දැන් කාලේ අපි කාටවත් ලැප්ටොප් හෝ ස්මාට්ෆෝන් හෝ ටැබ්ලට් කම්පියුටර් කියන්නේ පුදුමයක් නෙවෙයිනේ. අපි මේ වෙනකොට දිනපතා, එදිනෙදා මේ උපාංග පාවිච්චි කරන්න පටන් අරගෙන ඉවරයි. හැබැයි ඉතින් ස්මාට්ෆෝන් එක හෝ ලැප්ටොප් එක කියන්නේ අපේ එදිනෙදා වෘත්තිය වැඩ කටයුතු වලට නැතිනම් ඉගෙනුම් කටයුතු වලට අත්‍යවශ්‍ය වෙන උපාංග වුණත්, තාමත් අපි ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවෙනේ. ඉතින්, ලැප්ටොප් එකක් ගන්න එක විතරක් නෙවෙයි, ඔය කියපු වැඩ කරදරයක් නැතුව කරගන්න පුලුවන් ස්මාට්ෆෝන් එකක් ගන්න එක පවා තාමත් හැමෝටම පහසු නෑ. විශේෂයෙන් මේ දවස් වල, රුපියල් පනස්දාහක් එකපාර දීලා ස්මාට්ෆෝන් එකක් ගන්න ලේසියෙන් කෙනෙක්ට බෑ. ඉතින් එහෙම තියෙනකොට, ලැප්ටොප් එකක් සහ ස්මාට්ෆෝන් එකක් තියෙන කෙනෙක්, තව ටැබ්ලට් කම්පියුටර් එකකුත් ගන්න ලේසියෙන් පෙළඹෙන්නෙ නැහැනේ.
ඇත්තටම මූල්‍ය ලැප්ටොප් එකක් සහ ස්මාට්ෆෝන් එකක් තියෙන කෙනෙක්, තව ටැබ්ලට් කම්පියුටර් එකකුත් ගන්න පෙළඹෙන්නෙ නැති තව හේතුවක් තියෙනවා. ඒ තමයි, ලැප්ටොප් එකකින් සහ ස්මාට්ෆොන් එකකින් කරගන්න බැරි, ටැබ්ලට් එකකින් කරගන්න පුලුවන් වැඩේ මොකක්ද කියලා හිතන එක. එතකොට, එහෙම අත්‍යවශ්‍ය කමක් නැති උපාංගයකට ලොකු ගාණක් වියදම් කරන්න මධ්‍යම පංතියේ හෝ ඊට පහළින් ඉන්න කෙනෙක් කිසිසේත්ම පෙළඹෙන්නෙ නෑ. ඒක තමයි ඇත්ත.
හැබැයි ඇත්තටම ලැප්ටොප් එකක් සහ ස්මාට්ෆෝන් එකක් තිබුණත්, තව ටැබ්ලට් කම්පියුටර් එකකුත් තියෙන එකේ වාසි තියෙනවා. ටැබ් එකකින් විශේෂයෙන් කරගන්න පුලුවන් දේවල් තියෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ප්‍රයෝජන කීපයක් ගැන.
01. සෙකන්ඩ් ස්ක්‍රීන් එකක්
ගොඩක් වෙලාවට දැන් කාලේ කම්පියුටර් එක සීරියස් විදියට වැඩකටයුතු වලට පාවිච්චි කරන අය, කම්පියුටර් එකේ තියෙන ස්ක්‍රීන් එකට අමතරව තව ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා. ඒකෙන් හිතාගන්න බැරි විදියට තමන්ගේ වැඩ කරන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන් කියන එක බොරුවක් නෙවෙයි. ඒක අවබෝධ කරගන්න, අමතර ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා බලන්නම ඕන. හැබැයි ඉතින් අමතර මොනිටර් එකක් ගන්න එකත් ලේසි නැහැනේ. හැබැයි තමන් ගාව දැනටමත් ටැබ්ලට් කම්පියුටර් එකක් තියෙනවා නම්, ඒක තමන්ගේ කම්පියුටර් එකට සම්බන්ධ කරලා, දෙවෙනි ස්ක්‍රීන් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්.
