සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි, ජොබ් එකක් කරනවා, එහෙම නැතිනම් රැකියාවක් කරනවා කියන්නේ ආතල් වැඩක් නෙවෙයි කියලා. රැකියාවක් කියන්නේ විනෝදයක් නෙවෙයි, ඊට වඩා වැඩ කරන්න ඕන දෙයක්. වගකීම් වැඩි දෙයක්. ඒ නිසා ගොඩක් අය ඉතින් රැකියාවක් කරන්නේ ජීවත් වෙන්න නම් අපි රැකියාවක් කරන්න අවශ්‍ය නිසානේ. ඒත් සමහරු නම් වාසනාවන්තයි, තමන් ආස කරන දෙයක් රැකියාවට කරන්න, එහෙම නැතිනම් රැකියාව විදියට තමන් කරන්න ආස දෙයක් තෝරගන්න සහ ඒ අනුව රැකියාව ඉන්ටරස්ටින්ග් එකක් කරගන්න. හරි ඒක පසුවට කතා කරමු.
දැන් කාටද වුවමනා රැකියා දෙකක් කරන්න? සමහරු පුලුවන් නම්, තමන්ට ජීවත් වෙන්න මාර්ගයක් තියෙනවා නම්, තමන් කරමින් ඉන්න එකම රැකියාවෙනුත් අයින් වෙලා නිකම් ඉන්න නෙවෙයිද ට්‍රයි කරන්නේ? හැබැයි ඉතින් හැමෝටම ඒක විකල්පයක් නෙවෙයි. අපි සමහරුන්ට එක රැකියාවක් නෙවෙයි, මේ වෙනකොට රැකියා දෙකක් කරන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඒ ශ්‍රී ලංකාවේ අපිට විශේෂයෙන්ම දැන් වෙනකොට මුහුණ දෙන්න වෙලා තියෙන ආර්ථික අවපාතය සහ උද්ධමනයත් එක්ක බලනකොට.
හරි, දැන් ඕනම කෙනෙක් රැකියා දෙකක් කරන්න හිතන්නේ ප්‍රධාන වශයෙන්ම තමන්ගේ ආර්ථික තත්වය වැඩිදියුණු කරගන්න, එහෙම නැතිනම් මූල්‍යමය ස්ථාවරයක් හදාගන්නනේ. දැන් කොහොමහරි රැකියා දෙකක් කරන්න හිත හදාගත්තා කියමුකෝ. කොහොමද රැකියා දෙකක් බැලන්ස් කරගන්නේ? අපිට රැකියා දෙකක් කරන්න සිද්ධ වුණා කියලා දවසකට අපිට තියෙන පැය 24 වැඩි වෙන්නෙ නැහැනේ. එහෙම හිතන්න එපා. බැලන්ස් එකේ රැකියා දෙකක් වුණත් කරන්න පුලුවන්. ඒක කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ කියලා දෙන්න යන්නේ!
01. වෙනස් වෙන්න ඕන පුරුදු වෙනස් කරගමු
ජොබ් දෙකක් කරනවා කියන්නෙම, අපිට උපරිමයෙන් කාල කළමනාකරණ කුසලතාවයන් එහෙම අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා, අපි මුලින්ම බලන්න ඕන අපේ තියෙන පුරුදුත් එක්ක ජොබ් දෙකක් හැන්ඩ්ල් කරගන්න පුලුවන්ද කියලා. උදාහරණයක් විදියට, අපි පැය දහයක් විතර නිදාගන්නවා නං, ඇහැරෙන්නෙම උදේ නවයට නං, එතකොට දවස තිස්සෙම කරන්නෙ සෝෂල් මීඩියා වලට වෙලා ඉන්න එක නං, ජොබ් දෙකක් තියා එක ජොබ් එකක්වත් කරගන්න එක අමාරු වෙයි. අන්න ඒ නිසා, අපි වැඩ කල්දැමීම, කාල නාස්තිය වගේ අපේ පුරුදු වෙනස් කරගන්න පටන් ගන්න ඕන. ඒ වගේම, උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න, ශාරීරික සහ මානසික සෞඛ්‍යය ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන හොඳ පුරුදුත් ජීවිතේට එකතු කරගන්න ඕන. මෙව්වා ඇත්තටම අද හිතලා හෙට පටන් ගන්න පුලුවන් දේවල්. සතියක් දෙකක් ඒ විදියට කරනවා කියන්නේ ඔය හොඳ පුරුදු අපේ ඇඟට පත්තියම් වෙනවා. එතකොට අපිට ජොබ් දෙකකුත් කළමනාකරණය කරගෙන, විවේකෙන් ඉන්න වෙලාවකුත් හදාගෙන සැපේ ජීවිතේ ගත කරන එක අමාරුවක් වෙන්නෙ නෑ.
02. දෙවෙනි ජොබ් එක උපරිම ෆ්ලෙක්සිබල්
සාමාන්‍යයෙන් ජොබ් දෙකක් කරන්න හිතන මනුස්සයෙක්, දෙවෙනි ජොබ් එක හොයන්නේ පළවෙනි ජොබ් එකත් තියෙනකොටනේ. සාමාන්‍යයෙන් ගත්තහම ඔය පළවෙනි ජොබ් එක ෆුල් ටයිම් එකක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා, අපි හොයන දෙවෙනි ජොබ් එක පාර්ට්-ටයිම් නම්, ඒක පුලුවන් තරම් නම්‍යශීලී එකක් වෙන තරමට වාසියි. උදාහරණයක් විදියට, පළවෙනි ජොබ් එකට අපි ආයතනයකට යන්න ඕන නම්, දෙවෙනි ජොබ් එක හැකිතාක් දුරට ගෙදරම ඉඳගෙන කරන්න පුලුවන් එකක් නම් හොඳයි. එතකොට, පළවෙනි ජොබ් එකට දවසේ වැඩ කරන පැය ගාණ යනවා නම්, දෙවෙනි ජොබ් එකටත් ඒ වෙලාවම ඉල්ලනවා නම්, දෙවෙනි ජොබ් එක ප්‍රායෝගික වෙන්නෙ නෑ. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා.
03. ට්‍රැවල් ටයිම්
ඇත්තටම මේ කාරණාව අදාළ වෙන්නේ එක ජොබ් එකක් වෙනුවෙන් හරි ට්‍රැවල් කරන්න තියෙනවා නම් තමයි. ඒ කියන්නේ එක ජොබ් එකකට හරි ගෙදරින් පිටට යන්න වෙනවා නම්. දැන් ගොඩක් ජොබ්ස් තියෙන්නේ කොළඹ හරි වෙනත් අග නගරයක හරිනේ. එතකොට, අපිට දවසකට යම් කාලසීමාවක් ගමනාගමනය වෙනුවෙන් වැය කරන්න වෙනවා නම්, අපිට මේ ගමනට ගත වෙන කාලය බොහොම කල්පනාවෙන් කළමනාකරණය කරගන්න වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් වල හැටියට, ජොබ් දෙකකට හරි එකකට හරි දවසකට පැය හතරක් පහක් ගමනට අයින් කරන්න වුණොත්, ඒක ලොකු අවාසියක්. එහෙම නම්, අපිට කිට්ටුවෙන් නතර වෙන්න හරි, වෙනත් ඒ වගේ විකල්පයක් හරි හොයාගන්න වෙනවා. එහෙම නැතිනම්, හොඳම දේ එක්කෝ ගෙදර ඉඳන් කරන්න පුලුවන් ජොබ්ස් හොයාගන්න එක. එහෙම නැතිනම් තමන් ඉන්න පළාතට ඉතාම කිට්ටුවෙන් ජොබ්ස් හොයාගන්න එක. කොහොම කළත්, දවසකට පැය තුනක් හතරක් වුණත් යන්න එන්න වැය වුණොත්, තමන්ට දැනෙන මහන්සියත් එක්කම ගත්තහම ඒක අපරාදයක්!
04. දෙකටම සාධාරණයක්
අපි උඩින් කිව්වනේ පළවෙනි ජොබ් එකට අමතරව දෙවෙනි ජොබ් එකකුත් කරන්න හොයනවා නම්, දෙවෙනි ජොබ් එක උපරිම නම්‍යශීලී වෙන්න ඕන කියලා. එතනදී අපි කිව්වා දෙවෙනි ජොබ් එකේ වැඩ කරන්න තියෙන පැය ගණන්, පළවෙනි ජොබ් එකේ වැඩ කරන්න තියෙන පැය ගණන් එක්ක අතිපිහිත නොවෙන්න, ක්ලෑෂ් නොවෙන්නත් ඕන කියලා. එහෙම කියන්න හේතුව මේකයි. අපි ජොබ් දෙකක් නෙවෙයි එකක් කළත්, ඒ කරන ජොබ් එකට, අපි ගන්න ගාණට උපරිම සාධාරණය ඉෂ්ට කරන්න ඕන. එහෙම නැතුව ආර්ථිකය මොන තරම් දරුණු වුණත් එක ජොබ් එකක හරි වැඩ උඩින් පල්ලෙන් කරන්න හිතනවා නම් ඒක වැරදියි. එතකොට පළවෙනි ජොබ් එකේ වැඩ කරන වෙලාව ඇතුළතදී බොස්ට හොරෙන් දෙවෙනි ජොබ් එකේ වැඩත් කරනවා නම් ඒකත් වැරදියි. මොකද, එහෙම එක ජොබ් එකකට හරි අසාධාරණයක් කරනවා කියන්නෙම, අපිට වෘත්තිය ගමනක් යන්න ලැබෙන්නෙ නැහැයි කියන එක. මේ වෘත්තිය ගමන කියන එක දීර්ඝ කාලීනව අපිට හරිම වැදගත්. ආන්න ඒ නිසා!
05. ආතල් එකක් තියෙන ජොබ්ස්
මේ ජොබ් එකේ ආතල් එක කියන්නේ, ජොබ් එක කරන වෙලාවට පස්සේ ඔෆිස් එකේ ඉන්න අයත් එක්ක බොන්න සෙට් වෙන එක වගේ ආතල් එකක් ගැන නෙවෙයි. ඊට වඩා, ජොබ් එකේ තමන් කරන දේ තමන්ටම එන්ජෝයි කරන්න, ආසාවෙන් ජොබ් එකේ වැඩ කරන්න පුලුවන්කම ලැබීම. මොකද, ආර්ථික ප්‍රශ්න නිසා කියලා අපිට එන්ජෝයි කරන්න බැරි ජොබ් එකක් කොහොමහරි කරනවා කියලා ගන්නවා කියන්නෙම, ඒක දීර්ඝ කාලීනව ඵලදායී නැහැයි කියන එක. ආන්න ඒ නිසා, අපි හොයාගන්න ඕන අපිට කරන්න පුලුවන් වැඩ තියෙන, අපි කරන්න ආස වැඩ තියෙන ජොබ් එකක්. අන්න එතකොටයි වගකීමකින් ජොබ් දෙකක් මැනේජ් කරගන්න පුලුවන් වෙන්නේ. නැතිනම් එකක්වත් වෙන්නෙ නෑ!
06. ජොබ් වලටයි තමන්ටයි ටයිම් මැනේජ්මන්ට්
අපි පටන් ගන්නකොටත් කිව්වා, ජොබ් එකක් දෙකක් නෙවෙයි තුනක් කළත්, තමන් ගැන හිතන්න, තමන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය රැකගන්නත් කාලය වෙන් කරන්න ඕන කියලා. මෙන්න මේක ඉතාම වැදගත්. මොකද, ජොබ් දෙකක් කරනවා කියන්නේ ඉහළ කාර්යක්ෂමතාවයක් අවශ්‍ය වෙනවා කියන එක. ආන්න එතනදී අපිට පුද්ගලික ස්වස්ථතාවය, ශාරීරික යෝග්‍යතාවය ගැන එහෙමත් විශාල වශයෙන් හිතන්න වෙනවා. සරලම උදාහරණයකින් ගත්තොත්, අපි නිදාගන්න තියෙන පැය ගාණ එක ජොබ් එකක වැඩ වෙනුවෙන් අඩු කළොත් වෙන්නේ ඊලඟ දවසේ ජොබ් දෙකම කරන්න තියෙන කාර්යක්ෂමතාවය පහළ බහින එක. අපි හොඳ සමබල ආහාර වේලක් ගන්නෙ නැතුව වැඩ කරන්න ගියොත්, ඒත් එහෙමයි. තමන්ගේ සෞඛ්‍යය ගැන හිතන්නේ නැතුව වැඩ කරන්න ගියොත්, ජොබ් දෙකෙන් එකක්වත් කරගන්න බැරි තත්වයක් උදාවෙන්න පුලුවන්.
07. වෘත්තිය දියුණුව
දැන් මේ ජොබ් දෙකක් කරනවා කියන්නේ, උදේ බැංකුවේ වැඩ කරලා හවස 6 ට ගෙදර ඇවිත්, රෑ තිස්සේ ඔන්ලයින් වැඩක් කරන එක කියලා හිතමු. ඒකේ අවුලක් නෑ. හැබැයි අපි ජොබ් දෙකෙන් අපේ ප්‍රධාන ජොබ් එකේ හරි වෘත්තිය දියුණුව ගැනත් හිතන්න ඕන. වෙනත් විදියකට කියනවා නම්, වෘත්තිමය වශයෙන් ඉහළට යන්නේ කොහොමද කියන එකත් හිතන්න ඕන. ඒකට ප්‍රධානතම කාරණයක් තමයි දිගින් දිගටම ඉගෙනගැනීම සහ තමන්ට ජොබ් එකට අවශ්‍ය කුසලතාවයන් වර්ධනය කර ගැනීම. අන්න ඒ නිසා මොන තරම් ආර්ථික අවපාතයක් තිබුණත්, තමන්ගේ ඉගෙනීම් සහ කුසලතා වර්ධන කටයුතු වලටත් කාලයක් වෙන් කරගන්න ඕන. දැන් කෙනෙක් අහයි, පුද්ගලික වැඩත් කරලා, එක්සයිස් එහෙමත් කරලා, ඉගෙන ගන්න ඒවත් කරලා ජොබ් දෙකක් කරන්න කොහෙන්ද වෙලාව තියෙන්නේ කියලා. ඒකට තමයි කාල කළමනාකරණය සහ ප්රමුඛතාවයන් අනුව වැඩ කිරීම කියන්නේ.
08. හැංගි හොරා එපා
මේක වැදගත්. තමන් ජොබ් දෙකක් කරනවා නම්, හොඳම ක්‍රමය තමයි ඒ ඒ ජොබ් වල තමන්ගේ ප්‍රධානීන්ව ඒ ගැන දැනුවත් කරලා තියන එක. විශේෂයෙන්ම ඔය ගොඩක් ජොබ් වල, වෙනත් බාහිර ජොබ් එකක් කරන්න ඉඩක් තිබුණත්, ප්‍රතිවාදී සමාගමක් එක්ක වැඩ කරන එක එහෙම නම් සෑහෙන්න කේස්. ඒ වගේ දේකින් ජොබ් එක නැතිවෙන්නත් පුලුවන්. අන්න ඒ නිසා අනවශ්‍ය අවදානමක් ගන්න එපා. අඩු ගාණේ තමන්ගේ ප්‍රධාන රැකියාවේ ප්‍රධානියාට හරි තමන් දෙවෙනි ජොබ් එකක් කරනවා කියන එක කියල තියන්න. ඒ වගේම, පළවෙනි ජොබ් එකත් එක්ක ප්‍රතිවාදී නොවෙන, පළවෙනි ජොබ් එක කරන ආයතනයේ රහස් එහෙම පිටට යයි වගේ අවදානමක් නැති දෙවෙනි ජොබ් එකක් තෝරගන්න. එතකොට දෙවෙනි ජොබ් එකක් කරන එකට තමන්ගේ පළවෙනි ජොබ් එක කරන ආයතනයෙන් විරුද්ධ වෙන්න තියෙන ඉඩ සෑහෙන්න අඩුයි.
09. පවුලේ අයගේ උදව්
දැන් අපි උඩ කියපු ජොබ් දෙකයි, සෞඛ්‍යයයි, ශරීර සුවතාවයි, ඉගෙනීමයි ඔය ඔක්කොම වැඩ ටිකත් කරන ගමන්, පවුලේ අයට සහ ආදරණීයයන්ටත් කාලය වෙන් කරන්න එපැයි. හැබැයි ඒක කිසිසේත්ම පහසු වැඩක් නෙවෙයි. මොකද අපිට මොනවා කරන්නත් තියෙන්නේ පැය 24 යි දවසකට. ආන්න ඒ නිසා, තමන්ගේ පවුලේ අයව සහ ආදරණීයයන්ව දැනුවත් කරලා තියන්න තමන්ගේ තත්වය ගැන. ඇත්තටම එක ජොබ් එකක් කරගෙන ඉන්නෙ නැතුව තව ජොබ් එකක් කරන්න කෙනෙක් පෙළඹෙන ප්‍රධානතම හේතුවක් වෙන්නේ ආර්ථික ගැටළුනේ. ඒ කියන්නේ අපි ඇත්තටම ජොබ් දෙකක් කරන්න යන්නේ අපි ගැන වගේම අපේ ආදරණීයයෝ ගැනත් හිතලා. ආන්න ඒක පැහැදිලිව තේරුම් කරලා දෙන්න. මේ ගේම් එක ගහන්න ඒ අයගේ උදව්වත් ඕන කියන එක අවබෝධ කරලා දෙන්න. අන්න එතකොට ඒ අයගෙන් ජොබ් දෙකම කරගෙන යන්න උදව් ලැබෙනවා වගේම, අපි කාර්යබහුල වීමත් ඒ අය තේරුම් ගනීවි.
10. අවසාන ඉලක්කය මොකක්ද?
අන්තිමට කියන්න තියෙන්නේ මේක තමයි. කරන්නන් වාලේ අතට අහුවෙන මොනවා හරි ජොබ් දෙකක් කර කර ඉඳලා හරියන්නෙ නෑ. තමන්ගේ ඉලක්කය මොකක්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ වෘත්තිය ඉලක්කයන් මොනවද කියන එක. එතකොට, ආර්ථික අවපාතයෙන් ගැලවෙන්න තියෙන දීර්ඝ කාලීන සැලසුම් මොනවද කියන එකත් හිතලා තියෙන්න ඕන. අන්න එතකොට, ජීවිත කාලෙම ජොබ් දෙකක කාර්යබහුල වෙමින්, ජීවිතයක් නැතුව වියගහේ බැන්ද හරකෙක් වගේ වැඩ කරන්න සිද්ධ වෙන්නෙ නෑ. අර අපි උඩින් කියපු ඉගෙනීම සහ කුසලතා වර්ධනය කියන එක, ඒ වෘත්තිය ඉලක්කයන්ට යන්න වැදගත්. ඒ නිසා, මේ මොහොතේ අවශ්‍යතාවයට ජොබ් දෙකක් කළාට, තමන්ට ලඟාවෙන්න ඕන වෘත්තිය සුරක්ෂිත භාවය සහ මූල්‍ය සුරක්ෂිත භාවය තියෙන වෘත්තිය මට්ටම ඉලක්කයක් විදියට තියාගන්න. ඒ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න!
Leave a Reply