දැන් අපි ඉන්නේ සම්පූර්ණයෙන්ම වගේ තාක්ෂණයෙන් බලගැන්වුණු ලෝකෙකනේ. ආයෙ කම්පියුටර් නැතුව වැඩ කරන එක තැනක් ගැනවත් හිතාගන්නවත් පුලුවන්ද? ලෝකේ එහෙම වේගයෙන් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට, අපිටත් සිද්ධ වෙනවා අලුත් විෂයන් වල දැනුම ලබාගන්නවා වගේම, පරිගණක සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය වෙන කුසලතාවයන් ලබාගන්නත්.
දැන් අපි හිතමු ඕ ලෙවල්/ ඒ ලෙවල් කරලා, එහෙම නැතිනම් කැම්පස් ගිහිල්ලා, තමන්ගේ පළවෙනි රැකියාව ලබාගන්න ඉන්ටර්න්ෂිප් වලට හරි කෙලින්ම ජොබ් එකකට හරි ඇප්ලයි කරන කෙනෙක් කියලා. එතකොට ගොඩක් දුරට විෂය දැනුම කියලා පෙන්නන්න තියෙන්නේ අඩු පරාසයක දේවල්නේ. විශේෂයෙන්ම ඕ ලෙවල්/ඒ ලෙවල් වලින් ජොබ් වලට ඇප්ලයි කරන කොට එහෙම විශේෂ ක්ෂේත්‍රයක දැනුමක් ලබාගෙන නැහැ. හැබැයි එහෙම අයට වුණත් අනිවාර්යයෙන්ම මූලික පරිගණක දැනුම හරි තියෙන්න වෙනවාම තමයි.
අන්න ඒ නිසා, අපි හිතුවා පළමුවෙන් රැකියාව තෝරගන්න කෙනෙක්ට, මූලික පරිගණක දැනුමට අමතරව තියෙන්න ඕන පරිගණක කුසලතා කීපයක් ගැන කියන්න.
01. මයික්‍රොසොෆ්ට් ඔෆිස්
ඔෆිස් කියපු ගමන් අහන්න එපා “ආපෝ වර්ඩ් වල ටයිප් කරන්නද, ඒක පුලුවන්” කියලා. ඇත්තටම ඔෆිස් පැකේජ් එකේම දැනුම දැන් කාලේ ජොබ් වලට අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අඩු තරමින් වර්ඩ්, එක්සෙල් සහ පවර්පොයින්ට් වත්. මේ වලට මයික්‍රොසොෆ්ට්ම වෙන්න ඕනැත් නෑ. වර්ඩ් ඩොකියුමන්ට්ස් වල වැඩ කරන්න, ස්ප්‍රෙඩ්ෂීට් ඇප් එකක් පාවිච්චි කරන්න සහ ප්‍රසන්ටේෂන් හදන්න පුලුවන් නම් හරි. හැබැයි මේවල නිකම්ම බේසික් දැනගෙන මදි. උදාහරණ විදියට කිව්වොත්, ගූග්ල් ෂීට්ස් හරි එක්සෙල් වල හරි ඩේටා ඇතුළත් කරන්න, විවිධ ෆෝමියුලා පාවිච්චි කරන්න, ෆෝමැටින්, pivot tables වගේ ඒවා දැනගන්න ඕන. එතකොට වර්ඩ් වල වුණත් නිකම්ම ලියුමක් ටයිප් කරලා මදි, ඊට වඩා ඒක ඇතුළේ තියෙන ඇඩ්වාන්ස් හැකියාවන් ගැන දැනගෙන ඉන්න ඕන. මීට අමතරව ඉතින් මයික්‍රොසොෆ්ට් ඇක්සෙස් වගේ ඒවත් දන්නවා නම් වඩා හොඳයි.
02. ඊමේල්
ඊමේල් ගැන මොනවද අමුතුවෙන් දැනගන්න තියෙන්නේ කියල නේද අහන්න හැදුවේ? ඔව්, ගොඩක් දෙනෙක් ඊමේල් දැනුම කිව්වහම හිතන්නේ, ඊමේල් එකක් ලිව්වා, අදාළ ඊමේල් එඩ්‍රස් එක දැම්මා, යැව්වා කියලා. හැබැයි ඇත්තටම ඊමේල් සම්බන්ධයෙන් දැනුම වෙනම ආටිකල් එකකට ගන්න වෙන තරමටම පුළුල්. ඒ නිසාම අපි ප්‍රොෆෙෂනල් විදියට ඊමේල් වලින් ගනුදෙනු කිරීම ගැන ආටිකල් දෙකක්, එක කොටස සහ දෙක කොටස විදියට ලියලා තියෙනවා. ඒ කියන්නේ හරි විදියට ප්‍රොෆෙෂනල් සිග්නේචර් එකක් නිර්මාණය කරන එක, කාල වේලාව නොඉක්මවා ඊමේල් වලට ප්‍රතිචාර දක්වන එක, ආචාරශීලී වෙන එක, හරි ඊමේල් භාෂාවක් භාවිතා කරන එක වගේ සෑහෙන්න දේවල් මේ යටතට අයිති වෙනවා. ඒවා ඉතින් පරිගණක දැනුමම කියලා ගන්න බැහැනේ. හැබැයි ඔය ඊමේල්ස් යවන්න ටයිමර් සෙට් කරන එක, කොන්ෆිඩෙන්ෂල් ඊමේල්ස් වගේ දේවල් වලට පරිගණක දැනුම අදාළ වෙනවා.
03. ප්‍රෝග්‍රැමින්
කම්පියුටර් ප්‍රෝග්‍රැමින් නැතිනම් කෝඩින් කියන එක වැදගත් වෙන්නේ යම් කිසි පරිගණක ක්‍රමලේඛ භාෂාවක් ගැන තියෙන දැනීමත් එක්කලනේ. එතකොට සමහර ජොබ්ස් තියෙනවා, ජොබ් එක කෙලින්ම අයිටී සම්බන්ධ ජොබ් එකක් නොවුණත්, ඒ වගේ පරිගණක භාෂාවක දැනීම, ප්‍රෝග්‍රැමින් හැකියාව පොඩ්ඩක් දුරට හරි තියෙන එක වැදගත් වෙනවා. උදාහරණයක් විදියට අපි කියමු බිස්නස් ඇනලිටික්ස් සම්බන්ධ ජොබ් එකක් කියලා. ඒකට ඔය පයිතන් වගේ පරිගණක භාෂාවක් දැනගෙන ඉන්න එකෙන්, අමතර වාසියක් ලැබෙන්න පුලුවන්.
04. ඔන්ලයින් සෙකියුරිටි
මේක ගොඩක් දෙනෙක් ඉන්ටර්වීව් එකකදී වත් අහන්නෙත් නැති, අමුතුවෙන් කියන්නෙත් නැති, හැබැයි දැන් කාලේ අනිවා තියෙන්නම ඕන කුසලතාවයක්. ඒ තමයි පරිගණක සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, තමන්ගේ ස්මාට්ෆෝන් එක සම්බන්ධයෙන් වුණත් සයිබර් සෙකියුරිටි දැනුමක් තිබීම. වැඩි දෙයක් ඕන නෑ. තමන්ගේ වට්ස්ඇප් එක හැක් නොවෙන්න කරන්න පුලුවන් දේවල්, කොහොමද හැම දේකටම ටූ-ස්ටෙප්-ඕතන්ටිකේෂන් දාගන්නේ වගේ දේවල් වත් වර්තමානයේ ඩිජිටල් ප්ලැට්ෆෝන් තියෙන ජොබ් එකකට යනවා නම් අත්‍යවශ්‍ය දේවල්. මොකද, තාක්ෂණයෙන් වැඩි වැඩියෙන් වැඩ ගන්න තරමට, තාක්ෂණය භාවිතයේදී සිද්ධ වෙන අකටයුතුකම් එහෙමත් සෑහෙන්න වැඩියිනේ. එතකොට ඕනම ටීම් මෙම්බර් කෙනෙක්ට සයිබර් ආරක්ෂාව ගැන යම් ප්‍රමාණයක දැනුමක් තිබීම ජොබ් එකට ප්ලස් පොයින්ට් එකක් වෙයි.
05. ඔන්ලයින් කමියුනිකේෂන්
දැන් ඔය වසංගත කාලේ වර්කින් ෆ්‍රොම් හෝම් ට්‍රෙන්ඩ් එක පටන් ගත්තහම, ගොඩක් දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් වුණේ කොහොමද ඔන්ලයින් වැඩකටයුතු කරන්න තියෙන ප්ලැට්ෆෝම් එක්ක වැඩ කරන්නේ කියන එක. මේක පුදුමයක් වගේ පෙනුණට, පොඩි කාලේ ඉඳලම ස්මාට්ෆෝන් අතපත ගාමින් හැදී වැඩුණු සමහරුන්ට පවා ඔය මයික්‍රොසොෆ්ට් ටීම්ස්, ස්ලැක් වගේ ටූල්ස් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ ටීම්ස් මීටින් එකක් වෙලාවට වැරදිලා වීඩියෝ ඔන්වෙනවා වගේ දේවල් නෙවෙයි. ඊට වඩා මූලික පරිගණක දැනුම අවශ්‍ය කාරණා තියෙනවා. නිදසුනක් විදියට කොහොමද මයික්‍රොසොට් ටීම්ස් මීටින් එකක් ඕගනයිස් කරලා ටීම් එකටම අවුට්ලුක් කැලැන්ඩර් එක හරහා ඉන්වයිට් කරන්නේ වගේ දේවල්.
06. සෝෂල් මීඩියා
මේ කාලේ ගොඩක් ජොබ් වල සෝෂල් මීඩියා වලට සෑහෙන්න ඉඩක් වෙන් වෙනවා. ඒ කියන්නේ, විශේෂයෙන්ම ඔය ප්‍රඩක්ට්ස් සහ සර්විස් ක්ෂේත්‍රයේ අයට වගේම, රාජ්‍ය ආයතන වලට පවා සෝෂල් මීඩියා තමන්ගේ සේල්ස්, ප්‍රොමෝෂන් සහ මාකටින් වලට සෑහෙන්න වැදගත්. ඒ නිසාම සෝෂල් මීඩියා සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තියෙන එක මේ වගේ ඕනෑම ජොබ් එකකට යනවා නම් විශේෂයෙන් ලකුණු ලැබෙන දෙයක් වෙනවා. එතනදී මේ සෝෂල් මීඩියා දැනුම කියන්නේ ෆේස්බුක් එකට ගිහින් පෝස්ට් බලන්න, කමෙන්ට් දාන්න පුලුවන් කියන එක නෙවෙයි. කොහොමද ෆේස්බුක් හරහා දෙයක් අලෙවිකරණය සහ ප්‍රචාරණයට තල්ලුවක් ලබාගන්නේ, මොනවද උපක්‍රම වගේ දේවල්. ඒකට ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටින්, රයිටින් වගේ ගොඩක් දේවල් සම්බන්ධ හැකියාවත් අවශ්‍ය වෙනවා.
07. කැන්වා
අපි මේ පොයින්ට් එක විශේෂයෙන්ම කැන්වා කියල ගත්තට, ඇත්තටම කැන්වා ඇතුළු ඕනෑම ඩිසයිනින් ඇප් එකක්, වෙබ් ටූල් එකක් මේ යටතට අයිතියි. මෙතනදී අපිට අදාළ වෙන්නේ, ඔය සෝෂල් මීඩියා පෝස්ට්ස්, වීඩියෝස්, ලීෆ්ලට්, පෝස්ටර් වගේ ඕනම ඩිසයිනින් වැඩක් කරගැනීම කියන එක තමයි. හැබැයි ඉතින් මේ ඕනම ටූල් එකකින් ඔය දේවල් කරගන්න යම් තාක් දුරක දැනුමක් අවශ්‍ය වෙනවා. මූලික දැනුම ගත්තට පස්සේ ඉතින් ප්‍රැක්ටිස් එකෙන් වැඩේ අල්ලගන්න පුලුවන්.
දැන් මේ පරිගණක කුසලතා නැතිනම් කම්පියුටර් ස්කිල්ස් හදාගන්නේ කොහොමද? අන්න ඒක තමයි ඊලඟ කාරණාව. මේ හැමදේම නොමිලේ ඉගෙනගන්න තැන් ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා. ඒවා සරල ගූග්ල් සෙවුම් හරහා වුණත් පහසුවෙන්ම හොයාගන්න පුලුවන්. ඇත්තටම අන්න ඒ විදියට දේවල් අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න අවශ්‍ය දැනුමත් ඉතින් ඒකට ඕනෑමයි!
Leave a Reply