02. අමතර කම්පියුටර් එකක්
දැන් අපි කියමු අපේ ලැප්ටොප් එකට සෙකන්ඩ් ස්ක්‍රීන් එකකුත් ගහලා අපි වැඩ කරනවා කියලා. හැබැයි ඒකෙන් අපේ වැඩ කරන කාර්යක්ෂමතාවය වැඩි වුණාට, කම්පියුටර් එකේ බලය වැඩිවෙන්නෙ නෑ. එතකොට ඔය අනික් වෙබ් බ්‍රවුසර්, වර්ඩ්, ෆොටෝෂොප් වගේ නානාවිධ මෘදුකාංග වලින් වැඩ කරන අතරේම, ඉහළ රැම් බලයක් ඉල්ලන මයික්‍රොසොෆ්ට් ටීම්ස් වගේ එකක් එක්කත් නිරන්තරයෙන්ම වැඩ කරන්න වෙනකොට, විශේෂයෙන්ම අලුත් මාදිලියේ ලැප්ටොප් එකක් නෙවෙයි නම්, ෆ්‍රීස් වෙන්න එහෙම තියෙන ඉඩ වැඩියි. එතකොට වෙන්නේ අපේ වැඩ කරන කාර්යක්ෂමතාවයත් අඩු වෙන එක. ඒකට හොඳ පිළිතුරක් තමයි, ටීම්ස් වගේ දේවල් සම්පූර්ණයෙන්ම ටැබ් එකේ රන් කරන එක. එතකොට ප්‍රශ්නයක් එනවා, අපිට ටීම්ස් එකට දාන්න ඕන ලියන කියන දේවල් ටැබ් එකකින් කරනවට වඩා කම්පියුටර් එකෙන් කරන එක පහසුයි කියන එක. ඒකටත් උත්තරයක් තියෙනවා. අපිට පුලුවන් ඔය Google Keep, Samsung Flow වගේ උපාංග දෙක සම්බන්ධ කරන්න පුලුවන් යෙදුම් පාවිච්චි කරන්න. නිදසුනක් විදියට, Samsung Flow ඇප් එකට පුලුවන් වයිෆයි හෝ බ්ලූටූත් හරහා, අපි ලැප්ටොප් එකේ ලියන දෙයක් තත්පරෙන් ටැබ් එකට යවන්න!
03. කමියුනිකේෂන් සෙන්ටර් එකක්
මේකත් උඩ කියපු කාරණාව එක්කම යනවා. දැන් අපිට තියෙන මැෂින් එක ඒ තරම් නවීන දෘඩාංග බලයක් නැති එකක් නම්, වැඩ කරන්න අවශ්‍ය මෘදුකාංගයි, තව අනං මනං ඔක්කොමයි රන් කරන්න අමාරුයි. ආන්න එතකොට, අපිට පුලුවන් ටැබ් එක සම්පූර්ණයෙන්ම කමියුනිකේෂන් සෙන්ටර් එකක් බවට පරිවර්තනය කරගන්න. ඒ කියන්නේ ෆෝන් එක තියාගන්නවා කෝල්ස් අනං මනං වලට විතරක්. ටැබ් එක පාවිච්චි කරනවා සම්පූර්ණයෙන්ම සෝෂල් මීඩියා වැඩ කටයුතු වලට, එහෙම නැතිනම් වෙනත් කමියුනිකේෂන් වැඩ වලට. ඕන නං ඔය සිංදුවක් ස්පොටිෆයි එකේ අහන්න, යූටියුබ් එකෙන් අවශ්‍ය දෙයක් බලන්න එහෙමත් ටැබ් එක පාවිච්චි කරනවා.
