ඔබේ ජීවිතය ජයගන්න, Lifie.lk වෙතින් මහඟු අදහස්!

Inspirations for your life from Lifie

කවදාහරි පොඩ්ඩක් නැවතිලා හිතලා බලලා තියෙනවද, ඇත්තටම ජීවිතය කියන්නේ මොකක්ද කියලා? අපි ඇත්තටම ජිවිතේ අවබෝධ කරගෙන විඳිනවද කියලා? ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ ජිවිතේ ගත වෙන විදියට, අනික් අයට, සමාජයට ඕන විදියට. එතකොට තවත් සමහරු, ජීවිතේ තමන්ට ඕන විදියට ගත කරනවා කියලා, ඒත් ජීවිතේ ඔහේ ගතවෙන්න ඉඩ හරිනවා. හරියටම කියනවා නම්, ලෝකේ බොහොම පොඩි පිරිසක් තමයි ඇත්තටම ජීවිතේ විඳින්නේ. ඇත්තටම තමන්ට ඕන විදියට, හරි විදියට ජීවිතේ ගත කරන්නේ, ජීවිතේ හරියට අවබෝධ කරගත්තු සුළුතරයක් විතරයි.

ඉතින් අපි හිතුවා, Lifie.lk එක්ක ඉන්න අපේ සහෘදයන්ට, ඒ ජීවිත අවබෝධය ලබාගන්න පොඩි උදව්වක් ලබාදෙන්න. අපි අවබෝධ කරගත්තු පොඩි පොඩි දේවල් ටිකක් ආටිකල් එකකට ගන්න.

01. මිනිහෙක් අන්තිම අඩියට වැටෙනවා කියන්නේ, එතන ඉඳන් එයාට නැගිටින්න පුලුවන්!

Inspirations for your life from Lifie

අපි ඕනම කෙනෙක් වැටෙන්න තියෙන අන්තිම තැනට වැටෙන්න පුලුවන්. එහෙම බිමටම වැටිලා තියෙන අයත් ඕනෑ තරම් ඇති. දැන් මෙහෙම බිමටම වැටුණහම, කෙනෙක් දිවි තොර කරගන්න හරි විනාශකාරී ඇබ්බැහියකට යන්න හරි උත්සාහ කරන්නේ නැති නම්, ඇත්තටම පැහැදිලිව හිතන්න පුලුවන් කමක් තියෙනවා නම්, මේක වෙන්න පුලුවන් එයාගේ ජීවිතේට සිද්ධ වුණු හොඳම දේ. හේතුව මේකයි. අපිට නැතිවෙන්න දේවල් තියෙන තාක්කල්, අපි අවදානමක් ගන්න, කොම්ෆෝර්ට් සෝන් එකෙන් පිටතට එන්න උත්සාහ කරන්නෙ නෑ. හැබැයි අපි බිමටම වැටෙනවා කියන්නේ, ආයෙ නැතිවෙන්න දෙයක් නෑ. අන්න ඒක තමයි වෙලාව, අවදානමක් අරන් හරි බිංදුවේ ඉඳන් පටන් ගන්න උත්සාහයක් දරන්න. බිංදුවට වැටෙනවා කියන්නේ, ආයෙ පාරේ තැඹිලි විකුණන්න වුණත් කමක් නෑ කියන තැනට එනවා කියන එකනේ. අන්න එතකොට අවදානමක් අරගෙන, එහෙම නැතිනම්, වැටෙන්න කලින් හිටපු තැනදී හීනෙන්වත් කරන්න හිතන්නේ නැති රැකියාවක් කරලා හරි ඔලුව උස්සන්න හිතනවා. ඒ කරන දේ සදාචාරාත්මක නම්, ගොඩක් වෙලාවට හිටපු තැනටත් උඩට අන්න පුලුවන් වෙයි.

02. තමන්වම නිදහසට කාරණා වලින් රවට්ටගන්න එක නවත්තන්න!

Inspirations for your life from Lifie

අපි හැමෝටම ඔය එක එක නරක පුරුදු තියෙනවනේ. ඒ කියන්නේ බොන එක හරි සිගරට් බොන එක හරි ඔට්ටු දාන එක හරි ස්පා ගාණේ යන එක හරි වගේ එව්වා විතරක් නෙවෙයි. වැඩිපුර නිදාගන්න එක, වැඩ කල්දාන එක, වෙලාවට වැඩක් නොකරන එක වගේ දේවල් ගත්තත්, ඒවත් ඔය නරක පුරුදු ගාණට තමයි වැටෙන්නේ. දැන් කෙනෙක්ට නරක පුරුද්දක් තියෙනකොට, ඒකෙන් මිදෙන්නත් බැරි නම්, ගොඩක් වෙලාවට වෙන්නේ ඒක සාධාරණීකරණය කරන්න අපි උත්සාහ කරන එක. වැඩක් අන්තිම මොහොතේ කරන පුරුද්දක් තියෙන කෙනෙක් තමන්ටම කියාගන්නවා, “මට වැඩක් හොඳටම කරන්න පුලුවන් අන්තිම මොහොතේ කරනකොට” කියලා. සිගරට් බොන පුරුද්දෙන් අත්මිදෙන්න බැරි කෙනෙක් කියනවා, “මට අදහස් ගලාගෙන එන්නේ සිගරට් එකක් බොනකොට” කියලා. දැන් ඇත්තටම මේ රවටන්නේ වෙන කාවවත් නෙවෙයි, තමන්වමයි. අන්න ඒ නිසා, තමන්වම රවටා ගන්න එක ඔක්කොටම කලින් නවත්තන්න ඕන. ඊලඟට, තමන්ට තියෙන නරක ඇබ්බැහියෙන් අත්මිදෙන්න උපකාර සොයාගන්න ඕන.

03. දෙයක් කරන්න බෑ වගේ නම්, ප්‍රතිඵලය දකින තුරු කොහොමහරි ට්‍රයි කරන්න

Inspirations for your life from Lifie

දැන් ඔය ගොඩක් අය ජිම් යන්නෙ ඇයි? වෙන කරන්න දෙයක් නැති කමට නෙවෙයිද? ඒ කියන්නේ, එක්කෝ සෞඛ්‍ය අවදානමක් නිසා. එක්කෝ තමන්ට ඇඳුම් ඇඳගන්න බැරි තරමට මහත් වෙලා නිසා. එක්කෝ ගෙදර අයගේ බලේට. ඔය මොකක් නිසා ගියත්, ඒ යන්නේ තමන්ට වෙන කරන්න දෙයක් නැති නිසා. දැන් එහෙම ජිම් එකට ගියාට පස්සේ, පළවෙනි දවසෙම තේරෙන්න පටන් ගන්නවා වැඩේ ලේසි නෑ කියලා. ඇත්තටම මුල් වතාවට ජිම් එකට ගිහින් වර්ක්අවුට් කළාට පස්සේ ඇඟට සෑහෙන්න අමාරුයි. හරියට, එක තැන මලකඩ කකා තිබුණු මැෂින් එකක් ස්ටාට් කරන්න හදනවා වගේ. දෙවෙනි තුන්වෙනි දවස් ගත්තත් අමාරුයි. ඇත්තටම මෙන්න මේ පොයින්ට් එකේදී තමයි ගොඩක් අය වැඩේ අතඇරලා දාන්නේ. හැබැයි මේ පොයින්ට් එකත් පැනලා, සති දෙකක් විතර ජිම් එකට හරියට යන කෙනෙක්ට ඔන්න දැනෙන්න පටන් ගන්නවා වෙනසක්. හොඳ ඩයට් ප්ලෑන් එකකුත් එක්ක මාසයක් දෙකක් යනකොට, තමන්ගේ ශරීරයේ සැලකිය යුතු වෙනසක් පේන්න ගන්නවා. අන්න එතකොට ජිම් යන එක කොහොමත් ඇඟට හුරු වෙලා. ආසාවෙන් කරන්නේ. එතකොට තමන්ගේ මහන්සියේ ප්‍රතිඵල පේන්න පටන් ගත්තහම වැඩේට තවත් ආසයි. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ, දෙයක් කරන්න බැහැයි කියලා හිතනවා නම්, කොහොමහරි ඒකේ ප්‍රතිඵල පේන තුරු කරන්න කියලා.

04. ජීවිතේ ඔස්සේ පාවෙන එක නවත්තන්න!

Inspirations for your life from Lifie

නිකමට හිතලා තියෙනවද, අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ ඔටෝ-පයිලට් දාලා වගේ කියලා? අපි ජීවිතේ අපිට ඕන විදියට ජීවත් වෙනවා නෙවෙයි, ජීවිතේ ගලාගෙන යන නිසා, අපිත් ඔහේ පාවෙලා යනවා. පුංචි කාලෙදී අම්මලා ඉස්කෝලේ යවන නිසා, ඉස්කෝලේ යන්න ඕන නිසා යනවා. විභාග තියෙන නිසා පාඩම් කරනවා. රස්සාවක් කරන්න ඕන නිසා හම්බුවෙන පළවෙනි ගැලපෙන රස්සාවට යනවා. ඊට පස්සේ ජීවත් වෙන්න මුදල් ඕන නිසා ඒ රස්සාව දිගටම කරනවා. මෙතනදී කෙනෙක් හිතයි, නෑ, ඒ තීරණ අපි හිතලා ගන්න ඒවා කියලා. ඇත්තටම, ගොඩක් අයගේ ජීවිත වල එහෙම ඒ අය ගන්න තීරණ නෙවෙයි. ඒක ඔටෝ-පයිලට් මෝඩ් එකේ සිද්ධ වෙන දේවල්. හැබැයි, ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕන නම්, තමන්ට එක කාලෙක තිබුණු සිහින සැබෑ කරගන්න ඕන නම්, අපි ඔටෝ-පයිලට් මෝඩ් එකෙන් මිදිලා, මැනුවල් මෝඩ් එකට දාගන්න ඕන. අපි ජීවිතේ ඩ්‍රයිව් කරන්න පටන් ගන්න ඕන. අන්න එතකොට, සිහින සැබෑ කරගන්නවා කියන්නේ බැරි දෙයක් නෙවෙයි.

05. එක වරකට එක පියවරක්

Inspirations for your life from Lifie

මතකයි නේද අර පුංචි කාලේ අපි බලපු සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරපු ඇඩ් එක? ඒක ආසාවෙන් බැලුවට, පස්සෙ කාලෙක හිතිලා නැද්ද ඒක පොඩ්ඩක්වත් ප්‍රායෝගික ඇඩ් එකක් නෙවෙයි කියලා? උදාහරණයක් කිව්වොත්, දැන් අපි හිතමු, අපි දවසකට රුපියල් සීය ගාණේ ඉතුරු කරන්න පටන් ගන්නවා කියලා. අපේ හීනේ වෙන්නේ ලක්ෂ තිහක වාහනයක් ගන්න එක. හැබැයි දවසකට රුපියල් සීය ගාණේ එකතු කළත්, ඔය ලක්ෂ තිහ එකතු කරගන්න අවුරුදු 90 කට කිට්ටු කාලයක් ගතවෙනවා. ඉතින් එතකොට එහෙම පොඩ්ඩ පොඩ්ඩ හරි එකතු කරලා මොකටද කියලා හිතෙන්නෙ නැද්ද?

හැබැයි ඇත්තටම කාරණාව ඒක නෙවෙයි. අපිට දවසකට ඉතුරු කරන්න පුලුවන් රුපියල් සීයයි නම්, ඒකෙන් තමයි පටන් ගන්න ඕනේ. හැබැයි හැමදාම සීයක් එකතු කරලා නිකම් හිටියට මදි. අපි හිතන්න ඕන, දවසකට රුපියල් දාහක් එකතු කරන්න පුලුවන් තත්වෙකට යන්නේ කොහොමද කියලා. ඊලඟට දවසකට රුපියල් දහදාහක් එකතු කරන්න පුලුවන් තැනකට යන්නේ කොහොමද කියන එක හිතන්න ඕන. ඊලඟට, මේ ඉතුරු කරන සල්ලි ඥාණවන්තව ආයෝජනය කරන්න පුලුවන් කොහොමද කියලා හිතන්න පටන් ගන්න ඕන. අන්න එතකොට, අපිට අවුරුදු පහක් යනකොට අර ලක්ෂ තිහේ වාහනේ ගන්න එක ගේමක් නැතිවෙන්න පුලුවන්. ඇත්තටම වැදගත් වෙන්නේ දෙයක් පටන් ගන්න එක. දවසකට රුපියල් සීයෙන් හරි පටන් ගත්තෙ නැතිනම්, කවදාවත් ලක්ෂ තිහේ වාහනේ ගන්න පුලුවන් වෙන්නෙ නෑ. ඒ නිසා, තමන්ගේ ඉලක්කයට යන්න, එක දවසකට එක පියවරක් තියන්න පටන් ගන්න ඕන. ඊට පස්සේ තමන්ගේ පියවර ටික ටික විශාල කරගන්න පටන් ගන්න ඕන.

06. සිහින දකින්න, හැබැයි සිහින වලට පොළවේ ඉඳන් ෆවුන්ඩේෂන් දාන්න

Inspirations for your life from Lifie

මේක ඇත්තටම අපි සුජීව ප්‍රසන්නාරච්චිගේ පොතක දැකපු කාරණාවක්. ඒ වගේම ඇත්තක්. දැන් අපි හැමෝටම සිහින තියෙනවනේ. අපිට කවදාහරි ගන්න ඕන දේවල් ගැන, කවදාහරි වෙන්න ඕන කෙනා ගැන, කවදාහරි යන්න ඕන තැන් ගැන අපි සිහින දකිනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය සරලයි. සිහින දකින එක ලේසියි. ඒ සිහින වලට යන්න ක්‍රියාත්මක වෙන එක අමාරුයි. ඒ නිසා, ගොඩක් අය තෝරගන්නවා, ජීවිතේ ඔහේ ගතවෙන්න ඉඩ දීලා, හැමදාම සිහින දකිමින් ජීවත් වෙන්න. අන්න ඒ නිසා, අපි අද දවසේ අපේ සිහින ගැන හිතන වෙලාවේ, සිහින හඹායන්න අඩිතාලම දාන්න ඕන. පළමුවෙනි පියවර තියන්න ඕන. ඇත්තටම දෙයක් පටන් ගන්න පළමු පියවර තියන්න විශේෂ නැකතක් නෑ. රෑ එකොළහයි පණස් නමයට වුණත් කමක් නෑ, පළමු පියවර තියන්න. සිහින දකිනවා වගේම, ඒ සිහින සැබෑ කරගන්න සැලසුම, ක්‍රියාදාමයත් දකින්න.

07. ඇත්ත ලෝකේ පය ගහලා ජීවත් වෙන්න

Inspirations for your life from Lifie

දැන් වෙනකොට අපි දකිනවනේ හිතාගන්න බැරි තරම් වේගයකින් ලෝකේ තාක්ෂණය දියුණු වෙනවා. හිතිලා නැද්ද, තාක්ෂණය දියුණු වෙන වේගයත් එක්ක, අපි ඇත්ත ලෝකෙන් ශීඝ්‍රයෙන් ඈත් වෙනවා කියලා? ඒ කියන්නේ, අපිට යාළුමිත්‍ර සම්බන්ධකම් ඔන්ලයින් පවත්වන්න පුලුවන්. ඔන්ලයින්ම වැඩ කරන්න පුලුවන්. ඔන්ලයින් දේවල් ඕඩර් කරන්න පුලුවන්. අවශ්‍ය නම්, කෙනෙක්ට තමන්ගේ ගෙදරින් පිටතට යන්නෙ නැතුව අවුරුද්දක් වුණත් ජීවත් වෙන්න පුලුවන්. හැබැයි ඒක ජීවත් වීමද? අපි අද ඉන්න ලෝකේ සෑහෙන්න මානසික ගැටළු වලට, මානසික සංකූලතා වලට වැඩි දෙකෙන් වැඩි වැඩියෙන් නිරාවරණය වෙනවා කියලා හිතිලා නැද්ද? අන්න ඒ නිසා, දියුණු වෙන තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ගෙදර ඉඳන් වැඩ කරන්න පුලුවන් නම් ගෙදර ඉඳන් වැඩ කරන්න. හැබැයි ඔෆිස් එකට යන්න එන්න ඉතුරු වෙන කාලය, ඇත්ත ලෝකේ මොහොතක් ගත කරන්න ප්‍රයෝජනයට ගන්න. ගෙදරින් එළියට බහින්න. ඇත්තටම ගිහින් යාළුමිත්‍රයෝ මුණගැහෙන්න. යාළුවෝ එක්ක ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන්න. කොටින්ම කිව්වොත්, දියුණු වෙන තාක්ෂණයට අපේ ජීවිත සුවපහසු කරලා, අපේ සුවපහසු පුටුවේ හිරකරලා තියන්න ඉඩ නොදී, තමන්ගේ ජීවිතේ ඇත්ත ලෝකේ ගත කරන වගකීම තමන්ගේ අතට ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *