තමන්ගේම මෝරල් කෝඩ් එකක් හදාගන්න කලින්, ඇත්තටම මෝරල් කෝඩ් එකක් නැතිනම් සදාචාර මාලාවක් කියන්නේ මොකක්ද කියන එක අපිට අවබෝධ කරගන්න වෙනවා. ඇත්තටම මෝරල් කෝඩ් එකක් කියන්නේ පුද්ගලයෙක්ට සදාචාරාත්මකව, ආචාර ධාර්මිකව හැසිරෙන්න ඉඩ සලසන, හරි වැරැද්ද මොකක්ද කියලා තීරණය කරන්න ඉඩ ලබාදෙන ප්‍රතිපත්ති, රීති මාලාවක් කියලා කිව්වොත් හරි. ඇත්තටම යම් රටක නීතියෙන්, එතකොට සංස්කෘතියෙන්, ආගමෙන් එහෙමත් මේ විදියේ සදාචාර මාලාවන් නිර්මාණය කරලා දීලා තියෙනවා. මෙතනින් තමන් ඉන්න රටේ නීතියෙන් පනවලා තියෙන හරි සහ වැරදි මාලාවට අනුගත වෙන්න ඕනම පුද්ගලයෙක්ට සිද්ධ වෙනවා. හැබැයි සංස්කෘතියෙන්, සම්ප්‍රදායෙන් සහ ආගමෙන් පනවලා තියෙන නීති රීති හෝ සදාචාරයන්ට අනුගත වෙන්නම ඕන කියලා නියමයක් නෑ. අන්න එතකොට, ඔය පැවතගෙන එන සදාචාරයන් පිළිපැදීම සහ නොපිළිපැදීම ගැටළු ඇති කරන්න මුල් වෙනවා කියන්න පුලුවන්.
උදාහරණයක් විදියට කිව්වොත්, අසල්වාසියාගේ වත්තට කුණු දැම්මොත්, ඒක නීතියෙන් විසඳන්න පුලුවන්. හැබැයි අසල්වාසියා එක්ක නිතරම ප්‍රශ්න ඇති කරගන්න එක, අසල්වැසියාට නරකට සලකන එක නීතියෙන් විසඳගන්න අමාරුයි. හැබැයි ඒක පුද්ගලයෙක්ගේ සදාචාරය ගැන ප්‍රශ්නයක්. පාරේ කුණු දැමීම වගේ එකක් වුණත් එහෙමයි.
දැන් තව ප්‍රශ්නයක් තමයි, ඔය සදාචාරය කියලා සම්ප්‍රදායෙන්, සංස්කෘතියෙන් කියලා තියෙන දේවල් කාලයත් එක්ක වෙනස් වෙනවා. උදාහරණයකට ගත්තොත්, ඉස්සර දෙන්නෙක් එකට ජීවත් වෙනවා නම් විවාහ වෙන්නම ඕන කියලා සදාචාරාත්මක නියමයක් තිබුණා. හැබැයි දැන් වෙනකොට එහෙම එකක් නෑ. ඕන නම් දෙන්නෙක්ට ලිවින් ටුගෙදර් සම්බන්ධයක් ගෙනියන්න පුලුවන්.
මෙහෙම බලනකොට, හොඳම දේ තමයි තමන්ගේම මෝරල් කෝඩ් එකක්, එහෙම නැතිනම් සදාචාර මාලාවක් නිර්මාණය කරගන්න එක. හැබැයි ඒක තමන්ට වාසි වෙන විදියට නෙවෙයි හදාගන්න ඕන. තමන්ට හරි වැරැද්ද තීරණය කරන්න පුලුවන් විදියට, තවත් කෙනෙක්ට හෝ සමාජයට හානියක් නොකර ජීවත් වෙන්න පුලුවන් විදියට තමයි ඒක හදාගන්න ඕන.
01. නීතිගරුක වෙන්න, ප්‍රායෝගික වෙන්න
අපි ඉන්න ඕනම රටක විවිධාකාරයේ නීති තියෙනවා. එතකොට අපිට බැහැ අපි ඉන්න රටේ වුණත්, අපි යන රටක වුණත් නීතිරීති වලට පිටින් වැඩ කරන්න. උදාහරණයක් විදියට ගත්තොත්, ශ්‍රී ලංකාවේ මාර්ග නීති වල සඳහන් වෙනවා මත්පැන් හෝ මත් වෙන දෙයක් පාවිච්චි කරලා, ඒකේ බලපෑම යටතේ රිය පදවන්න බැහැ කියලා. එතකොට අපි මුලින් හිතන්න ඕන ඇයි එහෙම නීතියක් තියෙන්නේ කියලා. සරලයි. එහෙම නීතියක් තියෙන්නේ රිය අනතුරු වළක්වන්න. අන්න එතකොට, අපි නීතියෙන් වගේම පුද්ගලික වගකීමෙනුත් බැඳී සිටිනවා ඒ නීතිය ආරක්ෂා කරන්න.
හැබැයි මේ අතරේ තියෙනවා යල් පැන ගිය නීති එහෙමත්. සමහර වෙලාවට එහෙම නීති වලට අපිට අධිකරණයට ගිහින් පවා අභියෝග කරන්නත් හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට, කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න තහනම් කියලා නීතියක් ලංකාවේ තියෙනවා. ඒක ක්‍රියාත්මක නොවීම වෙනම දෙයක්. හැබැයි එහෙම නීති වලට අපි ප්‍රායෝගිකව යටත් විය යුතු නැහැ.
මෙන්න මේ විදියට නීතිරීති පිළිපදින නීතිගරුක පුරවැසියෙක් වීමත්, ඒ නීතිරීති ප්‍රායෝගික මට්ටම එක්ක අවබෝධ කරගැනීමත් අවශ්‍යයි. ඒකත් තමන්ගේ මෝරල් කෝඩ් එකට එන්න ඕන.
02. කිසිම කෙනෙක්ට වරදක් හෝ කරදරයක් නෑ
මෙන්න මේක තමයි තමන්ගේ මෝරල් කෝඩ් එක හදනකොට හිතන්න ඕන ප්‍රධානතම කාරණය. ඒ තමයි, තමන්ගේ විවිධ ක්‍රියාකාරකම් වලින් තවත් කෙනෙක්ට හානියක් සිදුවෙනවද කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, අපි තව කෙනෙක්ගේ නිශ්චිත අවසරයකින් තොරව, ඒ කෙනා එක්ක බලෙන් ලිංගික ක්‍රියාකාරකම් කරන්න යන එකෙන් ඒ කෙනාට වරදක් සිද්ධ වෙනවා. අපි කෙනෙක්ගෙන් මුදල් වංචා කළොත්, ඒකෙන් ඒ කෙනාට වරදක් සිදුවෙනවා. අපි කෙනෙක්ගෙන් මුදල් වංචා කරලා ඒ මුදල් දුප්පතුන්ට බෙදා දුන්නත්, අර මූලිකවම පළවෙනි කෙනාට වරදක් වෙනවා කියන කාරණය නැති වෙන්නෙ නෑ. අන්න ඒ නිසා, හැකිතාක් දුරට, තවත් මනුස්සයෙක්ට හෝ ප්‍රාණියෙක්ට තමන්ගෙන් වරදක් හෝ කරදරයක් වෙන්න පුලුවන් දේවල් නොකර සිටීම, නොකියා සිටීම හෝ ඒ වගේ දේවලට අනුබල නොදීම, අපේ මෝරල් කෝඩ් එකට එන්න ඕන.
03. බිග් පික්චර් එකත් හිතන්න
කිසිම කෙනෙක්ට වරදක් හෝ කරදරයක් නොකර සිටීම අපේ මෝරල් කෝඩ් එකට එන්න ඕන කියලා උඩ කිව්වනේ. හැබැයි මෙතනින් එහාට තව තලයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකෙට හෝ පරිසරයට හෝ සමාජයට කිසිම වරදක් හෝ කරදරයක් අපෙන් සිද්ධ වෙන එකෙන් හැකිතාක් දුරට වැළකීමත් මෝරල් කෝඩ් එකට අවශ්‍යයි කියන එක. සරල උදාහරණයක් කිව්වොත්, අපි කියමු ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් අනං මනං තියෙන කුණු බෑග් එකක් අපි කුණු ලොරිය එනකල් එළියෙන් තියලා තියනවා. හැබැයි කුණු ලොරිය පරක්කු වෙනවා. වැස්සට මේ කුණු හේදිලා යනවා. වතුර එක්ක ගහගෙන යන මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වතුර පාරකට එකතුවෙලා, ඇළට වැටිලා, ගඟට වැටිලා අන්තිමට මුහුදට එකතුවෙනවා. දැන් තාක්ෂණිකව බැලුවහම අපි වැරැද්දක් කරලා නෑ. හැබැයි අපි පරිසර දූෂණයට, සාගර දූෂණයට දායක වෙලා තියෙනවා. බිග් පික්චර් එකේදී ඒක වැරදියි.
