තටම මේ වෙනකොට සාමාන්‍යයෙන් සෝෂල් මිඩීයා ගිණුම් තියෙන මනුස්සයෙක් දවසකට ප්‍රමාණයට වඩා සෝෂල් මීඩියා භාවිතා කරනවා කියලා කියන්න පුළුවන්. අන්න ඒ නිසා අපි කියන්න යන්නේ, සෝෂල් මිඩියා භාවිතය සීමා කිරීමෙන් ලබාගන්න පුළුවන් යහපත් ප්‍රතිඵල මොනවද කියන එක තමයි.
1. වෙලාව ඉතුරුයි!
නිකමට දවසේ ෆේස්බුක් යන වෙලාවක් ටික පොතක සටහන් කරන්න. ඉන් පස්සේ රෑට ගණන් හදලා බලන්න. එතකොට පෙනෙයි සැරෙන් සැරේ විනාඩි පහකට දහයකට ලොග් වුනත්, සම්පූර්ණයෙන් ගත්තහම පැය දෙකක් හෝ ඊට වැඩි කාලයක් අපි ෆේස්බුක් එකේ හරි වෙනත් සෝෂල් මීඩියා වල හරි ගත කරලා කියලා. සමහරුන්ට මේ කාලය පැය තුනක් වෙන අවස්ථාත් තියෙනවා.
හරි, අපිට එක දිගට වැඩ කරන්න බෑ. පොඩි රෙස්ට් එකක් ඕන. හැබැයි ෆේස්බුක් කියන්නේ අපිට රෙස්‍ට් එක ලැබෙන තැනක් නෙවෙයි නේද? අන්න ඒ නිසා අපි වැඩ අතරේ ඇත්තටම රෙස්ට් එකක් ගත්තොත්, අපිට තවත් කාර්‍යක්ෂමව වැඩ කරන්න පුළුවන්. කොහොම කළත් සෝෂල් මීඩියා භාවිතය අඩු කළොත් කාලය ඉතිරියක් වෙනවා.
2. ජීවිතේම පබ්ලික්
මෙන්න මේක නම් ටිකක් පුද්ගලානුබද්ධ කාරණයක්. ඔය සමහරු ඉන්නවා ලව් කරන්නෙත් පබ්ලික් වෝල් එකේ. ඒ කියන්නේ කොල්ලගෙ ෆොටෝ එකකට කෙල්ල නිකම්ම ලයික් එකක් දාලා ඉන්නෙ නෑ. හවසට ගෙදර ගේන්න ඕන ඒවත් කමෙන්ට් එකේම දානවා. එතකොට වලියක් ගියත් ඒකත් ෆේස්බුක් වෝල් එකේම තමයි. වෙන එකක් තියා දෙන්නට දෙන්නා ගුඩ් නයිට් කියාගන්නෙත් කමෙන්ට්ස් වලින්ම තමයි. මේ අයට තමන්ගේ ජීවිතේ හැමෝටම පේන්න තියෙන්නේ කියන එක අවුලක් නෑ.
හැබැයි ඉතින් තමන්ගේ ජීවිතේ පබ්ලික් වෙන එකේ අවුල් ගොඩක් තියෙනවා. එකක් තමයි අනවශ්‍ය මිනිස්සු අතට තමන්ගේ පුද්ගලික තොරතුරු ලැබීම. ඉතින් සෝෂල් මීඩියා එක්ක ඉන්න කාලේ අඩු කළොත්, ඔය ජීවිතේ පබ්ලික් වෙන වදෙන් බේරෙන්න පුළුවන්.
3. අවධානයක් නෑ!
සෝෂල් මීඩියා කියන්නේ ලේසියෙන්ම කෙනෙක්ගේ අවධානය බිඳ වට්ටවන්න පුළුවන් තැනක්. දැන් විනාඩියකට ෆේස්බුක් පැත්තේ ගිහින් එනවා කියලා හිතාගෙන ෆේස්බුක් ඇප් එක ඕපන් කරන කෙනෙක්ට, ඇත්තටම විනාඩියක් තමන්ගේ නිව්ස් ෆීඩ් එකේ වෙන්නෙ මොනවද බලලා එන්න තරම් හැකියාවක් තියෙනවද? ඇත්තටම වෙන්නේ විනාඩියකට ෆේස්බුක් යන එකාට පැය බාගයක් යනතුරුත් වෙලාව යනවා නොතේරෙන එක. එතකොට මොකක් හරි සීන් එකකට කමෙන්ට් කරලා පැටලුනාට පස්සේ ආයෙ වෙන වැඩක් කරන්න ලැබෙන්නෙ නෑ. වැඩ අස්සෙත් සිහියෙ තියෙන්නේ මොනවද වැටෙන කමෙන්ට්ස් කියලා. ඒ වගේම තමයි ඔය ‘අපිට ලයික්ස් කමෙන්ට්ස් ඕන නෑ’ කියන එවුවොත් කොයි තරම් නම් මොකක් හරි පෝස්ට් කළාට පස්සේ සැරින් සැරේ ආයෙ ලොග් වෙනවද ලයික්ස් කමෙන්ට්ස් කොච්චරද බලන්න!
4. ඇත්තටම සෝෂල් නෑ!
ඉස්සර අපිට නිතරම මුණගැහෙන යාලුවෝ හිටියෙ නෑ. හැබැයි යාලුවෝ හිටියා. උන් කාලයක් තිස්සේ ආශ්‍රය කරලා යාලුවෝම තමයි කියලා ෂුවර් කරගත්තු එවුන්. හැබැයි දැන් කාලේ එහෙම නෑ. දැන් ඉන්නේ ෆේස්බුක් යාලුවෝ. ඒ යාලුවෝ ඇහැට දැකලත් නැති නිසා ඇත්තම ඇත්ත එවුන්ද කියලත් ෂුවර් නෑ. තමන්ට බොක්කෙන් ඉඳීද කියලත් ෂුවර් නෑ. නිතර ඔන්ලයින් දැක්කට, දවස ගාණේ චැට් කළාට, ඇත්ත ලෝකේ මුණගැහෙනවා වගේ සීරියස් ෆිට් එකක් හැදෙන්නෙත් නැති තරම්. එහෙම ඔන්ලයින් දැන ඇඳින ගන්න එකෙන් එක්ක ඇත්ත ලෝකේ මුණගැහෙන්නේත් නැති නං, ඕකට ඇත්තටම සෝෂල් ලයිෆ් එකක් කියන්න පුලුවන්ද? ඕක සමාජ ජීවිතයක් නෙවෙයි, හුදෙකලා ජීවිතයක්!
5. මගෙ ජීවිතේ එයාගෙ වගේ නෑ!
යාලුවෝ දාන ෆේස්බුක් පෝස්ට් දැකලා එහෙම හිතුණද? ඩෑන් බිල්සේරියන්ගේ ඉන්ස්ටා එකවුන්ට් එක දැකලා තමන් ගැනම දුක හිතිලද ඉන්නේ? ආන්න එහෙමනම් හොඳට මතක තියාගන්න. මේ රටේ ලෝකේ එක එක ප්‍රමාණෙට සල්ලි තියෙන, එක එක විදියට ජීවත් වෙන, එක එක විදියට ඉගෙන ගෙන තියෙන, එක එක මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න නැති, මුළු ජීවිතේම ෆේස්බුක් එකේ පෙන්නන තරම් ආතල් මිනිස්සු කොහේවත් නෑ. ඇත්තටම සෝෂල් මීඩියා නිසා වෙන්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ ජීවිතේ සෝෂල් මීඩියා වල දකින අනික් අයගේ ජීවිත එක්ක සංසන්දනය කරලා දුකට පත් වෙන එක. සෝෂල් මීඩියා වල පේන්න තියෙන්නේ ජීවිත නෙවෙයි, සංදර්ශණ විතරයි කියන එක තේරුම් ගන්න එක ලේසි නෑ!
6. තමන්ම වෙන්න පුළුවන්
දැකලා තියෙනවද සෝෂල් මීඩියා වල සම්පූර්ණයෙන්ම වෙනස් මිනිස්සු වගේ හැසිරෙන අය? ඒ කියන්නේ ඇත්ත ලෝකේ මූණක් දිහා බලලා කථා කරන්න බැරි අය ඉන්නවා, සෝෂල් මීඩියා වල ආයෙ ෆුල් තග දාගෙන, ෆුල් සීන් එකේ තමයි ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි සෝෂල් මීඩියා ඇතුළේ ක්‍රමක්‍රමයෙන් තමන්ගේ සම්පූර්ණ ජීවිතේම ස්ථාපිත කරගන්න මනුස්සයෙක්ට, කවදාවත් තමන්ගේ රියල් ලයිෆ් එකේ තියෙන ප්‍රශ්න විසඳාගන්න ලැබෙන්නේ නෑ. හැමදාමත් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ අනන්‍යතා අර්බුදයක් එක්ක.
7. එපා එව්වා ඈතින් තියාගන්න පුළුවන්!
සාමාන්‍යයෙන් ලව් එකක් කැඩුනහම එහෙම බොහොම අමාරු කාලයක් එනවනේ. ඔන්න ඔය අමාරු කාලෙදී කරන්න පුළුවන් දෙයක් තමයි කැඩුණු සම්බන්ධයේ අනික් පාර්ශවය එක්ක සම්බන්ධතා තාවකාලිකව හෝ සදාකාලිකව නවත්තන එක. මොකද, පේනකොට දුක වැඩියි, ඒ නිසා. හැබැයි ඉතින් ෆේස්බුක් එක්ක ඕක කරන්න අමාරුයි. ඕන නම් බ්ලොක් කරන්න පුළුවන් තමයි. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ හොර එකවුන්ට් එකකින් හරි ගිහින් මොනවද ඒ පැත්තේ වෙන්නේ කියලා හොරෙන් බලලා එන්න හිතෙන එක. ඕක එක මොහොතක උමතුවක් වෙනකල් දුර දිග යන්නත් පුළුවන්. හැබැයි සෝෂල් මීඩියා පාවිච්චි කිරීමේ ලිමිට් අතරටම ඔය පරණ කොල්ලා හෝ පරණ කෙල්ලගේ එකවුන්ට් පැත්තේ හොරෙන් නොයෑමත් දාගත්තොත්, ඒක හිතට සනීපයි!
හරි, දැන් අපිට හිතාගන්න පුළුවනි නේ සෝෂල් මීඩියා භාවිතය සීමා කරලා ලබාගන්න පුළුවන් ප්‍රතිඵල ගැන. ඊලඟට බලන්න ඕන කොහොමද සෝෂල් මීඩියා භාවිතය සීමා කරන්නේ කියලා. ඒක ඊලඟ දවසට!
Leave a Reply