දැන් Ghosting culture නැතිනම් Ghosting සංස්කෘතිය කියලා කිව්ව ගමන්, නොදන්න කෙනෙක්ට හිතෙන්නේ ෂුවර් එකටම මේ කියන්නේ මොනවා හරි හොල්මන් සම්බන්ධ දෙයක් වෙන්නැති කියලා. හා නැද්ද? හැබැයි ඇත්තටම මේ Ghosting culture කියන එක කිසිසේත්ම හොල්මන්, අවතාර හෝ වෙනත් අධිස්වභාවික දේවල් වලට සම්බන්ධ කාරණයක් නෙවෙයි කියලා අපිට ඉන්තේරුවෙන්ම කියන්න පුලුවන්. ඊට වඩා, මේක විශේෂයෙන්ම වර්තමානයේ ඉන්න තරුණ පරම්පරාවන්ගේ හැසිරීමට සම්බන්ධ කාරණාවක්.
ඇත්තටම මේ Ghosting culture කියන වචනේ එන්නෙත් 2000 ආරම්භ වුණු කාලයේ වගේ. මේකට Ghosting කරනවා, simmering නැතිනම් icing කරනවා කියලත් කියනවා. සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ, යම් කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් එක්ක, පූර්ව දැනුම් දීමකින් හෝ කරුණු පැහැදිලි කිරීමකින් හෝ හේතු දැක්වීමකින් තොරව, සම්පූර්ණයෙන්ම සන්නිවේදනය නවත්තන එක. එතකොට අපි කියමු එහෙම කළාට පස්සේ ඒ අදාළ කෙනා හෝ අදාළ පාර්ශවය අපිව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා කියලා. හැබැයි ඒත් අපි ඒ කිසිම උත්සාහයකට ප්‍රතිචාර දක්වන්නේ හෝ එහෙම අපිව සම්බන්ධ කරගන්න කරන උත්සාහයන් සාර්ථක කරගන්න උදව්වක් දෙන්නේ හෝ නෑ. ඒ කෙනාව හෝ ඒ අයව අපි සම්පූර්ණයෙන්ම නොසලකා හරිනවා. මේක තමයි Ghosting culture කියලා කියන්නේ. ඉතින් මේ Ghosting culture එක ඇත්තටම හොඳයිද, එහෙම නැතිනම් නරකයිද? ආන්න ඒ ගැන තමයි අපි මේ කියන්න යන්නේ!
01. විසඳාගෙන ඉදිරියට යන්නේ කොහොමද?
අපි ආදරේ කරන, අපි සමීපව ආශ්‍රය කරන කෙනෙක් අපිව ගෝස්ට් කළොත්, ඒ කියන්නේ අපිට කිසිම කරුණු පැහැදිලි කිරීමක්, දොස් පැවරීමක් හෝ කිසිම දෙයක් නැතුව කෙනෙක් අපිව නොසලකා හරිනවා නම්, එතනදී ඇති වෙන ප්‍රධානතම ගැටළුව තමයි, අපි දන්නෙ නෑ මොකක් නිසාද එයා එහෙම අපිව සම්පූර්ණයෙන්ම කපා හරින්න තීරණය කළේ කියලා. දැන් ආදර සම්බන්ධයක් කැඩුණහම වුණත්, බූට් එක කාපු කෙනාට ලව් එක අමතක කරන්න අමාරුම වෙන්නේ, ඇයි එයා මගෙන් අයින් වුණේ කියන ප්‍රශ්නයත් එක්කනේ. බූට් එකට හේතුව දන්නවා නම්, වඩාත් ඉක්මනට මූව් ඔන් වෙන්න පුලුවන්. ඒකම තමයි සිද්ධ වෙන්නේ කෙනෙක අපිව ගෝස්ට් කළහම. අපි දන්නෙ නෑ මොකක් හරි අපේ අතින් වුණු වැරැද්දක් නිසාද, එහෙම නැතිනම් වෙන කෙනෙක් කියපු දෙයක් නිසාද, නැතිනම් වෙන මොකක් හරි ගැටළුවක් නිසාද කියලා. ඒ ගැන දැනගන්න විදියකුත් නැති නිසා, අපිට ඒ කෙනාත් එක්ක තියෙන සම්බන්ධතාවය හරි හැටි මානසිකව අවසන් කරලා ඉස්සරහට යන එක හරි අමාරුයි.
02. බේසික් හියුමන් ඩීසන්සි ගැන ප්‍රශ්නයක්?
ඇත්තටම ගෝස්ටින් වල තියෙන ප්‍රධාන නරකක් තමයි, ඒක මූලික මානව විනීතභාවය ගැන ගැටළුවක් වීම. අපි කෙනෙක් එක්ක කතාබහ කරන්න හරි පටන් ගන්නවා නම්, ඒකෙන් කියන්නේ අපි ඒ කෙනා එක්ක සක්‍රියව යම් කිසි සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්නවා කියන එක තමයි. එහෙම නිකම් කතාබහ කරන සම්බන්ධතාවයක් හරි හැදුණට පස්සේ, අපිට කියන්න බෑ ඒකට අපි සම්බන්ධ නෑ, ඒක අනික් පාර්ශවය හිතාගත්තු දෙයක් කියලා. කොටින්ම කියනවා නම්, ඒකට අපි දායක වෙලා තියෙනවා සහ ඒක සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවා කියන එක අවබෝධ කරගන්න ඕන. දැන් එහෙම තියෙනකොට අපි කෙනෙක්ව ගෝස්ට් කරනවා, සම්පූර්ණයෙන්ම කපා හරිනවා කියමු. එතකොට, ඒක ඩීසන්ට් වැඩක්ද? අපි සම්බන්ධතාවයකට යම් කිසි විදියකට දායක වුණා නම්, අපිට වගකීමක් නැද්ද අඩු තරමින් ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න හේතුව හරි කියන්න? අපි කියමු, අපි එහෙම ඒ කෙනාව ගෝස්ට් කරන්නේ සම්පූර්ණයෙන්ම ඒ කෙනා කරපු වරදක් නිසා කියලා. හැබැයි ඒත් අපි ඒක කියන එක තමයි මූලික මානව සදාචාරය.
03. හාඩ් ෆීලින්ග්ස්
ගෝස්ටින් වලින් සිද්ධ වෙන තවත් ප්‍රශ්නයක් තමයි, එහෙම කෙනෙක්ව ගෝස්ට් කරන කෙනා ගැන අනික් කෙනාගේ හිත තුළ ඇතිවෙන නරක හැඟීම. එතකොට කෙනෙක් අහයි, දැන් මම කෙනෙක්ව ගෝස්ට් කරනවා නං, ඒ කියන්නේ ඒ කෙනා එක්ක ආයෙ කිසිම ගනුදෙනුවක් මට අනවශ්‍යයි කියන එක නෙවෙයිද, එහෙම නම් ඒ මම ගෝස්ට් කරන කෙනා මගේ ගැන නරක බැරිනං මොනවා හිතුවත් මට මොකද කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. අපි විශේෂයෙන්ම වර්තමානයේදී සන්නිවේදනය සහ මානව සම්බන්ධතා ප්‍රධාන වශයෙන්ම පවත්වන්නේ ඩිජිටල්, ඔන්ලයින් මාධ්‍ය වලින් නිසා, කෙනෙක්ව ගෝස්ට් කරන එක ලේසියි. හැබැයි ඇත්තටම ලෝකේ කියන්නේ ඩිජිටල් ලෝකේ නෙවෙයි. ඒ වගේම ලෝකේ හරිම පොඩි තැනක්. අපිට නොහිතන තැනකදී අපි ගෝස්ට් කරපු කෙනාව ආයෙ මුණගැහෙන්න පුලුවන්. එහෙම මුණගැහෙන වෙලාවක ඒ කෙනාව අපිට අවශ්‍ය වෙන්න, අදාළ වෙන්න පුලුවන්. එතකොට, ඒ කෙනා අපි ගැන හොඳ හැඟීමක් නැතිනම්, අපි ගැන ගරුත්වයක් නැති නම්, ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද? මේ කතා කරන්නේ පළිගැනීම් ගැන නෙවෙයි. අපි එයාව ගෝස්ට් කරපු නිසා එයා අපෙන් පළිගනී වගේ කතාවක් නෙවෙයි. හැබැයි එයා අපිව සෘජු ගතිගුණ තියෙන, ගරු කටයුතු කෙනෙක් විදියට දකින එකක් නෑ. ඒක අපිට නරකට බලපාන්න පුලුවන්.
04. චරිතෙට වෙන හානිය
මේ කියන්නේ උඩ කියපු දේම තව ටිකක් විස්තරාත්මකව. දැන් අපි කෙනෙක්ව ගෝස්ට් කරනවා කියලා හිතමු. ඒකට හේතුව එයා අපිට දරුණු ගණයේ, සමාව දෙන්න බැරි වැරැද්දක් කරපු නිසා නම්, අපි ඒ කෙනාව ගෝස්ට් කරන එක සමහර විට සාධාරණීකරණය කරන්න පුලුවන්. හැබැයි පොදුවේ අපි කෙනෙක්ව ගෝස්ට් කරන එක, අපිට සෘජු පෞරුෂත්වයක් නැති කමක් විදියට, ගෞරවනීය කමක් නැති වීමක් විදියට, කෙලින් වැඩ බැරි කමක් විදියට කෙනෙක් දකින්න පුලුවන්. සමහර විට කෙනෙක් අපිට වැරැද්දක් කළහම වුණත්, එයාව ගෝස්ට් කරන්නෙ නැතුව, එයාට කෙලින්ම බැණලා සම්බන්ධකම් නැවැත්තුවොත්, ඒ කෙනා අපි ගැන තියෙන ගරුත්වය නැති වෙන්නෙ නෑ. හැබැයි අපි නිකම්ම ගෝස්ට් කළොත්, ඒ ගරුත්වය නැති වෙන්න තමයි ඉඩ වැඩි.
05. සීරියල් ගෝස්ටර් අපකීර්තිය
මේක සිද්ධ වෙන්න පුලුවන් පුරුද්දක් විදියට මිනිස්සුන්ව ගෝස්ට් කරන්න පුරුදු වුණ අයට. දැන් අපි උඩ එක පොයින්ට් එකකදී කිව්වා, අපි කෙනෙක් අපිට කරන වැරැද්දක් ගැන වුණත් කිසිම සන්නිවේදනයක් නැතුව කපා හරින එකෙන්, අපිට සෘජු පෞරුෂත්වයක් නැහැයි කියන සංඥාවත් යන්න පුලුවන් කියලා. ඒ වගේම තව පොයින්ට් එකකදී අපි කිව්වා, ඩිජිටල් ලෝකේ සන්නිවේදනයන් වලින් අපි කෙනෙක්ව ගෝස්ට් කරලා දැම්මත්, ඇත්තටම මේක පුංචි ලෝකයක් කියලත්. ඉතින් එහෙම පුංචි ලෝකෙක මිනිස්සු නෙට්වර්ක් වෙන ඉඩ වැඩියි. මිනිස්සු තවත් මිනිස්සුන්ව අඳුනන්න තියෙන ඉඩ වැඩියි. අන්න එතකොට, අපි පුරුද්දක් විදියට මිනිස්සුන්ව ගෝස්ට් කරනවා නම්, අපේ ඒ පුරුද්ද ගැන මිනිස්සු දැනගන්න, කතා වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒකෙන් අර උඩ කියපු චරිතෙට වෙන හානිය අපකීර්තියක් බවට පෙරළෙන්නත් පුලුවන්. මිනිස්සු කතා කරන්න පටන් ගන්නවනේ, එයාගෙ හැටි මෙහෙමයි කියලා!
06. ඩ්‍රාමා වලට වඩා ලේසියි හැබැයි
දැන් මෙච්චර වෙලා කිව්වේ ගෝස්ටින් වල තියෙන අවුල් තැන් ටිකනේ. හැබැයි සමහර වෙලාවකට ඔය ගෝස්ටින් කියන විකල්පය වාසියක් කියලා අපිට හිතෙන තැනුත් තියෙනවා. උදාහරණයක් විදියට, ඔන්න අපි බොහොම සාමාන්‍ය විදියට, යාලුවෙක් විදියට ආශ්‍රය කරපු කොල්ලෙක් ආදරේ ඉල්ලනවා. හැබැයි අපිට එහෙම ඒ කෙනා ගැන ආදරයක් නෑ. ඉතින් අපි ඒක කියනවා. හැබැයි මේ කොලුවා නවතින්නෙ නෑ. ආදරෙයි කිය කියා පස්සෙන් එනවා, නහින්න හදනවා. ආන්න එතකොට, අපිට වෙන විකල්පයක් නැති වෙන්න පුලුවන්. අපේ හිතේ සාමයත් තියාගෙන කරන්න පුලුවන් ලේසිම දේ වෙන්නේ ගෝස්ට් කරලා දාන එක, සම්පූර්ණයෙන්ම සම්බන්ධතා නවත්තලා, හැම තැනකින්ම බ්ලොක් කරලා, කපා හරින එක වෙන්න පුලුවන්. අන්න ඒ වගේ, අපිට අත අරින්න ඕන යම් කෙනෙක් නිසා ජීවිතේ අනවශ්‍ය ඩ්‍රාමා වලට මුහුණ දෙන්න වෙනවා නම්, ඒ කෙනාට කියලා පිරිමහන්නත් බැරි නම්, ඒ වගේ කෙනෙක් සම්බන්ධයෙන් ගෝස්ටින් කියන්නේ හොඳ විකල්පයක් තමයි!
07. පළි ගන්නත් මරු
දැන් අපි පටන් ගන්නකොටමත් කිව්වනේ මේ ගෝස්ටින්කිරිල්ල කියන එක කළහම, ඒකට මුහුණ දෙන පාර්ශවේට ඒක ඉතාම අමාරුයි කියලා. මොකද, එතකොට අඩු තරමින් තරහ අරගෙන හරි මූව් ඔන් වෙන්නවත් අමාරුයි, මොකක්ද වුණේ කියලා දන්නෙ නැති නිසා. දැන් ඕන්න ඔය පොයින්ට් එක පාවිච්චි කරන්න බැරිද කෙනෙක්ගෙන් පළිගන්න? හැබැයි ඒකට කලින් දේවල් ටිකක් කියන්න ඕන. එක, පළිගැනීම කියන්නේ හොඳ දෙයක් කියලා අපිට කියන්න බෑ. ඒක නරකයි. හැබැයි සමහර වෙලාවට කෙනෙක් අපිට බොහොම දරුණු විදියට වැරදි කරන්න පුලුවන්. එතකොට, අපිට ඒ කෙනාව සම්පූර්ණයෙන්ම අපේ ජීවිතෙන් කපා හැරලා, එහෙම කෙනෙක් නැහැයි වගේ ජීවත් වෙන්නත් වුවමනා වෙන්න පුලුවන්. අන්න එතකොට අපිට එහෙම දරුණු විදියට සලකපු කෙනෙක්ට ආපිට දරුණු දේවල් කරනවට වඩා, කරන්න පුලුවන් හොඳම පළිගැනීම තමයි, මනුස්සයාව ගෝස්ට් කරලා දාන එක. හැබයි දෙවෙනි කාරණාව: අපි උඩ පොයින්ට් වල කිව්වනේ ගෝස්ටින් කරන එකෙන් අපිට වෙන්න පුලුවන් ගැටළු ගැන. ආන්න ඒ ගැනත් කල්පනාවෙන් තමයි පළිගන්න හරි කෙනෙක්ව ගෝස්ට් කරන්න යන්නේ. පළිගන්න ගිහින් තමන්ගේ පැත්තට වැරදි එන්න තියන්න එපා, එච්චරයි!
Leave a Reply