දැන් එතකොට අපි මොකක්ද කරන්න ඕනේ? කුණු ලොරිය එනකල් කුණු ටික ගේ ඇතුළේ තියාගන්න එකද? නැහැ. ඊට කලින් කරන්න පුලුවන් දෙයක් තියෙනවා. ඒ තමයි හැකිතාක් දුරට ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් වගේ දේවල් පාවිච්චියෙන් වළකින එක. ඒ වෙනුවට විකල්ප හොයාගන්න එක. වෙන විදියකට කියනවා නම්, අපේ සමාජය, පරිසරය, ලෝකය ගැන හිතන එකත්, මෝරල් කෝඩ් එකට ඇතුළත් වෙන්න ඕන.
04. කොන් කිරීම් වලින්, ගර්හාවෙන් වළකින්න
කොන් කිරීම් සහ ගර්හා කිරීම් කියන දේවල් අපි දැන දැන හිතා මතාමත් කරනවා. සමහර වෙලාවට නොහිතාත් කරනවා. හැබැයි ඇත්තටම මේවත් නොකළ යුතු දේවල් විදියට අපේ මෝරල් කෝඩ් එකට එන්න ඕන දේවල්. විශේෂයෙන්ම සමහර දේවල් අපේ ආකල්ප වලට සහ සංස්කෘතියට එකඟ නොවෙන්න පුලුවන්. ඒත් අපිට ඒ දේවල් වලට ගැරහීමෙන් හෝ ඒ අයව කොන් කිරීමෙන් වළකින්න පුලුවන් වෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු අපි සමලිංගිකත්වය ස්වභාවික නොවෙන දෙයක් විදියට දකිනවා කියලා. හරි, ගැටළුවක් නෑ. ඒක තමන්ගේ පුද්ගලික දැනුම සහ පුද්ගලික විශ්වාස මත පදනම් වුණු පුද්ගලික අදහසක්නේ. හැබැයි අපිට අයිතියක් නෑ, එහෙමයි කියලා සමරිසිභාවයට හෝ සමරිසි පුද්ගලයින්ට ගර්හා කරන්න. ඒ අයව කොන් කරන්න. ඇත්තටම මේක එක උදාහරණයක් විතරයි. අපි ජීවත් වෙන සමාජය ඇතුළේ මේ විදියේ කොන් කිරීම් සහ ගැරහීම් ටොන් ගාණින් සිද්ධ වෙනවා. සරලවම, කාන්තාවන්ට වාහන එළවන්න බැහැ වගේ ස්ටීරියෝටයිප් එකක් අපේ ඔළුවේ තියෙනවා නම්, ඒක පවා කොන් කිරීමක් දක්වා දිගු වෙනවා.
මෙන්න මේ නිසා, අපිට මේ කිසිම කෙනෙක් හෝ කිසිම දෙයක් කොන් කිරීමෙන් හෝ ගර්හාවට ලක් කිරීමෙන් වැළකීම අපේ මෝරල් කෝඩ් එක ඇතුළට ගන්න ඕන නම්, ඇත්තටම සමාජය ගැන, ලෝකය ගැන අපේ දෘෂ්ටි කෝණය වඩාත් පුළුල් කරගන්න සිද්ධ වෙනවා. අනෙකාව පිළිගැනීම, ඉවසීම වගේ ගුණාංග වර්ධනය කරගන්නත් සිද්ධ වෙනවා.
05. මෝරල් කෝඩ් එකේ ප්‍රතිපත්තිමය කොටස්
අපි මෝරල් කෝඩ් එකක් නැතිනම් සදාචාර මාලාවක් අපි වෙනුවෙන් හදාගන්නවා නම්, ඒකේ මූලිකව තමන් ඉන්න රටේ ප්‍රායෝගික නීති රීති වලට අනුගත වීම ගැන තියෙන්න ඕන කියලා අපි කිව්වනේ. ඒ හැරෙන්න තව කෙනෙක්ට කරදරයක් හෝ වරදක් කිරීමෙන් වැළකීම, සෘජුව හෝ වක්‍රව සමාජ ගැටළු වලට දායක වීම අවම කර ගැනීම සහ කොන් කිරීම් සහ ගර්හා කිරීම් වලින් වැළකීම මෝරල් කෝඩ් එකට තියෙන්න ඕන කියලත් අපි කිව්වා.
ඒ හැරෙන්න මෝරල් කෝඩ් එකට තියෙන්න ඕන තව කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි පක්ෂපාතීත්වය නැතිනම් ලෝයල්ටි. අපිට පක්ෂපාතී සහ විශ්වාසවන්ත වෙන්න පුලුවන් අය ඉන්නවා. උදාහරණයක් විදියට සැබෑ යාළුවෝ. එහෙම නැතිනම් පවුලේ අය. එතකොට තමන්ගේ ආදරේ කරන අය. ඒ අය එක්ක මොන දේ වුණත් රැඳිලා ඉන්නවා කියන එක තියෙන්න ඕන. හැබැයි ඒ ලෝයල්ටි එක උඩ කියපු කාරණා වලින් සීමා වෙන්නත් ඕන. ඒ කියන්නේ අපි පක්ෂපාතී කෙනෙක් වැරැද්දක් කරනවා නම්, අපි ඒක වහන්න උදව් වෙන එක හරි පක්ෂපාතීත්වය නෙවෙයි. අපිට පුලුවන් වෙන්න ඕන ඒ වැරැද්ද පෙන්නලා දෙන්න. ඒකට නියමිත ප්‍රතිඵල අදාළ කෙනාට විඳින්න ඉඩ දෙන්න. හැබැයි අපිට පුලුවන් එහෙම වැරැද්ද නිවැරදි කරගන්නවා නම් ඒ අයත් එක්ක දිගටම රැඳී ඉන්නත්.
මහාත්මාභාවය සහ ගෞරවාන්විත වීම කියන්නෙත් තමන්ගේ මෝරල් කෝඩ් එකට එන්න ඕන කාරණා දෙකක්. මේක ඇත්තටම තමන්ගේ චරිතයෙන් එන්න ඕන දෙයක්. උදාහරණයක් විදියට, කෙනෙක් අපිට එයාගේ ජීවිතේ රහසක් කිව්වොත්, අපිට පුලුවන් එක්කෝ ඒ රහස රකින්න. එහෙම නැතිනම් ඒ රහස තව කෙනෙක්ට කියන්න. ඒ රහස තව කෙනෙක්ට කිව්වා කියලා උඩ කියපු විදියට කිසිම කෙනෙක්ට වරදක් සිදු නොවෙන්න පුලුවන්. හැබැයි ඒක මහාත්මාභාවයට සහ ගෞරවාන්විත භාවයට කැළලක්.
06. සංකීර්ණ කාරණා වලදී ප්‍රතිපත්ති අනුව හිතන්න
අපිට ඇත්තටම මෝරල් කෝඩ් එකක් තිබීම අත්‍යවශ්‍ය වෙන සමහර සංකීර්ණ කාරණා වලට ජීවිතේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ජීවිතේ හැටි. ආන්න ඒ වගේ වෙන්න පුලුවන් සංකීර්ණ තත්වයන් කලින් හිතලා, එතනදී තමන් ක්‍රියාකරන්න ඕන විදිය අවබෝධ කරගන්න එකත්, මෝරල් කෝඩ් එකක් හදාගන්න පහසුවක්.
උදාහරණයක් විදියට කියනවා නම්, තමන් කෙනෙක්ට ලව් කරනවා කියලා කියමු. හැබැයි ඒ කෙනා විවාහකයි. එතකොට මොකද කරන්නේ? අපිට පුලුවන්, යම් කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා නම්, අඩු තරමින් ඒ කෙනා විවාහයෙන් වෙන් වෙලා ඉන්නේ කියලා සැක හැර දැනගත යුතුයි කියලා අපේ මෝරල් කෝඩ් එකේ සඳහන් කරගන්න. අඩු තරමින් නීතියෙන් තාම වෙන් වෙලා නැති වුණත්, ඒ දෙන්නගේ අවබෝධය මත වෙන් වෙලා ඉන්නවා නම් විතරයි සම්බන්ධයක් පටන් ගන්නේ කියලා තීරණය කරන්න පුලුවන්.