04. නෝට් ගන්න මැසිමක්
දැන් ඔය නෝට් ගන්න වැඩේ තියෙනවනේ. ඕක අපිට අවශ්‍ය වෙන්නේ මොන වෙලාවටද? මීටින් එකක් නම්, මීටින් මිනිට්ස්, ඒ කියන්නේ රැස්වීමේ වාර්තා ගන්න ඕන. ඒ ඇරෙන්න මීටින් එකකදී තමන්ට අදාළ සහ වැදගත් කරුණු වල නෝට්ස් තියාගන්න එක වටිනවා. එතකොට ලෙක්චර් එකකදී නෝට්ස් ගන්න එක වැදගත්. ඒ විතරක් නෙවෙයි, වෙනත් ඕනම වැදගත් වැඩකදී අදාළ වෙන වැදගත් කරුණු සහ තොරතුරු සිහියේ තියාගන්න උත්සාහ කරනවට වඩා, ඒවා නෝට්ස් විදියට තියාගන්න එක අතිශයින්ම වැදගත්. දැන් ඔය නෝට්ස් තියාගන්න එක අතින්, නෝට්බුක් එකක කරන එක තමයි අපි මේ වෙනකල් පුරුදු වෙලා හිටපු විදිය. හැබැයි අපිට ඒකට නවීන කාලේ තාලෙට ටැබ්ලට් කම්පියුටර් එක පාවිච්චි කරන්න පුලුවන්. විශේෂයෙන්ම ඔය ස්ටයිලස් පෙන් උපාංගයකට සපෝට් කරන ටැබ් එකක් නම්, අපිට අවශ්‍ය කරන දේවල් ස්ක්‍රීන් එකේ ලියලම රෙකෝඩ් කරගන්න පුලුවන්. අන්න ඒක ස්මාට්ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි කරනවට වඩා, ටැබ් එකෙන් කරන එක කාර්යක්ෂමයි! අවශ්‍ය මොහොතකදී රූපසටහන් එහෙමත් ඇඳලා නෝට් ලියාගන්න එහෙමත් ටැබ් එකක් සෑහෙන්න ප්‍රයෝජනවත්!
05. ඕන දෙයක් අඳින්නත් පුලුවන්
ඇත්තටම ස්ටයිලස් එකක් එක්ක පාවිච්චි කරන්න පුලුවන් ටැබ් එකක තියෙන සුවිශේෂී ප්‍රයෝජනයක් තියෙනවා. ඒ තමයි, නිර්මාණශීලී මෙවලමක් විදියට ඒක පාවිච්චි කරන්න පුලුවන් හැකියාව. මේක ඔය ආටිස්ට්ලට, ඩිසයිනර්ස්ලට එහෙම ප්‍රයෝජනවත්. හැබැයි එහෙම තමන්ට ආට් වැඩ, ඩිසයින් වැඩ බැරි වුණත්, ඒත් තමන්ට ස්ටයිලස් එකක් එක්ක එන ටැබ් එකකින් ඔය නිර්මාණශීලී වැඩ වලට උදව් වෙන ඇප්ස් අතපත ගාලා, තමන්ට පොඩියට හරි ඩිසයින් වැඩක් කරගන්න බැරි නෑ. එතකොට ඔය කාටූන් අඳින්න කැමති අයට, ඩූඩ්ල් අඳින්න කැමති අයට විතරක් නෙවෙයි, අර මනසට විවේකයක් ලබාගන්න මණ්ඩල පාට කරන්න එහෙම ආස අයට වුණත්, ටැබ් එකක් ක්‍රියේටිව් ටූල් එකක් විදියට සාර්ථකව පාවිච්චි කරන්න පුලුවන්. අපි මීට කලින් කියපු ස්මාට්‍ෆෝන් එකෙන් ග්‍රැෆික් නිර්මාණය කරන්න ගැලපෙන ඇප්ස් වුණත්, මේ වැඩේට ටැබ් එකකින් ට්‍රයි කරලා බලන්න පුලුවන්.
06. කාර් ඩෑෂ්බෝඩ් එකක්
ඔය නවීනතම කාර් වල එහෙම දැකල ඇතිනේ සම්පූර්ණයෙන්ම ඩිජිටල් විදියට හැමදේම තියෙනවා. විශේෂයෙන්ම ඩෑෂ්බෝඩ් එකේ තියෙන ඩිස්ප්ලේ එකෙන් තමන්ට ඕන කරන මියුසික් තෝරන එකේ ඉඳන්, ජීපීඑස් සහිත මැප් එකක් දක්වා හැමදෙයක්ම කරගන්න පුලුවන්. දැන් අපි ගාව තියෙන අළුත්ම පන්නයේ වාහන වල වුණත්, එහෙම ඩිස්ප්ලේ එකක් එහෙම තිබ්බට, උඩ කියපු තරම් ඇඩ්වාන්ස්, ඉන්ටර්ග්‍රේටඩ් ඩෑෂ්බෝඩ් විදියට නම් එව්වා වැඩකරන්නෙ නෑ. හැබැයි මේ අළුත් පන්නයේ වාහන වල තියෙන වාසියක් තමයි, ඒ තරම් ඇඩ්වාන්ස් නොවුනත්, සෑහෙන්න දුරට මේ වාහනත් ඩිජිටල්. ආන්න ඒක නිසා, ඕන නම්, තමන්ගේ ටැබ් එක පාවිච්චි කරන්න පුලුවන් ඉන්ටර්ග්‍රේටඩ් කාර් ඩෑෂ්බෝඩ් එක විදියට. ඒක ඩෑෂ්බෝඩ් එකට හයිකරන එක නම් ලොකු වැඩක් නෙවෙයි, ඊට පස්සේ තියෙන්නේ තමන්ට ඒකට වැදගත් වෙන ඇප්ස් එහෙම එක්ක සම්පූර්ණ සෙටප් එකක් බවට ඒක පත් කරගන්න එක තමයි.
07. ඊ-රීඩර් එකක්
සාමාන්‍යයෙන් ඔය ඊබුක්ස් කියවන්න පාවිච්චි කරන්නේ ඊ-රීඩර්ස් තමයි. ජනප්‍රියම ඊ-රීඩර් එකක් විදියට හඳුන්වන්න පුලුවන් කින්ඩ්ල් උපාංග. මෙතනදී විශේෂ වෙන්නේ කින්ඩ්ල් එකේ තනි අතට ගැලපෙන හුරුබුහුටි නිමාව විතරක් නෙවෙයි, ඇස් වලට ඇත්ත පොතක කොළයක් කියවනවා වගේ පහසුවක් ලබාදෙන ඊ-ඉන්ක් තිරයත් මෙතනදී වැදගත්. කොහොම නමුත්, දැන් විවිධ ඊ-රීඩර් ඇප්ස් තියෙනවා, සියේට සීයක් නොවුණත්, ඊ-ඉන්ක් තිරයක් අනුකරණය කරලා, සාපේක්ෂව කම්පියුටර් එකක හෝ ස්මාට්ෆෝන් එකක ඩිස්ප්ලේ එකකින් ඊබුක් එකක් කියවනවාට වඩා පහසුවක් ඇස් වලට ලබාදෙන්න පුලුවන් විදියට ඩිස්ප්ලේ එක ඊ-බුක් රීඩර් ඩිස්ප්ලේ එකක් බවට පත් කරන්න පුලුවන්. හැබැයි ඉතින් ස්මාට්ෆෝන් එකක් ඊබුක්ස් කියවන්න පමණට වඩා කුඩායි, කම්පියුටර් එකක් ඒකට පමණට වඩා විශාලයි කියන කාරණාව අතහරින්නත් බෑ.
හැබැයි ආන්න එතනදී, ටැබ්ලට් කම්පියුටර් එකක් කියන්නේ ඊ-රීඩර් එකක් තරම් හුරුබුහුටි නොවුණත්, ඒ ලඟටම එන උපාංගයක්. හරි, තනි අතකින් ටැබ් එකක් අල්ලගෙන පොතක් කියවන්න බැරි වෙන්න පුලුවන්, හැබැයි වඩා පහසුවෙන් උකුළ උඩ තියාගෙන හරි, මේසයක් උඩ හිටවගෙන හරි ඊබුක් එකක් කියවන්න ටැබ් එකක් පාවිච්චි කරන්න පුලුවන්!
දැන් ඔය වැඩ වලට ගැලපෙන, තමන්ගේ බජට් එකටත් ගැලපෙන ටැබ්ලට් කම්පියුටර් එකක් තෝරගන්නේ කොහොමද? ආන්න ඒ ගැන අපි ඉස්සරහ දවසකදී කියනවා.
Leave a Reply