පාස්පෝට් එක හදාගන්න පාස්පෝට් ඔෆිස් එකට යනවා නම්, මේ ටිප්ස් ඔබ වෙනුවෙන්මයි!

Passport office etiquette and tips

දැන් අපි මුහුණ දුන්නු ආර්ථික අර්බුදයත් එක්ක, ගොඩක් දෙනෙක් රට යන්න පෙළඹිලා ඉන්නේ කියන එක බොරුවක් නෙවෙයිනේ. ඒත් එක්කම, ආගමන විගමන දෙපාර්තමේන්තුව, එහෙම නැතිනම් අපි පහසුවෙන් කියන විදියට පාස්පෝර්ට් ඔෆිස් එකත් වෙනදට වඩා පිරෙන්න පටන් ගත්තා. රට යන්න ඕන, රට යන්න හිතාගෙන ඉන්න, කවදාහරි රට යනවා කියලා හිතාගෙන ඉන්න හැමෝම පාස්පෝර්ට් හදන රැල්ලක් ආවා. මේක ඇත්තටම නරක දෙයක් නෙවෙයි. රට ගියා හෝ නොගියා හෝ, රටේ හැම පුරවැසියෙක්ටම පාස්පෝර්ට් එක තිබීම හොඳයි. හැබැයි, පාස්‍පෝර්ට් හදන්න ගියහම, දවසම එතන කට්ට කන්න වුණහම, ගොඩක් දෙනෙක්ට හිතෙන්න ගත්තා, එක්කෝ පාස්පෝර්ට් ඕන නෑ, මේ ඉන්න විදිය හොඳයි කියලා. ඉතින් කොහොම වුණත්, මේ දවස් වල පාස්පෝර්ට්‍ එක ගන්න ගියහම, සෑහෙන්න කට්ටක් කන්න වෙනවා කියන එක බොරුවක් නෙවෙයි. ඒත්, පාස්පෝර්ට් ඔෆිස් එකට ගිහිල්ලා ඒක ගන්න විදිය ගැන හරි තොරතුරු දැනගෙන ඉන්න එකෙන්, ඒ කට්ට කෑමට මුහුණ දෙන්න සෑහෙන්න උදව්වක් ලැබෙනවා කිව්වොත් ඒක බොරු නෙවෙයි. ඒ වගේම, පාස්පෝර්ට් හදාගන්න පාස්පෝර්ට් ඔෆිස් එකට ගිහින් හැසිරෙන්න ඕන විදිය මතක් කරගන්න එකත්, තමන්ට වගේම අනුන්ටත් උදව්වක් කිව්වොත්, ඒකත් බොරුවක් නෙවෙයි!

01. වැඩේ උපරිම ලේසි කරගමු ඔන්ලයින් ඇපොයිමන්ට් එකකින්

Passport office etiquette and tips

දැන් අපි පාස්පෝට් එක හදන්න කලින් ෆොටෝස් ගන්න ඕනනේ. ඒක කරගන්න තියෙන පහසුම ක්‍රමය තමයි, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අනුමත ඡායාරූප ශාලාවකට ගිහින්, තමන්ගේ ෆොටෝස් ගන්න එක. මේ ක්‍රමේදී ආයෙ අපේ අතට ෆොටෝස් එන්නෙ නෑ. කෙලින්ම පාස්පෝට් ඔෆිස් එකට තමයි ෆොටෝස් ටික යන්නේ. අන්න එතකොට, මතක් කරලා එතනින්ම ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාන්න. තමන් ඊට කලින් ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාලා නම් තියෙන්නේ කමක් නෑ. එහෙම නැතිනම් ස්ටුඩියෝ එකෙන්ම ඒකත් කරගන්න එක පහසුයි. අපොයිමන්ට් දාන්න කලින් මතක ඇතුව තෝරන්න, අපිට ඕන එක් දින සේවාවද සාමාන්‍ය සේවාවද කියලත්.

02. යන්න ඕන කොහාටද? කීයටද?

Passport office etiquette and tips

දැන් ඔන්ලයින් ඇපොයිමන්ට් එකක් දැම්මහම, අපිට යන්න ඕන දවසයි වෙලාවයි ඒකේ පෙන්වනවනේ. ගොඩක් වෙලාවට ඒකේ තියෙන වෙලාවල් කීපය අතරින් එකක් තෝරගන්න පුලුවන්. හැබැයි ඉතින් හරි වෙලාවටම එතනට යන්න ඉන්න එපා. ටිකක් කලින් යන්න. මේ දවස් වල වැඩ වෙන විදිය අනුවනම්, කලින්ම යන තරමට වාසියි. මොකද, හරියට වෙලාවට ගියත් ටිකක් පෝලිමේ ඉන්න වෙන සීන් එකක් තියෙන නිසා. සුහුරුපාය උදේ 8 ඉඳන් ඇරලා තියෙන්නේ. දැන් අපි යන්න ඕන තැන තමයි, බත්තරමුල්ලේ සුභූතිපුර පාරට හැරිලා මීටර් කිහිපයක් ඉස්සරහට යනකොට, දකුණු අත පැත්තේ තියෙන සුහුරුපායට. කොටුවෙන් එනවා නම් බස් අංක 171, 170, 190 ඕනම එකකින් එන්න පුලුවන්. බොරැල්ලෙන් බස් එක ගන්නවා නම්, 171, 174, 170, 190, 177, 186 ඕනම බස් එකක එන්න පුලුවන්. කොට්ටාව / තලවතුගොඩ / පන්නිපිටිය පැත්තෙන් ආවොත් 174 බස් එක තමයි. දෙහිවල/නුගේගොඩ නම් 163 බස් එක තියෙනවා. කොල්ලුපිටියෙන් 177 ගන්නත් පුලුවන්. ඒ ඇරෙන්න, බැලුම්මහරට කලින් නුවර පාරේ ඉඳන් කෙලින්ම 17 බස් එක ගත්තත් හරි.

03. සූදානම් ශරීරෙන් යමු

Passport office etiquette and tips

දැන් නම් ඇත්තටම පාස්පෝට් ඔෆිස් එකේ වැඩ සෑහෙන්න වේගයෙන් සිද්ධ වෙනවා කියන්න පුලුවන්. හැබැයි ඉතින් ඒත් පැය කීපයක් හෝ වැය කරන්න බලාගෙන තමයි එන්න ඕන. සමහර දවසකට ඔය කවුන්ටර් දෙකක් තුනක් වගේ විතරක් වැඩ කරනකොට, පැය හයක් විතර පෝලිමේ ඉන්නත් සිද්ධ වෙන්න පුලුවන්. අන්න ඒ නිසා, සූදානම් ශරීරය කෝකටත් හොඳයි.

මුලින්ම කිව්වොත්, තමන්ට පහසු, සැහැල්ලු ඇඳුමක් ඇඳලා යන එක හොඳයි. විශේෂයෙන්ම ටිකක් හිටගෙන ඉන්න පුලුවන් කකුලට සුවපහසු පාවහන් දාගෙන ඉන්නවා නම්, ඒක කොයි තරම් පහසුවක්ද කියලා වැටහෙයි පෝලිමේ ඉන්නකොට. එතකොට ඔය රස්නේ එක්ක සෑහෙන්න වතුර තිබහා එනවා. ඒ නිසා වතුර බෝතලේකුත් ගමන් මල්ලේ දාගෙන යන එක හොඳයි. අවශ්‍ය නම් කෙටි කෑමක් එහෙමත් අරගෙන යන්න පුලුවන්. හැබැයි එළියේ පෝලිමේ ඉඳලා ටෝකන් අංකයක් අරගෙන, ඇතුළේ පෝලිමට සෙට් වුණාට පස්සේ, කෑම බීම අවශ්‍ය නම් ගන්න, ඇතුළේ කැන්ටින් එකකුත් තියෙනවා. එතකොට පෝලිමේ නිකම්ම ඉන්න කම්මැලි නම්, සිංදුවක් අහන්න හෙඩ්සෙට් එක, කියවන්න පොතක් එහෙම අරගෙන ගියාට කමක් නෑ.

ඒ වගේම, ප්‍රමාණවත් තරමට සල්ලි අරගෙන යන්න. දැන් සාමාන්‍ය සේවයෙන් පාස්පෝට් එක හදාගන්න රුපියල් 5,000 ක් යනවා. එක් දින සේවයට නම් රුපියල් 15,000 යි. ඇතුළේ ඕන නම් හැම බැංකුවකම වගේ ඒටීඑම් මැෂිනුත් තියෙනවා.

04. ඩොකියුමන්ට්ස් ඔක්කොම ගන්න

Passport office etiquette and tips

පාස්පෝට් එක ගන්න යනකොට, එතනින් ගන්න ඕන ලිපිලේඛන නැති තරම්. පළවෙනියටම ගමන් බලපත් අයැදුම් ආකෘතිපත්‍රය ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරලා, ඊට පස්සේ ප්‍රින්ට්අවුට් එකක් විදියට ගන්න පුලුවන්. ඒක සුහුරුපායට හැරෙන තැන අවට තියෙන ඕනම කොමියුනිකේෂන් එකකින් වුණත් කරගන්න පුලුවන්. හැබැයි එතනට ගිහින් ඒක පුරවන්න ඉන්න එපා. බොහොම පැහැදිලිව හැමදෙයක්ම සම්පූර්ණ කරලා අරගෙන යන්න. ඊට පස්සේ, උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සහ ෆොටෝකොපි එකක් ඕන. මුල් පිටපතක් කියන්නේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගත්තු සහතික කරපු පිටපතක් වුණත් ප්‍රමාණවත්. එතකොට තමන්ගේ ජාතික හැඳුනුම් පත්‍රය සහ එහි ෆොටෝකොපි එකක් ඕන. අපි රැකියාව විදියට මොකක් හරි සඳහන් කරනවා නම්, ඒක තහවුරු කරන්න සේවා සහතිකයක්, රැකියා ස්ථානයෙන් ලබාගත්තු තමන්ගේ තනතුර දක්වන සහතික කරපු ලියුමක් එහෙමත් ඕන. එතකොට, යන්නේ පරණ පාස්පෝට් එක අලුත් කරගන්න නම්, පරණ පාස්පෝට් එකත් ගෙනියන්න ඕන.

දැන් මේ විදියට අවශ්‍ය ලිපිලේඛන සහ සම්පූර්ණ කරපු ගමන් බලපත් අයැදුම්පත්‍රය නිකම්ම අතේ රෝල් කරගෙන යන්න එපා. ඒක ෆයිල් එකකවත් දාගෙන අරන් යන්න. ඒ ෆයිල් එකේ වෙන වතුර බිල්, ලයිට් බිල් ගෙනියන්නත් එපා. මොකද, තමන්ගේ වාරය ආවහම දඩි බිඩි ගාලා ලිපිලේඛන ටික දීලා, ෆින්ගර්ප්‍රින්ට් දීලා වැඩේ සම්පූර්ණ කරන්න ඕන නිසා. එතන අවශ්‍ය ලිපිලේඛන හොය හොයා ඉන්න වෙලාවක් නෑ.

05. කාක්කන්ට අහු නොවෙන්න

Passport office etiquette and tips

ඇත්තටම ඔය හොර මගඩි, වැඩි ගාණට ඉක්මනට වැඩේ කරලා දෙන්න හදන කාක්කෝ විශාල වශයෙන් ගැවසෙන තැනක් තමයි ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව කියන්නේ. අපි දන්නෙ නෑ ඇතුළෙනුත් ඒවලට සමහර නිලධාරීන්ගේ සපෝට් එක තියෙනවද නැද්ද කියලා. හැබැයි කාක්කෝ එතන වැහිවැහැලා. මුලින්ම කියන්න තියෙන්නේ, උඩ කියපු විදියට හැමදේම සූදානම් කරගෙන ගියහම, එතනට ගිහින් වැඩි ගාණකට කිසිම දෙයක් ගන්න අවශ්‍ය නෑ. උදාහරණයක් විදියට කිව්වොත්, ඇපොයින්මන්ට් දාලා ගියොත්, කාක්කෙක්ට වැඩි ගාණක් දීලා ඇපොයිමන්ට් දාගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.

ඊලඟට, ඔතන අනිවාර්යයෙන්ම හම්බුවෙනවා පෝලිමේ ඉන්නෙ නැතුව වැඩේ කරලා දෙන්න අහන, ඉක්මනට වැඩේ කරලා දෙන්න අහන කාක්කෝ එහෙමත්. අපි නම් කියන්නේ, ප්‍රතිපත්තියක් විදියට හොර පාරෙන් පාස්පෝට් හදාගන්න යන්න එපා කියලා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි, නියම පාරෙන් කෙරෙන වැඩේ පරක්කු වුණත්, පොඩි කට්ටක් සෙට් වුණත් ෂුවර්. කාක්කන්ට කියලා හොරපාරෙන් කරගන්න යන වැඩේ ගැස්සෙන්න ඉඩ වැඩියි. දෙවෙනියට, අපි කාක්කෙක්ට පගාවක් දීලා හොරපාරෙන් වැඩේ කරගන්න උත්සාහ කරනවා කියන්නෙම, අපි ඒ දූෂිත ක්‍රමයට සහයෝගයක් දෙනවා කියන එක. ඒකෙන්, සම්පූර්ණ පද්ධතියටම තමයි අපි වැරැද්දක් කරන්නේ.

06. පෝලිම් නම් පෝලිම්

Passport office etiquette and tips

සමහරු ඉන්නවා, පාස්පෝට් ගන්න යන්න තියෙන පෝලිම දැක්කහම, පෝලිමේ ඉන්න බෑ බෑ වගේ හිතෙනවා. ඉතින් ඔන්න ශ්‍රී ලාංකීය පුරුද්දට අනුව පෝලිම පනින්න හිතනවා. සමහරු ඇවිත්, අහිංසක කෙනෙක්ට සද්දයක් දාලා බයිෆෝර්ස් එකෙන් පෝලිම පනින්න හදනවා. තව කෙනෙක් ඇවිල්ලා පොඩි මොත්තයක් දාලා “අනේ මම මෙතන ඉඳලනේ චූ කරන්න ගියේ, මෙතන තමයි මම හිටියේ” කියලා පෝලිම පනින්න හදනවා. අපි කියන්නේ ඔය දෙකෙන් එකක්වත් කරලා පෝලිම පනින්න හදන්න එපා. එකක්, පෝලිමේ ඉන්න අයගෙන් බැණුම් අහගන්න වෙන්න පුලුවන්. එහෙම නැතත් ආරක්ෂක නිලධාරින් හැමතැනම ඉන්නවා. ඒ අය දැක්කොත් ඒත් තමන්ටමයි ප්‍රශ්නය. ඔය එකක්වත් නැතත්, පෝලිම් පනිනවා කියන්නේ කිසිසේත්ම සදාචාර සම්පන්න නොවෙන කාරණයක්. අන්න ඒ නිසා.

07. ආචාරශීලී වෙන්න, විනීතව හැසිරෙන්න

Passport office etiquette and tips

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන කාරණයක් නෙවෙයිනේ. අපි කොහේ ගියත් අනික් අයට ආචාරශීලීව සලකන්න ඕන, විනීතව හැසිරෙන්න ඕන කියන එක මූලිකම මූලධර්මයක්. හැබැයි ඉතින් ඒක සමහරු ගාව නැති නිසා අපි ඒකත් අමුතුවෙන් ලියනවා. මේ පෝලිමේ විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා. එතකොට පෝලිමේ තමන් එක්ක ඉන්න මනුස්සයෙක්ට හිනාවකින් සංග්‍රහ කරන එක, අනික් කෙනාත් ඕකේ නම් පොඩි කයියකට සෙට් වෙන එක වැරැද්දක් නෙවෙයි. හැබැයි බලහත්කාරයෙන් අනික් අයත් එක්ක කතා කරන්න හදන එක, පාස්පෝට් පෝලිමෙන්ම කසාදෙකුත් සෙට් කරගන්න හිතාගෙන පැණි සීන් එකේ හැසිරිලා තවත් කෙනෙක්ට කරදරයක් වෙන එක වගේ දේවල් අනුමත කරන්න බෑ. ඒ වගේම, මතක තියාගන්න. පාස්පෝට් ඔෆිස් එකේ ඉන්න නිලධාරීනුත් කරන්නේ රාජකාරියක්. එතකොට අපිට පෝලිමේ පැය හතරක් පහක් ඉන්න වුණු එකට ඒ මිනිස්සුත් එක්ක ගේම ඉල්ලන්න යන්න හොඳ නෑ. ඒ හැමෝටම ආචාරශීලී විදියට සලකලා අපේ වැඩේ කරගෙන එන්න ඕන.

හැබැයි, එතන මොකක් හරි අකටයුත්තක්, අසාධාරණයක් සිද්ධ වෙනවා දැක්කොත් – උදාහරණයක් විදියට කවුරුහරි හිතවත් කෙනෙක්ට පෝලිම පැනලා විශේෂ සැලකිල්ලකින් පාස්පෝට් හදලා දෙනවා වගේ දෙයක් වුණොත් – ඒකට විරුද්ධව කතා කරන්න කිසිසේත්ම පැකිලෙන්න එපා. අපි ඒ වැරැද්ද කරන්නෙ නැහැ වගේම, එහෙම වැරැද්දක් වෙනවා දැක්කොත් ඒකට එරෙහිව කතා කරන එක සහ අදාළ තැනකට පැමිණිලි කරන එකත් අපේ අයිතියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *