තනියෙන් ට්‍රැවල් කරන එකේ තියෙන වාසි මේවා තමයි!

Benefits of solo traveling

දැන් ඔය සංචාරය කරනවා කියන්නේ මොකක්ද හැබෑටම? සරලවම කියනවා නම්, එක තැනක ඉඳන් තව තැනකට ගිහින්, ඒ ගමන එන්ජෝයි කරන එකට සංචාරය කියලා කියන්න පුලුවන්. සරලව කිව්වොත්, ඔය ට්‍රිප් යනවා කියන්නෙ? ඒකත් සංචාරයම තමයි. කොහොම වුණත්, ඔය සංචාරය කරන්න පුලුවන් විවිධ ක්‍රම තියෙනවා. එක්කෝ ගමේ ආච්චිලා සීයලා හැමෝම සෙට් කරගෙන වන්දනා ගමනක් විදියට යන්න පුලුවන්. ඉස්කෝලේ ළමයි ටික සෙට් වෙලා අධ්‍යාපන චාරිකාවක් වගේ යන්න පුලුවන්. නැත්නම් යාලුවෝ සෙට් එකත් එක්ක ට්‍රිපක් යන්න පුලුවන්, ගෙදර අම්මලා තාත්තලා නැන්දලා මාමලා අයියලා අක්කලා එක්ක පවුලේ විනෝද චාරිකාවක් යන්න පුලුවන්. නැතිනම් තමන්ට මෙව්ව එකක් තියෙන, එහෙම නැතිනම් පිළිබඳ හිතක් තියෙන එයාවත් සෙට් කරගෙන, දෙන්නත් එක්ක සංචාරයක් යන්න පුලුවන්. ඔය එකක්වත් නැතිනම්, තමන්ට තනියෙන් ට්‍රිප් එකක් යන්නත් පුලුවන්!

දැන් ඔය තනියෙන් ට්‍රිප් යන එක, ඒ කිව්වේ තනියෙන් ට්‍රැවල් කරන එක, සංචාරයක යෙදෙන එක කොයි තරම් ආතල්ද? ඒකට ඉතින් එක එක කෙනා විවිධ පිළිතුරු දෙයි, තමන්ගේ කැමැත්තේ හැටියට. හැබැයි, තනියෙන් සංචාරය කරන එකේ සෑහෙන්න වාසි තියෙනවා කියන එක නම් අපිට පිළිගන්නම වෙනවා. ඉතින් අපි මුලින් තනියෙන් ට්‍රැවල් කරන එකේ තියෙන වාසි ටික කියලා ඉන්නං. ඊට පස්සේ ඔයාලම තීරණය කරන්න ඊලඟ ට්‍රිප් එක කොහොමද යන්නේ කියලා!

01. තමන්ට ඕනදේ තමන්ගේ තීරණයෙන්

Benefits of solo traveling

තනියෙන් ට්‍රැවල් කරනකොට තියෙන ප්‍රධාන වාසියක් තමයි, තමන්ට ඕන විදියට ට්‍රැවල් කරන්න තියෙන හැකියාව. ඒ කියන්නේ, සෙට් එකක් යනකොට වුණත්, අඩු තරමින් දෙන්නෙක් ට්‍රැවල් කරනකොට වුණත් හිතුමනාපේ තීරණ ගන්න බෑ. හැබැයි තනියෙන් නම් යන්නේ, කොහෙද නවතින්නේ, කීයටද රෑට කන්නේ, හෙට කීයටද නැගිටින්නේ, කොහේ බලන්නද යන්නේ, බස් එකේද කෝච්චියේද යන්නේ වගේ කිසිම දෙයක් ගැන තව කෙනෙක්ගෙන් ඔපීනියන් ගන්න දෙයක් නෑ. තමන්ට ඕන දේ, හොඳම විදිය මොකක්ද කියලා බලලා, තමන්ම තීරණය කළා, ඒ තීරණය ක්‍රියාත්මක කළා, එච්චරයි.

ඇත්තටම මෙහෙම තමන්ට යන එන තැන් වල ඉඳලා ට්‍රිප් එකේ හැමදෙයක් ගැනම තීරණය කරන්න තියෙන එක කොයි තරම් හොඳද කියලා හිතෙන්න නම්, සෙට් එකත් එක්කම ට්‍රිප් එකක් යන්න සෙට් වෙන්න ඕන. ආයෙ ඉතින් දවල්ට කන්නේ කොහෙන්ද කියලා, සෙට් එකේ හැමෝගෙන්ම අහලා, විකල්ප වලට මනාපේ පළ කරලා, වැඩිම මනාපය මොකකටද කියලා බලලා තීරණය කරන්නම දවස් දෙකක් විතර යනවා.

02. අළුතෙන් මිනිස්සු මුණගැහෙන්න ලේසියි

Benefits of solo traveling

 

දැන් හිතන්න අපි සෙට් එකක් එක්ක හරි, අඩු ගාණේ දෙන්නෙක් සෙට් වෙලා හරි ට්‍රිප් එකක් යනකොට, අපේ අවධානය සියේට සීයක්ම බාහිර ලෝකයට ලැබෙන්නෙ නැහැනේ. ඒ කියන්නේ, අවට බලන්න, ට්‍රිප් එක එන්ජෝයි කරන්න යම් අවධානයක් යොමු වෙනවා තමයි. හැබැයි ඊට එහා ලොකුවට බාහිර ලෝකයට අවධානය යොමු කරන්න අමාරුයි. මොකද, අපිත් එක්ක යන අනික් සෙට් එකට හරි එක්කෙනාට හරිත් අවධානය දෙන්න ඕන. හැබැයි තනියම යනකොට එහෙම සීන් නැහැනේ. සෑහෙන්න බාහිර ලෝකයට අවධානය දෙන්න පුලුවන්. ඒ කියන්නේ වටාපිටාවේ ඉන්න, අළුතෙන් අඳුනගන්න මිනිස්සුන්ටත් අවධානය දෙන්න පුලුවන්. නිකමට හිතන්න, දුර පැත්තක තනියෙන් ට්‍රිප් එකක් යනකොට හම්බුවෙන තේ කඩේක මුදලාලි කෙනෙක් එක්ක කයියක් ගහන්න, ඒ පැත්තෙම ට්‍රිප් එකක් ආපු තව ඩයල් එකක් එක්ක සුහද කතාබහක යෙදෙන්න, පාරෙදි නැතිනම් බස් එකේදී හම්බුවෙන ඒ පැත්තේ කෙනෙක් එක්ක පොඩි සංවාදයක යෙදෙන්න පුලුවන්ද ඩබල් දාලා හරි සෙට් දාලා හරි ආපු ට්‍රිප් එකක? බෑනේ. අන්න ඒකයි.

03. සාපේක්ෂව මුදල් ඉතුරුයි

Benefits of solo traveling

මේක සරල කාරණයක්. දෙන්නෙක් ට්‍රිප් එකක් ගියොත් අයිස්ක්‍රීම් දෙකක් ගන්නවනේ. ගොඩක් වෙලාවට ඒකට ගෙවන්නෙ එක්කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් පස් දෙනෙක් ට්‍රිප් එකක් ගියොත් අයිස්ක්‍රීම් පහක් ගත්තත්, පස් දෙනාම ගොඩක් දුරට ෂෙයාර් කරයි. එතකොට තනියෙන් ගියත් එකම ගාණ, සෙට් වෙලා ගියත් එකම ගාණ කියලා හිතෙනවා නේද? හැබැයි ඔතන තව කාරණයක් තියෙනවා. දැන් තනියෙන් ට්‍රිප් එකක් යනකොට, තමන්ගේ අතේ තියෙන ගාණ, තමන්ගේ බජට් එක අනුව ගණන් බලලා, වියදම් කරන්න පුලුවන්. හැබැයි කීපදෙනෙක් ට්‍රිප් එකක් යනකොට එහෙම බෑ. සමහර විට අපි තනියෙන් ගිහින් විශ්‍රාම ශාලාවක රෑ නවතින්න ඕකේ වුණත්, සෙට් එකක් යනකොට දෙන්නෙක්වත් ඉන්න පුලුවන් හොටෙල් එකක ඉන්න ඕන කියන. එතකොට කන බොන එකේදී වුණත්, තමන්ට තමන්ගේ බජට් එකේ හැටියට වියදම් කරන්න පුලුවන් ඉඩ අඩුයි. ආන්න ඒකයි අපි කියන්නේ, ප්‍රායෝගිකව තනියෙන් ට්‍රිප් එකක් යනකොට පොකට් එකට වාසියි කියලා!

04. නිදහස වැඩියි

Benefits of solo traveling

මේක ඉතින් ගොඩක් අය පිළිගන්නෙ නැති කාරණාවක්. මෙතන අපි නිදහස කියලා කියන්නේ, සෙට් එකක් එක්ක ඉන්නකොට ගොඩක් වෙලාවට අපි කරන්නෙ නැති, හැබැයි තනියෙන් ඉන්නකොට කරල බලන්න අවුලක් නෑ කියල හිතෙන දේවල් වලට. උදාහරණයක් විදියට කිව්වොත්, සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් ගියපු වෙලාවට සාමාන්‍යයෙන් අපිට ඔය ට්‍රිප් ආපු කෙල්ලෙක් ලයින් වගේ දැනුණත්, ඒක සීරියස්, ජෙනුයින් විදියට ටෝක් කරගන්න බෑනේ. සෙට් එකට දැනුණොත් ඉතින් යනකල් බයිට් තමයි. එතකොට විශේෂයෙන්ම ඔය කෙල්ලෙක් හරි කොල්ලෙක් එක්ක හරි, ඒ කියන්නේ විරුද්ධ ලිංගික පාර්ශවයේ එක්කෙනෙක් එක්ක ට්‍රිප් එකක් ආවොත් මලාට ආයෙ ලස්සන කොල්ලෙක් හෝ කෙල්ලෙක් දිහා ගොඩක් දුරට බලන්නවත් ලැබෙන්නෙ නෑ. හැබැයි ඉතින් තනියෙන් ට්‍රිප් එකක් එනව කියන්නෙ ආයෙ කාගෙ බාධාවක්ද!

05. භාෂා හැකියාවට උදව්වක්

Benefits of solo traveling

මේක ටිකක් වෙන්න බැරි කාරණාවක් වගේ හිතෙනව නේද? මෙහෙමයි. දැන් ඔයා කොළඹ ඩයල් එකක්, නුවර ට්‍රිප් එකක් යනව කියල හිතන්න එපා. හිතන්න ඔයා කොළඹ, හැබැයි මඩකලපුවේ ට්‍රිප් එකක් යනව කියලා. දැන් සෙට් එකක් එක්ක ට්‍රිප් එක යනවා නම්, ගොඩක් දුරට කතාබහ ඇතිවෙන්නේ සෙට් එක අතරේ තමයි. හැබැයි තනියෙන් ට්‍රිප් එක ගියොත්, අවට ඉන්න අය, ඒ පළාතේ මිනිස්සු එක්ක එහෙම පොඩි චැටක් දාන්න සෑහෙන්න වැඩි ඉඩක් තියෙනවා. අර දෙවෙනි පොයින්ට් එකේදී කියපු දේ තමයි. දැන් සිංහල විතරක් කතා කරන කෙනෙක්ට, දෙමළ වචනයක් දෙකක් හරි ඉගෙන ගන්න, ඒ වගේ චාන්ස් එකක් සෑහෙන්න වටිනවා. හැබැයි ඉතින් සෙට් පිටින් ට්‍රිප් ගියහම එහෙම පළාතේ මිනිස්සුත් එක්ක කතා කරන්න ලැබෙන්නෙ නෑ කියන එක අපිට පිළිගන්න වෙනවා.

06. ඕන විදියට විවේකය

Benefits of solo traveling

සාමාන්‍යයෙන් සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් යනකොට, හිතෙන හිතෙන විදියට දේවල් කරන්න ගියොත්, ට්‍රිප් එක අල වෙන්න තියෙන ඉඩ ඉතාමත්ම වැඩියි. ආන්න ඒ නිසා, සෙට් එකක් ට්‍රිප් එකක් යනකොට මුළු ට්‍රිප් එකම කලින් ප්ලෑන් කරලා තමයි යන්නේ. අද රෑ වෙනකොට නවාතැනට ගියා, හෙට උදේ අටට නැගිට්ටා, නවය වෙනකොට කාලා බීලා එලියට බැස්සා, ඊට පස්සේ අහවල් අහවල් තැන් බලන්න ගියා. ඔන්න ඔය විදියට ප්ලෑන් එකක් එක්ක තමයි සෙට් එකක් යන ට්‍රිප් එකක් සාර්ථක කරගන්න පුලුවන්. හැබැයි අපි හැමවෙලේම ට්‍රිප් එකක් යන්නේ ඇවිදින්න කරන්නම නෙවෙයි. සමහර වෙලාවට අපිට කාර්යබහුල ජීවිතෙන් මිදිලා පොඩි විවේකයක් ගන්න තමයි ඕන කරන්නේ. අන්න එතකොට තනියෙන් යන ට්‍රිප් එකකදී අපිට ඕන විදියට මේ විවේකය සැලසුම් කරගන්න පුලුවන්. මොකද, අමුතුවෙන් ප්ලෑන් එකක් පිට වැඩ කරන්න ඕන වෙන්නෙ නෑ.

මෙතන තව ප්‍රායෝගික කාරණාත් තියෙනවා. උදාහරණයක් විදියට අපි කියමු ඔන්න සීගිරිය නගිනවා සෙට් එකම ගිහින්. එතකොට, මැදක් යනකොට අපිට පාං කියාගන්න බැරි තරමට මහන්සි දැනුනත්, පඩිපෙලේ මුල්ලක වාඩි වෙලා හිතේ හැටියට ගිමන් නිවාගෙන, ඇඟට ෆිට් කියලා හිතුණු වෙලාවක ආයෙමත් නගින්න පටන් ගන්න බෑ. මොකද, සෙට් එකක් එක්ක ආවේ. යනකොටත් උන් එක්කම යන්න වෙනවා. හැබැයි තමන් තනියෙන් නම් ආවේ, ඔය විදියේ සීමා බාධක නෑ. හිතෙන තරම් වෙලා හිතෙන තැනක විවේක අරන්, හිතුණු වෙලාවට ආයෙ යන්න පුලුවන්.

07. වෙනස් සතුටක්

Benefits of solo traveling

ඇත්තටම ට්‍රිප් එකක් යනකොට වැඩියෙන්ම ආතල් තනියෙන්ද, සෙට් එකක් එක්කද, ලව් කරන කොල්ල හරි කෙල්ල හරි එක්කද වගේ කාරණා හරිම පුද්ගලානුබද්ධයි. ඒ කියන්නේ, මට තනියෙන් යන ට්‍රිප් එකක් ආතල් වුණාට, තව කෙනෙක්ට තනියෙන් යනවට වඩා සෙට් එකක් එක්ක යන එකේ ආතල් එකක් තියෙනවා වෙන්න පුලුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ කොයි කාට වුණත්, තනියෙන් ට්‍රිප් එකක් යන එකේ වෙනස් සතුටක් තියෙනවා. නිකමට හිතන්න, බැක්පැක් එකක් එල්ලගෙන, පරිසරයේ අසිරිය බලන ගමන්, තමන්ට නුපුරුදු පළාතක මිනිස්සුත් එක්කත් සුහදශීලී වෙමින් ගමනක් යන එකේ වෙනම ආතල් එකක් නැද්ද? එතකොට අර තමන් හැබෑ සංචාරකයෙක් කියන ෆීල් එක දැනෙන්නේ නැද්ද? ආන්න ඒ ෆීල් එක, ඒ හැඟීම ගන්න බැහැ සෙට් එකක් එක්ක ට්‍රිප් බැහැලා. ආන්න ඒ නිසයි අපි කියන්නේ තනියෙන් ට්‍රිප් එකක් යන එකේ වෙනම සතුටක් තියෙනවා කියලා.

08. තමන්වම හොයාගන්න වෙලාවක්

Benefits of solo traveling

මොකක්ද මේ තමන්ව හොයාගන්නවා කියන්නේ? ඇයි මීට කලින් තමන්ව හම්බෙලා තිබ්බෙ නැද්ද? මෙහෙම අහන්න පුලුවන් කෙනෙක්. ඇත්තටම තමන්ව හොයාගන්නවා කියන්නේ, තමන් ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබාගන්න එක. ඒ කියන්නේ තමන්ට ජීවිතේ ඕන මොනවද, එපා මොනවද වගේ කාරණා දැනගන්න එක. තනියෙන් ට්‍රැවල් කරනකොට, අපි එතනදී ගන්න තීරණ තීන්දු ගැන හිතලා බැලුවොත්, අපිට හිතාගන්න පුලුවන්, අපිට වඩාත් සුවපහසුවක් දැනෙන්නේ මොන විදියේ දේවල් වලින්ද, අපි අපහසුතාවයට පත් වෙන්නේ මොනවගේ දේවල් වලින්ද වගේ කාරණා.

ඒ ඇරෙන්න ඉතින් තනියෙන් ට්‍රිප් එකක් යනකොට ඉතින් හිතන්නත් වෙලාව තියෙනවනේ. ඒකත් තමන්ව හොයාගන්න ට්‍රිප් එකට වැදගත්.

දැන් මේ කියන්නේ, ට්‍රිප් එකක් යතොත් තනියම පලයං කියන එක නෙවෙයි කියලත් අපි අවධාරණය කරන්න ඕන. කොටින්ම කියනවා නම්, අපිට ජීවිතේ විවිධ අවස්ථාවලදී, ඔය පටන් ගන්නකොටම කියපු විදියේ විවිධ කණ්ඩායම් එක්ක සංචාරය කරන්න ලැබෙනවා. සමහර එව්වා නම් ඉතින් අපි කැමති වුණත් අකමැති වුණත් කරන්න සිද්ධ වෙන එව්වා. හැබැයි අපි කියන්නේ මේකයි. ඉඳල හිටල හරි තමන් තනියෙනුත් සංචාරයක් කරන්න ඕන. ඒ සෝලෝ ට්‍රැවලින් අත්දැකීමත් විඳගන්න ඕන!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *