නයෙක් මුණගැහෙනවා කියන්නේ ඉතින් පරණ යාලුවෙක් හම්බුවෙනවා වගේ සීන් එකක් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් ප්‍රකෝපයට පත් කළොත් මිසක්, එහෙම නැතිනම් තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් කියලා දැනුනොත් මිසක් නයෙක් දෂ්ට කරන්න පෙළඹෙනවා අඩුයි. හැබැයි ඉතින් එහෙමයි කියලා අපි නයෙක් වගේ විෂඝෝර සර්පයෙක්ට තියෙන බය නැතිවෙන්නෙත් නෑනේ. දැන් ගොඩක් අය මේ වගේ වෙලාවකට තෝරගන්නේ සරල ක්‍රමයක්. කොහොම හරි නයාව මරලා දාන එක. හැබැයි අපි කියන්නේ ඒක නොකළ යුතු දෙයක් කියලා. ඇයි? අනික් සර්පයෝ වගේම නයා කියන්නෙත් මේ ජෛව විවිධත්වයේ කොටසක්. පරිසර පද්ධතියට අත්‍යවශ්‍ය පුරුකක්. එතකොට අපි එහෙම දකින දකින නයාව මරලා දාන එකෙන්, පරිසර පද්ධතියේ සමතුලිතතාවය නැතිවෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
ඉතින් එහෙම කිව්වට, සාමාන්‍යයෙන් මිනිස්සු නයෙක් වගේ සර්පයෙක්ට තියෙන බය නැතිවෙන්නෙත් නෑනේ. ගොඩක් වෙලාවට මේ බය හින්දම, එහෙම නැතිනම් අපරීක්ෂාකාරී බව හින්දම අනවශ්‍ය සර්ප දෂ්‍ටනයකට කෙනෙක් ලක්වෙන්නත් ඉඩ කඩ තියෙනවා. ආන්න ඒ නිසා, අපි හිතුවා නයෙක් එහෙම හමුවුණොත්, කොහොමද නයාවත් බේරලා, තමනුත් බේරෙන්නේ කියලා උපදෙස් ටිකක් ලබාදෙන්න.
1. කලබල නොවෙන්න
නයෙක් වගේ සර්පයෙක් දැක්කහම කරන්න ඕන පළවෙනිම දේ තමයි කලබල නොවෙන එක. සාමාන්‍යයෙන් හිරිහැරයක් වුණොත් හරි හිරිහැරයක තර්ජනයක් තියෙනවා කියලා දැනුණු වෙලාවක හැරෙන්න, එහෙම නැතිනම් බිත්තර රකින අවස්ථාවක ඇරෙන්න, නයෙක් වගේ සර්පයෙක් ස්වභාවයෙන් කලබල නෑ. තමන්ගේ ගොදුරක් නොවෙන තරම් විශාල මනුස්සයෙක්ව හරි ඒ වගේ වෙනත් සතෙක්ව දැක්කහම නයෙක් උත්සාහ කරන්නේ මඟ ඇරලා යන්න. හැබැයි අපි කලබල වෙලා දඟලන්න ගියොත්, සර්පයාටත් හිතෙනවා අපි එයාට තර්ජනයක් කියලා. අන්න එතකොට අපිට පහර දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා, මුලින්ම කලබල වෙලා දඟලන්න නොයන එක තමයි කරන්න ඕන. හදිසි චලනයන් එහෙම සිදු නොකරන තරමට හොඳයි. විශේෂයෙන්ම සර්පයාගේ දිහාවට. නැතිනම් සර්පයා හිතන්නේ තමන්ට පහරදෙන්න එනවා කියලා. එහෙම හිතලා සර්පයත් පහර දෙන්න පුලුවන්.
2. යන අතක යන්න
අපි හිතමු එළිපහළියේදී අපිට නයෙක්ව මුණගැහුනා කියලා. නයිහාමි නයිහාමි ගගා සර්පයා ගාවට වෙලා ඉන්න එපා. අපි එතන ඉන්නකල් සර්පයත් අපි තර්ජනයක් කියලා හිතලා පෙණේ කරගෙන ඉඳී. එතකොට අපි එයාට තර්ජනයක් වෙන විදියට හැසිරුණොත් අපිට දෂ්ට කරන්න උත්සාහ කරාවි. හැබැයි ඇත්තම කතාව මේකයි. නයෙක් වගේ සර්පයෙක්ට මිනිස්සුන්ව ආශ්‍රය කරන්න කිසිම වුවමනාවක් නෑ. ගොඩක් දුරට සර්පයෝ උත්සාහ කරන්නේ මිනිස් ආශ්‍රයෙන් වහං වෙලා ඉන්න. ඉතින් අපිට කරන්න තියෙන්නේ, සර්පයට යන අතක යන්න දීලා, අපි ඊට විරුද්ධ පැත්තට යන එක. අපි හිතමු සර්පයා ඉන්නේ අපිට යන්න ඕන පාරේ කියලා. එහෙමනම්, සර්පයාට කොහේටහරි ඇදිලා යන්න පුලුවන් විදියේ ප්‍රමාණවත් අවකාශයක් තියලා, අපිට වටෙන් ගිහින් ආයෙමත් යන්න ඕන පාරට වැටෙන්න පුලුවන්.
3. නයෝ පල!
ඇත්තටම ඔය ඉස්සර මිනිස්සු නයෙක් එහෙම වත්තට ආවහම “නයිහාමි යන අතක යන්න, මෙහේ පුංචි ළමයි ඉන්නවා” වගේ දේවල් කියන පුරුද්දක් තියෙනවානේ. එහෙම යාප්පුවෙන් නයාට කතා කරන එකට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි, පැරැන්නෝ විශ්වාස කළා නයෙක් කියන්නේ අනෙක් සර්පයන්ට වඩා උසස් සතෙක් කියලා. ඔය ගැමි ජන කතා එහෙම ඕන තරම් තියෙන්නේ නයි ගැන. බෞද්ධ සාහිත්‍යයේත් වංශවත් නයින් ගැන කියවෙනවා. ඉතිහාසයෙත් නාගයෝ, නා රජුන් ගැන කියවෙනවා. අන්න ඒ ආකල්පයත් එක්ක, ගොඩක් වෙලාවට පැරැන්නෝ නයෙක්ට සතුරු හිතින් සලකන්නෙ නෑ. හැබැයි ඔතන තව කාරණයක් තියෙනවා. නයෙක්ට ඔය වගේ එව්වා කිව්වට ඌට තේරෙන්නෙ නෑ. කොහොමත් නයින්ට ඇහෙන්න කන් නැහැනේ. හැබැයි නයින්ට කන් නැතිවුණාට, කම්පනයට උන් සෑහෙන්න සංවේදීයි. එතකොට, ශබ්ද නඟලා ඔය වගේ දේවල් කියනකොට උන්ට ඒ ශබ්දයේ කම්පනය දැනෙනවා. එතකොට උන් හිමින් එතනින් මාරු වෙලා යනවා.
ඔන්න ඔය කාරණාව අපිටත් පාවිච්චි කරන්න පුලුවන්, විශේෂයෙන්ම නයෙක් වත්තට එහෙම ආවොත්. ඒ තමයි, උස් හඬින් ශබ්ද කරන එක. අවශ්‍ය නම් පොළවට කම්පනයන් දැනෙන්න කෝට්ටකින් පොළවට තට්ටු කරන්න එහෙමත් පුලුවන්.
4. අතින් අල්ලන්න යන්න එපා
මෙන්න මේක ඉතාම වැදගත්. අපි හිතමු සර්පයෙක් හැලහොල්මනක් නැතුව මැරිලා වගේ ඉන්නවා කියලා. ඒ කියන්නේ සර්පයා මැරිලා වෙන්න පුලුවන්නේ. ඒ නිසා කියලා අතින් අල්ලන්න ගියොත්, ඇත්තටම සර්පයා මැරිලා නැතිනම් තමන්ට ෂොට් එක ලැබෙන්න ඉතාම ඉහළ ඉඩක් තියෙනවා. අනික, මැරුණු සර්පයෙක් වුණත් අනවශ්‍ය අවදානමක් ගන්න යන්න එපා. හොඳම දේ දිග කෝටුවකින් අරගෙන ඉවත් කරන එක.
හැබැයි තව දෙයක්, පණ පිටින් ඉන්න නයෙක් එක්ක දිග කෝටු සෙල්ලම් කරන්න යන්න එපා. ඔය නයි එහෙම අල්ලන පුහුණුව තියෙන අයව දැකලා, සමහරු උත්සාහ කරනවා කෝටුවකින් නයෙක් වගේ සතෙක්ව ඉවත් කරන්න, ඒක අන්තරායදායකයි. අනිවාර්යයෙන්ම සතා ඒක තමන්ට තර්ජනයක් විදියට දකිනවා. එතකොට සතා අපිට පහර දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා, නොදැනුවත්කම නිසා හෝ, ෂෝ එකට හෝ නයෙක් වගේ සර්පයෙක්ව අතින් අල්ලන්න හෝ කෝටුවකින් ඉවත් කරන්න නොයන එක තමන්ගේ ඇඟට ගුණයි.
5. හිර කරමුද?
ගේ ඇතුළට එහෙම නයෙක් ආවහම අපිට එන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. උඩ කියල තියෙන විදියට නයාව මඟඇරලා ඌට යන්න ඕන අතක යන්න දීලා පැත්තකට වෙලා හිටියොත්, ඌ එළියට යන්නත් පුලුවන්, ඊට වඩා ගෙයි ඇතුළේ අඳුරු තැනක හැංගෙන්නත් පුලුවන්. එතකොට ඒක තව ප්‍රශ්නයක්. අන්න එහෙම වෙලාවකට කරන්න පුලුවන් දෙයක් තියෙනවා. ටිකක් මහත පීවීසී බටයක් ගන්න. අඩි කීපයක් දිග බට කෑල්ලක් වෙන්න ඕන. ඒකේ එක පැත්තක් රෙදි කෑල්ලක් තියලා බැඳලා හරි, ඒ වගේ දෙයක් කරලා ආවරණය කරන්න. දැන් ෂේප් එකේ, සර්පයව කුලප්පු නොකර, බට කෑල්ලේ විවෘත කට පැත්ත සර්පයා ඉන්න පැත්තට යොමු කරලා තියන්න. දැන් සර්පයාගෙන් ටිකක් ඈතට වෙලා ඉන්න. සර්පයා බටේ ඇතුළට ඇදුණට පස්සේ, ප්‍රවේසමෙන් බටේ උඩ අතට උස්සලා, විවෘත පැත්තත් වහන්න. ඊට පස්සේ ආරක්ෂිත තැකට අරගෙන ගිහින් සර්පයව මුදාහරින්න.
හැබැයි, මේක බොහොම ප්‍රවේසමෙන් කරන්න ඕන වැඩක්. තමන්ට ෂුවර් නැතිනම් මේක කරන්න යන්න එපා.
6. උදව් ගමු
ගේ ඇතුළේ එහෙම නයෙක් වගේ සර්පයෙක් හම්බුණොත්, හදිසි වෙලා මරන්න යන්න එපා කියන එක තමයි පළවෙනි කාරණාව. උඩ කියලා තියෙන විදියට සර්පයාව ආරක්ෂිතව අල්ලලා ඉවත් කරන්න පුලුවන් වුණත්, ඒකට යම් කිසි පුහුණුවක් අවශ්‍යයි. එහෙම පුහුණුවක් නැති කෙනෙක් නම් සර්පයා ලඟට නොයා ඉන්න එක නුවණට හුරුයි. එහෙමනම් මොනවද කරන්න පුලුවන්? සර්පයත් එක්ක සමාදානෙන් එක ගෙදර ජීවත් වෙන එකද? නෑ, එහෙම කරන්නත් බැහැනේ. ඒ නිසා හොඳම දේ තමයි සර්පයෝ අල්ලලා ඉවත් කරන්න පුලුවන් පුහුණුව තියෙන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න එක. එහෙම කතා කරලා සර්පයාව ඉවත් කරන්න උදව් ලබාගන්න පුලුවන් එක තැනක් තමයි වනජීවී එක. 1992 අංකය ඔස්සේ වනජීවී දෙපාර්තමේන්තුවට කතා කරලා කියන්න පුලුවන්. එහෙම නැතිනම්, අපේ සර්පයින් රැකගනිමු වගේ ෆේස්බුක් ගෘප් වල ඉන්නවා, ස්වේච්ඡාවෙන් ඇවිත් නයි වගේ විෂ සහිත සර්පයන්ව අල්ලලා, ආරක්ෂිතව මුදාහරින්න පුහුණුව තියෙන එක්ස්පර්ට්ලා. හැබැයි හොරුන්ට රැවටෙන්න එපා. මේ අය සතපහක්වත් අය කරන්නෙ නැතුව, සර්පයන්ව ආරක්ෂා කිරීමේ අරමුණෙන් මේ සත්කාර්යය කරන්නේ. හැබැයි ඉතින් එයාලට ප්‍රවාහන පහසුකම් හරි ගමන් ගාස්තුව හරි දුන්නට කමක් නෑ.
7. සර්පයොන්ට එන්න තියෙන ඉඩ අවම කරමු
නයෙක් වගේ සර්පයෙක්ගෙන් බේරෙන්න ගන්න පුලුවන් පූර්වෝපායයන් තියෙනවා. සරලවම, තමන්ගේ වත්ත පිටිය සුද්ධ බුද්ධ කරලා, කුණු ගොඩවල් එහෙම අයින් කරලා, ගේ හොඳට සුද්ධ පවිත්‍ර කරලා, සර්පයන්ට හැංගෙන්න පුලුවන් විදියේ අඳුරු තැන් එහෙම නැති විදියට නිවස සහ ගෙවත්ත පවත්වා ගන්නවා නම්, ගොඩක් දුරට සර්පයෝ එන එක වළකිනවා. මොකද, ඇත්තටම ඔය ගෙවල් ඇතුළට එහෙම පාර වැරදිලා සර්පයෙක් එන්නේ කලාතුරකින්. ගොඩක් වෙලාවට ගෙවල් ඇතුළට එහෙම සර්පයෝ එන්නේ මීයෝ වගේ ගොදුරු හොයාගෙන. හැබැයි සුද්ධ පවිත්‍ර කරලා තියෙන නිවසක මීයන්ට එහෙම බෝවෙන්න ඉඩක් නැති නිසා, සර්පයෝ එන්න තියෙන ඉඩත් අඩු වෙනවා.
අවසානයට කියන්න තියෙන්නේ මෙච්චරයි. සර්පයෙක් දැක්ක ගමන් මරන්න දඟලන්න එපා. සමහරු නයෙක් වගේ සර්පයෙක් දැක්කහම මරාදාන එක සාධාරණීකරණය කරනවා, ගෙදර කෙනෙක්ට දෂ්ට කළොත් මොකද වෙන්නේ, ගෙදර පොඩි ළමයි ඉන්නවා වගේ කාරණා කියලා. හැබැයි ඇත්ත මේකයි. නයෙක් වගේ සතෙක් තමන්ගේ ගොදුරකට ඇරෙන්න දෂ්ට කරන්න පෙළඹෙන්නේ, ආත්මාරක්ෂාවට විතරයි. ඉතින් සතාට අපි තර්ජනයක් නොවී ඉන්නවා නම්, එච්චරයි. අමතක කරන්න එපා, සර්පයෝ කියන්නේ පරිසර පද්ධතියේ වැදගත් කොටසක්.
Leave a Reply