ඊයේ රෑ හීනයක් දැක්කද? ඒ හීනයේ තේරුම මොකක්ද කියලා නිකමට හරි හිතලා බැලුවද? සමහරු ආයෙ දිනපතා හීන පිට හීන දැක්කත්, ඒවායේ එහෙමට ලොකු තේරුමක් තියෙනවා කියලා හිතන්නේ නෑ. හැබැයි සමහරු ඉන්නවා, තමන් දකින හීනෙකින් තමන්ගේ සැබෑ ජීවිතේට මොකක් හරි බලපෑමක් වෙනවද, එහෙම බලපෑමක් වෙනවා නම් ඒ මොකක්ද කියන කාරණා සම්බන්ධයෙන් සෑහෙන්න හිතනවා. හරි. ඇත්තටම අපි හීනයක් විදියට මොකක් හරි දකිනවා නම්, ඒ කියන්නේ අපේ උපවිඥානයේ හෝ තියෙන මොකක් හරි දෙයක් හීනයක් විදියට මතුපිටට එනවා කියන එකනේ. එහෙම නැතුව වෙන කෙනෙක්ට බලහත්කාරයෙන් අපේ හිතට හීන ඇතුළු කරන්න බැහැනේ. එහෙමනම්, අපි දකින හීනෙක මොකක්ම හරි අර්ථයක් තියෙන්න ඕන. ඈත අතීතයේ සිට මිනිස්සු අපේ මේ හීන ගැන උනන්දු වුණු නිසා තමයි, ඈත අතීතයේ ඉඳන්ම හීන පලාඵල කීම පැවත ගෙන එන්නේ. මතකයිනේ කොසොල් රජතුමා දැකපු හීන 16 ගැන බුදුරජාණන් වහන්සේ ගෙන් සිහින පලාඵල විමසලා, බුදුන් ඒ ගැන අදහස් දක්වපු කතාව?
එහෙම බලනකොට අද පවා මිනිස්සු තමන් දකින හීනෙකින් මොකක්ද අර්ථවත් වෙන්නේ කියලා හොයලා බලන්න උත්සාහ කරන එක පුදුම වෙන්න කාරණයක් නෙවෙයිනේ. අන්න ඒ නිසා තමයි, අපි සිහින පලාඵල ලිපි පෙළේ දෙවෙනි ලිපියත් මේ විදියට අරගෙන එන්න හිතුවේ!
01. ග්‍රිම් රීපර්/ මාරයා
ග්‍රිම් රීපර් කියලා කියන්නේ අර බටහිර විශ්වාසයන්ගේ ඉන්න මාරයාම තමයි. කළු ලෝගුවක් ඇඳගෙන, මූණ පේන්නෙ නැති වෙන්න ඔළුවේ ඉඳන් වහගෙන, අර විශාල දෑකැත්තක් වගේ එකක් අරගෙන එන ග්‍රිම් රීපර් නැතිනම් මාරයාව අපි විවිධාකාර විදියට දකින්න පුලුවන්. අපිට ඔය කියපු බටහිර ග්‍රිම් රීපර් ගැන අත්දැකීම් නැති නම්, අපි බෞද්ධ සාහිත්‍යයේ එන මාරයාව, ඇටසැකිල්ලක් වගේ මාරයාව වුණත් දකින්න පුලුවන්. ඇත්තටම වැදගත් වෙන්නේ අපි මේ ග්‍රිම් රීපර් නැතිනම් මාරයාව දකින්නේ කොහොමද කියන එක නෙවෙයි. අපි දකින සංකල්පය වෙන්නේ මරණය ගෙන එන, මරණයට අධිපති කෙනා වීම තමයි.
සිහින විශ්ලේෂණයේ හැටියට ඒකෙන් කියවෙන්නේ අපේ පෞරුෂත්වයේ තියෙන සෘණාත්මක, ප්‍රතික්ෂේප වුණු පාර්ශවයන් ගැන තමයි. සමහර විට අපි විසින් අපි තුළම යටපත් කරගෙන ඉන්න සෘණාත්මක සිතුවිලි ගැන ඉඟියක් වෙන්නත් පුලුවන්. ඊට අමතරව, මේ මාරයාව හීනෙන් දැකීමෙන් සංකේතවත් වෙන්නේ මරණය වෙන්නත් පුලුවනිලු. අපේ ජීවිතේ යම් කිසි සිදුවීම් දාමයක්, සම්බන්ධතාවයක් නැතිනම් පුරුද්දක් පවා අවසාන වීම, “මරණයට පත් වීම” පවා මේ හීනයෙන් සංකේතවත් වෙන්න පුලුවන්ලු.
02. සොහොන් බිමක්
සාමාන්‍යයෙන් සොහොන් බිමක් කියන්නේ අපි ගොඩක් දෙනෙක්ට බය උපදවන තැනක්නේ. එතකොට හීනෙන් සොහොන් බිමක් දකිනවා කියන්නෙත් බිය උපදවන අර්ථයක් ද දැක්වෙන්නේ? ඇත්තටම සිහිනයෙන් සොහොන් බිමක් දකිනවා කියන එකේ තේරුම වෙන්නේ අපි විසින් අපි සම්බන්ධයෙන්ම දුරු කරපු, බැහැර කරපු යම් කිසි පාර්ශවයක්, කරුණක් වෙන්න පුලුවන්ලු. ඒ වගේම, අපි අපේ ජීවිතේ නොදන්නා යම් කිසි දේකට බියට පත් වීම මේ සිහිනයෙන් ඉඟි කරනවා වෙන්නත් පුලුවන්ලු. මීට අමතරව, සොහොන් බිමක් හීනෙන් දැකීමෙන් අපිට කෙනෙක්ව නැතිවීම සහ ඒ වෙනුවෙන් දුකට පත් වීමත් පෙන්නුම් කරනවාලු.
03. දුකට පත් වීම
අපි සාමාන්‍යයෙන් ගොඩක් දේවල් නිසා දුකට පත් වෙනවා. හැබැයි මරණයකදී දුකට පත් වීම ටිකක් වෙනස්. අපි එතකොට සුදු අඳිනවා. නැතිනම් කළු අඳිනවා. මියගිය කෙනා වෙනුවෙන් හඬා වැළපෙනවා. එහෙමනේ. ඔන්න ඕක සිහිනයෙන් දකිනවා කියන්නේ, අපිට අතීතය අමතක කරගන්න බැරුව ඉන්නවා කියන එකලු. ඒ කියන්නේ අතීතයේ අපිට අමතක කරන්න බැරි දේවල් වලට යන්න දෙන්න බැරුව ඉන්නවා කියන එක. එහෙමනම්, එහෙම සිහිනයක් අපි සලකුණක් විදියට අරගෙන අතීතයට යන්න දෙන්න වුවමනායි. ඒ වගේම, මේ හීනෙන් ඒකේ ප්‍රතිවිරුද්ධත්වය කියවෙන්නත් පුලුවන්ලු. ඒ කියන්නේ, අපි අතීතයට සමු දීලා, අතීතයේ අපිට අහිමි වුණු දේවල් පිළිඅරගෙන ඉදිරියට යන්න සූදානම් කියන එකත් මේ හීනෙන් කියවෙන්න පුලුවනිලු.
04. මිනී පෙට්ටියක්
මිනී පෙට්ටියක් සංකේතවත් කරන්නේ වැහුණු තැනක්නේ. ගොඩක් වෙලාවට ගර්භාෂයක් වුණත් මිනී පෙට්ටියකින් සංකේතවත් වෙන්න පුලුවන්. හැබැයි සාමාන්‍යයෙන් මිනී පෙට්ටියක් දකිනවා නම් ඒකෙන් කියවෙන්නේ අපි මැරෙන්න තියෙන බය කියලා තමයි කියවෙන්නේ. අපි දකින්නේ හිස් මිනී පෙට්ටියක් නම්, ඒකෙන් කියවෙන්නේ ආයෙමත් හා කරන්න බැරි විදියේ වෙනස්කම් වෙන්න පුලුවන්ලු. ඒ කියන්නේ අපි තුළම තියෙන වෙනස්කම් වගේම, වෙනත් කෙනෙක් හෝ සිදුවීමක් හෝ තත්වයක් එක්ක ඇතිවෙන වෙනස්කම් වෙන්නත් පුලුවන්. මීට අමතරව, අපි ගාව තියෙන, තවදුරටත් පළක් නැති, අත්හැරලා දැමීමට සුදුසු අදහස් සහ සිතුවිලි මෙහෙම හීනෙකින් සංකේතවත් වෙන්නත් පුලුවන්ලු.
මිනියක් තියෙන මිනී පෙට්ටියක් දකිනවා නම්, එහෙම නැතිනම් අපි මිනී පෙට්ටියක වැතිරිලා ඉන්නවා දකිනවා නම්, ඒකෙන් කියවෙන්නේ අපි බොහොම විශාදීමය කාලයක් පහුකරන ගමන් ඉන්නේ කියන එක. ඒ වගේම. අපි පුද්ගල නිදහස නැති, හිරවුණු තැනක ඇත්ත ජීවිතේ ඉන්නවා කියන එකත් ඒකෙන් සනිටුහන් කරනවා වෙන්න පුලුවන්.
05. මරණය i
මරණය ගැන දකින සිහින සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සමාජයේත් විවිධ අදහස් තියෙනවා. ගොඩක් වෙලාවට දකින්න ලැබෙන පොදු අදහසක් තමයි, අපි හීනෙන් දකින්නේ වෙනත් කෙනෙක් මිය යනවා නම්, ඒකේ තේරුම ඒ මිය යනවා දැකපු කෙනාට ඉදිරිය සුභයි කියන එක. හැබැයි ඒ හීනය දකින අපිට නම් ඒ තරම් ඒක හොඳ නැහැයිලු. කොහොම වුණත්, වෙනත් රටවල සිහින සම්බන්ධ විශ්වාස වලදී, මරණය දැකීම කියන සිහිනය ටිකක් වෙනස් විදියට අර්ථකතනය කරනවා දකින්න පුලුවන්.
06. මරණය ii
අපේ සමීපතමයෙක්, අපි ආදරය කරන කෙනෙක් මියයනවා කියලා අපි සිහිනයෙන් දකිනවා නම්, ගොඩක් දුරට ඒ කෙනා සම්බන්ධයෙන් අඩුයි කියලා අපි දකින ඒ කෙනාගේ ගුණාංගයක් හෝ යම් දෙයක් සම්බන්ධයෙන් හැඟවෙනවා වෙන්න පුලුවන්ලු. එහෙම සිහිනයක් දැක්කහම අපිට හිතලා බලන්න පුලුවන් ඒ කෙනා අපිට විශේෂ වෙන්නේ කොහොමද, ඒ කෙනාගේ අඩුවක් විදියට තමන් දකින්නේ මොනවද කියන එක. අන්න ඒක වෙන්න පුලුවන් ඒ කෙනාත් එක්ක තියෙන සම්බන්ධතාවය ඇතුළේ අඩුයි කියලා දැනෙන්නේ. ඒ වගේම, මේ හීනයෙන් අපේ ඒ සමීපතමයා අපේ ජීවිතේ තවදුරටත් කොටසක් ද නැද්ද කියන එකත් නිරූපණය වෙනවා වෙන්න පුලුවන්. ඒ වගේම, ඒ කෙනාත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය වෙනස් වීමක්, වෙනස් තලයකට යෑමක් වුණත් මේ සිහිනයෙන් නිරූපණය වෙන්න පුලුවන්ලු.
අපි නොදන්නා කුඩා දරුවෙක්ගේ මරණය සිහිනයෙන් දකිනවා නම්, ඒකෙන් අර්ථවත් වෙන්නේ අපේ ළදරු ගති ඉවතලා මුහුකුරා යන්න ඕන, වඩාත් සීරියස් විදියට හිතන්න පටන් ගන්න ඕන කියන එක වෙන්න පුලුවන් කියලා කියවෙනවා. ඔබේම දරුවාගේ මරණය සිහිනයෙන් දකිනවා නම්, ඒකෙන් කියවෙන්නේ දරුවා වැඩිවියට, ස්වාධීන ජීවිතයක් පටන් ගන්න තැනට පැමිණිලා, ඔවුන් ජීවිතයේ නව තලයකට පැමිණිලා කියන එක වෙන්න පුලුවන්ලු.
07. මරණය iii
අපි අපේම මරණය සිහිනයෙන් දකිනවා නම්, ඒකෙන් කියවෙන්නේ අපේ අභ්‍යන්තර වෙනස්කම්, අභ්‍යන්තර පරිවර්තනයක්, අපේ ස්වයං අනාවරණය කරගැනීමක් සහ ධනාත්මක සංවර්ධනයක් වෙන්න පුලුවන්ලු. ඒ කියන්නේ අපේ මරණය සිහිනයෙන් දකිනවා කියන්නේ සෘණාත්මක සිහිනයක් නෙවෙයි. අපේම මරණය දකින සිහිනය දැනෙන්නේ බය සහ අවුල් සහගත බවක් එක්ක නම්, ඒකෙන් වුනත් ඇත්තටම අපේ ඇත්ත ජීවිතේ ධනාත්මක දෙයක් ගැන කියවෙනවා කියන එක තමයි අහන්න ලැබෙන්නේ. කොටින්ම කියනවා නම් තමන්ම මියගිහින් කියලා පේන සිහිනයකින් කියවෙන්නේ ජීවිතේ ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න ලැබෙන විශාල, ධනාත්මක වෙනසක්.
යම් විදියටකට අපි සිහිනයෙන් දකින්නේ අපේම මරණය බොරුවට ඇඟවීමක් නම්, ඒ කියන්නේ ලෝකෙට මැරුණා කියලා පෙන්වීමක් නම්, ඒකෙන් කියවෙන්නේ අපි අළුත් වෙනසක්, අළුත් ආරම්භයක් හොයන බව වෙන්න පුලුවන්ලු. ඒ කියන්නේ අපිට ජීවිතේ වෙනසක් අවශ්‍ය වෙලයි තියෙන්නේ.
08. සොහොන් කොතක්/ සොහොන් ගැබක්
සොහොන් කොතක් සිහිනයෙන් දකින එකෙන් අර්ථවත් වෙන්නේ, අපේ ජීවිතේ යම් කිසි කොටසක්, පාර්ශවයක් සම්බන්ධයෙන් විශාල වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියන එකලු. එතකොට අපි අර ලොකුවට මිනී තැන්පත් කරන්න සොහොනක හදලා තියෙන සොහොන් ගැබක් එහෙම නැතිනම් සුසානඝරයක් සිහිනෙන් දකිනවා නම්, ඒකෙන් කියවෙන්නේ අපේ ජීවිතේ සමහර පාර්ශවයන් අපි සඟවලා තියෙනවා කියන එක වෙන්න පුලුවනිලු.
ඔබ ඔබේම සොහොන් ගැබ තුළ ඉන්නවා දැක්කොත්, ඒකෙන් කියවෙන්නේ අපි අපේ ජීවිතේ අමතක කරලා දාලා තිබුණු යම් යම් පාර්ශවයන්, කොටස් වලට මුහුණ දෙන්න අපිට නියමිතයි කියන එක වෙන්න පුලුවන්ලු. එතකොට අපි සොහොන් ගැබක හිරවෙලා ඉන්නවා දකිනවා නම්, ඒකෙන් කියවෙන්නේ අපි අපේ අතීතයේ තියෙන යම් වේදනාවන් සහ භීතීන් නිසා ඉදිරියට යාගන්න බැරුව හිරවෙලා ඉන්නවා කියන එක වෙන්න පුලුවන්.
09. අවමංගල්‍යයක්
ඔබේම අවමංගල්‍යය සිහිනයෙන් දකිනවා නම්, ඒකෙන් කියන්නේ ගොඩක් දුරට අපේ ජීවිතේ යම් කිසි දෙයක් හෝ තත්වයක් අවසානයට පැමිණිලා තියෙනවා කියන එක වෙන්න පුලුවන්. සමහර වෙලාවට අපි ඒ අවසන් වුණු දේට යන්න නොදී අපේ හැඟීම් යටපත් කරගෙන ඉන්නවා නම්, මේ හීනයෙන් කියන්නේ එහෙම කරන්නෙ නැතුව තමන්ගේ හැඟීම් පිළිඅරගෙන අවසන් වුණු දේ අවසන් කියලා පිළිගන්න කියන එක.
අපි වෙනත් කෙනෙක්ගේ අවමංගල්‍යයක ඉන්නවා කියලා සිහිනයෙන් දකිනවා නම්, ඒකෙන් කියන්නේ අපි පරණ සබඳතාවයක් අවසන් කරලා අතීතයට තිත තියන්න සූදානම්ව ඉන්නවා කියන එක වෙන්න පුලුවනිලු. හැබැයි අපි දන්න අඳුනන කෙනෙක්ගේ හෝ සමීපතමයෙක්ගේ අවමංගල්‍යයකට අපි යනවා කියලා සිහිනයෙන් දකිනවා නම්, ඒකෙන් කියවෙන්නේ අපි ඒ කෙනාත් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් හිර වෙලා ඉන්නවා කියන එක සහ එතනින් මිදිලා අපේ නිදහස සොයාගත යුතුයි කියන එක වෙන්න පුලුවන්.
10. මල් ශාලාවක්
දැන් මල් ශාලාවක් කිව්ව ගමන් ඔළුවට එන්නේ මොකක්ද? මෘතදේහයක අවමංගල්‍ය කටයුතු සූදානම් කරන, අර ඇත් දළ, එතකොට මිනී පෙට්ටි එහෙම තියෙන තැනක් නේද? හැබැයි මල් ශාලාවකට අයිති වෙනවා මෘතදේහයක් එම්බාම් කරන තැනත්. දැන් එහෙම තැනක් හීනෙන් දකිනවා කියන්නේ ගොඩක් දුරට මරණයට සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ අපි අපේ හැකියාවන් සහ කුසලතාවයන් හරියට පාවිච්චි නොකිරීමෙන්, අපේම වර්ධනය අඩපණ කරගන්නවා කියන එකලු. ඒ වගේම මෙහෙම හීනෙකට තවත් තේරුමක් තියෙනවා. අපේ ජීවිතේ අපි ඉවත් කරන්න, අත් හැරලා දාන්න ඕන දේවල් තියෙනවා කියලා ඉඟියක් වෙන්නත් මෙහෙම හීනෙකට පුලුවන් කියලා කියවෙනවා.
11. මිනී කාමරය
මිනී කාමරය කියන්නේ මියගිය කෙනෙක් මල් ශාලාවට සූදානම් කරන්න අරගෙන යනකල් තැන්පත් කරලා තියෙන තැන. ගොඩක් වෙලාවට මේ මිනී කාමරේක තියෙනවා ෆ්‍රීසර්ස් නැතිනම් අධිශීතකරණ. මෙන්න මේවල තමයි මිනී තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මේ විදියේ තැනක් හීනෙන් දකිනවා නම්, ගොඩක් දුරට අපේ ජීවිතේට කම්පනයක් වෙන, බොහෝම නරක ආරංචියක් අපිට ලැබෙන්න නියමිතයි කියලා හීන ගැන විශ්වාස කරන ගොඩක් අය කියනවා. හැබැයි මෙහෙම හීනෙකට තවත් තේරුමක් තියෙන්න පුලුවනිලු. ඒ තමයි, අපි අන්තිමට අපිට කරදර කරන නරක අතීතයක් අමතක කරලා අනාගතේට මුහුණ දෙන්න සූදානම් කියන එකත් මේ හීනෙන් කියවෙන්න පුලුවන්ලු.
Leave a Reply