ඉංග්‍රීසියෙන් කියන කතන්දරයක් තියෙනවා, Being comfortable in your own skin කියලා. ඒ කියන්නේ, තමන්ව තමන් විදියටම පිළිඅරගෙන ඉන්න පුලුවන් විදියට තමන් ගැනම හොඳ ආත්ම විශ්වාසයක් තියෙන එක ගැන. තවදුරටත් පැහැදිලි කළොත්, ඔය කියන විදියේ comfortable in your own skin මානසික මට්ටමක් තියෙන කෙනෙක් තමන්ගේ හමේ පාට කළු ද, සුදු ද, ඒ පාටට අනික් අය කැමති වෙයිද, තමන් මහතයිද, කෙට්ටුයිද, තමන්ගේ ඇඟේ සයිස් එක සමාජේ අනික් අය පිළිගනීද වගේ කාරණා ගැන වදවෙන්නෙ නෑ. ඒ අය ඒ අයගේ විදියට සතුටින්, රිලැක්ස් එකේ ඉන්නවා. හැබැයි ඉතින් ඕක ලබාගන්න ලේසි පහසු ජයග්‍රහණයකුත් නෙවෙයි. මොකද අපි ඉන්නේ මිනිස්සු හැමතිස්සේම අනික් මනුස්සයා දිහා බලන, අනික් මනුස්සයාව විනිශ්චය කරන, අනික් මනුස්සයා ඉන්න ඕන විදිය ගැන ඔපීනියන් දෙන සමාජෙක. එහෙම සමාජෙක ඉන්න මිනිස්සු අනික් අය ගැන විවේචනාත්මකව බලනවා වගේම, අනික් අය නැතිනම් සමාජය තමන් දිහා විවේචනාත්මකව බලනවටත් ලොකු අවුලක් තියෙනවා. ඒ නිසාම ගොඩක් මිනිස්සු ඇත්තටම තමන් තමන් විදියට ඉන්නවා වෙනුවට, සමාජේ අනික් මිනිස්සුන්ට ඕන විදියට ඉන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් ඒක හරිම වෙහෙසකාරී වැඩක්.
අන්න ඒ නිසා, අපි හිතුවා, තමන්ව තමන් විදියටම තමන්ට පිළිගන්න පුලුවන් වෙන්නේ කොහොමද කියන එක ගැන ටිප්ස් ටිකක් කියන්න!
01. තමන්ගේ වටිනාකම හඳුනාගන්න, නිර්මාණය කරන්න
අපි ඕනම කෙනෙක්ගේ වටිනාකමක් තියෙනවා. සමහරවිට ඒ වටිනාකම අපිටවත් තේරෙන්නේ නැතිවෙන්න පුලුවන්. ඒත් අපිට ඒ වටිනාකම හොයාගන්න පුලුවන්. හරියට තනි කළු ගලක් ඇතුළේ හැංගිලා තියෙන පිළිමයක්, ගල් වඩුවෙක් ගල පතුරු ගහලා මතු කර ගන්නවා වගේ. දැන් මොනවද මේ කියන වටිනාකම්? හොඳට මතක තියාගන්න. තමන්ගේ වටිනාකම කියන්නේ “මට රස්සාවක් නෑ, ඉගෙනගෙන නෑ, හැබැයි මට හොඳ හිතක් තියෙනවා” කියන එක නෙවෙයි. තමන්ගේ හොඳ ගතිගුණ වල වටිනාකම අපි ඊලඟට කතා කරනවා. හැබැයි අපි අපේ වටිනාකම අපේ ඉගෙනීමෙන්, අපි සමාජයට ලබාදෙන දායකත්වයෙන්, රැකියාවෙන්, අපි කරන කියන දේවලින් තමයි හදාගන්න ඕන. ඉතින් එහෙම තමන්ට තිබිය යුතු වටිනාකම් හඳුනාගෙන, ඒ වටිනාකම් තමන් ලඟ නැති නම් නිර්මාණය කරගන්න එක, තමන්ට තමන් විදියටම ජීවත් වෙන්න අත්‍යවශ්‍ය වෙනවා.
02. මෝරල් කෝඩ් එකක් හදාගන්න
තමන්ගේ ගතිගුණත් තමන්ගේ වටිනාකම නිර්මාණය කරන්න අවශ්‍ය වෙනවා කියලා අපි කිව්වනේ. ඇත්තටම අපි හදාගන්න ඕන හොඳ මෝරල් කෝඩ් එකක්. මොකක්ද මේ මෝරල් කෝඩ් එකක් කියන්නේ? සරලවම කිව්වොත්, හරි වැරදි කියන දේ අපිට පුද්ගලික මට්ටමකින් වෙන් කරලා හඳුනගන්න වැදගත් වෙන නීති රීති සමූහයක් කියලා කියන්න පුලුවන්. අපි පුද්ගලික මට්ටමකින් හදාගත්තට, මෝරල් කෝඩ් එකක් සාමාන්‍යයෙන් තමන් ජීවත් වෙන සමාජයේ අනික් අයටත් පිළිගන්න පුලුවන් වෙන එක හොඳයි. හැබැයි මෝරල් කෝඩ් එකට අපි දාගන්න සමහර නීති රීති සමාජයේ පොදු පිළිගැනීමට වෙනස් වෙන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත්, කොහේ හරි ආයතනයකින් වැඩක් ඉක්මනට කරගන්න පොඩි ගාණක් දෙන එක පොදුවේ අවුලක් විදියට පිළිනොගැනෙන, හැමෝම කරන දෙයක්. හැබැයි අපිට ඒක නොකර ඉන්න පුලුවන්, මෝරල් කෝඩ් එකටත් ඇතුළත් කරගන්න පුලුවන්.
03. ඔබේ ජීවිතය අවබෝධ කරගන්න, සැලසුම් කරන්න
තමන්ට තමන් විදියට ඉන්න අවශ්‍ය නම්, මුලින්ම තමන්ව, තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න වෙනවා. තමන්ට ජීවිතේ කරන්න ඕන මොනවද? තමන්ට අනාගතයේ ඉන්න ඕන කොතැනද කියන කාරණා තමන්ටම හොයා බලලා අවබෝධ කරගන්න වෙනවා. අන්න එතකොට, තමන්ගේ ජීවිතේ කොයි වගේ වෙන්න ඕනද කියලා අනික් හැමෝම ලබාදෙන උපදෙස් වලට අනුව නටන්න අවශ්‍ය වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, තමන් රැකියාව අත්හැරලා බිස්නස් එකක් පටන් ගන්න හිතනවා නම්, ඒක කොයි තරම් ඥාණවන්ත අදහසක්ද කියන එක තමන්ගේ ප්‍රාග්ධනය, බිස්නස් කරන්න තමන්ට තියෙන හැකියාව, ව්‍යාපාර ඥාණය, බිස්නස් සඳහා මේ කාලය යෝග්‍යද, තමන් තෝරගන්න බිස්නස් එක කොයි තරම් සාර්ථක කරගන්න පුලුවන්ද වගේ කරුණු කාරණා මත හොයලා බලලා තීරණය කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ වෙනත් අයගේ අදහස් මත නෙවෙයි, කරුණු, සාධක, දත්ත මත තීරණය කරන්න ඕන දෙයක්. එතනදී අදාළ ක්ෂේත්‍රය ගැන ඉන්න හැබෑ විශේෂඥයන්ගෙන් උපදෙස් ගන්න පුලුවන්. මේ හැම දේම අනුව අපිප්ට පුලුවන් අපිට අවශ්‍ය ජීවිතය මොකක්ද කියන එක අවබෝධ කරගෙන, ඒ ජීවිතේ ලබාගන්න සැලසුම් කරන්න,. අන්න එහෙම කරලා තීරණයක් ගත්තට පස්සේ ආයෙ අනික් මිනිස්සු මොනවද ඒ ගැන කියන්නේ කියන එක අදාළ වෙන්නේ නෑ.
04. අනෙක් අයගෙන් අනුමැතිය සෙවීම නවත්වන්න
අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි, තමන් යම් කිසි දෙයක් කරන්න තීරණයක් තනියම ගන්න බයයි. දෙයක් තනියම කරන්න බයයි. කරලා වරදිනවට බයයි. ඒ නිසා, සමාජේ අනික් අයගෙන් තමන් කරන්න යන දේට, තමන්ගේ තීරණයට අනුමැතිය ලබාගන්න උත්සාහ කරනවා. අන්තිමට දන්නෙම නැතුව තමන් ජීවත් වෙන්නේ අනික් අයට ඕන විදියට වෙලා. අන්න ඒ නිසා, මුලින්ම තමන් හිතෙන හිතෙන විදියට, හැරෙන හැරෙන පැත්තට තීරණ ගන්න එක නවත්තන්න ඕන. ඒ වෙනුවට හොයලා බලලා, විශ්ලේෂණය කරලා, තක්සේරු කරලා, ඥාණවන්තව තීරණ ගන්න පුරුදු වෙන්න ඕන. ඊලඟට, තමන් ගන්න තීරණයක ප්‍රතිඵලය මොකක් වුණත් භාරගන්න පුලුවන් විදියේ එඩිතර කමක් ඇති කරගන්න ඕන. ඊට පස්සේ, තමන් කරන කියන දේවල් වලට අනික් අයගෙන් අනුමැතිය බලාපොරොත්තු වෙන පුරුද්ද නවත්තගන්න ඕන.
05. සමාජයට කන් දෙන්න, සමාජයට වුවමනා ලෙසින් ජීවත් වීම නවතන්න
සමාජයට වුවමනා විදියට ජීවත් වෙන්න එපා කියන එක ඔය වෙනස් කියලා හිතන ගොඩක් අය කියන සුලභ ආදර්ශ පාඨයක් වෙලානේ. හැබැයි ඇත්තටම සමාජයට වුවමනා විදියට නැතුව තමන්ට වුවමනා විදියට ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා ගොඩක් දෙනෙක්ට තේරෙන්නෙ නෑ. අපි සරලව උදාහරණෙකින් දෙකකින් ඒක ගැන බලමු. දැන් සාමාන්‍යයෙන් කොල්ලෙක් හෝ කෙල්ලෙක් වයස අවුරුදු විසි පහ විසි හය පනිනකොට නෑදෑයෝ, ගමේ අය, දන්න අඳුනන අය අහනවා කසාදයක් කරගන්නෙ නැද්ද කියලා. ඒකට හේතුව, සාමාන්‍යයෙන් කෙනෙක් විවාහයක් කරගත යුතු වයස ඒක කියලා සම්මතයක් වගේ දෙයක් තියෙන නිසා. එහෙම සමාජය ඇතුළේ සම්මුතියක් හදාගෙන තියෙන්නත් හේතු තියෙනවා. හැබැයි ඉතින් අපි හැමෝම ඒකට අනුගත වෙන්න අවශ්‍ය නෑ. අපි අපේ ටයිම්ලයින් එකක් ඇතුළේ, අපිට වුවමනා කාලෙකදී විවාහ වෙනවා. අන්න එතකොට අපි සමාජෙට වුවමනා විදියට ජීවත් වෙලා නෑ.
හැබැයි එකක්, සමාජයට වුවමනා විදියට ජීවත් නොවුණට, සමාජය මොනවද කියන්නේ කියලා ඇහුම්කන් දෙන එක නවත්වන්න එපා. මොකද ඔය කියන සමාජ සම්මුතීන් පවා හිතනවට වඩා වේගයෙන් වෙනස් වෙනවා.
06. අත් හැරිය යුතු අය අත් හරින්න, තබාගත යුතු අය තබාගන්න
අපිට අපි විදියටම අපිව පිළිගැනීමේ ශක්තිය ඇති කරගන්න නම්, අපි අවට ඉන්නේ කවුද කියන එකත් ඇත්තටම වැදගත් වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, අපි අවට යාළුවෝ කියලා ඉන්නේ නිරන්තරයෙන්ම අපේ ඇදකුද දකින, අපිව විවේචනය කරන මිනිස්සු නම්, අපි කොයි තරම් ශක්තිමත් හිත් තියෙන අය වුණත්, ඔය විවේචන අපේ හිතටත් කාන්දු වෙනවා. අන්න ඒ නිසා, තමන්ගේ ඇදකුද දකින, අපිව විවේචනය කරන අයව අත් හරින්න. තමන්ට ධෛර්යය, ශක්තිය ලබාදෙන, තමන්ගේ ප්‍රශංසාවට ලක් විය යුතු තැන් නිර්ලෝභීව ප්‍රශංසාවට ලක් කරන, තමන්ට වැඩදායී විවේචනයන් ලබාදෙන අයව ලඟ තියාගන්න.
07. ඔබව නිර්වචනය කරන්නේ ඔබම වන්න
අපි උඩින් කිව්වනේ සමාජයට වුවමනා විදියට ජීවත් වෙන්න එපා, ඔබට වුවමනා විදියට ජීවත් වෙන්න පටන් ගන්න කියලා. ඇත්තටම එහෙම ජීවත් වෙන්න පහසුවක් වෙනවා තමන්ටම කියලා හොඳ මෝරල් කෝඩ් එකක් තිබීම සහ තමන්ගේ වටිනාකම් නිර්මාණය කරගෙන තිබීම. ඒ වගේම, තමන්ව නිර්වචනය කරන්න අනික් අයට ඉඩ ලබා නොදී, තමන් විසින්ම තමන්ව නිවැරදිව නිර්වචනය කරගන්න එකත් අත්‍යවශ්‍යයි. මෙතනදී තමන්ව නිර්වචනය කරන්න අනික් අයට ඉඩ ලබානොදෙන්න කියන එකෙන් අදහස් කරන්නේ, ඔබ කොයි වගේ කෙනෙක්ද කියන එක ගැන අනික් අය ඔබටත්, අනික් අයටත් කියන අදහස් ඔබේ ඇතුළාන්තයට කිඳා බහින්න නොදෙන්න කියන එක තමයි. ඒ වෙනුවට, ඔබ කොයි වගේ කෙනෙක්ද කියන එක ඔබම නිවැරදිව තක්සේරු කරන්න. එතනදී ඔබේ ප්‍රබලතා වගේම දුබලතාත් ගණන් ගන්න. මොකද, අපි අපි ගැන බොරුවට ලොකුවට හිතාගෙන ඉන්න එකත් අපිටම අවාසියක් වෙන්න තියෙන ඉඩ වැඩි නිසා.
08. ආත්ම-විශ්වාසය, ආත්ම-සම්මානය වැඩිදියුණු කරගන්න
තමන්ව තමන් විදියටම තමන්ට පිළිගන්න හැකියාව ලැබෙන්න නම්, තමන්ගේ ආත්ම-විශ්වාසය, තමන්ගේ ආත්ම-සම්මානය ඉහළින් තිබීමත් වැදගත් වෙනවා. අන්න ඒකට අපි පටන් ගන්නකොටම කියපු වටිනාකම් හඳුනාගැනීම සහ නිර්මාණය කරගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේම, අපි කලිනුත් කියලා තියෙන විදියට ආත්ම විශ්වාසය වැඩිදියුණු වෙන විදියට කටයුතු කරන එක, ඒ වගේම ආත්ම-විශ්වාසය අඩු කරන දේවල් වලින් වැළකීම අවශ්‍යයි. ඒ දේවල් කරලත් ආත්ම-විශ්වාසය දියුණු වෙන්නෙ නෑ කියලා හිතෙනවා නම්, ආත්ම-විශ්වාසය දියුණු වෙනකල් ඒක තියෙනවා කියලා පෙන්නන්න තමයි තියෙන්නේ. Fake it till you make it කියලා කියන්නේ අන්න ඒකට තමයි!
09. ඔබේ දුර්වලතා පිළිගන්න, පිළිසකර කළ හැකි දුර්වල තැන් පිළිසකර කරගන්න
අපි ඕනම කෙනෙක්ට දුර්වලකම් තියෙනවා. ඒ සමහර දුර්වලකම් හදාගත යුතු, හදාගන්න පුලුවන් දේවල්. සමහර දේවල් ඇත්තටම දුර්වලකම් වලට වඩා, අපි කවුද කියන එකට අදාළ වෙන දේවල්. සරල උදාහරණයකින් කිව්වොත්, අපි කම්මැලියි නම්, ඒක හදාගන්න පුලුවන්, හදාගත යුතු දුර්වලකමක්. එතකොට අපි එහෙම දුර්වලකමක් අපිට තියෙනවා කියන එක පිළිගන්න ඕන. ඊලඟට ඒ දුර්වලතාවය හදාගන්න කටයුතු කරන්න ඕන. හැබැයි තව උදාහරණයක් ගමු. අපේ පවුලේ කෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා කියමු. ඒක පොදුවේ ඔබේ පසුබිමේ දුර්වලකමක් විදියට කෙනෙක් ගන්න පුලුවන්. හැබැයි ඒක ඇත්තටම ඔබේ දුර්වලකමක් නෙවෙයි. ඒ නිසා ඒ වගේ ඒවා ගැන හිතන එක නැවැත්වීම තමයි හොඳම දේ.
හැබැයි ඔබේ සැබෑ දුර්වලකම් විදියට ඉදිරිපත් වෙන දේවල් අනිවාර්යයෙන්ම පිළිසකර කරගන්න එක තමයි හොඳ. ඒ කියන්නේ තමන් සමාජයට හෝ අනික් අයට වුවමනා විදියට ජීවත් නොවුණත්, තමන්ගේ දුර්වලකම් හදානොගත්තොත් ඒවා තමන්ට අහිතකර විදියට බලපාන්න තියෙන ඉඩ වැඩියි. එතකොට අපිට තමන්ව තමන් විදියටම තමන්ට පිළිගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්.
10. ඔබට ආවේණික ලෙසින් සුවිශේෂී වන්න
අවසානයට තමන්ව තමන් විදියටම තමන්ට පිළිගන්න වැදගත් වෙන කාරණය වෙන්නේ, තමන්ටම දැනෙන විදියට, තමන්ටම ආවේණික විදියට තමන් සුවිශේෂී වෙන එක. ඒකට උඩ අපි කියලා තියෙන හැම කාරණයක්ම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පෙනුම කොයි විදියටද නිර්මාණය කරගන්නේ, තමන්ටම අනන්‍ය වුණු, තමන්ටම විශේෂිත විලාසිතා ක්‍රමයක් හදාගන්නේ කොහොමද කියන එක පවා වැදගත් වෙනවා. වෙනත් විදියකට කියනවා නම් තමන්ට පුලුවන් තමන්ටම සුවිශේෂී වුණු බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙන්න. එහෙම වෙනකොට තමන්ව තමන් විදියටම තමන්ට පිළිගන්න වඩාත් පහසු වෙනවා.
හැබැයි අමතක නොකළ යුතු තව එක කාරණයක් තියෙනවා. දැන් උඩ කියපු උපදෙස් පිළිපදිනකොට අපිට අපේ වටිනාකම ගැන හොඳ හැඟීමක් ඇතුව, හොඳ ආත්ම විශ්වාසයක් ඇතුව ජීවත් වෙන්න පුලුවන්. තවදුරටත් අනික් අය කියන දේවල්, සමාජය කියන දේවල් ගැන වද නොවී, තමන් තමන් විදියටම ජීවත් වෙන්න පුලුවන්. හැබැයි ඒ කියන්නේ අර මාර උද්දච්ච කමකින්, මාන්නාධික කමකින් ජීවත් වෙන එක නෙවෙයි. තමන්ට හොඳට හෝ නරකට අදහසක් ප්‍රකාශ කරන, විවේචනයක් ලබාදෙන කෙනෙක්ට රළුකරළු විදියට සැලකීම, රූඩ් වීම නෙවෙයි. උඩ කියපු දේවල් එක්කම, හැමෝටම කරුණාව සහ සුහදත්වය දැක්වීමත් අපි ප්‍රගුණ කරන්න ඕන.
Leave a Reply