ලංකාවේ ගැහැණියකට රජකම ලැබුනේ ඉතාම කලාතුරකින්. ඉතින් මෙවැනි රටක තුන් වරක් රජබවට පත්වෙන්න ලීලාවතී කුමරිය වරම් ලැබුවා. ඇය ඉතාම දුකින්, කනස්සල්ලෙන් සහ කලකිරීමකින් ජීවත් වූ රැජිණක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඇයගේ ජීවිත කතාව ඔයාලට ගෙන එන්නයි lifie අද සූදානම් වන්නේ.
01. උපත
ලීලාවතී රැජිණගේ ජිවිතයේ පසු කාලීන සිදුවීම් සොයා ගැනීමට නොහකි වුනත්, ලීලාවතියගේ ළමා කාලය හා උපත ගැන තොරතුරු සඳහන් වී ඇත්තේ ද ඉතා අඩුවෙන්. ඇගේ උපන් වර්ෂය හා නිවැරදි විස්තර සොයා ගන්නත් හරිම අමාරුයි. නමුත් හමුවන මූලාශ්‍ර වලට අනුව ලීලාවතීය ශ්‍රී වල්ලභ රජුගේ සහ සුගලා නම් වූ ඔහුගේ බිරිඳගේ දියණිය බව ප්රකටයි.
02. ඇයගේ ආදරය
ලීලාවතී කුමරියගේ ආදර දිනාගත් ආදරවන්තයා පරාක්‍රමබාහු කුමරු බව අපි හැමෝම දන්නවා. ලීලාවතී කුමරියගේ මව සුගලා දේවිනේ.. ඉතින් ඇගේ අනාගත සැමියා මෙන්ම මස්සිනා ද වූ මානාභරණගේ පුත් පරාක්‍රමබාහු ඇගේ තරුණ කාලයේදීම තමයි මුණ ගැහෙන්නෙ. ඇය පරාක්‍රමබාහු සමග විවාහ වූනේ කුමන අවස්ථාවක කියන්න තරම් තොරතුරු හෙළි වෙන්නේ නෑ.
මහා පරාක්‍රමබාහු රජු මුලින්ම රජකමට පත්වෙන්නේ දක්ඛින දේශයේ. තමන්ගේ අපේක්ෂාව වූ රටම එක්සේසත් කිරිමට වෙන වෙනම රාජ්‍ය කොටස් වශයෙන් තිබීම බාධාවක් බව ඔහු දැනගෙන හිටියා. මේ නිසා අනාගතය ගැන විශාල සැලැස්මක් හැදූ ඔහු ඔහුගේ සිහිනය සැබෑ කරගන්නයි ලීලාවතී කුමරියව විවාහ කර ගන්නේ. රාජ්‍යත්වය ලබා ගැනීමට එහි රජකමට උරුම කම් කියන ඥාති සම්බන්ධයක් ගොඩ නැගීමට අවශ්‍ය වූ නිසයි ඔහු ඇය සමග විවාහ වෙන්නේ. හැබැයි මේ විවාහයට පරාක්‍රමබාහුගේ මෑණියන් වූ රත්නාවලී බිසව එතරම් කැමැති වුනේ නෑ.
03. රාජ්‍ය කාලය
වරින් වර සිහසුනෙන් පහවී යළි යළිත් තුන් වරක් රජකම් කරන්නට තරම් ශක්තිමත් ගැහැණියක් වූ ඇය මුලින්ම පොළොන්නරුවේ රජකම් කළේ ක්‍රි. ව. 1197 සිට 1200 දක්වා වසර තුනක කාලයක්. දෙවැනි වරට 1209 සිට 1210 දක්වා වසරක කාලයක් රජකම් කළා. යළිත් තුන් වැනි වරට ද සිහසුනට පත් ඇයට එවර රජකම දරන්නට ලැබුණේ මාස හතක කාලයක් විතරයි. මේ විදිහට වරින් වර සිහිසුන අහිමි වූ වත් නැවත නැවත රජකම ලබා ගැනීම තුළින් ප්‍රකාශ වෙන්නේ ඇයගේ දැඩි ආත්ම ශක්තිය හා එඩිතර බවයි.
04. ඇය සිය සැමියාට ද්‍රෝහි වූවාද?
ඇත්තටම ඇය සැමියාට ද්‍රෝහි වුනේ නෑ. එසේ කලේ නෑ. ඇය තරම් ආදරය නිසා දුක් විදපු රජ බිසවක් නැති තරම්.
මේ කාලයේ රුහුනේ රජ කමට පත්වන්නේ ලීලාවතී රැජිණගේ සොහොයුරා වූ මානාභරණ. පරාක්‍රමබාහු රජු රුහුණ ආක්‍රමණය කරයි යන බයට පත් වු මානාභරණ සහ සුගලා දේවිය ඊට පෙර දක්ඛින දේශය එක්ක සටනට එනවා. මානභරණ රජුට පරාක්‍රමබාහු පරද්දන්න බැරි වුනා. ටික කාලයකින් මානාභරන රජු මැරෙනවා. ඉන්පසු රුහුනේ පාලනය සියතට ගත්තේ සුගලා දේවිය විසින්. සුගලා දේවියත් එක්ක මහා පරාක්‍රමබාහු රජු සටනකට පෙළඹුනා.
කොහොම හරි ලීලාවතී හා පැරකුම් විවාහයට කනකොකා හඬන්නට මේක හේතු වුනා. තමන්ගේ මවට එරෙහිව තම සැමියා ගෙන යන මේ යුධ මෙහෙයුම් ඇයට දැඩි සිත් වේදනාවක් අති කලා. නමුත් ඇය කිසි විටකත් සිය සැමියට ද්‍රෝහි වුනේ නෑ. නමුත් රත්නාවලී රැජින ලීලාවතී බිසව ගැන දැඩි සැකයෙන් සිටියේ. ඇය මහා පරාක්‍රමබාහු රජු හා ලීලාවතීගේ ආදරය බිඳවීමට ගෙතූ කේලම් රජුට පවසා තිබුනා. මව් බිසවගේ කියමන් රජු විශ්වාස කල බවත් ඉතිහාසය වැඩි දුරටත් සඳහන් වෙනවා. මේ නිසා පැරකුම් රජු තමන්ගේ බිසව ගැන යම් සැකයකින් සිටියා. මේ කාලදීම පරාක්‍රමබාහු රජු ලීලාවතී බිසවට වඩා දෙවන බිසව වූ රූපවතී බිසවට දැඩි ඇල්මක් දැක්වූවා. මේ නිසා ලිලාවතී තනී වූ අතර ඇයගේ බලතලත් බොහෝ දුරට අඩු වී තිබුනා. මේ හින්දම ඇය දැඩි මානසික පීඩාවකින් සිටි බවයි සඳහන් වෙන්නේ.
05. ලීලාවතී රජවීම
මහා පරාක්‍රමබාහු රජු මිය ගියේ සිහසුන උරුම පුත් කුමරුවකු නොමැතිව. රජුගේ නැගණියගේ පුත්‍රයා දෙවැනි විජයබාහු නමින් සිහසුනට පත් වුව ද ඔහුට රජකම් කරන්නට ලැබුණ් එක් වසරක් විතරයි. කේශධාතු මහින්ද නම් ඇමැතියා ඔහු මරා රජකම පැහැරගත්තා. එහෙත් පස් දිනක් ඇවෑමෙන් ඔහු මරා දමනු ලැබුවේ සිංහාසනයට නීත්‍යානුකූල හිමිකරු වූ නිශ්ශංකමල්ල විසින්.
නිශ්ශංකමල්ල රජුගේ නව වසරක රාජ්‍ය කාලයෙන් පසු රාජ්‍යත්වය අතින් අතට මාරු වෙනවා. අවසානයේදී එවකට රජ වී සිටි චෝඩංග සිහසුනෙන් නෙරපා, ඇස උගුලුවා අන්ධ කොට රටින් ද පිටුවහල් කිරීමට කිත්ති නම් සෙනෙවියා කටයුතු යෙදුවා. හමුදා කුමන්ත්‍රණයක් මඟින් ඔහු එසේ කළේ තමාට රජවෙන්න නෙමෙයි. ඒ වන විට සියලු කාර්යභාරයන්ගෙන් ඈත් ව උකටලී ජීවිතයක් ගත කළ ලීලාවතී බිසව සිංහාසනාරූඪ කරන්න.
06. ඇය තෙවරක් රජ කමට පත් වීමට හේතු වූ කරුණු
ඇය පළමු වරට රාජ්‍යත්වයට පත්වෙන්නේ 1197 දී. ලීලාවතී රැජිනගේ පාලන සමය තුල ඇය ලංකාවේ සාහිත්‍ය සඳහා විශාල සේවයක් ඉටු කළා. ඒ අතරම වෙහෙර විහාර දියුණු කිරීමටත් ඇය විසින් උත්සහ ගත්තා. එහෙත්, ඊට විරෝධය දැක්වූ ප්‍රබල ඇමති පිරිසක් කියා සිටියේ ඇයට රාජ්‍ය උරුමයක් නෑ කියල. ඒ නිසා ඔවුන් ලීලාවතී රැජිණගේ රාජ්‍ය සමය ලක්දිව අරාජික සමයක් ලෙස සැලැකුවා. ලංකාවෙත් මෑත කාලයේ සිද්ධ වුනා වගේම දෙයක් එදත් සිද්ධ කලා. ඒ තමයි ලංකාවට පැමිණ රාජ්‍යය භාරගන්නා ලෙස දන්වා ඔවුහු කාලිංග දේශයේ සිංහපුර සහස්සමල්ල කුමරු වෙත සන්දේශයක් යවපු එක. ඒ අතර ඔවුහු ලීලාවතී බිසව සිහසුනෙන් පහ කිරීම පිණිස ද වසරකට අධික කාලයක් පුරා උග්‍ර සටනක් කලා. ඒත් ඇත්තටම කිත්ති සෙනෙවියා ඇතුළු හමුදා බලය හමුවේ ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වුනා. නමුත් අවසානයේ තුන් වසරක් පොළොන්නරුවේ රජ කළ ලීලාවති බිසව සිහසුනෙන් නෙරපා සහස්සමල්ලට රජකම ලබා දීමට විරුද්ධවාදීන් සමත් වුනා.
වසර දෙකකින් පසු ඔහු සිහසුනෙන් පලවා හරින ලද්දේ ආයස්මන්ත නම් සෙනෙවියා විසිනි. පුජාවලිය සඳහන් කරන අන්දමට සහස්සමල්ලට සිහසුන ලබා දී ඇත්තේ ද ඒ සෙනෙවියාමයි. මේ විදියට නැවතත් රජකම අතින් අතට මාරු වෙලා අවසානයේ නැවතත් අණිකංග රජුගේ මහ සෙනෙවියා වූ චමුනක ඔහු මරා යළිත් ලීලාවතී රැජිණට සිහසුන ලබා දුන්නා. මහාවංසයෙත් මේ පුවත සඳහන් කරන්නේ මෙහෙමයි, “දෙවැනි වර සිහසුනට පත් ලීලාවතී රැජිණගේ රාජ්‍යෝදය වසරකට සීමා විය.”
ඇගේ දෙවැනි රාජ්‍ය යුගය අවසන් වූ අයුරුත් මහාවංසයෙහි විස්තර කර ඇත්තේ, “ඉක්බිත්තෙන් හුලින් භග්න වූ අංගයක් ඇති ලෝකේශ්වර නම් නරෙන්ද්රයෙක් තෙම පරතෙරින් මහත් වූ දෙමළ සෙන් ගෙන අවුත් මුළු සිරිලක තමන් වසඟ කොට පොළොන්නරුවෙහි වෙසෙමින් නව මසක් රජ කළේ ය.”
ඒ අනුව ඇය යළිත් සිහසුනෙන් පලවා හැරීමට මුල් වී ඇත්තේ ද්‍රවිඩ ආක්‍රමණයක්. ලෝකේශ්වර නම් වූ මොහු මහාවංසයෙහි සඳහන් අන්දමට අවි සරඹයක දී ශරීරාංගයක් බිඳී ගිය අයෙක්.
සිහසුනෙන් නෙරපනු ලැබ සිව් මසකින් පසු ලීලාවතී රැජිණ තුන් වැනි වරට සිහසුනට පත් කරනු ලැබුවේ පරාක්‍රම නම් සෙනෙවියක්. එහෙත් තුන් වැනි වරට ඇය සිහසුනට පත්වෙලා මස හතකට පස්සේ පරාක්‍රම නමැති පාණ්ඩ්‍ය රජෙක් ඇය සිහසුනෙන් පහකොට පරාක්‍රම පාණ්ඩ්‍ය නමින් රජ වුනා.
07. මරණය
කාලිංග මාඝ නම් දරුණු ද්‍රවිඩය විසින් දරුණු මිනිස් සංහාරයක් ලංකාවේ ඇති කලා. ඇය මේ සංහාරයන්ට මුහුණ දී මැරෙන්නට ඇතැයි විශ්වසා කරනවා.
08. ඇයගෙන් ඉටු වූ විශේෂ සේවාවන්
අනුරාධපුර පුලියමංකලුම සෙල්ලිපියේ ලීලාවතී රැජින ඉතාම දැහැමින් රජ පාලනය කළ බවත්, ඇය දිළිදු පුද්ගලයන්ට බොහෝ සෙයින් උදව් උපකාර කළ බවත්, දන්සැල් පැවැත්වූ බවත් සඳහන් වෙනවා. ඇයගේ පාලන සමයේදී නිකුත් කළ කාසි පවා පුරාවිද්‍යාවේදීන් විසින් සොයා ගෙන තිබෙනවා. සසදාවත, දාඨාවංශය වැනි සාහිත්‍ය කෘති නිර්මාණය වුනේ ඇයගේ පාලන සමයේ.
ධම්මකිත්ති තෙරුන් විසින් දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ වූ ‘දාඨාවංසය’ නම් පාලි ග්‍රන්ථය රචනා කරන ලද්දේ ඇගේ දෙ වැනි රාජ්‍ය සමය තුළ දී. චූලවංසයෙහි පළමු වැනි කොටස රචනා කරන ලද්දේ ද ඒ තෙරණුවන් විසින්මයි. උන්වහන්සේ ඒ මගින් මහා පරාක්‍රමබාහු රජතුමා ගැන දීර්ඝ විස්තරයක් කරල තියෙනවා. රජු විසින් ලීලාවතී බිසවගේ නම සඳහන් තඹ කාසි ද නිකුත් කරල තියෙනවා.
ලීලාවතී මහා රැජිණ ලංකාව තුන්වරක් පාලනය කළ එකම රැජින. ඇයගේ පාලන සමය අරාජික වුනේ ඇයට දරුණු සතුරු කුමන්ත්‍රණයන්ට මුහුන දෙන්න සිද්ධ වුන නිසා. නමුත් ඇය කාන්තවක් විදිහට ඉතාම විශ්වාසවන්ත බිරිඳක් වුනා. ජනතාවට ආදරයණීය රැජිණක් වුනා.
Leave a Reply