තව උදාහරණයක් ගත්තොත්, අපි කියමු කෙනෙක් පාරෙදි අපිට පහර දෙනවා. එතකොට හරි නම් අපි ආපිට පහර දෙන්න යන්නෙ නැතුව ඒක නීතිය ඉදිරියට ගෙනැත් විසඳගන්න එක තමයි හරි. හැබැයි ඒක විසඳුම නොවෙන තත්ව ඇතිවෙනවා. අපි කියමු ගමේ ඉන්න චණ්ඩියෙක් අපිට තර්ජනය කර කර යනවා. පොරට ඕන අපිව බය කරලා තියාගන්න. පොලිසියට හෝ නීතියට බයත් නෑ. මේ කෙනා ඔන්න දවසක අපිට පහර දෙනවා. මෙතනදී අපිට ප්‍රශ්නයක් එනවා. අපි මේ කාරණාව නීතිය ඉදිරියට අරගෙන ගියා කියලා ලොකු වෙනසක් වෙන්නෙ නෑ. චණ්ඩියාව හිරේ දැම්මත්, ආයෙ හිරෙන් නිදහස් වෙලා ආවහමත් අපිට ගහනවා. එතකොට මෙතනදී කරන්න පුලුවන් දේ තමයි ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන එක. චණ්ඩියාව තමන්ට බය කරගන්න එක. ඇත්තටම නීත්‍යානුකූලවත් ඒක වැරදි නෑ. ආත්මාරක්ෂාවට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න කෙනෙක්ට අයිතිය තියෙනවා.
07. හරි දේ සහ වැරදි දේ හඳුනාගන්න
අවසාන වශයෙන්, අපේ මෝරල් කෝඩ් එක අපිට ඇත්තටම අවශ්‍ය වෙන එක් කාරණාවක් තමයි, මේ ලෝකේ හරි දෙයින් වැරදි දේ වෙන් කරලා හඳුනාගන්න හැකි වීම. අන්න ඒ නිසා, අපි මේ ලෝකේ හරි වැරදි දේවල් වෙන් කරලා හඳුනාගැනීම කියන දේත් මෝරල් කෝඩ් එකට ඇතුළත් කරගන්න ඕන. ඇත්තටම මේ කාරණාවට උදාහරණ උඩ ඕන තරම් කියලා තියෙනවා. හැබැයි එතනදී මතක තියාගන්න ඕන තව කාරණයක් තියෙනවා. මේ ලෝකේ කළු සුදු එකක් නෙවෙයි. ගොඩක් වෙලාවට හරි වැරදි වෙන් කරලා හඳුනාගන්න අමාරු තරමයි. උදාහරණයක් විදියට කිව්වොත්, කෙනෙක් තමන්ගේ විවාහක බිරිඳ ඉන්න අතරෙම හොර ලව් එකකුත් පටන් ගන්නවා. දැන් අපිට බැලූ බැල්මට මේක වැරදියි කියන්න පුලුවන්. හැබැයි ඇත්තටම ඒ කෙනාගේ විවාහ ජීවිතේ අපායක් නම්? බිරිඳ වෙන් වෙන්න ඉඩ දෙන්නෙත් නැති නම්. අන්න එතකොට, විවාහයෙන් බැහැර සම්බන්ධතාවයක් සාමාන්‍යයෙන් වැරදියි කියන්න පුලුවන් වුණාට, මෙතන තත්වේ ඊට වෙනස් කියන එක අපිට අවබෝධ කරගන්න සිද්ධ වෙනවා.
මෙන්න මේ විදියට අළු පාට ලෝකෙක හරි සහ වැරදි හඳුනාගන්න කරන්න පුලුවන් දේ තමයි, හැකිතාක් දුරට තාර්කිකව හැබැයි සහකම්පනයත් සහිතව ගැටළුවක් දිහාබලන එක.
දැන් මේ කියපු මෝරල් කෝඩ් එක පොතක ලියන්න ඕනද? අර ලොකු ලියවිල්ලක කෙටුම්පත් කරලා බිත්තියේ එල්ලන්න ඕනෙද? එහෙම කළත් කමක් නෑ. ඇත්තටම මේක තමන්ට ජීවිතයට මාර්ගෝපදේශයක් කියලා ගන්න පුලුවන්. ඒක ඕන නම් හිතේ තියාගන්න පුලුවන්. ඕන නම් ලියලා තියාගන්න පුලුවන්. වැදගත්ම දේ වෙන්නේ එහෙම මෝරල් කෝඩ් එකක් හදලා තියාගන්න එක. මෝරල් කෝඩ් එකක් ගැන හිතන එක!
Leave a Reply