විනෝදාත්මක

තරු පවුලක ඉපදුනත්, බොලිවුඩයේ සාර්ථක වන්නට නොහැකි වූ නළු නිළියෝ

බොලිවුඩයේ පවුල් වාදය සැරටම තියනවා කියන එක බොහෝ දෙනා විශ්වාස කරන කතාවක්. අදටත් බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන තරු දිහා බැලුවහම ඒ කතාවේ යම්කිසි ඇත්තක් තියෙන්නට පුළුවන් බවත් අපිට හිතෙනවා. හැබැයි ​ඒක හැම වෙලේම එහෙමයි කියන්නටත් අපිට අමාරුයි. මොකද අතිශය ජනප්‍රිය සහ බලවත් බොලිවුඩ් තරු පවුල් වල ඉපදුනත්, නළු නිළියන් හැටියට සාර්ථක වෙන්න බැරි වුණු තවත් පිරිසකුත් ඉන්නවා. අද අපි කියන්නෙ එහෙම කීප දෙනෙක් ගැනයි!

 

1. ඊෂා ඩියොල්

ඊෂා ඩියොල් කියන්නේ බොලිවුඩයේ ඉහළින්ම වැජඹුන නළු නිළි යුවළ​ක් වන ධර්මේන්ද්‍ර සහ හේමා මාලිනීගේ වැඩිමල්ම දියණිය හැටියටයි. ඊෂාගේ පියා වෙන ධර්මේන්ද්‍රගේ කලින් විවාහයේ දරුවන් වන සනී සහ බොබී ඩියෝලුත් බොලිවුඩයේ ජනප්‍රිය නළුවන් හැටියට හිටපු කාලයක ඊෂාත් සිනමාවට එක් වෙනවා. ඒ 2002 දී ‘කොයි මෙරේ දිල් සේ පූචේ’ කියන චිත්‍රපටය හරහා. ඒ චිත්‍රපටයේ රංගනය සඳහා ඇයට ඒ වසරේ හොඳම නවක නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයත් හිමි වෙනවා ඒත් ඉන් පස්සේ රඟපෑ චරිත තුළින් එතරම් ප්‍රේක්ෂ​ක ආකර්ෂණයක් ලබන්නට හෝ රංගන ප්‍රතිභාවක් දක්වන්නට ඊෂාට හැකි වෙන්නේ නැහැ. ‘යුවා’ සහ ‘ධූම්’ යන චිත්‍රපට වලින් විතරයි ඇය යම් තරමක් හෝ කැපී පෙනෙන්නේ. ඇයගේ සිනමා ජීවිතය චිත්‍රපට විසි ගණනකට සීමා වෙනවා.

 

2. රාහුල් ඛන්නා

සුප්‍රකට ​බොලිවුඩ් නළු විනෝද් ඛන්නාගේ පුතෙක් වන රාහුල් ඛන්නාගේ සහෝදරයාත් ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක්. ඒ ආක්ෂේ ඛන්නා. ආක්ෂේ ඛන්නා නම් තවමත් ඉඳහිට හෝ කැපී පෙනෙන චරිත රංගනයන් හරහා අපි හමුවට එනවා. ඒත් රාහුල් ඛන්නාට නම් පියා හෝ සහෝදරයා අසලකටවත් එන්නට හැකියාවක් ලැබුණේ නෑ. MTV මියුසික් චැනලයේ වැඩසටහන් මෙහෙයවන්නෙක් හැටියට මුලදී ජනප්‍රියත්වයක් ලබපු රාහුල් 1999 වසරේ තිරගත කරපු දීපා මෙහෙතා ගේ ‘Earth’ චිත්‍රපටය තුළින් බොලිවුඩයේ අභිෂේකය ලබනවා. ඒ චිත්‍රපටය වෙනුවෙන් වසරේ හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයත් ඔහු හිමි කරගන්නවා. නමුත් පටන් ගැන්මේදි තිබ්බ ගැම්ම ඉන් පස්සේ රාහුල් වෙතින් දකින්න ලැබෙන්නෙ නැහැ. කඩින් කඩ රඟපාපු අසාර්ථක චිත්‍රපට කීපයකින් පස්සේ රාහුල් ගැන මතකය බොලිවුඩයෙන් ඈත් වෙනවා.

 

3. ට්වින්කල් ඛන්නා

මේ තවත් ඛන්නා කෙනෙක්, ඒ වගේම අතිශය ජනප්‍රිය බොලිවුඩ් නළු නිළි යුවළකට දාව ඉපදුණු තැනැත්තියක්. ට්වින්කල් ගේ පියා වෙන්නේ බොලිවුඩයේ පළමු සුපිරි තරුව වන රාජේෂ් ඛන්නා. මව ජනප්‍රිය නිළි ඩිම්පල් කපාඩියා. ට්වින්කල්ගේ පාසල් වියේ සිහිනය වෙන්නේ ‘ගණකාධිකාරීවරියක්’ වෙන්නටයි. ඒත් රාජේෂ් ඛන්නා සහ ඩිම්පල් කපාඩියාගේ දැඩි ඇවටිල්ල මත ඇයට සිදු වෙනවා බොලිවුඩයට අවතීර්ණ වෙන්නට. ෂාරුක් ඛාන්, අ​​ජේ දේව්ගන්, ආක්ෂේ කුමාර් වැනි ජනප්‍රිය නළුවන් එක්ක චිත්‍රපට රැසක රඟපෑවත් නිළියක් හැටියට තමන්ගේ නම ඉහළින් සටහන් කරන්නට ට්වින්කල්ට හැකි වෙන්නේ නැහැ. දශකයකට ආසන්න කාලයක් රංගනයේ නියැළුනාට පස්සේ ඇයට තේරුම් යනවා නිළියක් හැටියට තමන්ට සාර්ථක වෙන්න නොහැකි වග. ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර් සමග විවාහ වෙන ට්වින්කල්, මේ වෙද්දී වඩාත් ජනප්‍රිය වෙලා ඉන්නේ ලේඛිකාවක් හැටියටයි.

 

4. උදේ ​චොප්රා

සුප්‍රකට බොලිවුඩ් අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් වන යාෂ් චොප්රා ​ගේ පුත්‍ර රත්නය තමයි උදේ චොප්රා කියන්නේ. උදේ චොප්රාට බොලිවුඩයේ හතර වටින්ම නෑයෝ වෙන උදවිය ඉන්නවා. ඔහුගේ ස​හෝදරයා වෙන්නේ ආදිත්‍ය චොප්රා. ඊට අමතර​ව රාණි මුඛර්ජී, කරන් ජෝහර් වගේ බොලිවුඩ් දැවැන්තයොත් උදේ චොප්රාට ඥාති සම්බන්ධතාවයක් තියනවා. 2000 වසරේදී තිරගත කරපු ‘මොහබ්බතේන්’ කියන අතිශය ජනප්‍රිය චිත්‍රපටයෙන් තමයි උදේ චොප්රා නළුවෙක් හැටියට කළඑළි බහින්නේ. ඒ චිත්‍රපටය ජනප්‍රිය වෙනවා ව​ගේම උදේ චොප්රාත් චිත්‍රපටය හරහා ජනප්‍රිය වෙනවා. ඒත් අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන් ඇතුළු දැවැන්තයෝ සහිත පිරිවරක් එක්කයි උදේ චොප්රා මේ චිත්‍රපටය රඟපාන්නේ. ඊළඟට ජනප්‍රියත්වය ලබපු ඔහු රඟපෑ ‘ධූම්’ චිත්‍රපට මාලාවේත් තවත් ප්‍රධාන නළුවන් පිරිසක් එක්කයි උදේ චොප්රාට රඟපාන්න සිද්ධ වෙන්නේ. ප්‍රසිද්ධ නළු නිළි පිරිසක් ඉන්න චිත්‍රපටවලින් ජනප්‍රිය වුණාට, තනි ප්‍රධාන නළුවා හැටියට රඟපාලා ජනප්‍රිය වෙන්න උදේ චොප්රාට හැකියාව ලැබෙන්නේ නැහැ. අසාර්ථක චිත්‍රපට කිහිපයකින් පස්සේ උදේ චොප්රා රංගනයට තිත තියනවා.

 

5. තුෂාර් කපූර්

60 දශකයේ විතර ඉඳන් බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් හැටියට වැජඹුන ජීතේන්ද්‍රගේ පුතා තමයි තුෂාර් කපූර්. ගොඩක් දෙනෙක් දන්නෙත් නැහැ මේ දෙන්නා තාත්තයි පුතයි කියලා. තුෂාර් කපූර් තමන්ගෙ මුල් කාලේ ආදරවන්තයාගේ චරිත තමයි වැඩිහරියක් රඟපාන්නේ. ‘කාකී’ චිත්‍රපටයේ දී කැපී පෙනෙන පොලිස් නිලධාරී චරිතයකුත් රඟපාන්න තුෂාර්ට හැකිවුණා. නමුත් අවාසනාවකට ඉන් පස්සේ රඟපාපු චරිත ඒ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වුණේ නැහැ. ඒ නිසා පසු කාලීනව තුෂාර් හාස්‍යෝත්පාදක චරිත රංගනයට වැඩි වශයෙන් යොමු වුණා. දැන් ඔහුව ඒ විදිහේ චරිත වලටම කොටු වෙච්ච බවක් තමයි දකින්න තියෙන්නෙ. රංගන අවස්ථා බොහොමයක් ලැබුණත් පියාගේ මට්ටමට එන්න තුෂාර්ට හැකි වුණේ නැහැ.

 

6. ටනීෂා මුඛර්ජී

90 දශකයේ බොලිවුඩය වශී කරගෙන හිටපු, අදටත් තමන්ගේ වියපත් නොවන සුන්දරත්වයෙන් බොලිවුඩය කළඹන සුරූපිණියක් තමයි කාජොල් කියන්නේ. කාජොල්ගේ මව වන තනුජාත් හිටපු බොලිවුඩ් නිළියක්. කොහොම වෙතත් කාජොල්ගේ සොහොයුරිය වන ටනීෂා ට නම් කාජොල් හෝ තනුජා තරම් දුරක් බොලිවුඩයේ පිය නගන්න ලැබුණේ නැහැ. 2003 අවුරුද්දේදී සිනමාවට පිවිසෙන ටනීෂා තරමක හෝ ජනප්‍රියත්වයක් ලබන්නේ ඇය සරාගීත්වය මුසු වූ චරිතයක් රඟපෑ ‘Neel n’ Nikki’’ චිත්‍රපටයෙනුයි (අපි කලින් සඳහන් කරපු උදේ චොප්රාත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා). නමුත් ඉන්පසු රඟපෑ චිත්‍රපටවලින් ප්‍රේක්ෂක මතකයේ රැඳෙන්න ටනීෂාට හැකියාවක් ලැබුණේ නැහැ.

 

7. සෝහා අලී ඛාන්

70 දශකයේ බොලිවුඩයේ ඉහළින්ම වැජඹුණු නිළියක් වන ශර්මිලා තාගෝර් ගේ දියණිය වන සෝහා අලී ඛාන්, ජනප්‍රිය බොලිවුඩ් නළු සායිෆ් අලී ඛාන් ගේ සොයුරිය වෙනවා. සෝහා විවාහ වෙලා ඉන්නෙත් බොලිවුඩ් නළුවෙක් වෙන කුනාල් කේමු සමගයි. සෝහා අලී ඛාන් රංගනයට පිවිසෙන්නේ බෙංගාලි චිත්‍රපටයක් හරහායි. 2004 වසරේ තිරගත කරපු ‘දිල් මාංගේ මෝර්’ චිත්‍රපටයෙන් තමයි ඇය බොලිවුඩයට පිවිසෙන්නේ. ඉන් පස්සේ චිත්‍රපට විසි ගණනක් වරින් වර රඟපෑවත් ඒ කිසිවකින් ඇය බලාපොරොත්තු වූ ජනප්‍රියත්වයකට පත් වෙන්නේ නැහැ. සායිෆ්ගේ සහෝදරිය හැටියට තමයි ඇයට නිළියකට වඩා වැඩි ජනප්‍රියත්වයක් හිමි වුණේ.

 

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago