අපි හැමෝම මේ ලෝකෙට එන්නෙ දිළින්ඳන් විදියට. දිළිඳුභාවය කියලා කියන්නෙ මුදල් නැති කම විතරක්ම නෙමෙයි. පුද්ගලයෙක් දැනුමෙන්, කුසලතාවයෙන්, ආකල්ප වලින් හා බලයෙන් පොහොසත් හෝ දුප්පත් වෙන්න පුලුවන්. මේක එක් එක් මනුස්සයෙක්ගෙ හැකියාව මත තීරණය වෙන දෙයක්. ඉතින් මනුස්සයෙක් මේ විදියට දුප්පත් හෝ පොහොසත් වෙන්නෙ මානසිකව බලපාන කාරණා හා ඔවුන්ගේ දියුණුවීමේ උවමනාව මතයි. දිළිදුතාවයෙ පැති දෙකක් තියනවා. එකක් භෞතික දිළිඳුතාවය. අනික මානසික දිළිඳුතාවය; මේක පුළුල් සංකල්පයක්. මේකෙන් අද අපි කතා කරන්න හිතුවෙ ලංකාවෙ මේ වෙනකොට ගොඩක් අයට බලපාලා තියන වැදගත් මාතෘකාවක් වන මානසික දිළිඳුතාවයයි.
මොකද්ද මේ මානසික දිළිදුතාවය කියන්නෙ?
මනුස්සයෙක් ඉපදෙනකොට දුප්පත් නම් ඒ මනුස්සයගෙ ස්වය උත්සහයෙන් හෝ වාසනාවෙන් දියුණු වෙන්න පුලුවන්. ඒත් මනුස්සයෙක් ස්වඋත්සහයෙන්වත් දියුණු වෙන්න උත්සහ කරන්නෙ නැතුව හැමවෙලේම ඝෘණාත්මක විදියට හිතනවනම්, එහෙම අය මානසිකව දිළිඳුභාවයට පත්වෙලා කියලා කියන්න පුලුවන්. එහෙම කෙනෙක්ට ආර්ථික වශයෙන්වත් දියුණුව කරා ලඟා වෙන්න අසීරුයි.
අපි මේකට ගොදුරු වෙන්නෙ කොහොමද?
මේ වෙනකොට ලංකාවේ ආර්ථිකයත් එක්ක ගොඩක් අයගෙ ධනාත්මක මනෝභාවය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතිනවා. ඒ කියන්නෙ අවට පරිසරයේ තත්වය මත තමුන්ට ලඟා කරගන්න ඕනේ දේවල් ලඟා කරගන්න බෑ කියලා හිතෙනවා, හැමදේම නෙගටිව් විදියට පේන එක, යමක් ලඟා කරගන්න දැඩි උත්සහයක යෙදීමට සිදුවීම මඟින් ඒ කාර්‍යය එපා වීම වගේ ලක්ශණ වැඩි වෙනකොට මිනිස්සු ක්‍රමයෙන් මේ මානසික දිළිඳුතාවයට පත් වෙනවා කියලා කියන්න පුලුවන්. මේ වෙනකොට ලංකාව ඇත්තෙන්ම ඒ තත්වෙටපත්වෙලා හමාරයි.දිනපතා විදුලිය කැපීම්, අධික ජීවන වියදම,වැටුප ප්‍රමාණවත් නොවීම,බෙහෙත් හිඟකම වගේ දේවල් නිසාමිනිස්සු මේ වෙනකොට මානසිකව උපරිම පීඩිත තත්ත්වෙකට පත්වෙලා තියෙන්නෙ.
මානසික දිළිඳුතාවයට පත්වෙන විධි
මං මේ උඩින් කිව්ව හේතු නිසා ගොඩක් අය මේ මානසික දිළිඳුතාවයට පත්වෙමින් තියනවා. ඉතින් කෙනෙක්ට තේරෙනව නම් තමුන් දැන් පත්වෙලා ඉන්නෙ මෙන්න මේ වගේ තත්ත්වෙක කියලා, ඒ වගේම කෙනෙක් නිතරම ඒ ගැන හිතමින් කනස්සළු වෙනව නම් මේක එන්න එන්නම වැඩි වෙනවා. ඒ කියන්නෙ ධනාත්මක මනෝභාවය අභිබවා යමින් දිළිඳු හා ඝෘණාත්මක මනෝභාවයෙන් සිටීමට උත්සහ කරනවනම්, හැමවෙලේම නැහැ කියන තැන ඉන්නවනම්, එහෙම හිතෙන සිතුවිලි වලට ඔබෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනවනම් ඔබට ගොඩ යන්න සෑහෙන්න අමාරුයි.
මේ තත්වය හඳුනාගන්නා ආකාරය
පුද්ගලයෙක් මේ තත්වෙට පත්වෙලාද ඉන්නෙ කියලා හඳුනගන්න කාරණා 5ක් තියනවා.
01. අභිලාශයන්ගේ දුර්වලතාවය
මේකෙන් අදහස් කරන්නෙ කෙනෙක්ට දියුණු වෙන්න තිබිය යුතු අදහස්, ආකල්ප හා බලාපොරොත්තු වලින් හීන වීමයි. මේ වගේ මිනිස්සුන්ට කොයිම වෙලාවකවත් ලොකු ඉලක්ක හා අරමුණු නෑ. ලංකාවෙ මේ වෙනකොට තියන තත්ත්වෙ මේ තත්වෙට ඉබේටම මිනිස්සුන්ව තල්ලු කරනවා. ඒ කියන්නෙ එහෙම ඉලක්ක තියන අයට උනත් ජීවිතේ එපාවීමක් නිසා මේ තත්ත්වෙට පත්වෙනවා.
02. සර්ව අශුභවාදී වීම හා ස්වයං අනුකම්පාවකින් යුක්ත වීම
මානසික දිළිඳුතාවයට පත්වෙන මිනිස්සු තමුන් ගැනම දැඩි අනුකම්පවකින් හිතනවා. හැමවෙලේම මටම මෙහෙම වෙන්නෙ ඇයි කියලා හිතනවා. ඒ වගේම හැම දෙයක්ම අශුභවාදී විදියටම දකින්න උත්සහා කරනවා.
03. අන් අය සමඟ තදබල ලෙස ඊර්ෂ්‍යා කිරීම
ඒ කියන්නෙ දැනටමත් ජීවිතේ සාර්ථක කරගත්, දියුණු පුද්ගලයන්ගෙ සාර්ථකත්වය ගැන දැඩි ඊර්ෂ්‍යාවකින් යුක්තයි. මේ අය අන්අයට තියෙන, තමන්ට නැති දේවල් ගැන සෑහෙන හිතමින් පසුවෙනවා. මෙතන වෙන සංසන්දනය දැනුමක් ලබාගැනීමේ අරමුණින්නම් ඒකෙ කිසි වරදක් නෑ. ඔබගේ හැඟීම හා සිතුවිලි මත තමයි ඒක තීරණය වෙන්නෙ.
04. තීරණ ගැනීමේදී බියකින් පසුවීම
මේ වගේ පුද්ගලයින් තීරණ ගැනීමේදී දෙගිඩියාවකින් යුක්තයි. ප්‍රභල තීරණ ගැනීම් හැමවෙලේම පස්සට දානවා. එහෙම අයගෙ ආත්මවිශ්වාසය ගොඩක් හීන වෙලා තියෙන්නෙ.
05. හැමවෙලේම තමන් සතු නැති දේවල් පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම
මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම පොඩි තැනක ඉඳලා ආපු අය. ඉතින් එක් එක්කෙනාට අනුව උපයාගත් දේවල් වෙනස්. කෙනෙක් තමුන්ට නැති දේවල් ගැන විතරක් දුක් වෙමින් ක්‍රියා කරනවනම් එයා මානසික දිළිදුතාවය පත්වුණු කෙනෙක්. තියන දෙයින් යමක්කරන්න උත්සහා කරනවට වඩා නැති දේවල් ගැන දුක්වෙවී ඉන්න එක මෙයාලගෙ ප්‍රධාන ලක්ශණයක්.
මේ තත්ත්වය සඳහා බලපාන පාලනය කළ නොහැකි පරිසරය
කෙනෙක් මානසික දිළිදුතාවයට පත්වෙන්න බලපාන සෑහෙන කාරණා තියනවා. ඉතින් මේකෙන් පුද්ගලික කාරණා මෙන්ම තමුන්ට පාලනය කළ නොහැකි පරිසරයේ වෙනස්වීම්ද බලපානවා. මේ වෙනකොට ලංකාව පත්වෙලා ඉන්න තත්වෙ ඒකට හොඳම උදාහරණයක්. හැබැයි මෙහෙම තත්වෙක උනත් කෙනෙක්ට තමන්ගෙ ආත්ම විශ්වාසය උපයෝගී කරගෙන ඉදිරියට යන්න පුලුවන්නම් ඒකයි වටින්නෙ. ඔබට මේ කිසිවක් නැති උනත් ගොඩනගාගන්න පුලුවන් කියන ආත්ම විශ්වාසය තිබේ නම් ඔබ මනසින් පොහොසත්. කෙනෙක්ට දියුණු වෙන්න අවශ්‍යනම් පොඩිකාලෙ ඉඳලම ඒකට ඉලක්ක හදගෙන ඉදිරියට යන්න ඕනෙ. එහෙම ගිය අය අද ඕනෙ තරම් ලෝමෙ ජයගෙන තියනවා. අභිලාශය අත් හරින්න එපා.. මේ තත්වෙ ඇතුලෙ හරි ගේමක් ගහන් උඩට එන්න බලන්න.
මානසික දිළිදුතාවය වලක්වන පියවර ගැන අපි ඊලඟ ලිපියෙන් කතා කරමු.
Leave a Reply