වගකීම් සහහතව ගොසිප් (ඕපදූප) කතා කරන්නේ මෙහෙමයි!

Talk gossip responsibly

ඔය ඕපාදූප නැතිනම් ගොසිප් ගැන සාමාන්‍යයෙන් සමාජයේ තියෙන්නේ ඒ තරම් හොඳ මතයක් නෙවෙයිනේ. හැබැයි ඕපාදූප නොකියන, අඩු තරමින් ඕපාදූපයක් කියන්න පොඩි හරි සම්බන්ධයක් නොදක්වන කෙනෙක් හොයන එකත් සෑහෙන්න අමාරු වැඩක්. සමහරු ඉන්නවා ජීවිතේම ඕප තමයි. ආයෙ ජීවත් වෙන්නෙම ඕපාදූපයක් කතා කරගෙන ඉන්න. තවත් සමහරු ඉන්නවා ඕපාදූපයක් වුණත් කතා කරන්නේ ඒකේ ඇත්තක් නැත්තක් තියෙනවද කියලා හොයල බලලා. තවත් සමහරු ඉන්නවා සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ හැමෝම එක්ක ඕපාදූප කතා කරන්නෙ නෑ. හැබැයි විශ්වාසවන්ත එක්කෙනෙක් දෙන්නෙක් එක්ක විතරක් ඕප කතා කරනවා. ඒ අය ගැන තමයි ඔය ඉන්ස්ටග්‍රෑම් ෆොටෝස් එහෙම දාන්නේ “මයි ගොසිප් බඩී” කියලා!

 

ඉතින් ඇත්තටම ඕපදූප කතා කරන එක නරකද? ඒක එහෙම ඔව් හෝ නෑ කියලා උත්තර දෙන්න අමාරු තරම් සංකීර්ණ කාරණයක්. අපි මේ ගැන කලිනුත් කතා කරලා තියෙනවා. සමහර අය කියනවා ඔය ගොසිප් නැතිනම් ඕපාදූප කතා කරනවා කියන එකම එක්තරා විදියක සෝෂල් ස්කිල් එකක් කියලා. තවත් අය කියනවා, ගොසිප් කියන්නේ මිනිස්සු සමාජයීයව සම්බන්ධ වෙන්න භාවිතා කරන මෙවලමක් කියලා. ඒ කියන්නේ ඔය ටීම් එකක තියෙන කණ්ඩායම් හැඟීම එහෙම ඉහළ නංවන්න පුලුවන්ලු ඕපදූප කතා කරන එකෙන්. දැන් ඔය කෝක වෙතත්, සමහර විටකදී ඕපාදූප වලින් අනික් අයට හානියක් වෙන්න, වැරදි තොරතුරු පැතිරෙන්න අතිශයින්ම ඉහළ ඉඩක් තියෙනවනේ. ආන්න ඒ නිසා තමයි ඕපාදූප කතා කළත් වගකීමකින් යුතුව කතා කරන්න ඕන, අහන්න ඕන කියලා අපි කියන්නේ. ඒකට උපදෙස් කීපයක් මෙන්න.

 

01. ජොලියට ගන්න, සීරියස් නොගන්න

Talk gossip responsibly

මේ කාරණාව ඇත්තටම අදාළ වෙන්නේ ඕපදූප ඇහීමට. දැන් ඕපදූප නොකිව්වත්, සමහරු ඉන්නවා ඕපයක් තව කෙනෙක් රස කරලා කියනවා අහන්න හරි ආසයි. ඒකට කමක් නෑ. හැබැයි අපිට ස්වයං විනයක් තියෙන්න ඕන, ඒ අහපු ඕපදූපය ජොලි කතාවක් විතරයි කියන තැනින් නවත්තන්න. උදාහරණයක් විදියට, “අහවලා රිසිප්ෂනිස්ට් එක්ක සීන් එකක් තියෙනවා” කියලා ඕපදූපේ අහලා, ඊට පස්සේ ඒ කෙනා ඔෆිස් එකේදී හම්බුවෙනකොට “ඊයා වනචරයා” ලුක් එකක් දීලා යන්න අපි පෙළඹෙනවා නම් ඒක ප්‍රශ්නයක්. “අම්මෝ මේ යකා මගේ ඇඟටත් එයිද දන්නෙ නෑ” කියලා ඒ කෙනත් එක්ක වැඩ කරන්න තියෙන ඔෆිස් ප්‍රොජෙක්ට් එකේ අදාළ දේකට වුණත් ඒ කෙනාගෙන් එන කෝල් එකකට හරි ආන්සර් නොකර ඉන්න හිතනවා නම්, ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ඕපදූපයක් සීරියස් අරගෙන කියන එක තමයි. ඒක වැරදියි. ඕපයක් ඇහුවනං, ඒක එතනින් ඉවර කරලා, ඒකෙන් ආතල් එකක් අරගෙන, හැබැයි ඕපේ එතනම තියලා එන්න.

 

02. කිසිම කෙනෙක්ට අපහාස හෝ කොන් කිරීමක් නොකරන්න

Talk gossip responsibly

අපි කිසිම කෙනෙක් කැමති නැහැනේ කොන් වෙන්න. එහෙම නැතිනම් අපහාස විඳින්න. ආන්න ඒ නිසා, අපි ඕපදූපයක් කියලා තවත් කෙනෙක් සමාජය ඇතුළේ හෝ තමන් ඉන්න ඔෆිස් සෙට් එක ඇතුළේ හෝ, මිතුරු හවුල ඇතුළේ කොන් වෙනවා නම්, අපහාස විඳිනවා නම් ඒක ප්‍රශ්නයක්. සමහර වෙලාවට අපි කියමු යම් කිසි කෙනෙක් ඇත්තටම ගැටළුකාරී හැසිරීමක් දක්වනවා කියලා. එහෙම නැතිනම් කෙනෙක් ඇත්තටම අනික් අයට වරදක් කරනවා කියලා. ඒක අපි සහසුද්දෙන් දන්නවා නම්, අපිට ඒ ගැන සාක්ෂිත් තියෙනවා නම්, ඒක ඕපයක් විදියට නැතුව කරුණක් විදියට කියන්න පුලුවන්. එතනදී හැබැයි එහෙම දෙයක් කියන එකේ වගකීමත් අපිට ගන්න පුලුවන් වෙන්න ඕන. හැබැයි එහෙම නැතුව අපිටත් සියේට සීයක් ෂුවර් නැති දෙයක් අපි ඕපයක් විදියට කියලා, ඒකෙන් අදාළ කෙනා කොන් වෙනවා නම්, අදාළ කෙනාට අපහාසයක් වෙනවා නම්, එතනදී අපි වැරදියි.

 

03. හැකි තාක්, ඕපාදූප පුද්ගලික තැනකට නොගෙනෙන්න

Talk gossip responsibly

මේක අදාළ වෙන්නේ තමන්ට පුද්ගලිකව කෝන්තර තියෙන, තමන් පුද්ගලිකව ඒ තරම් කැමති නැති අය ගැන ඕපදූප කතා කරනකොට. එහෙම කෙනෙක් ගැන අපි ගොඩක් වෙලාවට ඕපදූපයක් කියලා හරි ඒ කෙනාට ඇටෑක් කරන්න හිතනවා නම්, අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඕපදූපේ නිසා ඒ කෙනාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් වගේම, එහෙම ඕපදූපයක් කීමෙන් තමන්ටත් ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒ නිසා, හොඳම ප්‍රතිපත්තියක් තමයි, තමන්ට ඇත්තටම ගැටළුවක් තියෙන කෙනෙක් ගැන ඕපදූප කීමෙන් වළකින එක. එහෙම කෙනෙක් ගැන මොකුත්ම නොකියා ඉන්න එක වඩාත් හොඳයි. කෝන්තරේ විසඳගන්න වෙන ක්‍රමයක් හොයාගන්න පුලුවන්නේ.

 

04. කණින් කොණින් ඇහුණු ෂුවර් නැති දේවල් නොකියන්න

Talk gossip responsibly

මේක ඕපදූප කිවීමේදී අති වැදගත්. ඒ තමයි, ඕපාදූපෙට සෑහෙන්න දුරට සත්‍යයක් තියෙනවා කියන එක සනාථ කරගන්න එක. ඒ කියන්නේ මේකයි. අර කපුටෝ හත් දෙනෙක් වමනෙ කරපු කතාව මතකයිනේ. ඇත්තටම වෙලා තියෙන්නේ ගමරාළ කපුටු පිහාට්ටක් උඩට වමනේ කරපු එක. ඒක හැබැයි ගම පුරා කතාව ගිහින් අන්තිමට නැවතිලා තියෙන්නේ ගමරාළ කපුටු හත් දෙනෙක් වමනේ කළා කියලා. අන්න ඒ නිසා, ඕනම ඕපදූපයක් කියන්න කලින් පොඩ්ඩක් සත්‍යාසත්‍ය භාවය සනාථ කරගන්න එක වටිනවා. ඒක තමන් දන්න අය ගැන ඕපදූප කියනකොට විතරක් නෙවෙයි. පොදුවේ ඕනම ඕපෙකට ප්‍රතිපත්තියක් විදියට පවත්වා ගන්න එක හොඳයි. උදාහරණයක් විදියට, අහවල් ඇමතිට රත්තරන් ගාපු කාර් එකක් තියෙනවා කියලා කියන එක ඕපයක් විදියට ආතල් වුණාට, ඇත්ත වෙන්න තියෙන ඉඩ අඩුයි. එතකොට වෙන්නේ මොකක්ද? ඒක රට පුරා පැතිරීමත් එක්ක, ඒ අහවල් ඇමති ඇත්තටම මොනවාහරි විෂමාචාර වලට සම්බන්ධ වුණත්, ඒවත් ඕපදූප ගාණට අරගෙන මිනිස්සු ගණන් නොගෙන ඉන්න ඉඩ වැඩියි.

 

ඒ ඇරෙන්න එහෙම ෂුවර් නැති ඕපදූප, තමන් නිර්මාණය කරපු ඕපදූප දන්න කියන මිනිස්සු ගැන කීමෙන් පවා, ඒ අයගේ පුද්ගලික ජීවිත වලට හානි වෙන්න පුලුවන්. ඒ ගැන අපි ඉස්සරහට කියනවා.

 

05. විනිවිදභාවයක් තබාගන්න

Talk gossip responsibly

මේක නම් අති වැදගත් කාරණයක්. ඒ තමයි වගවීම කියන එක. ඇත්තටම මේ වගවීම කියන කාරණාව අපි හැමෝම පුංචි කාලේ ඉඳලා ප්‍රගුණ කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ, මොකක් හරි දේකදී තමන් අතින් සිද්ධ වෙන දේට වගකීම ගැනීම කියන එක. ඕපාදූප කතා කිරීමටත් ඕක අදාළයි. මෙතනදී කතන්දරේ සරලයි. අපි කවුරුහරි නැති තැනකදී ඒ කෙනා ගැන ඕපාදූපයක් කියනවා නම්, ඒක ඒ කෙනා ඉන්න තැනකදී වුණත් කියන්න පුලුවන් කම තියෙන්න ඕන. ඒකට අපේ අතින් ආලවට්ටම්, සක්ක කෑලි එකතු කරලා නොතිබෙන්න ඕන. “ඔව් මචං මං එහෙම එකක් කිව්වා, ඇත්ත නෙවෙයිද” කියලා අහන්න පුලුවන් වෙන්න ඕන. අන්න ඒක ගැන අපි අන්තිමට කියනවා.

 

06. ආතල් එක ගන්න, එතනින් නවතින්න

Talk gossip responsibly

මේ කියන්නේ තමන් කතාබහ කරන, අහගෙන ඉන්න ඕපාදූප හිතට ගන්න එපා කියන එක තමයි. හරි, කට්ටිය සෙට් වෙලා ඕපදූපයක් කතා කරන එක ආතල්. හැබැයි ඒ ආතල් එකෙන් ඒක නවතින්න ඕන. අපි තව කෙනෙක් ගැන ජජ් කරන්න, විනිශ්චය කරන්න ඕපදූප යොදාගන්නවා නම්, ඒක ගැටළුවක්. මොකද, අපි උඩත් කතා කරපු විදියට ඕපදූපයක් කියන්නේම හරියි කියන්න පුලුවන් කරුණක් නෙවෙයි. ඕපදූපයක් හරි වෙන්නත් පුලුවන්, වැරදි වෙන්නත් පුලුවන්. ඒ නිසා, කෙනෙක් ගැන මනින්න ඕපාදූප යොදාගන්න එපා. ඒක ආතල් එකක් විදියට අරගෙන, එතනින් නවත්වන්න.

 

07. පුද්ගලික ජීවිතේට ගැටළුවක් සිද්ධ නොකරන්න

Talk gossip responsibly

ඇත්තටම මේ කියන්නෙත් උඩ කියපු කාරණාවේ දිගුවක්. ඇත්තටම ඕපාදූප වලින් තව මනුස්සයෙක්ගේ පුද්ගලික, රාජකාරීමය ජීවිත වලට හානි සිද්ධ වෙන්න ඉහළ ඉඩක් තියෙනවා. නිදසුනක් විදියට කිව්වොත්, ඔෆිස් එකේ කෙනෙක් තව කෙනෙක් එක්ක යාලුයි කියලා රාවයක් තියෙනවා කියලා අපි ඔෆිස් එකේ කෑම කන වෙලාවේ ඕපයක් විදියට කිව්වා කියමු. එහෙම එකක් තියෙනවා කියන්න තියෙන සාක්ෂිය තමයි, ඒ අදාළ දෙන්නා ඔෆිස් එකේ ට්‍රාන්ස්පෝර්ට් එකේ එක තැන වාඩි වෙලා එක දවසක් කතා කර කර ගියා කියන එක. ඕක අපිට කියන්නෙත් ඩ්‍රයිවර් කෙනෙක් කියමු. දැන් ඩ්‍රයිවර්ගෙන් අහගත්තු ඕපේ අපි ලන්ච් රූම් එකේ ආතල් එකේ දිග අරිනවා. එතකොට ඔය අදාළ දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඔතන ඉන්නවා නං කියයි, “ඌරෝ ඒ අපේ කණිෂ්කයගෙ නංගි, බැඳල ඉන්නෙත් අපේ මහප්පගෙ පුතාව” කියලා. ඒ ගැන අපි ඊලඟ පොයින්ට් එකේදී කියනවා. හැබැයි එහෙම වගඋත්තර කියන්න ඒ දෙන්නත් ලඟ නැතුව, අපි අතිනුත් ආලවට්ටම් දාලා, මේ කසාද බැඳපු දෙන්නෙක් අනියම් ප්‍රේමයක් ඔෆිස් එකේ තියෙනවා කියලා කැට තියලා ඕපයක් කිව්වොත් මොකද වෙන්නේ? ඒ ඕපදූපේ එහෙන් මෙහෙන් ගිහිල්ලා ඒ දෙන්නා බැඳපු අයටත් ආරංචි වුණොත් මොකද වෙන්නේ? ඒක ඒ අයගේ පුද්ගලික ජීවිතේටත් ගැටළුවක් නේද? ආන්න ඒ නිසා, එහෙම ඕපාදූප කතා කරන්න කලින් දහපාරක් හිතන්න.

 

08. එතන නැති කෙනෙක් ගැන ඕපාදූප කියන්නේ බලාගෙනයි

Talk gossip responsibly

දැන් ඔය අපි කියන්නේ කෙනෙක්ව බයිට් කරනවා කියලා. එතනත් යම් තාක් දුරකට ඕපාදූප සම්බන්ධ වෙනවනේ. හැබැයි එතනදී අපි ඕපාදූපයක් කියන්නේ එතනම ඉන්න කෙනෙක් සම්බන්ධයෙන්. එතකොට, ඒ කෙනාට හොඳ අවස්ථාවක් තියෙනවා ඒකට ප්‍රතිචාර දක්වන්න. ගොඩක් වෙලාවට මේ ප්‍රතිචාර දැක්වීමත් ආයෙමත් ඕපේ කියන මනුස්සයාව බයිට් කිරීමක් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් කරුණු පැහැදිලි කිරීමක් වෙන්න පුලුවන්. එහෙම නැතුව ඕපදූප කියනවා නම්, උඩ කියලා තියෙන කොන්දේසි වලට යටත්ව හැමෝම දන්න තරු මට්ටමේ ඉන්න, ඒ කියන්නේ සෙලිබ්‍රිටි ලෙවල් එකේ ඉන්න කෙනෙක් ගැන වෙන්නත් පුලුවන්. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ ගැන, ශාරුක් ඛාන් ගැන, ස්කාලට් ජොන්සන් ගැන වගේ. ඇත්තටම සෙලිබ්‍රිටි ලෙවල් එකේ ඉන්න කෙනෙක්ට ඕපදූප වලින් ලොකු හානියක් වෙන්නේ නැහැනේ. ඒ නිසා ඒක ගැටළුකාරී වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි ඒ අය ගැන වුණත්, ඕපදූප වගකීමෙන් කියන එක ගැන උඩ කියලා තියෙන කොන්දේසි අදාළ වෙනවා!

 

09. ආතල් ඕපාදූප නං ආතල්!

Talk gossip responsibly

අපි අන්තිමට කියනවා කිව්වේ මේක. ඒ තමයි, සීරියස් කතන්දර ඕපදූප විදියට නොකියන එක, පුද්ගලික ජීවිත වලට අදාළ වෙන දේවල් ඕපාදූප විදියට නොකියන එක සහ, කොන් කිරීමක් අපහාසයක් වෙන්න පුලුවන් දේවල් ඕපාදූප විදියට නොකියන එක. එතකොට මොනවද හලෝ ඕපදූප කියලා කියන්න තියෙන්නේ කියලා එතකොට කෙනෙක් අහයි. ඇත්තටම කියන්න දේවල් තියෙනවා. “අඩෝ, උඹ එදා නෝලිමිට් එකට ගිහින් පැය දෙකක් විතර ගෑණු යටඇඳුම් සෙක්ෂන් එකේ යටඇඳුම් තේරුවලු නේද?” කියලා අහන එකේ ලොකු අවුලක් නෑ. “අපේ එකවුන්ටන්ට් නංගි ගිය සතියේ ඩ්‍රයිවර් අමල්ට කියලා හිතාගෙන ඩිරෙක්ටර් අමල්ට කෝල් එකක් අරං ට්‍රාන්ස්පෝට් පරක්කු ඇයි අහලනේ” කියලා කියන එකත් ලොකු අවුලක් නෑ. මේ විදියේ ඕපදූප වුණත් බොරු නං, එහෙම නැතිනම් සීරියස් ලෙවල් එකකින් පටන් ගත්තොත් අවුල් වෙන්න පුලුවන් තමයි. හැබැයි ඒක ජෝක් එකක් විදියට, බයිට් එකක් විදියට පටන් අරගෙන, එතනින්ම නතර කරන්න පුලුවන් නම්, ගැටළුවක් වෙන්න ඉඩ නෑනේ.

 

දැන් පැහැදිලියිනේ අපි මේ කියන්නේ මොකක් ගැනද කියලා. ඕපදූප වල හොඳ හෝ නරක වෙනම දෙයක්. කෙනෙක්ට පුලුවන් සම්පූර්ණයෙන්ම ඕපදූප කතා කරන එක නවත්තන්නත්. හැබැයි එහෙම නවත්තගන්න බැරි කෙනෙක් ඉන්නවා නම්, වගකීම් සහිතව ඕපාදූප කතා කරන්න ඉගෙන ගන්න වෙනවා. ඒකට උපදෙස් තමයි උඩ කියලා තියෙන්නේ! ඕපාදූප කතා කිරීම ගැන ඔයාලට තව අදහස් තියෙනවා නම්, කමෙන්ට් එකකින් කියාගෙන යන්න!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *