හැමදේකටම නිදහසට කරුණු කියන පුරුද්දෙන් ගැලවෙන්නේ මෙහෙමයි!

How not to be an excuse-driven person

දැන් ඔය වැඩ අතපසු වීම්, අත්වැරදීම්, දෝෂ වගේ දේවල් අපි ඕනම කෙනෙක් අතින් සිද්ධ වෙනවනේ. ඒකට කරන්න දෙයක් නෑ. මොකද අපි හැමෝම මිනිස්සු නිසා. හැබැයි දැන් සමහරු ඉන්නවා, තමන් අතින් මොන දේ වුණත්, අත්වැරදීමක් වුණත්, දෝෂයක් වුණත්, වැඩක් අතපහු වුණත් ආයෙ ඒකට කියන්න නිදහසට මොකක් හරි කරුණක් තියෙනවා. ආච්චි මලා, අම්මට සනීප නෑ, මට කොරෝනා හැදුනා, ලැප්ටොප් එක කැඩුනා, ලංකාවේ ආර්ථික අවපාතයක් ආවා වගේ දාහකුත් එකක් නිදහසට කාරණා තියෙනවා ඕනම වෙලාවක. එහෙම නිදහසට කරුණු කියන එකේ නරකම දේ මේකයි. කෙනෙක් තමන් අතින් වුණු දේකට නිදහසට කරුණු කියනවා කියන්නෙම, එයා තමන් අතින් සිද්ධ වුණු දේ පිළිගන්නෙ නැහැයි කියන එක. ඇත්තටම මේක හොඳ ලක්ෂණයක් නෙවෙයි. වෘත්තිය ජීවිතේ, ඉගෙනුම් ජීවිතේදී වගේම පුද්ගලික ජීවිතේදී පවා මේ හැමදේකටම නිදහසට කරුණු කියන්න තියෙන ඇබ්බැහියෙන් අනික් අයට පේන්නේ එහෙම නිදහසට කරුණු කියන මනුස්සයාට පෞරුෂත්වයක් නෑ කියන එක, ඒ මනුස්සයා කිසිසේත්ම විශ්වසනීය නෑ කියන එක, ඒ මනුස්සයාට අවංක අකුටිල භාවයක් නැහැයි කියන එක තමයි.

දැන් එතකොට උඩ කියපු විදියේ අබග්ග වැඩක් කරනකොට සිද්ධ වෙන්න පුලුවන්ද? අපොයි පුළුවන්. අපි මේ කියන්නේ ඒ වගේ කරුණු බොරුයි කියලා නෙවෙයි. උදාහරණයක් විදියට කෙනෙක් කියනකොට අහවල් වැඩේ මට ඉවර කරන්න බැරි වුණේ ආච්චි අසනීප වෙලා බෙහෙත් ගන්න එක්කන් යන්න වුණු නිසා කියලා, ඒක ඇත්තක්ම වෙන්න පුලුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර වැඩේ සම්පූර්ණ වීමට ඒක අදාළ නැති වීම. එතකොට කෙනෙක් මෙහෙම නිදහසට කාරණා පුරුද්දක් විදියටම කියනවා නම්, ඇත්තටම අනික් අයට ඒවා පිළිගන්නත් අමාරු වෙනවා.

අන්න ඒ නිසා, අපි හිතුවා මේ හැමදේකටම නිදහසට කරුණු කියන පුරුද්දෙන් කෙනෙක්ට ගැලවෙන්න පුලුවන් උපදෙස් කීපයක් ලබාදෙන්න. .

01. තමන්ගේ ප්‍රශ්න මොනවද කියලා හඳුනාගන්න

How not to be an excuse-driven person

ගොඩක් වෙලාවට පුරුද්දකට නිදහසට කරුණු කියන කෙනෙක්, ඇත්තටම නිදහසට කරුණු කියන්නේ තමන් අතින් අතපහු වෙන දෙයක් නිසා, එහෙම නැතිනම් තමන්ට කරන්න බැරි වෙන දෙයක් නිසා, එහෙම නැතිනම් තමන් කරපු දේක තියෙන වැරැද්දක් නිසා වගේ දෙයක් හින්දනේ. ඉතින් ඔබත් එහෙම කෙනෙක් නම්, මුලින් හිතලා බලන්න තමන්ට නිරන්තරයෙන්ම නිදහසට කරුණු කියන්න සිද්ධ වෙන්නේ මොන වගේ ගැටළු සම්බන්ධයෙන්ද කියලා. සමහර වෙලාවට කෙනෙක්ට නිදහසට කරුණු කියන්න සිද්ධ වෙන්නේ තමන් අතින් නිතරම වැඩ වල වැරදි සිද්ධ වෙන නිසා වෙන්න පුලුවන්. එතකොට හිතලා බලන්න ඕන ඒක එහෙම වෙන්නෙ ඇයි කියලා. නොසැලකිල්ල නිසා? ඉක්මනින් ඉක්මනින් වැඩ ඉවර කරන්න උත්සාහ කරන නිසා? ඔය වගේ ඕන එකක් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් තව උදාහරණයක් ගත්තොත්, කෙනෙක් ඉන්න පුලුවන් මලාට වෙලාවට වැඩක් කරන්නෙ නැති, සහ ඒ නිසාම ඒකට විවිධ නිදහසට කාරණා කියන. ඒ කෙනා ඔයා නම්, දැන් හොයලා බලන්න ඒ ඇයි කියලා. කම්මැලිකම නිසා? අන්තිම මොහොත වෙනකල් වෙන වෙන දේවල් වලට අවධානය වෙනතක ගිහින් ඔහේ කැරකි කැරකි ඉන්න නිසා? එක් වැඩකට ඕනෑවට වඩා වෙලාව ගන්න නිසා? වැඩ සැලසුම් කරගෙන නැති නිසා? එහෙම නැතිනම් සරලවම කාල කළමනාකරණය අවුල් නිසා? මේ විදියට අවංකවම තමන්ට තියෙන ගැටළුව තෝරාබේරා ගන්න.

02. පිළියම් හොයන්න

How not to be an excuse-driven person

දැන් අවංකවම ප්‍රශ්නය තියෙන්නේ කොතනද කියලා හොයාගත්තා නං, ඊලඟට පුලුවන් ඒකට පිළියම් හොයන්න පටන් ගන්න. උදාහරණයක් විදියට, අපි කියමු කාල කළමනාකරණය අවුල් නිසා වැඩ ටික වෙලාවට ඩිලිවර් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ, ඉතින් පරක්කු වෙන පරක්කු වෙන සැරේට එක එක නිදහසට හේතු කියනවා කියලා. එහෙමනම් අපි කාලය කළමනාකරණය කරගන්න උදවු වෙන විවිධ ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් ඉගෙන ගන්න ඕන. අපි කියමු තමන් මහන්සියෙන් වැඩ කළත්, වැඩ වලදී තමන් අතින් වැරදි සිද්ධ වෙනවා, ඒ නිසා ඒ වැරදි වහන්න නිදහසට කරුණු කියන්න වෙනවා කියලා. එහෙම වැරදි වෙන්න හේතුව එතකොට අපි හොයාගන්නවා, කරන වැඩේ සම්බන්ධයෙන් හරි හැටි දැනුම නැති කම නිසා කියලා. එහෙමනම් ඔන්ලයින් කෝස් එකක් කරලා හරි තමන් කරන දේ හරියට කරන්න ඉගෙන ගන්න ඕන. ඔන්න ඔය විදියට තමන්ගේ ගැටළු වලට පිළියම් හොයාගන්න එක තමයි ඊලඟ ස්ටෙප් එක.

දැන් ඇයි මේ පිළියම් හොයන එක වැදගත් වෙන්නේ? පිළියමක් තියේ නම් ගැටළුවක් නෑ. ගැටළුවක් නැති තැන නිදහසට කරුණු කියන්න අවශ්‍යතාවයක් නෑ!

03. වෙන්න පුළුවන් ප්‍රශ්න පුරෝකථනය කරන්න

How not to be an excuse-driven person

නිදහසට කරුණු කියන්න සිද්ධ වෙන්නේ මොකක් හරි වැරදුනොත් හරි අතපහු වුණොත් හරිනේ. අන්න ඒකට හේතුව සහ පිළියම හොයාගන්න විදිය අපි උඩින් කතා කළානේ. හැබැයි සමහර දේවල් තියෙනවා අපේ පාලනයෙන් තොර කරුණු කාරණා, අපේ වැඩකටයුතු වලට බලපවත්වන. ආන්න ඒවා අපි පුරෝකථනය කරන්න ඉගෙන ගන්නත් ඕන. එහෙම කලින්ම හිතලා බලලා තිබුණහම සිද්ධ වෙන්න පුලුවන් ප්‍රශ්න, අපිට පුලුවන් ඒ ප්‍රශ්න මඟහරින්න පුලුවන් පිළියම් කලින්ම යොදාගන්න. උදාහරණයක් විදියට ගත්තොත්, අපි ඔෆිස් මීටින් එකකට පුරුද්දක් විදියට යන්න පරක්කු වෙනවා නම්, එහෙම පරක්කු වෙලා ඒකට නිදහසට කාරණා කියන්න සිද්ධ වෙනවා නම්, මොකක්ද ඒකට හේතුව කියලා බලන්න පුලුවන්. හේතුව කොළඹ ඉඳන් පැයක දුරින් සිටීම වෙන්න පුලුවන්. හැබැයි ගාළු පාරේ තියෙන ට්‍රැෆික් නිසා කවදාවත් වෙලාවට යන්න බැරි වීම වෙන්න පුලුවන්. එහෙමනම්, කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි කොයි තරම් කලින් ආවොත්ද වෙලාවට ඔෆිස් එන්න පුලුවන් කියලා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන එක. අන්න ඒ වගේ, තමන්ගේ වැඩකටයුතු වලට ගැටළුවක් වෙන්න පුලුවන් තත්ව සහ දේවල් කලින්ම පුරෝකථනය කරලා, ඒවලට නිසි පිළියම් කලින්ම යොදලා තිබුණොත්, තමන්ගේ වැඩ වල අතපහුවීම්, වැරදීම් සිද්ධ වෙන්නෙ නෑ. එහෙම නොවුණහම නිදහසට කරුණු කියන්න අවශ්‍ය වෙන්නෙත් නෑ,

04. වැරදීම් වලින් ඉගෙන ගන්න, කන්න පුලුවන් ප්‍රමාණය බෙදාගන්න

How not to be an excuse-driven person

මේක ඕනෑම කෙනෙක්ට වැදගත් පාඩමක්. අපි හැමෝම කොයි තරම් ප්‍රශ්න ඇති නොවෙන්න සැලසුම් කළත්, ප්‍රශ්න හෝ අතපසු වීම් සිද්ධ වෙනවා. ඒක තමයි ලෝකේ හැටි. හැබැයි අපි එකම වැරැද්ද නැවත නැවත කරනවා නම්, එතන අපේ ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ නිසා අපි අපේ වැරදි වලින් ඉගෙන ගන්න ඕන. ආයෙමත් ඒ විදියේ වැරදි හෝ අතපසු වීම් නොවෙන්න කටයුතු කරන්න පුලුවන්.

ඒ වගේම, තමන් යම් කිසි වැඩක් භාරගන්නකොට, ඒක තමන්ට කරන්න පුලුවන් වැඩක් ද, ඒක තමන්ට දෙන ලද කාලයකදී කරන්න පුලුවන් දෙයක් ද, තමන්ට කරගන්න බැරි තරමට වැඩ කොටසක්ද කියන එක නිරවද්‍යව විශ්ලේෂණය කරලා බලන්න ඕන. ඊට පස්සේ තමන්ට පුලුවන් ප්‍රමාණයේ වැඩක්, ඇත්තටම ප්‍රායෝගිකව සම්පූර්ණ කරගන්න පුලුවන් ඩෙඩ්ලයින් එකක් ඇතුළේ විතරක් භාරගන්න ඕන. වෙන විදියකට කිව්වොත් කන්න පුලුවන් ප්‍රමාණය විතරක් බෙදාගන්න ඕන. අන්න එතකොට නිදහසට කරුණු කියන්න අවශ්‍ය නෑ. ඒ වගේම, තමන්ට කරගන්න බැරි තරමේ වැඩ කොටසක් භාර අරගෙන, ඒක ඉවර කරගන්න බැරි වුණහම, වැඩ කොටස වැඩි නිසයි බැරි වුණේ කියලා නිදහසට කරුණු කියන්න අවශ්‍ය වෙන්නෙත් නෑ!

05. වගකීම ගන්න

How not to be an excuse-driven person

හරි, අපි මෙච්චර වෙලා කිව්වේ, අපිට නිදහසට කරුණු කියන්න සිද්ධ වෙන ගැටළු සිද්ධ වීමෙන් වළක්වන්න කරන්න පුලුවන් දේවල් ගැනනේ. හැබැයි ඒ විතරක් මදි. මොකද, එකක් ඔය මොන විදියේ පූර්වෝපායයන් යොදලා, සැලසුම් කරලා තිබ්බත් වැරදීම් හෝ අතපසුවීම් සියේට සීයක් වළක්වාගන්න බැහැ. මොකද අපි හැමෝම අසම්පූර්ණ ලෝකෙක ජීවත් වෙන මිනිස්සුනේ. මිනිස්සු අතින් වැරදි වෙනවා. දෙවෙනි කාරණාව, සමහරු ඉන්නවා, මොන දේ වුණත් නිදහසට දෙයක් කියන්න ලැහැස්ති කරගන්න එක රෝගයක් තරමට ඔඩු දුවපු. එහෙම කෙනෙක් එක්ක කතාබහ කරන එකත් ඔලුව කැක්කුමක්.

දැන් ඔබත් මේ දෙවෙනි කාණ්ඩයට අයිතියි නම්, එහෙම නැතිනම් වැරදි වෙන්න පුලුවන් කියන එක පිළිගන්නවා නම්, තරයේ මතක තියාගන්න, වැරැද්දක් හෝ අතපසු වීමක් සිදුවුණු විට නිදහසට කාරණා කීමෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ ප්‍රතිරූපයට හානියක් කියන එක. ඒ වෙනුවට ඒ වැරැද්දේ හෝ අතපසුවීමේ වගකීම ගන්න. ඒකට කණගාටුව ප්‍රකාශ කරන්න. ඒකෙන් සිද්ධ වුණු හානිය පිළිසකර කළහැක්කේ මොන විදියටද කියලා බලන්න. ඊට පස්සේ ඒ හානිය පූරණය කරන්න. ආයෙමත් ඒ වගේ වැරැද්දක් සිදුනොවෙන්න වග බලාගන්න. මේ පොයින්ට් එකේ සම්පූර්ණ කාරණය වෙන්නේ, තමන් අතින් සිද්ධ වෙන ඕනෑම දේකට වගකීම ගන්න පුලුවන් පෞරුෂත්වයක් ගොඩනඟා ගන්න කියන එක තමයි!

06. අසාර්ථක වීමේ බියට යට නොවන්න

How not to be an excuse-driven person

අසාර්ථක වීමේ බියට වඩා දුර්වල ප්‍රතිරූපයක් ඇතිවීමේ යතාර්ථය බලවත් බව තේරුම් ගන්න එක, නිදහසට කරුණු කියන පුද්ගලයෙක් වීමෙන් වළකින්න ඉතාමත් වැදගත් වෙනවා. ඇත්තටම ඇයි අපි ඕනම දේකට නිදහසට හේතු කියන්නේ? ගොඩක් වෙලාවට අපි අසාර්ථකයි කියලා පේනවට, අනික් අය අපි අසාර්ථකයි කියලා හිතාගන්නවට, ඒ වගේම අපිට අපි අසාර්ථකයි කියලා දැනෙනවට ගොඩක් අය බයයි. ඒ නිසාම අපි ඒ අසාර්ථකයි කියන කෑල්ල මඟ හරවාගන්න විවිධ නිදහසට හේතු නිර්මාණය කරගන්නවා.

හැබැයි අපි තේරුම් ගන්න ඕන කාරණාව මේකයි. අසාර්ථකයි කියන්නේ බය වෙන්න දෙයක් නෙවෙයි. අපි වෙනත් ලිපි වලත් සෑහෙන්න කියලා තියෙන විදියට, අසාර්ථක වෙනවා කියන්නේ අපි සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරනවා කියන එක. ඇත්තටම අපි වැරැද්දක හෝ අතපහු වීමක වගකීම බාරගන්න එකෙන්, අපිට ශක්තිමත් පෞරුෂත්වයක් තියෙන, හොඳ ප්‍රොෆෙෂනල් කොලිටි එකක් තියෙන මනුස්සයෙක් කියන එක ආයෙ ආයෙත් අනික් අයට අවබෝධ වෙනවා. අන්න ඒක අපේ සාර්ථකත්වයට ඉතාම වැදගත්!

07. බ්ලේම් ගේම් එකේ ගොදුරක් නොවෙන්න

How not to be an excuse-driven person

බ්ලේම් ගේම් නැතිනම් දෝෂාරෝපණයේ බෝලය අතින් අත යැවීම කියලා අපි කියන්නේ, මොකක් හරි වැරැද්දක් හරි අතපහු වීමක් හරි සිද්ධ වුණහම, ඒකට වගකීම ගත යුතු කෙනා වගකීම ගන්නවා වෙනුවට, ඒකේ වගකීම හෝ දෝෂාරෝපණය වෙනත් කෙනෙක්ට පටවන්න උත්සාහ කරන එකට තමයි. දැන් නිදහසට කරුණු කියන එක ඇත්තටම මේ බෝලේ පාස් කරන එකටත් සමීපව සම්බන්ධයි. එතනදී තමන් නම් ඒකට වගකීම ගන්න ඕනේ, සෘජුවම ඒ වගකීම ගන්න එක වගේම, ඒකට වගකීම අදාළ වෙන්නේ තමන්ට නෙවෙයි නම්, වෙනත් කෙනෙක් තමන්ට බෝලේ පාස් කළොත් ඒකත් සෘජුව කතා කරලා තමන්ට ඒක අදාළ නැහැයි කියලා කියන්න නිර්භීත වෙන එකත් අපි කතා කරනවා.

08. ආකල්පය වෙනස් කරගන්න, ඔබ ගැන විශ්වාස කරන්න

How not to be an excuse-driven person

අවසානයට ගත්තොත් හැමතිස්සේම, හැම දේකටම නිදහසට කරුණු කියන කෙනෙක් නොවෙන්න නම්, අපේ ආකල්ප වෙනස් වෙන්නත් ඕන. ඒ කියන්නේ, තමන්ට වෙන හැමදේකටම වැරදි වෙන කෙනෙක්, තමන් අදාළ වෙන ඕනෑම දේකට වැරදිකාරයා තමන් නොවේය කියන ආකල්පය වෙනස් වෙන්න ඕන. තමන්ගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැයි කියන ආකල්පය වෙනස් වෙන්න ඕන. අන්න එහෙම හිතලා තමන් මේ හැමදේකටම නිදහසට කරුණු කියන මානසිකත්වයෙන් මිදෙන්න පුලුවන් නම්, ආන්න ඒක ඇත්තටම තමන් සාර්ථකත්වය කරා තබන පියවරක් වෙයි./

ඒ වගේම, අවසාන වශයෙන්, හැමදේකටම නිදහසට කරුණු කියන කෙනෙක් නොවෙන්න නම්, තමන් ගැනම විශ්වාස කරන්න පටන් ගන්න වෙනවා. තමන්ගේ හැකියාවක් ගැන විශ්වාස කරන්න පටන් ගන්න වෙනවා. ඒ වගේම, තමන් හැමදේකටම නිදහසට කරුණු හොයන්නේ නැතුව, ස්වෝත්සාහයෙන් ඉස්සරහට යන්න පුලුවන් කෙනෙක් කියලා විශ්වාස කරන්න පටන් ගන්නත් වෙනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *