අපේ ජීවිතේ සමහර විටක ගන්නට සිද්ධ වෙන අසීරුම තීරණ කීපයක්!

Toughest decisions you may have to make in your life

ඇත්තටම ජීවිතේ කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි කියලා, ජීවිත කාලයෙන් හතරෙන් එකක් හරි මේ වෙනකොට ජීවත් වෙලා ඉන්න අය දන්නවා. පුංචි කාලේ ගොඩක් අයට එහෙම අසීරු තීරණ ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ජීවිතේ ගොඩක් දුරට ඔටෝපයිලට් යනවා. තමන්ගේ දෙමව්පියෝ, භාරකාරයෝ අපිව බලාකියාගන්නවා. හැබැයි අපි වැඩිහිටි ජීවිතේට පය තියනකොට, මේ කියන විදියේ අසීරු තීරණ ගන්න වෙන අසීරු අවස්ථාවන් මතුවෙනවා.

දැන් එහෙම අවස්ථාවකදී හරිම තීරණය ගන්නේ කොහොමද? ආන්න ඒක තමයි කාරණාව. හරිම තීරණය කියලා එකක් නෑ. අපි ඇත්තටම එහෙම මොහොතකදී ගන්න ඕන වඩාත්ම ප්‍රායෝගික, වඩාත්ම ඵලදායී, අඩුවෙන්ම හානිකර තීරණය. ඒක අපි කැමති තීරණය නොවෙන්න පුලුවන්. හැබැයි අපි අපේ ජීවිතේ අත්දැකීම් එක්ක, සමහර වෙලාවට අපි වටේ ඉන්න අයගේ අත්දැකීම් එක්ක තමයි ඔය කියපු තීරණය ගන්නේ. හැබැයි එහෙම අසීරු තීරණ ගන්න වෙන අවස්ථා අපේ ජීවිතේ මතුවෙනවා කියලා කලින්ම දැනගෙන ඉන්න එකෙන්, එහෙම අවස්ථාවන් ආපුවහම අපිට කලබල වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපිට පෙර සූදානමකින් ඉන්න හැකියාව ලැබෙනවා. ආන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ ටික ලියන්නේ.

01. මට වෙන්න ඕනෙ කවුද?

Toughest decisions you may have to make in your life

දැන් අපි පුංචි කාලේ කවුරුහරි ඇහුවහම “පුතාට/දුවට ලොකු වෙලා කවුරු වෙන්නද ඕනේ?” කියලා, අපිට ඒකට කියන්න දහසක් දේවල් තියෙනවා. “මට අජටාකාශගාමියෙක් වෙන්න ඕන, මට දොස්තර කෙනෙක් වෙන්න ඕන, මට ඉංජිනේරුවෙක් වෙන්න ඕන” වගේ නොයෙක් දේවල්. හැබැයි ඉතින් පුංචි කාලේ ආසාවට කියන කතන්දර වගේ නෙවෙයි, අපි විශේෂයෙන්ම ඕලෙවල්, ඒලෙවල් එහෙම ඉවරවෙනකොට, අපිට ඔය වෘත්තිය අනාගතය ගැන සීරියස් විදියට හිතන්න වෙනවා. ආන්න ඒක අපි අනාගතය වෙනුවෙන් ගන්න ඕන වැදගත් සහ අමාරුම තීරණයක්. විශේෂයෙන්ම ගොඩක් දේවල් වලට දක්ෂ කෙනෙක්ට මේ තීරණය තවත් අසීරුයි. අන්න ඒ නිසා, ඒලෙවල් කරන්න පටන් ගන්න කලින්ම තමන්ට අනාගතේ වෙන්න ඕන කවුද කියලා හිතන එක තමයි හොඳ. එහෙම බැරි නම් අඩු තරමින් කැම්පස් යනකොට හරි. එතකොට, ආන්න ඒ තැනට ෆෝකස් වෙලා, තමන්ගේ ගමන පටන් ගන්න පුලුවන්!

02. හරි වෘත්තිය හරි වෙලාවට

Toughest decisions you may have to make in your life

මේකත් ඇත්තටම උඩින් කියපු කතන්දරේට සම්බන්ධයි. දැන් අපි හිතමු, ඒ ලෙවල් ඉවරවෙලා, සෙට් වෙන ස්ට්‍රීම් එකකින් කැම්පස් ගිහින්, ඊට පස්සේ ඩිග්‍රියට අදාළව හරි අදාළ නැතුව හරි සෙට් වෙන ජොබ් එකකට යනවා කියලා. මුලින් හම්බවුණු ජොබ් එකනේ. ආතල්. හැබැයි ඔය ආතල් එකේ ඔතනම දිගටම ඉන්නවා කියන්නේ, ක්‍රම ක්‍රමයෙන් අපි ඒකට හුරුවෙන්න පටන් ගන්නවා කියන එක. දැන් අර උඩින් කියපු අපිට ඇත්තටම වෙන්න ඕන කෙනා කවුද වගේ සීන් නෑ. මේ ජොබ් එකෙන් පඩියක් ලැබෙනවා. ඒ පඩියෙන් ජීවත් වෙලා තමන්ගෙ ආතල් එකත් ගන්න පුලුවන්. ඒ නිසා ඒකම කරගෙන ඉන්නවා කියන ලයින් එකේ ජීවිතේ යන්නේ. හැබැයි ඔහොම යනකොට එක තැනකදී හරි තේරුණොත් හොඳයි, තමන් ඇත්තටම තමන් ඇත්තටම දක්ෂ/ආස දේ නෙවෙයි කරන්නේ කියලා. එහෙම නැතිනම්, තමන්ට සාර්ථකත්වයේ ඉහළටම යන්න පුලුවන් ජොබ් එක නෙවෙයි කරන්නේ කියලා. අන්න එතකොට, එතනින් මිදිලා, අවදානමක් අරගෙන හරි තමන්ට කරන්න ආස දේ/තමන් කරන්න දක්ෂ දේ/තමන්ට සාර්ථක වෙන්න පුලුවන් දේ කරන්න තෝරගන්න ඕන. ඒක අමාරු තීරණයක්. හැබැයි ඒ තීරණේ ගන්න එක තමන්ගේ අනාගතේට වටිනවා!

03. අපි බඳිමුද?

Toughest decisions you may have to make in your life

මේක ඉතින් කොයි තරම් ජීවිතේට වැදගත්, ඒ වගේම ගන්න අමාරුම තීරණයක්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. විවාහය කියන්නේ තමන්ට අඩු තරමින් ජීවිතේ සැලකිය යුතු තරම් කාලයක් එකට ජීවත් වෙන්න පාට්නර් කෙනෙක්ව තෝරගන්න එක. හරි, දික්කසාද කියලා ජාතියකුත් ලෝකේ තියෙනවා තමයි, හැබැයි අපි කසාද බඳින්නේ, ට්‍රයි එකක් දීලා බලලා, අවුරුද්දකින් විතර බැරි වුණොත් දික්කසාද වෙනවා කියල නෙවෙයිනේ. ආන්න ඒ නිසා එතකොට විවාහ වෙන්න නම් ඇත්තටම හිතලා බලන්න කාරණා ගොඩක් තියෙනවා. ඒකෙන් ප්‍රධානතම කාරණාව තමයි දෙන්නට දෙන්නා එකට ජීවත් වෙන්න පුලුවන් තරමට අනුකූල ද, කම්පැටිබල්ද කියන එක. ඊලඟට, දෙන්නට දෙන්නා එකට ජීවත් වෙන්න ආසාවක්, පැෂන් එකක් තියෙනවද කියන එක. ඔන්න ඔය විදියට ලිස්ට් එක බොහොම දිගයි. ඉතින් ඔය හැමදේම හරියට අවබෝධ කරගෙන, ගැලපෙනවා, වැඩේ සෙට් වෙනවා කියලා ෂුවර් නං, අපිට කිසිම ගැටළුවක් නැතුව ඔය තීරණය ගන්න පුලුවන්.

එහෙම ලිස්ට් එකේ තියෙන ඒවා මොනවද කියලා ෂුවර් නැතිනම්, අපි කලිනුත් කියලා තියෙනවා කසාද බඳින්න කලින් දෙන්නත් එක්ක කතාබහ කරලා තියාගන්න ඕන දේවල් ගැන, එක කොටස සහ දෙක කොටස විදියට!

04. ලයිෆ්ස්ටයිල් චේන්ජ්!

Toughest decisions you may have to make in your life

මේක ඇත්තටම ගොඩක් දෙනෙක් තීරණය කරන්න ඕන දෙයක් කියලා පවා නොදන්න දෙයක්. දැන් අපි ජීවත් වෙනවනේ. එහෙම ජීවත් වෙනවා කියන්නේ, නාඩි වැටෙන නිසා ඔහේ ඉන්නවා කියන එක නෙවෙයි. අපිට තියෙන්න ඕන කොලිටි ඔෆ් ලයිෆ් කියලා දෙයක්. ඒ කියන්නේ ඔය බෝනොවෙන ලෙඩරෝග වලින් ජීවිතේ වැඩි කාලයක් දුක් පීඩා විඳින්නේ නැතුව, ජීවිතේ ගැටගහගන්න තුට්ටු දෙකක් හම්බු කරගන්න හරක් වගේ මැරෙන්නේ නැතුව, තමන්ට ජීවිතේට වුවමනා ආස දෙයක් කරලා කියලා, හිතේ සැනසිල්ලක් ඇතුව ජීවත් වීම කියන එක. අන්න ඒක කරන්න නම්, ගොඩක් වෙලාවට අපිට දැන් ජීවත් වෙන ක්‍රමය වෙනස් කරගන්න වෙනවා. උදාහරණයක් විදියට, අපිට නාස්තිකාර පුරුදු තියෙනවා නම්, ඒවා අතාරින්න වෙනවා. අපේ ජීවිතේ කොලිටි එක ලබාගන්න කරන්න ඕන දේවල් කරන්න තරමට අපිට ආදායම මදි නම්, ආදායම වැඩිකරගැනීම සහ අනවශ්‍ය වියදම් අඩු කරගැනීම කියන තැනට යන්න වෙනවා. වෙන එකක් තියා, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අපි දැන් ඉන්න සෞඛ්‍ය සම්පන්න නොවෙන ජීවන රටාව වෙනස් කරගැනීම පවා කරන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ගොඩක් දෙනෙක් මේ දේවල් කරන්න තීරණය ගන්නෙ නෑ. ඒ අය හිතනවා, මේවා ලොකු ලොකු තීරණ කියලා. උදාහරණයක් විදියට, සෞඛ්‍ය වෙනුවෙන් ගන්න ඕන තීරණය ජිම් එකට යෑම වගේ සීන් එකක් කියලා. ඇත්තටම ඊට කලින් අපිට වේලාසන නිදාගැනීම, ආහාරපාන සමබල විදියට ගැනීම වගේ සරල තැන් වලින් පටන් ගන්න පුලුවන්. ආන්න ඒකට ගන්න තීරණයත් බොහොම වැදගත්!

05. දෙන්නා තුන්දෙනෙක් වෙමුද?

Toughest decisions you may have to make in your life

මේකත් ජීවිතේ අතිශයින්ම වැදගත්, ඒ වගේම අතිශයින්ම පරිස්සමෙන් තීරණය කරන්න ඕන දෙයක්. ඒ තමයි දරුවෙක් හැදීම. සමහරු ඉන්නවා, හිතාගෙන ඉන්නේ දරුවා පුංචි කාලේ කොහොම හරි කරලා බලාකියාගත්තට පස්සේ, උන් කොහොමහරි හැදෙයි කියලා හිතන. ඒ කියන්නේ ඔය පූස් පැටවු, බලු පැටවු වගේ හැදෙයි කියලා. ඇත්තටම නෑ. දරුවෙක් මේ ලෝකෙට ගේනවා කියන්නේ, දෙන්නෙක් එකතුවෙලා, හරියට සැලසුම් කරලා කරන්න ඕන දෙයක්. මොකද අපිට තව ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න බෑ. අපිට ඒ දරුවා වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් වැය කරන්න බැරි නම්, අපිට ඒ දරුවා වෙනුවෙන් වියදමක් කරන්න වත්කමක් නැති නම්, ඒ මොකුත් නොහිතා දරුවෙක් හදලා, ඒ දරුවගේ ජීවිතෙත් කාලකණ්ණි කරන එක බොහොම නරක වැඩක්. මේ කියන්නෙ දරුවෙක් හදන්න නම් අපේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා, අපි සල්ලිකාරයොත් වෙලා, රටත් සුඛිත මුදිත වෙනකල් ඉන්න ඕන කියන එක නෙවෙයි. දරුවෙක් හැදුවට පස්සේ ඒ දරුවගේ අනාගතේ සම්බන්ධයෙන් එන්න පුලුවන් ප්‍රශ්න ගැටළු හැම දේකටම, තමන්ට හැකි උපරිමයෙන් ඉදිරිපත් වෙන්න සැලසුම් හදාගෙන තමයි ඒ තීරණය ගන්න ඕන කියන එක!

06. අත් හැරීම

Toughest decisions you may have to make in your life

මේක ඉතින් ඔය සෑහෙන්න ආගම් වල, දර්ශනයන් වල තියෙන ගැඹුරු කාරණාවක්නේ. එච්චර දුර යන්න ඕන නෑ. අපේ ජීවිතේ අපි ගත කරනකොට, අපිට යම් යම් දේවල් අත්හරින්න සිද්ධ වෙනවා. හැබැයි අපි ඒ අත්හරින තීරණය ගන්න බැරුව සෑහෙන්න දුක් විඳිනවා, එල්ලිලා ඉන්නවා. උදාහරණ කිහිපයකින් පැහැදිලි කරගමු. අපිට වෙන විකල්පයක් නෑ, රට යන්න වෙනවා කියන තැනට ආවොත්, අපිට ඒ තීරණය අරන්, මේ රටේ තියෙන දේවල් අත්හරින්න පුලුවන්ද? අපේ ජීවිතේට විෂ එකතු කරන යාළුවෙක් හිටියොත්, තවදුරටත් මෙයාව තියාගෙන තමන්ගේ ජීවිතේට හානියක් කරගන්නෙ නැහැ කියලා හිතලා, එයාව අත්හරින්න පුලුවන්ද? අපේ සමීපතමයෙක් මරණාසන්න වෙලා නම්, ජීවිතේ හැටි මෙහෙමයි කියලා හිත හදාගෙන එයාව අත්හරින්න පුලුවන්ද? අපේ දරුවෙක් දීග දුන්නට පස්සේ, එයාට දැන් වෙනම ජීවිතයක් තියෙනවා, මම දෙමාපියෙක් විදියට එයාගෙ ජීවිතේට ඕනෑවට වඩා ඇඟිලි ගහන්න හොඳ නෑ කියලා හිතලා, එයාව අත්හරින්න පුලුවන් ද? මේ ඇත්තටම ජීවිතේ දේවල් අත්හරින්න වෙන අවස්ථා ගැන උදාහරණ කිහිපයක් පමණයි. කොටින්ම කියනවා නම්, අපිට එක තැනකදී අපේ ජීවිතය පවා අත්හරින්න සිද්ධ වෙනවා. ආන්න ඒ නිසා, හරි තැනදී අවශ්‍ය දේ අත්හරින එකත්, අපිට ජීවිතේ ඇතුළේ විටින් විට ගන්න සිද්ධ වෙන බොහොම වැදගත් තීරණයක්!

07. මගෙ සත දෙක මේකයි!

Toughest decisions you may have to make in your life

මේක ඇත්තටම ගොඩක් අය අමාරු තීරණයක් කියලා නොහිතන දෙයක්. ඒ තමයි, තමන්ගේ මතය, අදහස නැතිනම් ඔපීනියන් එක ලබාදෙන්න ඕන කොතැනකදීද කියලා තීරණය කරන එක. විශේෂයෙන්ම මේ සෝෂල් මීඩීයා යුගයේ හැමෝම හැමදෙයක් ගැනම ඔපීනියන් දෙන්න, අදහස් හෝ මතයන් දක්වන්න සැදීපැහැදී ඉන්නේ. නරකම දේ තමයි, ගොඩක් දෙනෙක් මෙහෙම අදහස් දක්වන්නේ, අදහස් දක්වන දේ ගැන හරියට දැනුමක් ඇතුවත් නෙවෙයි. එතකොට ගොඩක් වෙලාවට එහෙම දක්වන අදහස් පිරිසක් අතරට ගියත්, ඒකෙන් වැරදි අවබෝධයන්, වැරදි වැටහීම් ඇතිවෙන්න පුලුවන් ඉඩ වැඩියි. ඒ වගේම, සමහර වෙලාවට ඒ අපි අදහස් දක්වන දේ ගැන හරියටම දන්න අය එතන හිටියොත්, අපි බයිට් එකක් වෙන්න, ජෝක් එකක් වෙන්න පුලුවන්. ආන්න ඒ නිසා, අපි මතයක් දක්වන්න ඕන කොයි මොහොතේ කොයි දේ සම්බන්ධයෙන්ද කියලා තීරණය කරන එකත් සෑහෙන්න වැදගත්!

08. අලුත් දෙයක් පටන් ගමුද?

Toughest decisions you may have to make in your life

මෙන්න මේක ගොඩක් දෙනෙක්ට ජීවිතේ ගන්න අතිශයින්ම අමාරු තීරණයක්. ඒ තමයි, අලුත් දෙයක් පටන් ගන්නේ කොයි වෙලාවටද කියන එක. ඇත්තටම වෙන්නේ ගොඩක් දෙනෙක් අලුතින් දෙයක් පටන් ගන්න අවශ්‍ය වෙලාවෙදී පටන් ගන්නෙ නෑ. ඒ වෙනුවට වැඩේ අදිනවා, කල් දානවා, අල්ල අල්ල ඉන්නවා. අන්තිමට පටන් ගත්තු වැඩකුත් නෑ, ගතවුණු කාලේ ආයෙ ගන්නත් නෑ. මේකට ගොඩක්ම වෙලාවට හේතු වෙන්නේ, කම්මැලිකම, වැඩ කල්දැමීම, අලුතින් දෙයක් පටන් ගන්න තියෙන බය වගේ දේවල්. ආන්න ඒ නිසා, දෙයක් කරන්න පටන් ගන්න, අලුතින් දෙයක් කරන්න හොඳම වෙලාව මොකක්ද කියන තීරණය සහ ඒක පටන් ගන්නවා කියන තීරණය අතිශයින්ම අමාරුයි, හැබැයි ඒ තීරණය ප්‍රමාද නොවී ගන්නවා කියන එක හිතාගන්න බැරි විදියට ජීවිතේට වාසියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *